ඊජිප්තුවේ උපන් යුදෙව් ජාතික ඊශ්‍රායල ඔත්තුකරුවෙක් වූ එලියාහු බෙන්-ෂොවුල් කොහන් හෙවත් "එලී කොහන්" එල්ල මරා දමා 2018 වර්ෂයේ මැයි 18 දා වසර 53ක් සපිරිණි.ඔත්තුකරුවෙක් ලෙස සිරියාවට පැමිණ එරට හමුදාවේ සහ රජයේ ප්‍රධානීන්ගේ හොඳ හිත දිනාගෙන රටේ ප්‍රධාන තනතුර ආසන්නයට ළඟාවන්නට තරම් එලී කොහන් දක්ෂයෙක් විය.කෙසේවෙතත් ඔහු අවසානයේදී සිරියාව තුලම එල්ලා මරාදැමුවද 1967 වර්ෂයේ පැවති සය දින යුද්ධය ජයග්‍රහණය කරන්නට ඊශ්‍රායලයට හැකි වූයේ කොහන්ගේ කැප කිරීම් නිසාවෙනි.
ජීවිතයේ මුල් භාගය
1924 දෙසැම්බර් මස 6 දා ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ පවුලක අට වැනියා ලෙස එලී කොහන් උපත ලැබීය.ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ නගරයේ යුදෙව් ප්‍රජා පාසලකිනි.එසේ වුවද එලී කොහන් තමන් උපන් රාජ්‍යයට වන ඊජිප්තුවට ලැදි අයෙක් විය.
පසුකාලීනව ඔහු ඇලෙක්සැන්ඩ්‍රියා විශ්ව විද්‍යාලයට ඇතුල් වන්නේ විදුලි ඉන්ජිනේරු විද්‍යාව හැදෑරීම පිණිසයි.එම කාල සමයේ ඊජිප්තුව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අතර විශ්ව විද්‍යාල සිසුන් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව උද්ඝෝෂණ කිරීමට සංවිධානය වී සිටියහ.
"ඔහු තම රාජ්‍යය,ඊජිප්තුවට පක්ෂපාතී අයෙක් වුනා.තවද ඔහු හීබෲ ජනයාට ද යුදෙව්වාදයට එනම් ඊශ්‍රායල භූමියේ යුදෙව් රාජ්‍යයක් බිහි කල යුතු යන අරමුණ පෙරදැරි කර ගත් ව්‍යාපාරයටද ලැදි අයෙක් විය " - එලී කොහන්ගේ සහෝදරයා ඇල්බර්ට් ඒබ්‍රහම් කොහන්.
ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රධාන යුදෙව් ධර්මාචාර්යවරයාගේ ආරක්ෂාව යටතේ කොහන් යුදෙව්වාදී ව්‍යාපාරයට එක් වූ අතර 1949 වර්ෂයේදී ඊශ්‍රායලය නම් රාජ්‍යය පිහිටුවීමත් සමග ඔහුගේ පවුලේ උදවිය අලුත් රාජ්‍යය වෙත පදිංචිය සඳහා පිටත්ව ගියහ.
![]() |
| ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය 1950 දශකයේ දිස් වූ අයුරු |
එලී සිය අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කර ගැනීම සඳහා ඊජිප්තුවේ නතර වූයේය.එම කාලය තුල ඔහු ඊශ්‍රායලය විසින් මෙහෙයවන ලද රහස් මෙහෙයුම්වලට සහභාගී විය.ඊජිප්තුවේ තිබෙන ඇමෙරිකානු, බ්‍රිතාන්‍යය ආදී රටවල සිවිල් ඉලක්කවලට පහරදී එහි වගකීම මුස්ලිම් සහෝදරත්වය සහ ඊජිප්ත්තු කොමියුනිස්ට්වාදීන් මත පැටවීමේ සැලැස්මක් ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ විසින් 1954 වර්ෂයේදී ක්‍රියාත්මක කලේය.ඒ සඳහා යොදවාගෙන තිබුණේ ඊජිප්තුවේ ජීවත් වූ යුදෙව්වන්ය.Lavon Affair හෙවත් ඔපරේෂන් සුසෑනා නමින් හැඳින් වූ මෙම මෙහෙයුමේදී ඇමෙරිකානු,බ්‍රිතාන්‍ය වැසියන්ට අයත් සිනමා හල්,පුස්තකාල ඇමෙරිකානු අධ්‍යාපනායතන ආදියේ කාල බෝම්බ සවි කරන ලදි.
මෙහෙයුම අසාර්ථක එකක් වූ අතර ඊට සම්බන්ධ යුදෙව්වන් ඊජිප්තු බලධාරීන්ට හසුවිය.එලී කොහන්ද එම සිදුවීම්වල සැකකරුවෙක් බවට පත් විය.එලී කොහන් ඊජිප්තුව තුල රැදී සිටිමින් එරට සිටි යුදෙව්වන් ඊශ්‍රායලයට යැවීමේ කර්තව්‍යයට සහාය ලබා දුන් වග ඊශ්‍රායලයේ හිටපු අගමැතිවරයෙක් වූ යිට්සැක් රුබින් පසුව තහවුරු කලේය.
