ඩ්‍රෝන් යානා සංග්‍රාමය මුළුමනින්ම වෙනස් කරන හැටි

How-Drones-Are-Completely-Changing-Warfare

විසි එක්වන සියවස ආරම්භයත් සමග සංග්‍රාම භූමියට මාරක අවියක් රැගෙන එන්නට ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රියා කලේය.2000 දශකය තුල එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඩ්‍රෝන් බලවතුන් ලෙස ඉස්මතු වූහ.නමුත් ඊළඟ දශකය වෙද්දී ඩ්‍රෝන් යානා ත්‍රස්තවාදීන්ගේ අවි ලැයිස්තුවට එක් වේවි යැ‍යි කිසිවෙක් නොසිතන්නට ඇති.අනාගත යුද අවි,ස්ටෙල්ත් තාක්ෂණය,ගුවන් ආරක්ෂාව,හයිපර්සොනික් අවි ගැන අපි කතා කර ඇත්තෙමු.නමුත් මේවා මේ වෙද්දී මුලිකවම වෙනස් වෙමින් පවතියි.වැදගත් කොටස වන්නේ ස්ටෙල්ත්,හයිපර්සොනික් සහ අනෙකුත් නවීන අවි මෙන් නොව ඩ්‍රෝන් යානා,විශාල ආරක්ෂක වියදමක් දරන සුපිරි බලවතුන්ට පමණක් සීමා නොවීමයි.ඕනෑම රටකට ඒවා මිලදී ගැනීමට හැකියාව තිබෙන අතර සාමාන්‍යය ෆයිටර් ජෙට් යානා වලට වඩා වැඩි ගණනක් සිය ගුවන් හමුදාවල සේවයේ යෙදවිය හැකිය.අනෙක් සැලකිය යුතුම කාරණය වන්නේ,රාජ්‍ය නොවන කණ්ඩායම්/කැරලිකරුවන්/ත්‍රස්තවාදීන් යන කොටස්වලට පවා ඩ්‍රෝන් යානාවලින් සන්නද්ධ වීමේ හැකියාව ලැබී තිබීමයි.ඩ්‍රෝන් යානා ඕනෑම අයවැයකට ගැලපෙන අයුරින් ලබා ගත හැකිවීම ඊට හේතුවයි.

රාජ්‍යයන් ගණනාවක් බොහෝ කාලයක තිස්සේ ඩ්‍රෝන් තාක්ෂණය සම්බන්ධව උනන්දුවකින් කටයුතු කරමින් සිටියහ.වර්තමානයේ ඩ්‍රෝන් සුපිරි බලවතා වශයෙන් වැජඹෙන එක්සත් ජනපදය පළමු ලෝක යුද සමයේදී පළමු නියමුවන් රහිතව පියාසර කරන ගුවන් යානය නිර්මාණය කලේය.මින් වඩාත් ජනප්‍රියම සහ මුල්කාලීනම යානයක් වූ කැතෙරින් බග් නම් යානය නිර්මාණය කෙරෙන්නේ මීට වසර 100කට පමණ පෙරය(කැතෙරින් බග් යානය ලොව මුල්ම කෲස් මිසයිලය ලෙසද හඳුන්වයි).මේ වෙද්දී ඕනෑම කෙනෙකුට ඩ්‍රෝන් යානයක් මිලදී ගත හැකි තරමට ඒවාහි මිල ගණන් අඩු වී තිබේ.ඇමෙරිකානු ඩොලර් සිය ගණනක් වියදමක් කිරීමෙන් ඔබේ අවශ්‍යතාවයට ඔබින ඩ්‍රෝන් යානයක් ලබා ගන්නට හැකිය.

