Support Our Blog

Shop on Daraz & help us create more content!

මොසාඩ් සංවිධානයේ ඝාතක ඒකකය

kidon-mossads-tip-of-the-spear

ඊශ්‍රායල ඉතිහාසයේ සාර්ථක ඝාතන ව්‍යාපාර කිහිපයකට සම්බන්ධ ‍යැයි සැක කරන "කිඩොන්" නම් මිහිපිට සිටින වඩාත් දක්ෂ සහ මාරාන්තික විශේෂ මෙහෙයුම් ඒකකවලින් එකක් යැයි සැලකේ.එසේම ලොව තිබෙන අතිශය රහසිගතම විශේෂ මෙහෙයුම් ඒකකවලින් එකක් ද වේ.

අලුතින් පිහිටුවූ යුදෙව් රාජ්‍යය සහ එහි පුරවැසියන් ආරක්ෂා කිරීමේ අරමුණින් යුතුව 1949 දෙසැම්බර් 13දා ස්ථාපිත කල මොසාඩ් නම් සංවිධානයේ අර්ථය වන්නේ "බුද්ධි තොරතුරු සහ විශේෂ මෙහෙයුම් සඳහා ආයතනය" යන්නයි.කිඩොන් නම් විශේෂ මෙහෙයුම් කණ්ඩායම අයත් වන්නේ මොසාඩ් ඔත්තු සේවයටයි.ආරම්භයේදී මොසාඩ් සංවිධානය,ඊශ්‍රායලයේ පොලිසිය සහ බුද්ධි අංශ සිය තොරතුරු හුවමාරු කරගන්නා තොරතුරු මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියා කලේය.නමුත් යුදෙව් රාජ්‍යයේ පැවැත්මට එරෙහි වූ පලස්තීනුවන්,ඊජිප්තුව,ලෙබනනය,සිරියාව,ජෝර්දානය ආදී ජාතීන්ගෙන් එල්ල වූ නොනවතින තර්ජනය හමුවේ මොසාඩ් සංවිධානය වර්තමානයේ අප දකින අති දක්ෂ සහ මාරාන්තික ඔත්තු සේවය දක්වා පරිවර්තනය කෙරිණි.

කිඩොන් නම් කණ්ඩායම පිහිටුවන ලද දිනය මේ දක්වා අනාවරණය වී නැත.කිඩොන් යන හීබෲ වචනයේ අර්ථය වන්නේ "බයිනෙත්තුව/හෙලි තුඩ" යන්නයි.මොසාඩ් සංවිධානයේ "කීසරියා" රහස් මෙහෙයුම් ශාඛාව යටතේ කිඩොන් ඒකකය ස්ථාපිත කර තිබේ.අල්ජසීරා පුවත් සේවය පවසන පරිදි කීසරියා ශාඛාව පිහිටුවන ලද්දේ ඊශ්‍රායලයේ ප්‍රසිද්ධ ඔත්තුකරුවෙක් වූ මයික් හරාරි විසින්ය.ඒ 1970 දශකයේ මුල් භාගයේදීය.

මයික් හරාරි(වම්පස)

කිඩොන් කණ්ඩායම නිර්මාණය කර තිබෙන්නේ ඉහළ වටිනාකමක් ඇති ඉලක්ක ඝාතනය කිරීම එකම පර්මාර්ථය කරගෙනය.ඔවුන් මෙහෙයුම් සිදු කරන ආකාරය සම්බන්ධව තොරතුරු ඉතා අල්පය.ඇස්තමේන්තු කරන පරිදි මෙම කණ්ඩායමේ මෙහෙයුම්කරුවන් 75කට අඩු ගණනක් සේවය කරති.

රහසිගත කිඩොන් කණ්ඩායමේ සාමාජිකයන් සහ සුප්‍රසිද්ධ "ඔර්චර්ඩ්" මෙහෙයුම අතර සම්බන්ධයක් ඇතැයි විශ්වාස කෙරේ.2007 වර්ෂයේදී ඊශ්‍රායල ජෙට් යානා සිරියාවේ ඩීර් එසෝර් හි න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයක් යැයි සැලකුණු ගොඩනැගිල්ලකට බෝම්බ හෙළීම එම මෙහෙයුමේදී සිදු කෙරිණි.