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් එලී කොහන් අත් අඩංගුවට ගත්තේ යැයි ඔහුගේ පවුලේ උදවියට දැන ගන්නට ලැබිණි.අනෙක් සැකකරුවන් බන්ධනාගාර ගතවන්නටත් තවත් අයට මරණ දඩුවමට යටත් වන්නටත් සිදු වූ නමුත් සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එලී කොහන් දඩුවම් ලැබීමෙන් ගැලවිණි.1956 වර්ෂයේ සූවස් ඇල අර්බුදයෙන් පසුව එලී කොහන් ඇතුලුව දහස් ගණනක් ඊජිප්තු යුදෙව්වන් ඊශ්‍රායලයට නෙරපා හැරියේය.
ඔත්තුකරුවෙක් වීම සඳහා මග
කොහන් 1957 පෙබරවාරි 8 දා ඊශ්‍රායලයට පැමිණියේය.ඉන් දින පහකට පසුව ඊශ්‍රායල හමුදාව විසින් ඔහුව ප්‍රශ්න කිරීම්වලට ලක් කර තම ජීවිත කතාව ලියන්න යැයි කීය.ඔහු ඊජිප්තුවේ ගත කල ජීවිත කාලය පිටු 8කින් ලියා නිම කලේය.
ඔහුගේ ලිවීම්වල අඩංගු සුවිශේෂී කරුණක් වූයේ තමන් අරාබි,ප්‍රංශ,ඉංග්‍රීසි,ඉතාලි සහ හීබෲ යන භාෂාවන් කතා කරන බවයි.ඔහු ඊජිප්තු,සිරියා සහ ලෙබනන් උප භාෂා සම්බන්ධවද ප්‍රවීණතාවයක් උසුලන ලදි.ඔහුගේ ජීවිත කතාවේ පහළින්ම සඳහන් කර තිබුණේ ඕනෑම අරාබි රටක ඔත්තු බැලීම සඳහා යෑමට කැමැත්තෙන් පසුවන බවයි.
"ඔහු වික්‍රමයක් කරන්නට බලාපොරොත්තු වූයේ නැත.ඔහු හුදෙක් ජාතිමාමකයෙක් පමණි.ඔහු තමන් මුහුණ දෙන්නට යන දේ ගැන හොඳ අවධානයකින් සිටියේය.එසේම සිය ජනතාව දෙවන සමූල ඝාතනයකින් රැක ගැනීමට ස්වේච්ඡාවෙන් ක්‍රියා කරන්නට සූදානමින් සිටියේය.ඔහු ඔත්තුකරුවෙක් ලෙස ජීවත් වන්නට සිහින දැක්කා යැයි මම හිතන්නේ නැහැ.ඔහු හුදෙක් ඊජිප්තුවට සහ යුදෙව්වාදයට පක්ෂපාතී අයෙක් විය." -ඇල්බර්ට් කොහන්
1958 වර්ෂයේදී ඊජිප්තුව සහ සිරියාව එක්සත් වී එක්සත් අරාබි සමූහාණ්ඩුව පිහිටුවා ගත් අතර ඊශ්‍රායලය මෙම සිදුවීම දුටුවේ බරපතල තර්ජනයක් ලෙසයි.සතුරු රාජ්‍යය තුල සිටිමින් සතුරා ගැන ඔත්තු බලමින් විය හැකි ප්‍රහාරයක් සම්බන්ධව තොරතුරු සම්ප්‍රේෂණය කල හැකි විශේෂඥයෙක් වහාම අවශ්‍ය බව තරුණ රාජ්‍යයේ බුද්ධි අංශ තේරුම් ගත්තේය.
![]() |
| එලී කොහන් සහ ඔහුගේ බිරිද නඩියා කොහන් - දෙදෙනාගේ විවාහය 1959 වර්ෂයේ අගෝස්තුවේදී සිදු විය |
ආජන්ටිනාවේ පෑ වික්‍රමය
1961 වර්ෂයේ මුල් භාගයේදී එලීව ආජන්ටිනාවට යැවුනේ ධනවත් සිරියානු ව්‍යාපාරිකයෙක් ලෙස වෙස් ගන්වාය.ඔහු මාස 8ක කාලයක් එරටෙහි වාසය කලේය.ආර්ජන්ටිනා යුදෙව් පුවත්පතක් වන කොමුනිඩඩෙස් හි සහකාර අධ්‍යක්ෂක නටාලිඕ ස්ටයිනර් ඊශ්‍රායල බුද්ධි අංශය සම්බන්ධව ලියූ ලිපියක එලී ආර්ජන්ටිනාවේ ගත කල කාලය ප්‍රලේඛන ගත කර තිබිණි.ඔහු ස්පුට්නික් පුවත් සේවය පැවසූ කාරණා පහත සඳහන් කර තිබේ.
අලුත් අනන්‍යයතාවයක් සමග ඊට අදාල ලිපි ලේඛනත් සැකසීමෙන් පසුව කොහන් හැදින්වූයේ "කමෙල් අමින් තාබෙට්" යන නමින්ය.ආර්ජන්ටිනාවේ රෙදිපිළි වෙළඳාමේ යෙදී පසුව අභාවප්‍රාප්ත වූ සිය යුදෙව් ආජන්ටිනා ඥාතියෙක්ගෙන් පසුව ඊට උරුමකම් කියන සිරියානු ඥාතියෙක් යැයි පසුබිම් කතාවක් එලී කොහන් වටා නිර්මාණය කර තිබිණි.