කැතෙරින් බග්

මීට ඉහතදී,නොවරදින ඉලක්කයට ප්‍රහාර එල්ල කිරීමට නම් ඩොලර් මිලියන ගණනක් වටිනා මාර්ගෝපදේශන පද්ධති,ගුවන් යානා හෝ මිලාධික කෲස් මිසයිල අවශ්‍ය විය.දැන් ඒ සඳහා ඉහත කී කිසිවක් අවශ්‍ය නොවේ.වර්තමානයේදී ඕනෑම ජාතියකට ඩ්‍රෝන් යානා සිය ගණනක් පහසුවෙන් මිලදී ගත හැකිය.ඉන්පසු ඒවාහි කුඩා බෝම්බ රඳවා මිලියන ගණනක් වටිනා ගුවන් යානයක් හෝ රේඩාර් පද්ධතියක් විනාශ කිරීමට පිටත් කර යැවීමට පුලුවනි.(බටහිර රටවල් ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානා ඕනෑම රටකට අලෙවි කලද,ප්‍රහාරක ඩ්‍රෝන් යානා හිතුමතේට විකිණීමෙන් වැළකී සිටියහ.නමුත් චීනය ඩ්‍රෝන් වෙළඳපොලට පිවිසීමත් සමග මිලදී ගැනීමේ හැකියාව තිබෙන ඕනෑම රාජ්‍යයකට ප්‍රහාරක හැකියාව සහිත ඩ්‍රෝන් යානා අලෙවි කරන්නට පටන් ගෙන තිබේ).

සෞදි අරාබියේ තෙල් නිෂ්පාදන සංකීර්ණයකට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාර සහ යොදාගත් ඩ්‍රෝන් යානා

ඩ්‍රෝන් වෙළඳපොල පුළුල් වීම සහ නියාමනයක් රහිතව ඕනෑම අයෙකුට අලෙවි කිරීමට හැකි වීම ආදිය නිසා 2010 දශකය අවසන් වෙද්දී එහි ප්‍රතිඵල දැක ගන්නට ලැබිණි.සෞදි අරාබියේ තෙල් සංකීර්ණවලට 2019 වර්ෂයේදී එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාර සහ සිරියාවේ රුසියානු ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර නිරන්තරයෙන් එල්ල වන ඩ්‍රෝන් සමූහ ප්‍රහාර ඒවාට නිදසුන් කිහිපයකි.

සිරියාවේ රුසියානු ගුවන් හමුදා කඳවුරට පහරදීමට ත්‍රස්තවාදීන් භාවිතා කල ඩ්‍රෝන් යානා

අවසන් වරට ඩ්‍රෝන් යානා පුළුල්ව භාවිතා කරන අයුරු ලෝකය දුටුවේ අසර්බයිජාන-ආර්මේනියා යුද්ධයේදීය.රටකට ගුවනේ ආධිපත්‍යය නොමැති වූ කල ඔවුන්ගේ පාබල හමුදාවන්ට අත්වන ශෝචනීය ඉරණම සහ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා පෙරනොවූවිරූ ලෙස භාවිතා කරන අයුරු එහිදී දැකගන්නට ලැබිණි.

ඩ්‍රෝන් තාක්ෂණය කාලයත් සමග තවත් ප්‍රචලිත වනු ඇත.ඩ්‍රෝන් යානා ප්‍රමාණයෙන් කුඩාය,සඟවා තැබීම පහසුය.විශාල සංඛ්‍යාවාලින්,ඉක්මණින් දියත් කල හැකිය.අතිශය ලාභදායිය.සියල්ල නිවැරදිව කළමනාකරණය කලොත්,ඩ්‍රෝන් යානා දියත් කලේ කොහෙන්ද,මූලාශ්‍රය කුමක්ද යන්න සොයා ගැනීම අසීරු වනු ඇත.

හමුදාව සතු ඩ්‍රෝන් කියූ පමණින් සාමාන්‍යයෙන් අපි සිතන්නේ,හෙල් ෆයර් මිසයිල වැනි අවිවලින් සන්නද්ධ එක්සත් ජනපදය සතු ප්‍රෙඩේටර් මාදිලිය වැනි විශාල ඩ්‍රෝන් යානා ගැනයි.සෙබලුන්ට සටන් කිරීම සඳහා සටන් බිමේ අතිශය සවිස්තර දර්ශනයක් ඉක්මණින් ලබාදිය හැකි,තනි පුද්ගලයෙකු මෙහෙය වන කුඩා ඩ්‍රෝන් යානාවලින් බොහෝ රාජ්‍ය සන්නද්ධය.ඔබව සතුරාට අනාවරණය වීමෙන් තොරව සතුරා සිටින තැන දැන ගැනීම සහ දුසිම් ගණනක් දියත් කිරීමට හැකිවීම යන වාසි මෙම කුඩා ඩ්‍රෝන් යානා නිසා ලැබේ.වරක් චීනය ඊට කදිම උදාහරණයක් පෙන්වීය.පුපුරණද්‍රව්‍ය හෝ කැමරාවකින් සන්නද්ධ කල හැකි ඩ්‍රෝන් යානා දුසිම් ගණනක් සහිත ට්‍රක් රථයක් එහිදී දැක ගත හැකිවිය.එවැනි ඩ්‍රෝන් යානා සටන් බිමේදී අතිශය ප්‍රයෝජනවත් වන බවට විවාදයක් නැත.