සිරියානු න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට පෙර සහ පසු

පෙනෙන විදියට මොවුන් හතරදෙනෙක්ගේ කණ්ඩායමක් වශයෙන් ක්‍රියාත්මකවේ.මේ හතරදෙනාට පිරිමින්ට අමතරව කාන්තාවන්ද අයත් විය හැකිය.මොවුන් සතුරු භූමියක ඕනෑම තැනක,දිගු කාලයක් එනම් මාස ගණනාවක සිට අවුරුදු ගණනක් වුවත් රැදී සිටිමට ඉඩ තිබේ.මෙම මෙහෙයුම්කරුවන්ට පැවරෙන කාර්යය බුද්ධි තොරතුරු රැස් කිරීම හෝ ඝාතනය කිරීම විය හැකිය.කෙසේවෙතත් මියුනිච් ඝාතනවලට වගකිව යුතු ත්‍රස්තවාදීන් ඝාතනය කිරීමට දියත් කල "දෙවියන්ගේ ක්‍රෝධය" නම් මෙහෙයුමට සමානව මොවුන් ඊශ්‍රායලයේ මිත්‍ර රාජ්‍යයන් වල පවා ඝාතන/ඔත්තු බැලීම් සිදු කිරීමට බැදී සිටිති.

1972 වර්ෂයේ බටහිර ජර්මනයේ ගිම්හාන ඔලිම්පික් උළෙල අතරතුර ඊශ්‍රායල මලල ක්‍රීඩකයන් 11 දෙනෙක් ඝාතනය කිරීමට සම්බන්ධ වූ සහ ඊට ආධාර කල 20-40 අතර පලස්තීන විමුක්ති සංවිධානයේ සාමාජිකයන් ඝාතනය කිරීමට මොසාඩ් සංවිධානය දියත් කල මෙහෙයුමේ ඝාතන සිදු කිරීමට කිඩොන් කණ්ඩායම සම්බන්ධ වන්නට ඇති.
 
1972 මියුනිච් සමූල ඝාතනයේ ගොදුරු

කිඩොන් කණ්ඩායමට එක් වන අය එක්කෝ බුද්ධි අංශවල හෝ විශේෂ මෙහෙයුම්වල හෝ ඒ දෙකෙහිම අත්දැකීම් සහිත අයවලුන්ය.බඳවා ගන්නා අයවලුන් නෙගෙව් කාන්තාරයේ වසර දෙකක කාලයක් පුහුණුව ලබා දීමෙන් පසුව ඔවුන්ගේ ඒකකවලට අනුයුක්ත කෙරේ.



ප්‍රහාරක කණ්ඩායම


ඕනෑම මෙහෙයුමක් සඳහා ආධාරක ඒකක සහ මෙහෙයුම්කරුවන් (මොසාඩ් සංවිධානය තුල)ඇති මුත්,ප්‍රහාරක කණ්ඩායමේ ව්‍යුහය පහත දැක්වෙන ආකාරයේ යැ‍යි විශ්වාස කරේ.

1.ඔත්තු බැලීම:ඉලක්කය සොයා ගැනීම සඳහා දෛනිකව නිරීක්ෂණයන් සිදු කරයි.බොහෝවිට ඒ ආශ්‍රයෙන් සිතියමක් නිර්මාණය කෙරේ.

2.සැපයුම්:ඔවුන් භාවිතා කරන මාර්ග,වාහන සහ අතරමගදී නවත්වන ස්ථාන ආදිය සොයා ගැනීම.

3.සහාය:මොහුගේ කාර්යය වන්නේ මූලිකව රිය පැදවීමයි.අවශ්‍ය නම් පහරදීම,අනෙක් පිරිස ඉවත් කර ගැනීම සිදු කරයි.

4.ඝාතකයා:බොහෝ අවස්ථාවලදී කාන්දම් බෝම්බ හෝ වෙනත් ඇලවිය හැකි බෝම්බ  යොදාගෙන ඉලක්කය විනාශ කරයි.නමුත් මෙහෙයුමේ අවශ්‍යතා වෙනස් වන පරිදි අනෙකුත් සාම්ප්‍රදායික අවි තවමත් භාවිතා කරති.



ඉරානයට එරෙහිව කිඩොන් කණ්ඩායම


වර්තමාන ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන සහ ඉරාන රජය වෙනුවෙන් සේවය කරන න්‍යෂ්ඨික විද්‍යාඥයින්ට,එරට තුල සිටින මෙම ඝාතක කණ්ඩායමේ(ඇමෙරිකනු මධ්‍යම රහස් ඔත්තු සේවයද)කොතරම් මාරාන්තිකද යන්න පසුගිය සමයේ දැකගන්නට ලැබිණි.ඊළඟ වතාවේ ඉරාන විද්‍යාඥයෙක් රැක සිට පහර දීමකින් මිය ගියොත් යම් ආකාරයකින් එය පිටුපස කිඩොන් කණ්ඩායම සිටින බවට විවාදයක් නොමැත.