එලී කොහන් 1961 වර්ෂයේදී ඊශ්‍රායලයෙන් පිටත් ව ස්විස්ටර්ලන්තයේ සූරිච් නගරයට පැමිණ එතනින් චිලී රාජ්‍යයටද අවසානයේ ආර්ජන්ටිනාවටද ලගා විය.දින කිහිපයකට පසුව ඔහු බුවනෝස් අයිරස් හි සිය මිත්‍රයන් හමු වූ අතර එහිදී ඔහුට ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලැබුණු අතර ඉතා ඉක්මණින් ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගන්න යැයි අවවාදයක්ද ලැබිණි.ඉන් මාස 3කට පසුව ඔහු ඒ භාෂාව හොඳින් කතා කරන්නට විය.ඔහු ආර්ජන්ටිනාවේ අගනගරය සම්බන්ධව මනා දැනුමක්ද අත්පත් කරගෙන සිටි බව ස්ටයිනර් පැවසීය.
![]() |
| එලී කොහන් සහ පවුලේ සාමාජිකයෝ |
කොහන්ට පැවරී තිබූ මෙහෙයුම වූයේ බුවනෝස් අයිරස් නගරයේ අරාබි ඩයස්පෝරාව තුලට රිංගා ගැනීමයි.මෙම අරමුණත් සිතෙහි තබාගෙන ඔහු අරාබි ප්‍රජාව පැවැත් වූ විවිධ උත්සව සහ ඉසව් වල සුපුරුදු ආරාධිතයෙක් බවට පත් වූයේය.තමන් කෙරෙහි අන් අයගේ ආකර්ෂණය ලබා ගැනීම සඳහා කොහන් මිල අධික ඇදුම් අදින අයෙක් ලෙස තමන්ව හුවා දැක්වූ අතර නිර්ලෝභීව සිය මුදල් වියදම් කලේය.
ස්ටයිනර් ට අනුව එලී කොහන්ගේ උපාය සාර්ථක වූ අතර ඔහුට ආර්ජන්ටිනාවේ සිරියානු ඩයස්පෝරාවේ ඉහළ මට්ටමේ පුද්ගලයින් ඇසුරු කරන්නටත් ඔවුන් හරහා සිරියාවේ තුල වැදගත් පිරිස් සම්බන්ධ කර ගන්නටත් හැකි විය.
"තමන්ව ප්‍රධාන පෙළේ වෙළෙන්දෙක් වශයෙන් හඳුන්වා දී...එහි ප්‍රතිඵලයක් වශයෙන් අනෙක් පුද්ගලයන් ලවා තමන්ව සිරියාවේ දේශපාලන සහ හමුදා කවයන්ට හි වැදගත් චරිතයන්ට හඳුන්වා දෙන්නට සමත් විය.ඉන්පසුව අරාබි ප්‍රජාව සංවිධානය කරන,ඉහළ පෙළේ චරිත සහභාගී වන විවිධාකාර ඉසව්වන්ට එක්වන්නට කොහන්ට අවස්ථාව උදා විය.මෙවැනි ආකාරයේ කාන්දුවීමකට ඉඩ ලැබුණේ ඔහු සම්බන්ධව නිර්මාණය කල ව්‍යාජ චරිත සහතිකය සහ කතාන්දරයට ස්තූතිවන්නටය" - නටාලිඕ ස්ටයිනර්
එලී කොහන්ගේ මෙහෙයුම සාර්ථක වීමට මූලික වූයේ ඔහුගේ "දේවාශිර්වාදය සහ නිර්ලෝභී පසුම්බිය" මෙන්ම ලතින් ඇමෙරිකාවේ අරාබි ප්‍රජාව විශාල වශයෙන් කියවන සහ ගරු කරන මුන්ඩෝ ඇරබ් පුවත්පතේ ප්‍රධානිය ඇතුලුව පුළුල් සබදතා ජාලය යැයි කොහන් සම්බන්ධව තමන් ලියූ ලිපියේ ස්ටයිනර් සඳහන් කර තිබේ.
ආර්ජන්ටිනාවේදී කොහන් හඳුනා ගත් අයෙකුගේ උදව්වෙන් ඔහුට බුවනෝස් අයර්ස් නගරයේ සිරියානු තානාපති කාර්යාලයට ඇතුල්වන්නට අවස්ථා හිමි වූ අතර එහිදී කොහන්ට,ජෙනරල් අමීන් හෆිස් හමුවිය.ඒ කාලයේදී ජෙනරල්වරයා රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් සඳහා ආර්ජන්ටිනාවට පැමිණ සිටියේය.අමීන් හෆිස් 1963 වර්ෂයේදී සිරියාවේ ජනපති ධූරයට පත් විය.
මුන්ඩෝ ඇරබ් පුවත්පතේ අධ්‍යක්ෂකවරයා සමග කොහන් පැවැත් වූ සාකච්ඡාවකදී ඔහු කියා තිබුණේ සිය මවු රටේ,එනම් සිරියාවේ සංවර්ධනයට සහාය දීම සඳහා තමන් නැවත මව් බිම කරා යෑමට කැමති බවයි.
![]() |
| ආර්ජන්ටිනාවේ බුවේනස් අයිරස් නගරය |
ඩැමැස්කස් සඳහා මාර්ගය
මව් රට බලා යෑමේ සූදානමේදී,කොහන් රහසිගතව ඊශ්‍රායලයට ගියේ ස්විස්ටර්ලන්තයේ ශූරිච් නගරය පැමිණීමෙන් පසුවයි.ඔහු ඊශ්‍රායලයට පැමිණ සිය පවුලේ උදවිය හමු වී,සිරියාව සම්බන්ධව අධ්‍යයනය කලේය.