අනාගත යුද්ධවලදී සතුරන් සම්බන්ධ බුද්ධි තොරතුරු එකතු කරන සහ කුඩා අවි ශීර්ෂවලින් සන්නද්ධ ඩ්‍රෝන් යානා සිය ගණනක් අහසේ පියාසර කරන අයුරු නිසැකවම දැකගන්නට ලැබේවි.මේවාට සටන් බිමේ එසැණින් තොරතුරු වාර්තා කිරීමට,සතුරා කුමක් සිදු කරන්නට සැරසේද යන්න,ඔවුන් සිටින්නේ කොහේද යන්න සොයා ගැනීමට හැකියාව තිබෙනවා මෙන්ම එසැණින් පහරදීමට පුලුවනි.මෙම හැකියාව සහිත ඩ්‍රෝන් යානා දැනටමත් භාවිතයේ තිබේ.ඊශ්‍රායලය සතු හාර්පි සහ හරොප් මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා බුද්ධි තොරතුර රැස් කර සජීවීව වීඩියෝවක් පාලන මැදිරියට එවන අතරේ පහරදීමටද සමත් බව,සිරියාවේ පැන්ට්සියර් පද්ධතියක් විනාශ කිරීමෙන් පසුව අපිට දැක ගන්නට ලැබිණි.මෙම ඩ්‍රෝන් යානා මගින් ආර්මේනියාවේදී එස්-300 ගුවන් ආරක්ෂක පද්ධතියක රේඩාර් පද්ධතියක් හෝ කිහිපයක් විනාශ කලේ හෝ හානියට පත් කලේ යැ‍යි වාර්තා පළ විය.

ඊශ්‍රායලයේ නිෂ්පාදිත හාරොප් නම් මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා අත්හදා බලන අසර්බයිජාන හමුදාව

එස්-300 පද්ධතියක් විනාශ කිරීම අසර්බයිජාන්-තුර්කි පාර්ශ්වයේ ප්‍රචාරණ ව්‍යාපරයේ කොටසක් යැයි කියමින් නොසලකා හැරිය හැකි වුවද,යථාර්ථය වන්නේ එස්-300 හෝ එස්-400 හෝ වේවා,මේ කිසිදු පද්ධතියක් සටන් බිමකදී තනිව සිටීම දිවි නසා ගැනීමකට සමානය.මන්ද ඒවා නිර්මාණය කර තිබෙන්නේ ගුවන් යානා වැනි ප්‍රබල තර්ජන මැඩපැවැත්වීමට විනා මරාගෙන මැරෙන,ඉතා කුඩා ඩ්‍රෝන් යානා විනාශ කිරීමට නොවන නිසාය.