ඉරානය ආසන්නයේ පිහිටා තිබීම සහ එරටට ප්‍රවේශ වීමට ඇති හැකියාව හේතුවෙන් කිඩොන් කණ්ඩායමට පමණක් නොව මොසාඩ් සංවිධානයටත් අසර්බයිජානය පසුගිය වසරවල වැදගත් වේදිකාවක් බවට පත් විය.අසර්බයිජානය තුල ක්‍රියාත්මක ඉරාන බුද්ධි අංශයේ මෙහෙයුම්වලට බාධා කිරීමට,අසර්බයිජාන ආරක්ෂක අංශවලට මොසාඩ් සංවිධානය ලබා දෙන සහායද  ඔවුන්ට එහි රැදී සිටීමට ඉවහල් වී ඇත.ඉරාන අස්ථාවර කිරීමේදී කිඩොන් කණ්ඩායම,ඉරාන රජයේ විරුද්ධවාදීන් පිරිසක් වන මුජහිඩීන් ඊ කල්ක් නම් ත්‍රස්තවාදී සංවිධානය සමග සෘජු සබදතා පවත්වන බව කිවහොත් එය නිශ්චිතවම දන්නේ කිහිපදෙනෙක් පමණි.


ඉරානයේ මුජහිඩීන් ඊ කල්ක් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් එක්සත් ජනපදයේ නෙවාඩා කාන්තාරයේ රහසිගත ස්ථානයක පුහුණුව ලැබූ බව මාධ්‍යවේදී සීමෝර් හර්ෂ් වරක් පවසා තිබිණි.ඔහු පවසන පරිදි 2005 වර්ෂයේදී එනම් ජෝර්ජ් ඩබ්ලිබ් බුෂ්ගේ පාලන සමයේදී මෙම පුහුණු වැඩසටහන ආරම්භ විය.

එසේ නම් එක්සත් ජනපද බුද්ධි අංශ සහ විශේෂ බලකා ප්‍රජාව,මෙම ත්‍රස්ත සංවිධානය මෙතරම් දෙයක් කලේ නම්,මොසාඩ් හෝ කිඩොන් කණ්ඩාම මුජහිදීන් ඊ කල්ක් වෙත කොතරම් සහයෝගයක් දක්වන්නේ දැයි ඔබට සිතා ගත හැකිය.මුල් කාලීනව මෙරට දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට ඊශ්‍රායලයේ පුහුණුව ලබා දුන් බව රහසක් නොවේ.ඉතිහාසය තුල බලයට පත් ඊශ්‍රායලයට වඩාත් පක්ෂපාති ඇමෙරිකානු ජනපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නික්ම යෑමත් සමග ඉරානයට එරෙහි කිඩොන් කණ්ඩායමේ මෙහෙයුම්වල වෙනසක් සිදු නොවනු ඇත.

කිඩොන් කණ්ඩායමේ ස්වභාවය සලකා බලද්දී,මෙහෙයුම්කරුවන් තෝරා ගන්නේ කෙසේද ,පුහුණුව ලබා දෙන්නේ කෙසේද යන්න ගැන තොරතුරු නැති තරම්ය.කෙසේවෙතත්,අයවලුන් බඳවා ගැනීමේ ඊශ්‍රායලයේ "ඩෙව්ඩෙවන්" සහ "සයිරෙට් මට්කල්" යන යන විශේෂ බලකා විශේෂයෙන් සලකා බලන්නේ යැයි අනුමාන කල හැකිය.

කිඩොන් ඝාතක ඒකකයේ නම මේ වර්ෂය තුල මුල් වරට කියවෙන්නේ ඉරානය තුලදී අල්කයිඩා සංවිධානයේ දෙවැන්නා වූ "අබු මොහම්මඩ් අල්-මස්රි" නැමැත්තා ඝාතනය කිරීමත් සමගයි.1998 වර්ෂයේ කෙන්යාවේ නයිරෝබි නගරයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර එල්ල වූ ට්‍රක් බෝම්බ ප්‍රහාරය සැලසුම් කිරීමට මොහු සම්බන්ධ යැයි පැවසේ.ඔහුගේ ඝාතනය සිදුවන්නේ ද,200කට වැඩි පිරිසකට මරු කැඳවූ එම බෝම්බ පිපිරීමට වසර 22ක් ගෙවුන පසුගිය අගෝස්තු 7 දාය.

අල් මස්රි ඝාතනය කිරීමට ඊශ්‍රායලයට බුද්ධි තොරතුරු සපයා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යැ‍යි සැලකේ.මොහු අවම වශයෙන් 2015 වර්ෂයේ පටන් වත් ඉරානයේ ටෙහෙරානයේ පස්ඩාරන් දිස්ත්‍රික්කයේ ජීවත්ව තිබේ.අල් මස් රි සහ ඔහුගේ දියණිය(ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා සමග විවාහ සිටියාය) ඔවුන්ගේ මෝටර් රථය තුල වෙඩි තබා ඝාතනය කර ඇත.