"ඔහු සති තුනකට ඊශ්‍රායලයට පැමිණියේ අපේ පියාගේ අභාවය හේතුවෙනි" කොහන්ගේ සහෝදරයා වන ඇල්බර්ට් කොහන් පැවසීය."පියාගේ මරණය නිසා ඇති වූ ශෝකයත් සමගම ඔහු ඊශ්‍රායලයෙන් නික්ම ගියේ ඉතාලියට යෑමටයි.ඉතාලියේ ඔහු ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයට නැව් නැග්ගේය.එතැන් සිට ඔහු ලෙබනනයේ බේරූට් වෙත නෞකාවකින් යාත්‍රා කලේය" -ඇල්බර්ට් කොහන්
කොහන්ගේ සොහොයුරාට අනුව එලී කොහන් සිරියාවට ඇරලවන්නේ ලෙබනනයේ මොසාඩ් නියෝජිතයෙකි.කොහන් ලෙබනනයට පැමිණි පසු එම නියෝජිතයා ඔහුත් සමග සිරියානු දේශ සීමා දක්වා පැමිණ,දේශසීමා ආරක්ෂකයෙකුට අල්ලස් දී සිරියාවට ඇතුල් වේ.
"දැඩි ආරක්ෂාවක් නොතිබුණු සමයේ දේශසීමාව තරණය කිරීම එතරම් අසීරු කටයුත්තක් නොවීය.ඔහු සිරියාවට ඇතුල් වූ පසු ඩැමැස්කස් නගරය වෙත පිටත්ව ගියහ" -ඇල්බර්ට් කොහන්
ආර්ජන්ටිනාවේදී අත් කරගත් සබදතා මනාව උපයෝගී කරගෙන එලී කොහන් 1962 වර්ෂයේදී සිරියානු අගනුවර පදිංචි විය.
![]() |
| එලී කොහන් සිරියාවේ ඩැමැස්කස් නගරයේ නවාතැනේ සිටින අයුරු |
1963 වර්ෂයේදී කුමන්ත්‍රණයක් ඔස්සේ ජනපති ධූරයට පත් වූ ජෙනරල් අමීන් හෆිස් සමග එලී කොහන් මුල්ම සහ ප්‍රමුඛම කතා බහ සිදු විය.ජෙනරල්වරයා කොහන් දැන සිටියේ "කමෙල් අමින් තාබෙට්" නම් උගත්, දේශමාමක සහ සිරියාවේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින සාර්ථක ව්‍යාපාරිකයෙක් ලෙසයි.
![]() |
| සිරියානු ජනපති අමීන් හෆිස් ඇතුලු පිරිස සමග එලී කොහන්(1963-1966) |
"සාර්ථක බොරුකාරයෙක් වන්නට අවශ්‍ය ඕනෑම කෙනෙකුට අනර්ඝ මතකයක් තිබිය යුතුය.එලී හට එවැනි ආශ්චර්යයවත් මතකයක් තිබිණි.එම හැකියාව නිසා ඔහුට සිරියාවේ ඉහළ පෙළේ නායකත්වය පවා මුලා කරමින් කටයුතු කරන්නට ඉඩ ලැබිණි" යැයි ඇල්බර්ට් කොහෙන් පැවසීය.
එලී කොහන් හසුවීමෙන් පසුව ඔහු අධිකරණය ඉදිරියේ ලබා දුන් වාචික සාක්ෂිය ඔත්තුකරුවාගේ සොහොයුරා විසින් පෙන්වන ලදි.මෙම ඊශ්‍රායල නියෝජිතයා සිරියානු දේශපාලන කවයේ කොතරම් ගැඹුරට කාන්දු වී තිබේද යන්න එමගින් හෙළි වේ.
"අමාත්‍යාංශ කිහිපයක් සහ රජයේ අනෙකුත් කාර්යාංශ වෙත රිංගා ගන්නට මට හැකි වුනා.ඒවා අතර ආරක්ෂක,ආර්ථික,තොරතුරු සහ අභ්‍යන්තර සබදතා ආදී අමාත්‍යාංශ මෙන්ම මහ බැංකුව වැනි ආයතනද තිබේ." යනුවෙන් එලී කොහන්ගේ වාචික සාක්ෂියේ සඳහන් වේ.
විශ්වාසවන්ත මූලාශ්‍රවල උදව් ඇතිව ඔහුට නොමිලේම තොරතුරු ලබා ගත හැකි විය.1960 දශකයේ මුල් භාගයේ සිරියාවේ දේශපාලනික,ආර්ථික සහ යුදමය වාතාවරණය සම්බන්ධව වැදගත් තොරතුරු ඔහු විසින් ඊශ්‍රායලයට සැපයීය.
ඔහු විසින් සපයන ලද ප්‍රධාන වශයෙන්ම වැදගත් තොරතුරු වූයේ සිරියාව ඉරාකය සමග පවත්වන හමුදාමය සහයෝගීතාවය,ඩැමැස්කස් රජයට ලැබෙන සෝවියට් යුදෝපකරණ සැපයුම් සම්බන්ධ රහස් තොරතුරු මෙන්ම ගෝලාන් උස්බිම් වල කාලතුවක්කු සහ ආරක්ෂක සංවිධාන ඇතුලුව සිරියානු සන්නද්ධ හමුදාවන්හි විස්ථාපනයන්ය.