මෙම කුඩා ඩ්‍රෝන් යානා,මිලාධික විශාල ගුවන් ආරක්ෂක පද්ධතිවලට බරපතල තර්ජනයක් බව මේ වන විටත් පෙන්වා තිබේ.ඩ්‍රෝන් සංග්‍රාමයේ ඊළඟ සැබෑ වෙනස සිදු කරනු ඇත්තේ කෘත්‍රීම බුද්ධි තාක්ෂණයයි.සමහරක් නුතන සහ අනාගතයේ පැමිණීමට නියමිත ඩ්‍රෝන් යානා මිනිස් හස්ථයක් අවශ්‍යතාවයකින් තොරව,සතුරු ඉලක්ක හඳුනා ගැනීමට සහ තනිවම මෙහෙයුමක් සිදු කරන හැටි තීරණ කිරීම සඳහා වැඩසටහන් ගත කල හැකිය.අනපේක්ෂිත තර්ජනයක් ඇති වුවහොත් ඊට අනුවර්තනය වීමටද ඒවා සමත් වේවි.ඇමෙරිකාව භාවිතා කරන විශාල ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානා යම් ප්‍රමාණයකට ඉහත කී තාක්ෂණය භාවිතා කරන බව දැකගත හැකිය.ඉදිරි වසර කිහිපය තුලදී විශාල මෙන්ම කුඩා ඩ්‍රෝන් යානාද මෙලෙස ක්‍රියා කිරීමට හැකි ලෙස සංවර්ධනය වනු ඇත.

ඕස්ට්‍රේලියානු හමුදාව වෙනුවෙන් බොයින් සමාගම නිර්මාණය කල කෘත්‍රීම බුද්ධියක් සහිත ලෝයල් වින්ග්මෑන් නම් ඩ්‍රෝන් යානය

ඩ්‍රෝන් යානයකට පිටතට ගොස් ඉලක්කයකට පහර දෙන්න යැයි ඔබ විධානයක් දුන්නේ යැ‍යි සිතන්න, මෙහෙයුම අතරතුර එයට හදිසියේ එස්-300 මිසයිල පද්ධතියක් හඳුනා ගන්නට ලැබුණහොත්,ලබා දුන් කාර්යය සිදු කරනවාද,මිසයිල පද්ධතිය විනාශ කරනවාද යන්න තීරණය කිරීම ඩ්‍රෝන් යානයට තනිවම සිදු කල හැකිය.මෙහි තිබෙන වාසියක් වන්නේ ඩ්‍රෝන් යානය තුල නියමුවෙක් තැබීමට නියමු කුටියක් අවශ්‍ය නොවීමයි.මිනිසෙක් ගුවන් යානයක තබන්නේ නම් ඔහු දිවි රැක ගැනීමට අවශ්‍ය පරිසර තත්ත්වයන් යානය සතු විය යුතුය.එවැනි තත්ත්වයක් ඇති කිරීමට යෑමෙන්,යානයේ හැකියාවන්ද ඊට සරිලන ලෙස සීමා කිරීමට සිදුවේ.එක් සාධකයක් වන්නේ මිනිසෙකුට දරා ගත හැකි ගුරුත්වාකර්ෂණ බලයක් පවත්වා ගැනීමයි.මිනිසෙකු රහිත යානයකට එවැනි සීමා අදාල වන්නේ නැත.එය ප්‍රබල වාසියකි.මේ නිසා ඩ්‍රෝන් යානා,මිනිසුන් සහිත යානාවලට වඩා ප්‍රබල සහ ලාභදායි අවියක් බවට පත් වීම නොවැළැක්විය හැකිය.

ලොව පුරා හමුදාවන් මුහුණ දෙන විශාලතම සීමාකාරී සාධකය වන්නේ අවිවලට ගෙවීමට සිදුවන මිලය.සබ්මැරීනයක් ඩොලර් බිලියනයක් නම්,ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට ඩොලර් එමෙන් දස ගුණයක්ද,සුපිරි සන්නාහයක් සහ ඉලක්ක කිරීමේ පද්ධති සහිත යුද ටැංකි සඳහා ඒවාහි පූර්වජයන්ට සාපේක්ෂව ඉහළ මිලක්ද ගෙවීමට සිදුවේ.වර්තමාන පස්වන පරම්පරාවේ ස්ටෙල්ත් ප්‍රහාරක යානයක් ඩොලර් මිලියන සියයක් ඉක්මවා යයි.මේ නිසා දෙවන ලෝක යුද සමයේ මෙන් හමුදාවක් නඩත්තු කිරීමට කිසිම රාජ්‍යයකට වර්තමානයේ හැකියාවක් නොමැත.විශේෂයෙන් කුඩා ආර්ථිකයක් සහිත රටවලට යුදෝපකරණවල මිල ගණන් ඉහල යෑම දරාගත නොහැකි තරම්ය.නමුත් විශාල හෝ කුඩා ඩ්‍රෝන් යානා සඳහා අඩු වියදමක් දැරීමට සිදුවේ.