කෙසේ වෙතත් මෙම ඝාතනය,එක්සත් ජනපදය,ඊශ්‍රායලය හෝ අල්කයිඩාව නිල වශයෙන් තහවුරු කර නොමැත.ඉරානයද මෙම පුවත ප්‍රතික්ෂේප කරයි.සුන්නි අල්කයිඩා ත්‍රස්තවාදීන්ට ෂියා බහුතරය සහිත ඉරානය රැකවරණය දුන්නේය යන්නම පිළිගත නොහැකිය.

පසුගිය නොවැම්බරයේදී ඉරාන න්‍යෂ්ඨික විද්‍යාඥ මොහ්සෙන් ෆක්රිසාඩේ ටෙහෙරාන් අගනුවර ආසන්නයේදීම ඝාතනයට ලක් වීමත් සමග කිඩොන් කණ්ඩායමේ නම නැවතත් කරළියට පැමිණියේය.මුල්ම වාර්තාවලින් කියවුනේ ෆක් රිසාඩේ ගමන් කල රථයට ප්‍රහාරකයින් රැක සිට ප්‍රහාරයක් එල්ල කල බවත්,ඔවුන් හා විද්‍යාඥයාගේ ආරක්ෂකයින් අතර වෙඩි හුවමාරුවක්ද සිදුවූ බවත්ය.

පසුව එම කතාව වෙනස් වූ අතර ඉරාන බලධාරීන්ට අනුව ප්‍රහාරය සඳහා යොදාගෙන තිබුණේ දුරස්ථව පාලනය කල හැකි මැෂින් තුවක්කුවක් සහිත මෝටර් රථයකි.ප්‍රහාරයෙන් පසුව එම රථය ස්වයංක්‍රීයව පිපිරී විනාශ වූ බව පැවසේ.


කිඩොන් කණ්ඩායම විද්‍යාඥයින් ඝාතනය කිරීම ආරම්භ කරන්නේ දශක ගණනාවකට ඉහතදීය.ඒ ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාවට තර්ජනය වන අයුරින් ක්‍රියා කරන්නේ යැයි පවසමින්ය.නමුත් මේ කිසිදු ඝාතනයක් තමන් සිදු කල බවට ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගෙන නොමැත.ඊජිප්තුවට රොකට් තාක්ෂණය ලබා දීමට සහාය වෙමින් සිටි ජර්මන් විද්‍යාඥයින් ඔවුන්ගේ මුල්ම ඝාතන ඉලක්කයන් විය.
 


 2007 වර්ෂයේ සිට විවිධ ක්ෂේත්‍රවල ඉරාන විද්‍යාඥයින් හය දෙනෙක් මේ දක්වා ඝාතනය කර තිබේ.

2007 ජනවාරි 15: අර්ඩෙෂිර් හොසෙන්පූර්,න්‍යෂ්ඨික විද්‍යාඥයෙකි.විද්‍යුත් චුම්භක භෞතික විද්‍යාව සම්බන්ධව විශේෂඥයෙකි.ඉස්ෆහන් න්‍යෂ්ඨික තාක්ෂණික මධ්‍යස්ථානය පිහිටුවීමට දායක විය.

2010 ජනවාරි 12: මසුඩ් අලි මොහම්මඩි,ක්වන්ටම් යාන්ත්‍රණය,මූලික අංශු පිළිබඳ භෞතික විද්‍යාඥයෙකි.ටෙහෙරාන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් ලෙස සේවය කලේය.

2010 නොවැම්බර් 29: මජිඩ් ෂාරියාරි,න්‍යෂ්ඨික විද්‍යාඥයෙක් මෙන්ම ඉංජිනේරුවෙක්ද විය.ඉරානයේ පරමාණු බලශක්ති සංවිධානයේ සේවය කලේය.

2011 ජූලි 23: ඩරියෂ් රෙසයිනෙජාඩ්,න්‍යෂ්ඨික විද්‍යාඥයෙකි.

2012 ජනවාරි 11: මුස්ටාෆා අහමඩි රොෂන්,න්‍යෂ්ඨික විද්‍යාඥයෙකි.

2020 ජනවාරි 27: මොහ්සෙන් ෆක් රිසාඩේ,න්‍යෂ්ඨික විද්‍යාඥයෙකි.

2010 නොවැම්බර් 29: ෆෙරෙයිඩූන් අබ්බාසි,ඝාතන තැතකින් දිවි ගලවා ගන්නට සමත් විය.න්‍යෂ්ඨික විද්‍යාඥයෙකි.




source:special-ops.org


මොසාඩ් සංවිධානයේ ඝාතක ඒකකය මොසාඩ් සංවිධානයේ ඝාතක ඒකකය Reviewed by HarshaLulzSec on December 17, 2020 Rating: 5

No comments:

Powered by Blogger.