ඊශ්‍රායලයේ ප්‍රධානතම පිරිසිදු ජල ප්‍රභවයක් වන ජෝර්දාන නදිය ඊශ්‍රායලයට අහිමි කරමින් එය වෙනතකට හැර වීමේ සිරියානු සැලැසුම්ද කොහන් විසින් හෙළිදරව් කරන ලදි.
මෙම තොරතුරුවලට අමතරව එලී කොහන් නිරන්තරයෙන් ඡායාරූප,යුද සිතියම් සහ ටෙල් අවිව් රජයට උපාය මාර්ගික වශයෙන් වැදගත් ලියකියවිලි විශාල ප්‍රමාණයක් සපයන ලදි.
1963-1969 සමයේ ඊශ්‍රායලයේ අගමැති ධූරය හෙබවූ ලෙවි එෂ්කොල්,එලී කොහන්ව දැඩි ලෙස ප්‍රශංසාවට ලක් කරන ලදි.කොහන්ගේ ප්‍රයත්නයන් නිසා බොහොමයක් ඊශ්‍රායල සෙබලුන්ගේ ජීවිත ආරක්ෂා වූ බවත්,ඔහු ලබා දුන් මිල කල නොහැකි තොරතුරුවල උදව්වෙන් ඊශ්‍රායලයට සයදින යුද්ධයේදී දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නට හැකි බවත් ඔහු කීවේය.
1967 ජූනි 5 සිට ජූනි 10 දක්වා ඇදී ගිය සය දින යුද්ධය ඇරඹෙන්නේ ඊශ්‍රායලය ඊජිප්තුවට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කිරීමත් සමගයි.එහිදී ඔවුන් ඊජිප්තු ගුවන් හමුදාව අතු ගා දැමූහ.පසුව සිරියාව,ජෝර්දානය, ඉරාකය සහ ලෙබනනය යුද්ධයට එක් විය.නමුත් ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨ නායකත්වය,අනර්ඝ හමුදා පුහුණුව සහ ඔත්තු සේවා හමුවේ සතුරු රාජ්‍යයන් පරාජයට පත් වූහ.යුද්ධය අවසන් වූයේ බටහිර ඉවුර,ගාසා තීරය, ගෝලාන් උස්බිම් සහ 1973 වර්ෂයේදී යොම් කිපූර් යුද්ධයේදී ඊජිප්තුව යළි දිනා ගත් සම්පුර්ණ සිනායි අර්ධද්වීපය ඇතුලු භූමි ප්‍රදේශ ඊශ්‍රායලයේ පාලනයට නතු වීමෙන්ය.
![]() |
| ඊශ්‍රායල යුද රථ පෙළක් ඊජිප්තුවේ දකුණුදිග සිනායි ප්‍රදේශයේ ගමන් කරන අයුරු,සය දින යුද්ධයේදී ඊශ්‍රායලය විසින් සිනායි අර්ධද්වීපය ආක්‍රමණය කිරීම,1967 ජූනි 7. |
ඊශ්‍රායලය සහ බටහිර ඉතිහාසය ලිවීම්වල එලී කොහන් සම්බන්ධව නිතරම සඳහන් වන දෙයක් වන්නේ ඔහුට සිරියාවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වීමේ වාසනාව හෝ සිරියාවේ ජනපති ධූරය දක්වා ගමන් කිරීමට හැකියාව තිබූ බවයි.කෙසේ වෙතත් සිරියානු දේශපාලන විශේෂඥයෙක් වන ටසින් හලාබි මෙම කාරණාව ප්‍රතික්ෂේප කරයි.ඔහුට අනුව ඊශ්‍රායලය මෙම ඔත්තුකරුවාගේ සාර්ථකත්වය අතිශෝක්තියෙන් හුවා දක්වා තිබේ.
"එලී කොහන් සිරියාවේ ජනපති ධුරය ආසන්නට පැමිණියා හෝ ආරක්ෂක අමාත්‍ය ධූරයට පත් වන්නට සුදුසුව සිටියා යන්න ඊශ්‍රායල බුද්ධි අංශ විසින්ම පතුරවා හැරි පුන පුනා කියන මිත්‍යාවකි.ලෝකයේ ඕනෑම දේශපාලන හෝ හමුදා පද්ධතියක් පාලනය කිරීමට හැකි සර්වබලධාරී ව්‍යුහයක ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ විය" - ටසින් හලාබි
එලී කොහන්ගේ වඩාත් වැදගත්ම දායකත්වය ලැබුණේ ගෝලාන් උස්බිම් සම්බන්ධව උපාය මාර්ගිකව වැදගත් තොරතුරු ලබා සොයා ගැනීමේදීය.ගෝලාන් උස්බිම්වලට නිතර ආ ගිය ඔහු එහි සිරියානුවන්ගේ ආරක්ෂක සංවිධානය සම්බන්ධ තොරතුරු සහ ඡායාරූප ඊශ්‍රායලයට ලබා දුන්නේය.ඔහු හෙළි කර ගත් වැදගත් කරුණක් වන්නේ ගෝලාන් උස්බිම්වල සිරියානුවන්ගේ මෝටාර් අවි සහ බංකර් සහිත අනුක්‍රමික පේලි තුනක් තිබෙන බවයි.නමුත් ඊශ්‍රායලය සිතා සිටියේ වැනි පේලි එකක් පමණක් එහි ඇතැයි කියාය.
