Support Our Blog

Shop on Daraz & help us create more content!

බුරාන් ෂටලයේ සිට කැස්පියන් මුහුදු රාක්ෂයා දක්වා:විශිෂ්ඨ සෝවියට් ව්‍යාපෘති 5ක්

soviet-epic-projects-legacy

ටුපලෙව්-144 සුපර් සොනික් මගී ගුවන් යානය සේවයට එක් වූයේ මීට වසර 43කට ප්‍රථමයෙන්ය.සීතල යුද සමයේදී සෝවියට් දේශය විසින් හඳුන්වා දුන් ඉන්ජිනේරු විද්‍යාවේ මහා අනර්ඝ නිමැවුම් පහක් සම්බන්ධව මෙම ලිපිය ඔස්සේ කතා කරමු.



 ටුපලෙව්-144 - සෝවියට් කොන්කෝඩ් යානය

ලොව තිබූ වාණිජ සුපර් සොනික් මගී ප්‍රවාහන ගුවන් යානා දෙකෙන් එකක් වන්නේ සෝවියට් දේශය සතු වූ ටුපලෙව්-144 යානයයි.අනෙක් බ්‍රිතාන්‍ය-ප්‍රංශ ඒකාබද්ධ උත්සාහයකින් නිර්මාණය කල කොන්කෝඩ් යානයයි.ටුපලෙව්-144 යානය සිය මංගල ගුවන් ගමන සිදු කරන්නේ 1968 දෙසැම්බර් මස 31දාය.ඒ එහි තරඟකරුවා වූ කොන්කෝඩ් යානය ගුවන් ගත වන්නට මාස දෙකකට පෙරදීය.ටුපලෙව්-144 යානයේ සීරු මාරු කල හැකි උල් හැඩැති නාසය ගොඩබෑමේදී සහ ගුවන් ගත කිරීමේදී පහත් කිරීමටත්,පියාසැරියේදී තිරස් මට්ටමට ගෙන ඒමටත් හැකි වන සේ නිර්මාණය කර තිබුණේ ගුවන් නියමුවන්ගේ පෙනීමේ පහසුව උදෙසාය.

ටුපලෙව්-144 යානය පියාසර කරමින්,1973.

 1975 දෙසැම්බර් මස 26 දා ටුපලෙව්-144 යානය මොස්කව් සහ කසකස්තානයේ අල්මාටි නගර අතර තැපැල් සේවයේ ප්‍රවාහන කටයුතු ඇරඹීය.ඉන් වසර දෙකකට පසුව එය එම මාර්ගයේම පළමු වරට මගීන් ප්‍රවාහනය ආරම්භ කලේය.කි.මී. 3,200 දුර සම්පුර්ණ කිරීමට ටුපලෙව් යානයට ගත වූයේ පැය දෙකක් පමණි.සාමාන්‍යය මගී ගුවන් යානයකට එමෙන් දෙගුණයක කාලයක් ගත වේ.

මොස්කව් සිට ලොව පුරා ගමනාන්ත දක්වා සුපර් සොනික් ගුවන් ගමන් සිදු කිරීමට ටුපලොව්-144 නිර්මාපකයෝ සතුව විශාල සැලසුම් තිබිණි.ගමනාන්ත යුරෝපය,ජපානය සහ කියුබාව ආදිය ඇතුලත් විය.නමුත් මෙම යානය සෝවියට් දේශය හැර ගියේ 1970 දශකයේදී ප්‍රංශයේ ලෙ බොර්ගෙට් හි ගුවන් සේවා ප්‍රදර්ශනයක් සඳහා පමණි.1973 වර්ෂයේදී පැරිස් ගුවන් සේවා ප්‍රදර්ශනය අතරතුර මගීන් 14 දෙනෙකුට මරු කැදවමින් සිදු වූ අනතුරෙන් පසුවයි.

ටුපලෙව්-144 යානයේ 1997 වර්ෂයේදී ගුවන් සේවා ප්‍රදර්ශනයකට එක් කර තිබූ අයුරු

1978 වර්ෂයේ සිදු වූ තවත් අනතුරකින් දෙදෙනෙක් මරණයට පත් විය.ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න සහ පාඩු ලැබීම නිසා ටුපලෙව්-144 මගී ගුවන් යානයට සමු දෙන්නේ ගුවන් ගමන් වාර 55ක් පමණක් සම්පුර්ණ කිරීමෙන් පසුවයි.එය 1999 වර්ෂය දක්වා අතරින් පතර භාණ්ඩ ප්‍රවාහනයේ නිරත විය.කොන්කෝඩ් යානය විශ්‍රාම යෑමට වසර 4කට පෙර එහි සෝවියට් තරඟකරුවා සේවයට සමු දුන්නේය.