ඇමෙරිකානු සෙබලෙකුට වියදම් කරන මුදලින් ඔබට ක්වාඩ්කොප්ටර් ඩ්‍රෝන් යානා 20-30 අතර ගණනක් මිලදී ගත හැකිය.වර්තමානයේදී ඇමෙරිකානු සෙබලෙක්ගේ ඇදුම් ,අවි සහ අනෙකුත් උපාංග කට්ටල වෙනුවෙන් ඇ.ඩොලර් 17,000කට වැඩි මුදලක් වැයවේ.

ඩ්‍රෝන් තාක්ෂණයේ මේ හදිසි නැඟීමේ හොඳ මෙන්ම නරක පැත්තක්ද තිබේ.මෙම තාක්ෂණය වැරදි අතට පත් වීම හෝ මිනිසුන්ට එරෙහිව යෑම ගැන ඔබට පහසුවෙන් සිතා ගත හැකිය.එවැනි භයානක අනාගතයක් ගැන කියවෙන චිත්‍රපට කිහිපයක්ද ඔබට දැන් මතකයට ඒවි.



නමුත් මෙහි තවත් පැත්තක් තිබෙන බව අමතක නොකල යුතුය.එනම් මිනිසුන් වෙනුවට ඩ්‍රෝන් යානා එකිනෙකාට එරෙහිව සටන් වැදීමයි.මෙවැනි ගැටුම් අවසන් වන්නේ එක්කෝ එක් පාර්ශ්වයක ඩ්‍රෝන් යානා සියල්ල විනාශ වීමෙන් හෝ මුදල් අවසන් වීමෙන්ය.අනාගතයේ යුද්ධ නිසා සිදු විය හැකි සිවිල් සහ හමුදා මරණ සැලකිය යුතු ලෙස අඩු වීමේ මේ නිසා සිදුවිය හැකිය.අනාගතය එයයි.එය වෙනස් කල නොහැකිය.යම් පාර්ශ්වයක් එය පිළිගන්නට අකැමැති නම් ඔවුන්ට බරපතල අවාසියක් වනු ඇත.සෝවියට් දේශය/රුසියාව ඩ්‍රෝන් තාක්ෂණය අතින් පසුපසින් සිටින්නේ ඒ නිසාය.ආර්මේනියාව පසුගිය යුද්ධයේදී බරපතල පරාජයකට මුහුණ දුන්නේද අනාගතයට අවශ්‍ය පරිදි වෙනස් නොවූ නිසාය.කෙසේවෙතත් 2008 ජෝර්ජියා-රුසියා යුද්ධය නිසා ඩ්‍රෝන් තාක්ෂණයේ වැදගත්කම රුසියාවට වැටහිණි.එහි ප්‍රතිඵල දැන් දැකගත හැකිය.ඔබ ඩ්‍රෝන් තාක්ෂණයට අනුගත නොවේ නම් අනෙක් රටවල් සමග තරඟ කරන්නට හෝ ඉදිරියට යෑමට අවස්ථාවක් නොලැබේවි.

ජෝර්ජියාව 2008 වර්ෂයේ රුසියාව සමග යුද්ධයේදී ඔත්තු බැලීමට භාවිතා කලේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත හර්මීස් 450 වර්ගයේ ඩ්‍රෝන් යානාය