එලී කොහන්ගේ උපදෙස් මත 1960 දශකයේ මුල් භාගයේදී සිරියානු හමුදාව ගෝලාන් උස් බිම්වල හමුදා මුර පොලවල් සහ බංකර් ආවරණය වන සේ ගස් සිටවන ලද්දේ සෙබලුන්ට අව් රශ්මියෙන් ඇති වන පීඩා වළක්වාලීමට යැයි පවසමින්ය.නමුත් එහි සැබෑ අරමුණ වූයේ යුද්ධයකදී ඊශ්‍රායල ගුවන් හමුදාවට පහසුවෙන් ඉලක්ක ගැනීමට අවස්ථාව සලසා දීමයි.ඔහුගේ මෙම උපක්‍රමය හේතුවෙන් සය දින යුද්ධයේදී ගෝලාන් උස්බිම් සිරියාවෙන් පැහැර ගන්නට ඊශ්‍රායලය සමත් වූයේ ගස් සිටවා සලකුණු කල ඉලක්ක වෙත පහසුවෙන් බෝම්බ හෙළමින්ය.
සිරියාවට ලැබුණු සියලු සෝවියට් අවි සම්බන්ධ තොරතුරු සහ ඊශ්‍රායලයට එරෙහි සිරියානු ගුවන් හමුදාවේ මෙහෙයුම්වල වැදගත් තතු ඔහු විසින් ඊශ්‍රායලයට සපයන ලදි.
අනාවරණය සහ මරණ දඩුවම
1965 ජනවාරි මාසයේදී එලී කොහන් සිය නවාතැනේදී සිරියානු බුද්ධි අංශයේ අත් අඩංගුවට පත් වේ.ඉන් මාසයකට පසුව ඔහුව නඩු විභාගයකට ඉදිරිපත් කර පසුව එල්ලා මරණයට පත් කරන ලදි.1965 මැයි මස 18දා ඔහුව ඩැමැස්කස් චතුරස්‍රයේදී එල්ලා මරණයට පත් කල අතර ඔහුගේ සිරුර පැය හයක් එල්ලා තැබූ බව සඳහන් වේ.
ඊශ්‍රායල දේශපාලන විචාරකයෙක් සහ නේටිව් ආරක්ෂක සේවයේ හිටපු ප්‍රධානී යාකොව් කෙඩ්මි,එලී කොහන් හිර භාරයට ගැනීමත්,මරණ දඬුවමට ලක් කිරීමත් සම්බන්ධව තොරතුරු සැපයීය.
"ඔහුව අනාවරණය කර ගැනීම සහ මරණයට පත් කිරීම මොසාඩ් සංවිධානය සහ ඊශ්‍රායල බුද්ධි අංශ විසින් පුන පුනා සහ ගැඹුරින් විශේලේෂණය කලහ.කෙසේවෙතත් මෙම මෙහෙයුමේදී සෝවියට් භූමිකාව සිත් ගන්නා සුළුය.ඔවුන් ගුවන් විදුලි තරංග අන්තඃඛණ්ඩනය සඳහා විශේෂිත උපාංග සපයා දුන්හ" - යාකොව් කෙඩ්මි
කොහන් අතින් වැරදි සිදුවූ බව ඊශ්‍රායල විමර්ශනයන්හිදී සනාථ වූ අතර එම වැරදි සෝවියට් උපකරණ සමග උච්චස්ථානයට පත් වූයේ ඔහුගේ නස්පැත්තියත් සමගයි.
![]() |
| දිනය 1965 මැයි 9 දා යැයි සඳහන් මෙම ඡායාරූපයේ වම් පසින් සිටින්නේ එලී කොහන්ය.අනෙක් දෙදෙනා නාඳුනන විත්තිකරුවන් දෙදෙනෙකි,කොහන් එල්ලා මැරීමට දින 10කට පෙර ඩැමැස්කස් හි සිය නඩු විභාගයට සහභාගී වෙමින්. |
අඩ සියවසක් ඉක්ම යෑමෙන් පසුවත් එලී කොහන්ගේ හසුවීම සම්බන්ධ නිල කතාන්දරය අභිරහසකින් ආවරණය වී තිබේ.සිය සහෝදරයාගේ වෙස් මුහුණ ගැලවීමට හේතු විය හැකි කරුණු තුනක් ඇල්බර්ට් කොහන් විසින් ප්‍රකාශ කරන ලදි.
පළමු වැන්නට අනුව,කොහන්ගේ හසුවීමත් සමග ජනපති අමීන් හෆිස් ප්‍රකාශ කලේ ඩැමැස්කස් හි ඉන්දියානු තානාපති කාර්යාලය නවදිල්ලිය සමග ගුවන් විදුලි සන්නිවේදනයේදී බාධාවක් මතුවන බවට පැමිණිලි ලැබුණු බවයි.එය විමර්ශනයක් කිරීමට මග පැදූ අතර සෝවියට් දේශයෙන් ලැබුණු දියුණු රේඩියෝ පණිවිඩ අන්තඃඛණ්ඩණ උපාංග යොදාගෙන බාධාවට මුල් වන මූලාශ්‍රය සොයා යෑමේදී එලී කොහන් සිරියානු බුද්ධි අංශවලට හසුවන්නේ සිය නවාතැන් පොලේ සිට ගුවන් විදුලි සංඥා මගින් තොරතුරු සම්ප්‍රේෂණයේ යෙදී සිටියදීය.