බුරාන් - සෝවියට් අභ්‍යාවකාශ ෂටලය

ටුපලෙව්-144 යානයේ උරුමය නොනැසී පවත්වාගෙන ගිය එක් මාර්ගයක් වූයේ සෝවියට් අභ්‍යාවකාශ ෂටලය වන බුරාන්(රුසියානු බසින් "හිම කුණාටුව")හි කාර්ය මණ්ඩලය පුහුණු කිරීමයි.1973 වර්ෂයේදී ආරම්භ වූ බුරාන් ෂටල ව්‍යාපෘතිය,අභ්‍යාවකාශ ගාමීන් සහ භාණ්ඩ පෘථිවි කක්ෂයට ගෙන යාමටත් එහි සිට පොළොවට ගෙන ඒමටත් යොදා ගත් ඇමෙරිකානු අභ්‍යාවකාශ ෂටලයේ ප්‍රතිවාදියා විය.

සිය පළමු සහ එකම ගුවන් ගමනෙන් පසුව බුරාන් යානය ගොඩබසින අයුරු,1988.

මෙම ව්‍යාපෘතිය සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර ඊට සෘජුව සහ වක්‍රාකාරයෙන් සෝවියට් දේශයේ සිව් දිගින් එක් වූ පිරිස මිලියන 2.5ක් පමණ වෙතැයි කිය වේ.බුරාන් ෂටලයේ මංගල පියාසැරිය යොදාගෙන තිබුණේ 1984 වර්ෂයට වුවද එය 1988 වර්ෂය දක්වා කල් දැමිණි.බුරාන් ෂටලය කක්ෂ ගත කිරීමට සහාය වූයේ සෝවියට් දේශය එතෙක් නිර්මාණය කර තිබූ බලවත්ම රොකට්ටුව වන "එනජියා" රොකට්ටුවයි.


බුරාන් අභ්‍යාවකාශ යානයේ පළමු සහ එකම ගුවන් ගමන අද්විතීය එකක් වූයේ එය අභ්‍යාවකාශ ගත වීම සහ ගොඩ බෑම ආදී සියලු ක්‍රියා පාලනය පෘථිවියේ සිට දුරස්ථව පාලනය කල නිසා වෙනි.එනම් බුරාන් යානය ගුවන් ගත වන්නේ ඒ තුල මිනිස් නියමුවන් රහිතවයි.එය පැය හතරක් ඇතුලත පෘථිවිය වටා දෙවරක් භ්‍රමණය වී සුරක්ෂිතව යළි ගොඩ බෑවේය.සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව,ආර්ථික අපහසුතා නිසා බුරාන් ව්‍යාපෘතිය 1993 වර්ෂයේදී සදහටම නවතා දමන ලදි.



ඇන්ටනොව්-225 මරියා - මෙතෙක් නිපදවූ විශාලතම ගුවන් යානය

බුරාන් ෂටලය ඔසවා ගෙන පියාසර කල මෙම යානය ඇන්ටනොව්-225 මරියා(යුක්‍රේන බසින් "සිහිනය") නම් වේ.යුක්‍රේන සෝවියට් ජනරජය විසින් සැලසුම් කල මෙම දැවැන්තයාගේ ආරම්භක අරමුණ වූයේ බුරාන් අභ්‍යාවකාශය ප්‍රවාහනය කිරීමයි.එහි මංගල ගුවන් ගමන 1988 වර්ෂයේදී සිදු වූ අතර 1989 වර්ෂයේදී සේවයට එක් විය.

මරියා යානය බුරාන් ෂටලය රැගෙන පියාසර කරමින්,1989.

දැනට ලොව තිබෙන විශාලතම ගුවන් යානා වලින් එකක් වන මෙය මීටර් 84ක දිගකින්ද පියාපත් දිග හැරුම මීටර් 88.4ක්ද සහිතය.

මෙම වර්ගයේ එක් යානයක් පමණ නිපදවා තිබෙන අතර රුසියාව සහ යුක්‍රේනය යන රටවල සමාගම් ඇන්ටනොව්-225 යානයේ සේවය ලබා ගත්හ.කිලෝ ග්‍රෑම් 390 බර භාණ්ඩ රැගෙන යා හැකි වුවද එවැනි බරක් සහිතව යානයට ගුවන් ගත වීමට හැකි වේද යන්න මුලදී ප්‍රශ්නාර්ථයක් විය.

යුක්‍රේනයේ ඇන්ටනොව්-225 යානයක් 2001 වර්ෂයේදී රුසියානු ගුවන් සේවා ප්‍රදර්ශනයකට එක් වූ අවස්ථාවක්

දැනට මෙහෙයුම් සිදු කරන එකම මරියා යානය යුක්‍රේනයේ ඇන්ටනොව් ගුවන් සේවා සමාගම සතුය.එය කාර්මික සහ හමුදා උපකරණ ප්‍රවාහනයට භාවිතා කෙරේ.



කැස්පියන් මුහුදු රාක්ෂයා

ඇන්ටනොව්-225 මරියා යානයට පෙර වැඩිම බර රැගෙන ගිය යානය ලෙස වාර්තාව සතු කර ගෙන සිටියේ රුසියානු බසින් "Корабль-макет" නැතිනම් "නෞකා මූලාකෘතිය" නමින් හැඳින්වූ අද්විතීය සෝවියට් ගොඩබිම් ආචරණ යාත්‍රාවයි.එය නිර්මාණය කරන ලද්දේ 1960 දශකයේදීය.