ඊළඟට මතුවන ප්‍රශ්නය වන්නේ ඩ්‍රෝන් තර්ජනය මැඩපවත්වන්නේ කෙසේද යන්නයි.එම කාර්යය සඳහා ඇමෙරිකානු පේට්‍රියට් හෝ එස්-400 මිසයිල පද්ධති යොදා ගැනීම ආර්ථිකමය වශයෙන් සහ ප්‍රතිඵලදායි බවෙන් අලාභදායිය.2017 වර්ෂයේදී සෞදි අරාබිය ඩොලර් මිලියන තුනක් වටිනා පේට්‍රියට් මිසයිලයක්,ඩොලර් තුන්සියයක ක්වාඩ්කොප්ටරයක් ඉලක්ක කර මුදාහැරි අයුරු ඊට නිදසුනකි.මිනිස් නියමුවෙක් සහිත ෆයිටර් ජෙට් යානයකට ප්‍රමාණයෙන් සමාන ඩ්‍රෝන් යානයක් ඉලක්ක කර එවැනි මිසයිල ප්‍රහාරයක් එල්ල කලේ නම් ප්‍රතිඵලයක් ලබා ගත හැකිය.නමුත් කුඩා ඩ්‍රෝන් යානා එකකට වැඩි ප්‍රමාණයකට එරෙහිව එවැනි ගුවන් ආරක්ෂක පද්ධති භාවිතා කිරීම බරපතල ප්‍රශ්නයක් වේ.

ඇමෙරිකානු පේට්‍රියට් මිසයිල පද්ධතිය සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මිසයිල සහ ගුවන් යානා විනාශ කිරීමටයි

කුඩා ඩ්‍රෝන් යානා සමූහයකට මුහුණදීමේදී ඔබ තවත් විකල්පයක් තෝරා ගත යුතුය.කෙටි දුර ගුවන් ආරක්ෂක පද්ධති සහ ඇමෙරිකානු සී විස් වැනි අවි භාවිතය,ඩ්‍රෝන් සමූහ ප්‍රහාර මැඩපැවැත්වීමේදී වඩාත් ඵලදායිවේ. රුසියානු පැන්ට්සියර්,ටෝර් සහ ඇමෙරිකානු ඇවෙන්ජර් අවි පද්ධති එම තර්ජනයට යම් සහනයක් ලබා දුන්නද,කිසිවිටෙක පරිපූර්ණ විසඳුමක් නොවනු ඇත.ඉහත කී අවි පද්ධති මිලෙන් අධික මෙන්ම කෙටි කාලයක් තුල ඒවා සතු උණ්ඩ සහ මිසයිල අවසන් වේ.සිරියාවේදී පැන්ට්සියර් මිසයිල පද්ධති වලට එම යථාර්තයට මුහුණ දෙන්නට සිදුවිය.

සිරියාවේ රුසියානු ගුවන් හමුදා කඳවුරේ තිබෙන පැන්ට්සියර් සහ ටෝර් ගුවන් ආරක්ෂක පද්ධති

ඇත්ත වශයෙන්ම චාලක ශක්තිය භාවිතා කරන අවි පද්ධති වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවෙනවා මෙන්ම ඩ්‍රෝන් යානා රංචු වශයෙන් පැමිණෙද්දී එම අවිවල සීමාවන් ඉක්මවා යයි.එනම් ඔවුන් සටන් බිම තුල නිරායුද තත්ත්වයට පත් වීමයි.මෙහිදී ඔබගේ ගැලවුම්කරුවා බවට පත් වන්නේ ලේසර්,ක්ෂ්‍රද්‍ර තරංග ආදී භාවිතා කරන බලශක්තිය කේන්ද්‍රගත කල හැකි අවි සහ සංඥා විකෘති කිරීම හෝ සයිබර්  සංග්‍රාමික උපක්‍රමයි.මෙම සියලුම මාදිලිවල අවි පද්ධති රුසියාව විසින් දැනටමත් සංවර්ධනය කරමින් සිටියි.රෙතියන් වැනි ඇමෙරිකානු සමාගම්ද ඒවාහි මූලාකෘති සහ නිරූපණය කිරීම ඉදිරිපත් කරන අයුරු පසුගිය සමයේදී දැක ගන්නට ලැබිණි.

රෙතියන් සමාගම ඇමෙරිකානු හමුදාවට ලබා දුන් ප්‍රති-ඩ්‍රෝන් ලේසර් අවි පද්ධතිය

මෙම අවි පද්ධති කාලයක් තිස්සේ අත්හදා බලමින් තිබෙන මුත් ඒවා මුකුහුරා යෑමට නම් තවත් වසර කිහිපයක් ගත වේවි.උදාහරණයක් වශයෙන් දැනට තිබෙන ලේසර් අවියක් ගත හොත් එය මන්දගාමීය.ක්ෂණිකව අනෙක් ඩ්‍රෝන් යානය වෙත කේන්ද්‍රගත වී පහරදීමට තරම් වේගයක්,එනම් ඉලක්ක අතර සීරූමාරූ වීමේ වේගය දුර්වල මට්ටමක තිබේ.ඉලක්ක විශාල ප්‍රමාණයක් කෙටි කාලයක් ඇතුලට විනාශ කල යුතු අතර එසේ කිරීමේ හැකියාව නැත්නම් අවසානයේදී දඩයක්කරුවා දඩයම බවට පත් වීම නොවැළැක්විය හැකිය.ජල මට්ටම ආසන්නයෙන් ,පොළොව ආසන්නයෙන් පියාසර කල හැකි නිසා ඔබ අසලටම එනතෙක් ඒවා රේඩාර් පද්ධතිවල සටහන් නොවේ.ඒ නිසා පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ඔබ ප්‍රහාරයට ලක් වීමේ වැඩි ඉඩක් තිබේ.ඩ්‍රෝන් යානා යුදමය වශයෙන් පමණක් නොව සිවිල් ජනතාවගේ ජීවිත වලටද තර්ජනයක් බවට පත් වී ඇත.ගුවන් තොටුපොල සීමාවන් උල්ලංඝනය කරන ඩ්‍රෝන් යානා බිම හෙළීම සඳහා ප්‍රති-ඩ්‍රෝන් පද්ධති ප්‍රයෝජනවත් වේවි.

ලිබියානු ජාතික හමුදාවේ සටන්කරුවෙක් අත තිබෙන ප්‍රති-ඩ්‍රෝන් අවියක්

එක්සත් ජනපදය ගැන අවධානය යොමු කලහොත්,ප්‍රති-ඩ්‍රෝන් පද්ධතිවල මූලාකෘති ගණනාවක් කලින් කල සැලසුම් කරනවා සහ නිපදවනවා දැක තිබේ.නමුත් වසර කිහිපයකට පසුව ඒවා අවලංගු කෙරේ.මෙය අවස්ථා ගණනාවකදී සිදුවී ඇත.මෙහිදී නිරීක්ෂණය කල හැකි විශේෂ කාරණයක් වන්නේ,යම් ක්ෂේත්‍රයකට ගැඹුරින් අවධානය යොමු කිරීමට නම්,එක්සත් ජනපදයට වෙනත් රටකින් තර්ජනයක් එල්ල වේ යැ‍යි බිය හටගත යුතුය.එරට අතිධ්වනි අවි කිහිපයක් සැලසුම් කරන්නට සහ අත්හදා බලන්නට පටන් ගන්නේ දශකයකට පෙර සිටිය.නමුත් චීනය සහ රුසියාව තමන්ගේම අතිධ්වනි අවි ලෝකයා හමුවට ගෙන එන තෙක්,එක්සත් ජනපදය ඒ සඳහා ගැඹුරින් අවධානය යොමු කලේ නැත.දැන් අතිධ්වනි අවි/මිසයිල තරඟය ආරම්භ වි තිබේ.එක්සත් ජනපදය මහත් උනන්දුවකින් යුතුව අතිධ්වනි මිසයිල සංවර්ධනය ආරම්භ කලේය.අනෙක් පසින් රුසියාව සහ චීනය,නව අවිවල වැදගත්කම හඳුනා ගැනීමට තරමක් හොඳ නැඹුරුවක් දක්වන අතර ඒවා සංවර්ධනය කිරීමේදී සම්පූර්ණ වේගයෙන් ඉදිරියට යෑමට ඔවුන් පැකිළෙන්නේද නැත.ඒ නිසා ඉදිරි වසර කිහිපයක් සිත්ගන්නාසුළු වනු ඇත.




source:yotube@Covert Cabal


ඩ්‍රෝන් යානා සංග්‍රාමය මුළුමනින්ම වෙනස් කරන හැටි ඩ්‍රෝන් යානා සංග්‍රාමය මුළුමනින්ම වෙනස් කරන හැටි Reviewed by HarshaLulzSec on November 20, 2020 Rating: 5

No comments:

Powered by Blogger.