දෙවැන්නට අනුව එලි කොහන් පළමුව හඳුනා ගන්නේ ඊජිප්තු බුද්ධි අංශ විසින්ය.ඔහු සිරියානු සහ ඊජිප්තු හමුදා නිලධාරීන් සමග ගෝලාන් උස්බිම්වල සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ඊජිප්තු බුද්ධි අංශවල අවධානයට ලක් වේ.කොහන් ඊශ්‍රායල ඔත්තුකරුවෙක් යැයි පසුව ඊජිප්තු පාර්ශ්වය විසින් අනාවරණය කර ගැනේ.
වඩාත් විස්තරාත්මක තුන්වැනි හේතුව ඉදිරිපත් කලේ සිරියානු බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී අහමඩ් සුවයිඩානි විසින්ය.ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශයට සේවය කරන්නේ යැයි සැක කල සහ සෝවියට් දේශයෙන් ඩැමැස්කස් රජයට ලැබුණු මිසයිල රහසිගතව සයිප්‍රසයට ගෙන යාමට සැලසුම් කරමින් සිටි සිරියානුවන් දෙදෙනෙක් සම්බන්ධව 1960 දශකයේ මුල් භාගයේදී සිරියානු ප්‍රති-බුද්ධි අංශවල අවධානය යොමු වී තිබිණි.මාස 7ක කාලයක් නිරීක්ෂණය කිරීමෙන් පසුව බුද්ධි අංශ විසින් හෙළි කර ගත්තේ මෙම සැකකරුවන් දෙදෙනා නිතරම එලී කොහන්ගේ නවාතැනේ අමුත්තන් වන බවයි.
මෙම පුද්ගලයන් 1964 වර්ෂයේ අග භාගයේදී අත් අඩංගුවට පත් පසු,එලී කොහන් බුද්ධි අංශවල නිරීක්ෂණයට භාජනය වූ අතර පසුව ඔවුන් දෙදෙනා රාජ්‍යද්‍රෝහීත්වය යටතේ නඩු විභාග කර 1965 පෙබරවාරි මාසයේදී ඩැමැස්කස්හිදී මරණයට පත් කලෝය.
සුවයිඩානි ඉදිරිපත් කරන කතාවට අනුව 1965 ජනවාරි මස 18දා ආරක්ෂක අංශ සැබවින්ම කොහන්ගේ නවාතැනට කඩා වදියි.නමුත් ඒ අවස්ථාවේදී ඔහු ගුවන් විදුලිය යන්ත්‍රයට සවන් දෙමින් සිටියා මිස තොරතුරු සම්ප්‍රේෂණයක නිරතව නොසිටියේය.නවාතැන් පොල පරීක්ෂා කිරීමේදී ගුවන් විදුලි සම්ප්‍රේෂකයක් සහ තවත් සැක කටයුතු අයිතමයන් සොයා ගන්නට විමර්ශකයෝ සමත් විය.
![]() |
| එලී කොහන් 10,000කට වැඩි ජනකායක් මධ්‍යයේ ඩැමැස්කස් චතුරස්‍රයේදී එල්ලා මරණ ලද්දේ 1965 මැයි 18දාය. |
සිරියානු අධිකරණ වාර්තා උපුටා දක්වමින් ඇල්බර්ට් කොහන් සඳහන් කර සිටියේ සිරියානු නාවික හමුදා සම්බන්ධ තොරතුරු සඳහා ඇමෙරිකානුවන් ඩොලර් 50,000ක් ගෙවීමට සූදානම් යැයි එලී කොහන් සහ හවුල්කාර කුමන්ත්‍රණකරුවා සිරියානු නාවික හමුදා නිලධාරියෙකුට පැවසූ බවයි.එලී කොහන් ඇමෙරිකානු ඔත්තු සේවා සමග සහයෝගයෙන් ක්‍රියා කරන බවට චෝදනා කිරිමට මෙම සාක්ෂිය හේතු වූයේය.
අත් අඩංගුවට ගැනීමෙන් දින පහකට පසුව එනම් 1965 ජනවාරි 22දා එලී අත් අඩංගුවට ගත් බව සිරියාව නිවේදනය කලේ යැයි ඔහුගේ සහෝදරයා පවසයි.බොහෝ කාලයක පටන් සිරියානුවන් ඔහුව සැක කල බව තීරණය කරන්නට මෙය හේතුවක් යැයි ඇල්බර්ට් කොහන් කීය.
සිය සහෝදරයාගේ අවසානය ආරම්භ වූයේ ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය සමග වැඩ කල අරාබි ජාතිකයින් දෙදෙනා අත් අඩංගුවට පත් වීමෙන් යන සුවයිඩානි විසින් ඉදිරිපත් කරන කතාවට කොහන්ගේ සහෝදරයා එකඟ වේ.
එලී කොහන්ගේ අවසන් මොහොත
වසර 50කට වැඩි කාලයක් ඉක්මවා ගොස් තිබුණත් ඊශ්‍රායලයේ සිටින කොහන්ගේ පවුලට ඔහුගේ මෘත දේහයේ කොටස් භාර දීම සිරියානු පාර්ශ්වය ප්‍රතික්ෂේප කරයි.