කැස්පියන් මුහුදු රාක්ෂයා යාත්‍රා කරන අවස්ථාවක්

මෙය භාණ්ඩ රැගෙන උඩු ගුවනේ පියාසර කල යාත්‍රාවක් නොවේ.ගොඩබිම් ආචරණ යාත්‍රා යනු පොළොව මට්ටමට ඉතා ආසන්නයෙන් පියාසර කරන පියාපත් සහ පොළොව හෝ ජල තලය අතර ඇති කර ගන්නා එසවුම් බලය යොදාගෙන යාත්‍රා කරන ගුවන් යානයකුත් නොවන නෞකාවකුත් නොවන විශේෂිත යානයකි.

කැස්පියන් මුහුදු රාක්ෂයා යන අන්වර්ත නාමයෙන් හැදින්වූ මෙම යානය ටොන් 304ක උපරිම බරක් සහිත භාණ්ඩ රැගෙන පැයට කි.මී. 400කට වැඩි වේගයෙන් යාත්‍රා කල හැකිවිය.එය සංවර්ධනය කිරීම සහ ගොඩනැගීම ඉතා රහසිගතව සිදු කෙරුණු අතර කැස්පියන් මුහුදේ වසර 15ක කාලයක් තිස්සේ අත්හදා බැලීම්වලට ලක් කෙරිණි.

කැස්පියන් මුහුදු රාක්ෂයාට ඉන්ධන ලබා දෙන අවස්ථාවක්

1980 වර්ෂයේදී මෙම සුවිශේෂී නිමැවුමේ නිර්මාපකයා මරණයට පත් වූයේ තවත් එවැනිම යානයක් අත්හදා බැලීමේ නිරතව සිටියදීය.ඔහුගේ අභාවයෙන් පසුව කැස්පියන් මුහුදු රාක්ෂයාගේ ආයු කාලයද අවසන් විය.නියමුවාගේ වරදකින් යානයට හානි සිදුව දින කිහිපයක් ජලයේ පාවෙමින් තිබී පසුව ගිලී ගියේය.



ලෙනින් - න්‍යෂ්ඨික බලයෙන් ධාවනය වන අයිස් කඩනය

මිදී ගිය මුහුදු නාවික ගමන් මාර්ග වල අවහිරයන් ඉවත් කිරීමේ කාර්යය සඳහා 1957 වර්ෂයේදී සෝවියට් දේශය විප්ලවකාරී පියවරක් තැබුවේ ලොව ප්‍රථම න්‍යෂ්ඨික බලයෙන් ධාවනය වන නෞකාව හඳුන්වාදීම හරහාය.අයිස් සහ යුරේනියම්වලින් පොහොසත් රුසියාව ලෙනින් නම් අයිස් කඩන යාත්‍රාව සේවයට එක් කිරීම හරහා නෞකා නිෂ්පාදනයේ නව ප්‍රවණතාවයක්ද ඇති කරන ලදි.

ලෙනින් නෞකාව සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයෝ 1960 වර්ෂයේදී ආක්ටික් අයිස් මත

න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක දෙකක් සහ ටර්බයින් හතරකින් සමන්විත වූ ලෙනින් නෞකාව වසර 30ක කාලයක් පුරාවට සෝවියට් දේශයේ උතුරු වෙරළේ යාත්‍රා කරමින් එම නෞකා ගමන් මාර්ගයේ මිදී ගිය අයිස් බිදිමින් වාණිජ නෞකාවලට පහසුවෙන් යාත්‍රා කිරීමට ඉඩ සලසා දුන්නේය.1989 වර්ෂයේදී විශ්‍රාම ගිය ලෙනින් නෞකාව පසුව රුසියාවේ මුර්මන්ස්ක් නගරයේ පාවෙන කෞතුකාගාරයක් බවට පත් කරන ලදි.

1964 වර්ෂයේදී ආක්ටික් සාගරයේදී ලබා ගත් ලෙනින් නෞකාවේ ඡායාරූපයක්

න්‍යෂ්ඨික බලයෙන් ධාවනය වන අයිස් කඩන යාත්‍රා නිපද වූ සහ නිපදවන එකම රට වන්නේ සෝවියට් දේශය,වර්තමානයේදී රුසියාව පමණි.ලෙනින් නෞකාවේ සිට එවැනි අයිස් කඩනයන් 10ක් ඔවුන් නිපදවා තිබේ.දැනට අයිස් කඩන නෞකා 5ක් සේවය නිරත වන අතර අලුත් ඒවා නිර්මාණය කරමින් සිටියි.



source:rt.com

බුරාන් ෂටලයේ සිට කැස්පියන් මුහුදු රාක්ෂයා දක්වා:විශිෂ්ඨ සෝවියට් ව්‍යාපෘති 5ක් බුරාන් ෂටලයේ සිට කැස්පියන් මුහුදු රාක්ෂයා දක්වා:විශිෂ්ඨ සෝවියට් ව්‍යාපෘති 5ක් Reviewed by HarshaLulzSec on February 03, 2019 Rating: 5

No comments:

Powered by Blogger.