Support Our Blog

Shop on Daraz & help us create more content!

සිරියාව:රජයේ හමුදාවල ඊළඟ ඉලක්කය - දකුණු ඩැමැස්කස් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්


දකුණු ඩැමැස්කස් හි යාමුක් සරණාගත කඳවුර ආශ්‍රිතව කොටුවී සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන සිරියානු අරාබි හමුදාව සහ රජයට පක්ෂපාතී පලස්තීන සටන්කාමීන් යුද මෙහෙයුමක් දියත් කිරීමට සූදානමින් පසුවේ යැ‍යි,මානව හිමිකම් සම්බන්ධ සිරියානු නිරීක්ෂණායතනය විසින් වාර්තා කර තිබුණේ අප්‍රේල් මස 5 දාය.එම ආයතනයේ වාර්තාවට අනුව සිරියානු අරාබි හමුදාව සහ මිත්‍ර හමුදා කණ්ඩායම් අප්‍රේල් පළමුවෙනිදා පටන් යාමුක් සරණාගත කඳවුර අවට ප්‍රදේශයට සිය හමුදා රැස් කරමින් සිටියි.සිරියානු රජයට පක්ෂපාතී මූලාශ්‍ර අනුමාන කරන්නේ මෙහෙයුම සඳහා පලස්තීන විමුක්ති හමුදාව සහ ලිවා අල්-කුඩ්ස් නම් සුන්නි මුස්ලිම් පලස්තීන සටන්කාමීන් කණ්ඩායම නායකත්වය දෙනු ඇතැයි කියාය.තවද මෙහෙයුමට රුසියානු ගුවන් හමුදාවේද සහාය ලැබෙනු ඇත.

ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සඳහා දකුණු ඩැමැස්කස් වෙත යමින් සිටි සිරියානු හමුදා






අප්‍රේල් මස 5 දා වන විට යාමුක් කඳවුර ආශ්‍රිත ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 2,000කට වැඩි පිරිසක් සිටියි යැයි සිරියාවේ අල්-වටන් පුවත්පත වාර්තා කර තිබිණි.නිර්නාමික මූලාශ්‍රයකට අනුව හි සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සූදානම් නම් ඔවුන්ට ප්‍රදේශයෙන් ඉවත්ව යන්නට ඉඩ ලබා දිය හැකිය යන මතයේ ඩැමැස්කස් රජය සිටියි.තවද යල්ඩා,බබිලා සහ බෙයිට් සෑහ්ම් යන දිස්ත්‍රික්ක වල සිටින සිරියානු විරුද්ධ පක්ෂයේ කැරලිකරුවන් සමග සාකච්ඡාමාර්තු මස 28 දා ආරම්භ විය.

අප්‍රේල් මස මුල් සතියේ වාර්තා වූ පරිදි ඉහත සඳහන් කල දිස්ත්‍රික්ක තුනෙන් කැරලිකරුවන් ඉවත් කිරීමේ ගිවිසුමක් ඇතිවීමට ආසන්නය.යාමුක් කඳවුර ආශ්‍රිත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පොකට්ටුව ඉවත් කරන තුරු එවැනි ගනුදෙනුවකට පැමිණීම ප්‍රමාද වේ යැයි රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසයි.

කඳවුර අවට සිටින සිරියානු අරාබි හමුදා ඒකක







යාමුක් සරණාගත කඳවුර ආශ්‍රිතව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කරන්නට සිටින මෙහෙයුමට සහභාගි වන්න යැයි ඩැමැස්කස් රජය සහ රුසියාව,යල්ඩා,බබිලා සහ බෙයිට් සෑහ්ම් යන දිස්ත්‍රික්කවල සිටින කැරලිකරුවන්ට බල කරමින් සිටින බව  සිරියානු විරුද්ධ පක්ෂයට(කැරලිකරුවන්) පක්ෂපාතී එනැබ් බලාඩි පුවත්පත අප්‍රේල් මස 8 දා වාර්තා කර තිබුණි.

පුවත්පත වැඩි දුරටත් සඳහන් කර තිබුණේ මෙහෙයුමට සහභාගි නොවුවහොත් කැරලිකරුවන්ට උතුරුදිග සිරියාව දෙසට පසුබසින්න ඉඩ නොදන්නේ යැ‍යි රුසියාව සහ ඩැමැස්කස් රජය විසින් දැනුම් දී තිබෙන බවයි.කෙසේවෙතත් මෙම අලුත් කොන්දේසියට ප්‍රදේශයේ සිටින බොහොමයක් කැරලිකරුවන් විරෝධිය දක්වද්දී බොහොමයක් ප්‍රදේශීය නායකයෝ ඊට සහාය පළ කරන බවද එනැබ් බලාඩි පුවත්පත වාර්තා කරයි.

දේශීය නිරීක්ෂකයන් විශ්වාස කරන්නේ කැරලිකරුවන් සහ රජයේ හමුදා ඒකාබද්ධ ත්‍රස්තවිරෝධී මෙහෙයුමක් දියත් කල හොත් දෙපාර්ශ්වයේ හානි අවම විය හැකි බවයි.කෙසේවෙතත් එය තීරණය වන්නේ කැරලිකරුවන් ඩැමැස්කස් රජයේ කොන්දේසිවලට එකඟ වුවහොත් පමණි.

දැනට දකුණු ඩැමැස්කස් හි යාමුක් සරණාගත කඳවුරෙන් 80% ප්‍රමාණයක් සහ අල්-කඩාම් දිස්ත්‍රික්කයේ බලය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතුව පවතියි.අලුත්ම වාර්තාවලට අනුව එම ප්‍රදේශ දෙකෙහි මේ වනවිට ත්‍රස්තවාදීන් 2,500කට වැඩි පිරිසක් සිටියි.අප්‍රේල් 12දා වන විට සිරියානු අරාබි හමුදාව සහ පලස්තීන් විමුක්ති සංවිධාන හමුදාව ඔවුන්ගේ ඒකක සහ යුද ටැංකි ගණනාවක් අල්-කඩාම් සහ යාමුක් කඳවුර අවට ස්ථානගත කර තිබූ බව ඉරානයේ අල්-අලාම් රූපවාහිනී සේවය වාර්තා කරන ලදි.


අප්‍රේල් මස 15දා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් යාමුක් සරණාගත කඳවුරේ සිට ටැඩාමන් දිස්ත්‍රික්කයට ප්‍රහාර කිහිපයක් එල්ල කලේ යැ‍යි සිරියානු අරාබි පුවත් ඒජන්සිය(සානා)වාර්තා කලේය.ප්‍රහාරයෙන් එක් ළමයෙක් මිය ගොස් තවත් සිවිල් වැසියන් 9 දෙනෙක් තුවාල ලබා ඇතැයි සිරියානු පොලිසිය පවසා ඇත.

ඩැමැස්කස් නගරය අවට සිවිල් වැසියන් වෙසෙන ප්‍රදේශවලට පසුගිය සතියේ අවස්ථා ගණනාවකදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන ලදි.ත්‍රස්තවාදීන් රැදී සිටින යාමුක් කඳවුර අවට සිරියානු අරාබි හමුදාවේ 4 වන සේනාංකයේ ඒකක කිහිපයක් සහ ප්‍රබල රොකට් විදින ගණනාවක් ස්ථානගත කල බවට සිරියානු රජයට පක්ෂපාතී මූලාශ්‍ර අප්‍රේල් 14,15 දිනවල වාර්තා කරන ලදි.ජාතික ආරක්ෂක බලකා හි ඒකක දුසිම් ගණනක් සහ සිරියානු රජයට පක්ෂපාතී පලස්තීනයේ සටන්කාමීන් කණ්ඩායම් කඳවුර අවට ආක්‍රමණයකට සූදානමින් රැදී සිටින්නේ සති කිහිපයක පටන්ය.



අප්‍රේල් මස 15දා සවුත්ෆ්‍රන්ට් වෙබ් අඩවියට සිරියානු අරාබි හමුදාව ප්‍රකාශ කර තිබුණේ පැය කිහිපයක් ඇතුලත ත්‍රස්ත විරෝධී මෙහෙයුම ඇරඹෙනු ඇතැයි කියාය.දේශීය නිරීක්ෂකයන්ට විශ්වාස කරන්නේ බොහෝවිට යාමුක් කඳවුරේ සිටින ත්‍රස්තවාදීන්ට දින කිහිපයක් හෝ සති කිහිපයක් සිරියානු රජයේ හමුදාවල ප්‍රහාරය දරා සිටිය හැකි වෙතත් ඔවුන්ගේ පරාජය නියත බවයි.


Source:southfront.org


සිරියාව:රජයේ හමුදාවල ඊළඟ ඉලක්කය - දකුණු ඩැමැස්කස් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියාව:රජයේ හමුදාවල ඊළඟ ඉලක්කය - දකුණු ඩැමැස්කස් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් Reviewed by HarshaLulzSec on April 16, 2018 Rating: 5

No comments:

Powered by Blogger.