![]() |
| බිරිද නඩියා කොහන් |
සිරියානු රජය ඊශ්‍රායලයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන් තවදුරටත් එලී කොහන්ගේ මෘත දේහය හඳුනා ගැනීමට නොහැකි තැනට පත් ව තිබීම නිසා යැයි යැකොව් කැඩ්මි පවසයි."ඔහුගේ සොහොන තිබෙන තැන හඳුනා ගැනීමටත්,සිරුරු කොටස් ගෙන්වා ගැනීමටත් ඊශ්‍රායලය පුන පුනා උත්සාහ කලේය.නමුත් සත්‍යය වන්නේ ඩැමැස්කස් රජය එලී කොහන්ගේ සිරුර තිබෙන්නේ කොහේ දැයි නොදැන සිටීමයි.සිවිල් යුද්ධය අවස්ථාවේ ඔහුගේ සිරුර සොයා ගැනීම තවදුරටත් කල නොහැක්කකි.සිරියාව යෝජනාව මුලින්ම ප්‍රතික්ෂේප කල දේශපාලනිකව වන්නට ඇත.අද වන විට ඔවුන්ට පවා සොහොන හඳුනා ගැනීමට හැකියාව නොමැත" යනුවෙන් කැඩ්මි කියා සිටියේය.
එලී කොහන්ට අයත් යැයි සැලකෙන අත් ඔරලෝසුවක් මොසාඩ් සංවිධානයේ විශේෂ මෙහෙයුමක් හරහා සොයා ගන්නට හැකි වූ බව 2018 වර්ෂයේදී මාධ්‍ය වාර්තා කලේය.මෙම අත් ඔරලෝසුව 2018 මැයි මාසයේදී මොසාඩ් සංවිධානයේ අධ්‍යක්ෂක යොසී කොහන් විසින් එලී කොහන්ගේ බිරිද ඇතුලු පවුලේ උදවියට දැක බලාගන්නට අවස්ථාව ලබා දි දැනට මොසාඩ් මූලස්ථානයේ ප්‍රදර්ශනයට තබා තිබේ.
සමහරෙකුට අමරණීය වීරයෙක්,සමහරෙකුට සදාතනික සතුරෙක්
ඊශ්‍රායලය තුල එලි කොහන් යනු ප්‍රතිමූර්තියක්,ජාතික වීරයෙක් සහ එරට ඉතිහාසයේ වඩාත්ම සාර්ථක ඔත්තුකරුවාය.තම සොහොයුරා නිර්භීත අයෙක් බව ඇල්බර්ට් කොහන් පවසයි."එලී කොහන් නිර්භීත සටන්කරුවෙක්,ඊශ්‍රායල රාජ්‍යය වෙනුවෙන් සේවය කල නිර්නාමික සොල්දාදුවෙකි.ඔහු නිල ඇදුමක් රහිත සෙබලෙකි.ඔහු අපේ මතක එකතුවේ සදාකාලික ජාතික වීරයෙක් ලෙස සිටිවි" - ඇල්බර්ට් කොහන්.
![]() |
| 281 වන වෛද්‍ය රෙජිමේන්තුව එලී කොහන්ගේ සමරු ඵලකයක් ගෝලාන් උස් බිම්වල පිහිටුවා ඇති අයුරු |
අනෙක් පසින් ටසින් හලාබි විශ්වාස කරන්නේ සිරියාව විනාශ කිරීම කොහන්ගේ මෙහෙයුම වූ බවයි.
"1949 වර්ෂයේ පටන් සිරියාවේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්නට එක්සත් ජනපදය කිහිපවාරයක්ම උත්සාහ කලද ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය.සෝවියට් දේශය සමග හොඳ සබදතාවයක් පවත්වාගෙන ගිය සිරියානු රජය සම්බන්ධව ඇමෙරිකානුවන් තෘප්තිමත් වූයේ නැත.ඔවුන්ගේ අසාර්ථකත්වය මධ්‍යයේ සිරියානු රාජ්‍යය විනාශ කිරීමේ කාර්යය මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශයට බාර දෙන ලදි.එලී කොහන් සිරියාවට යවන්නේ එම හේතුව නිසාවෙනි" - ටසින් හලාබි
නේටිව් ආරක්ෂක සේවයේ හිටපු ප්‍රධානී යැකොව් කැඩ්මි කියන පරිදි අවාසනයේදී කොහන් සාර්ථක වූ බවයි."එලී කොහන් යනු ඊශ්‍රායලයේ වඩාත් සාර්ථකම ඔත්තුකරුවන්ගෙන් අයෙකි.ඔහු ඒ සඳහා සිය ජීවිතයෙන් වන්දි ගෙව්වා.ඕනෑම රටක එවැනි පුද්ගලයෙක් ජාතික වීරයෙක් ලෙස සැලකුම් ලබයි.සම්පුර්ණ ඊශ්‍රායලයම ඔහුගේ මතකයට ගෞරව කරනවා" යැයි යැකොව් කැඩ්මි පැවසීය.
එලී කොහන් සම්බන්ධව නිර්මාණය කල The Impossible Spy චිත්‍රපටය 1987 වර්ෂයේදී නිකුත් කරන ලදි.
source:sputniknews.com
සය දින යුද්ධයේ ඊශ්‍රායල රහස් අවිය - එලී කොහන්
Reviewed by HarshaLulzSec
on
February 02, 2019
Rating:
Reviewed by HarshaLulzSec
on
February 02, 2019
Rating:
















No comments: