ඇමෙරිකා-ඉරාන අර්බුදය:බී-52 බෝම්බ හෙළන යානා හයක් ඩියාගෝ ගාර්සියා කඳවුරට


ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙයිනි,ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක හමුදාවේ කුඩ්ස් බලකා හි ප්‍රධානියා වශයෙන් බ්‍රිගේඩියර් ජෙනරල් ඉස්මයිල් ගානි පත් කර තිබේ.ජනවාරි මස 3දා උදෑසන ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේදී මේජර් ජෙනරල් කසෙම් සොලෙයිමානි ඝාතනය කිරිමෙන් හිස් වූ අඩුව පිරවීමට මෙම පත් කිරීම සිදු කර තිබේ.

ගානි යනු ඉරාකය සමග යුද්ධයේ දී කැපී පෙනෙන අණදෙන නිලධාරියෙක් වශයෙන් සහ ඝාතනයට ලක් වූ සොලෙයිමානි සමග පසුගිය වසර කිහිපය තුල කලාපයේ එකට කටයුතු කල නිලධාරියෙක් යැ‍යි කමෙයිනිගේ නිල ප්‍රකාශයේ සඳහන් වේ.වයස අවුරුදු 62ක් වන බ්‍රිගේඩියර් ජෙනරල් ගානි වසර කිහිපයක් මේජර් ජෙනරල් සොලෙයිමානිගේ උප ප්‍රධානියා වශයෙන් කටයුතු කලේය.

ජනවාරි මස 3දා ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට එල්ල වූ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් මේජර් ජෙනරල් කසෙම් සොලෙයිමානිට අමතරව ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක හමුදාවේ නිලධාරීන් හතරදෙනෙක්ද මරණයට පත් වූ බව කුඩ්ස් බලකා නිවේදනය කලේය.

කුඩ්ස් බලකා හි නිවේදනයට අනුව ඝාතනයට ලක් වූ අනෙක් හමුදා නිලධාරීන් මෙලෙසය.

  1. ජෙනරල් හුසෙයින් ජෆාරි නයා
  2. කර්නල් ෂරවුඩ් මුසාෆරි නියා
  3. මේජර් හාඩි ටාර්මි
  4. කැප්ටන් වහීඩ් සමානියන්

මැදපෙරදිග ඇමෙරිකානු ඉලක්ක 35ක් සහ ටෙල් අවිව් නගරය ඉරාන හමුදාවේ සීමාවේ තිබෙන බව ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක හමුදාවේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියෙක් ජනවාරි මස 4දා ප්‍රකාශ කලේය.

ඇමෙරිකාව විසින් මේජර් ජෙනරල් සොලෙයිමානි ඝාතනය කිරීමට එරෙහිව පළිගැනීමට ඉරානයට අයිතියක් තිබේ යැ‍යි ඉරානයේ කර්මන් පළාතේ ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරල් ගොලමාලි අබුහම්සෙ පැවසුවේය.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය බටහිරට සහ ඇමෙරිකානු යුද නෞකාවලට අත්‍යාවශ්‍ය ස්ථානයකි.කලාපය තුල ඇමෙරිකානු ඉලක්ක ඉරානය විසින් හඳුනා ගත්තේ බොහෝ කාලයකට පෙරය..ඇමෙරිකානු ඉලක්ක 35ක් සහ ටෙල් අවිව් අපගේ සීමාවේ පවතියි" - ජෙනරල් අබුහම්සෙ.

ජනවාරි 4දා ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට සහ ඉන් පිටත ප්‍රදේශයට රොකට් ප්‍රහාර දෙකක් එල්ල විය.රොයිටර් පුවත් සේවයට අනුව ඉන් එක් රොකට්ටුවක් දැඩි ආරක්ෂාවක් සපයා තිබෙන හරිත කලාපයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලට පතිත වී තිබේ.ප්‍රහාරවලින් හානියක් සිදුවන නැතැයි ඉරාක මූලාශ්‍ර පුවත් සේවාවලට පැවසීය.


තවත් රොකට් හතරක් බැග්ඩෑඩ් නගරයේ උතුරින් පිහිටා ඇති බලාඩ් ගුවන් හමුදා කඳවුරේ දකුණු පිවිසුම ආසන්නයට පතිත විය.මෙම ප්‍රහාරවලින් මිනිත්තු කිහිපයකට පසුව කටයිබ් හිස්බුල්ලා නම් ෂියා මුස්ලිම් කණ්ඩායම කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ ජනවාරි 5දා හවස් කාලයේ පටන් ඉරාක ආරක්ෂක හමුදා ඇමෙරිකානු කඳවුරුවලින් අවම වශයෙන් කිලෝමීටරයක් ඈතින් වත් සිටිය යුතු බවයි.ඉරාක සෙබලුන් ඇමෙරිකානු ආක්‍රමණිකයන්ගේ මිනිස් පළිහක් නොවිය යුතු යැ‍යි එම කණ්ඩායමේ නායකයා පවසා තිබේ.


පසුගිය දිනවල ඉරාකයට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරාකයේ සිටින ෂියා කණ්ඩායම් ඇමෙරිකානු හමුදාවන්ට එරෙහිව අලුත් කැරැල්ලක් දියත් කිරීම අද්දර සිටියි.


ඉරාක-සිරියා දේශසීමාවේ පිහිටා ඇති මහජන සේවා මණ්ඩල සටන්කාමීන්ගේ කඳවුරකට ජනවාරි 4දා අභිරහස් ගුවන් ප්‍රහාර එල්ල වූ බව අල්-හුරා නම් ඉරාක රූපවාහිනී නාලිකාව වාර්තා කලේය.එක්සත් ජනපදය පදනම් කර ගත් මෙම පුවත් නාලිකාව සිදුවීම සම්බන්ධව වෙනත් විස්තරයක් ඉදිරිපත් නොකලද,අනෙකුත් මූලාශ්‍ර පැවසූ පරිදි ගුවන් ප්‍රහාර හේතුවෙන් මහජන සේවා මණ්ඩල සටන්කරුවන් පස්දෙනෙක් වත් මියයන්නට ඇති බවයි.

අල්-මයාඩීන් රූපවාහිනි නාලිකාව මෙම වාර්තාව තහවුරු කල අතර ඉලක්කය වී තිබෙන්නේ සිරියාවේ පිහිටි කඳවුරක් යැයිද සඳහන් කලේය.



ඇමෙරිකානුවන්  හෝ ඇමෙරිකානු වත්කම්වලට එරෙහිව එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඉරානයට "ඉතා වේගවත්,ඉතා දැඩි" ප්‍රතිචාරයක් දක්වන්නේ යැ‍යි එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කලේය.


ඉරාන සංස්කෘතියට සුවිශේෂී ස්ථානද ඇතුලත්ව ඉලක්ක 52කට පහරදීමට එක්සත් ජනපදය සූදානම් බව ජනවාරි 5දා ඔහු අනාවරණය කරන ලදි.


ඇමෙරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් ව යා යුතු බවට යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුව විසින් ජනවාරි 5දා සම්මත කර ගත්තේය.සියලු විදේශ හමුදා එරටින් ඉවත් කර ගැනීම,ඉරාක ගුවන් සීමාව ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානයට තහනම් කිරීම සහ ජනවාරි 3දා ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණයක් සිදු කිරීම යෝජනාවට අදාල අනෙක් කාරණාය.


කෙසේවෙතත්,ඉරාකය විදේශීය හමුදාවලින් මුක්ත කර ගැනීම ලේසි පහසු නොවන බව නම් පැහැදිලිය.


බ්‍රිතාන්‍යයේ විශේෂ ගුවන් සේවය නම් විශේෂ බලකා ඒකකයේ සාමාජිකයෝ 50ක් දෙනෙක් පමණ ඉරාකයට යවා ඇතැයි ජනවාරි 5දා මාධ්‍ය වාර්තා කලහ.ඒ ඉරානය සමග එක්සත් ජනපදය ගැටුමකට මැදිවුවහොත් සහාය වීම පිණිසය.ඊට අමතරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ න්‍යෂ්ඨික ප්‍රහාරක සබ්මැරීනයක්ද ඉරානයට පහරදිය හැකි සීමාවේ රඳවා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

ඇස්ටියුට් පන්තියේ න්‍යෂ්ඨික ප්‍රහාරක සබ්මැරීනයක්

පුවත් වාර්තාවට අනුව මෙලෙස යවා තිබෙන්නේ ටොමහොක් කෲස් මිසයිලවලින් සන්නද්ධ ඇස්ටියුට් පන්තියේ න්‍යෂ්ඨික ප්‍රහාරක සබ්මැරීනයකි.

ඇමෙරිකානු හමුදා ඉරාකයෙන් නෙරපා හරින්නට ඉරාක පාර්ලිමේන්තුව ඡන්දය පාවිච්චි කල හොත් ඉරාකයට දැඩි සම්බාධක පනවන්නේ යැ‍යි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 5දා තර්ජනය කලේය.ඉරාකයට කිසිදා නොදුටුවිරූ ආකාරයේ සම්බාධකවලට මුහුණ දීමට සිදුවෙතැයි හෙතෙම පැවසීය.

මේවන විට ඉරාකයේ සිටින ඇමෙරිකානු සෙබලුන් ගණන දළ වශයෙන් 5,200ක් පමණ වේ.හමුදා නෙරපා හැරීමේ යෝජනාව සම්මත වී ඇති අතර එය වලංගු කර බලාත්මක කිරීම පැවරෙන්නේ ඉරාක රජයටයි.


කිසිදු අවහිරයකින් තොරව යුරේනියම් බලගැන්වීම කරන බව ඉරානය ජනවාරි 5දා නිවේදනය කලේ.2015 වර්ෂයේදී අත්සන් තැබූ ඉරාන න්‍යෂ්ඨික ගිවිසුම ක්‍රියාවට නැංවීමට  තිබෙන බැදීම් තවත් අඩු කරමින් එරට මෙම තීරණයට එළඹ තිබේ.තම ආර්ථිකය මත පනවා තිබෙන සම්බාධක ඉවත් කර ගන්නට එක්සත් ජනපදය ක්‍රියා කලහොත් ගිවිසුමේ වගන්ති අනුව කටයුතු කරන්නේ යැයි ඉරානය පවසයි.

ඉරාන මිසයිල බලකා ඉහළ විපරමකින් තබා ඇතැයි ඇමෙරිකානු බලධාරියෙක් පවසා තිබිණි.එය ආරක්ෂිත හෝ ප්‍රහාරක ඉරියව්වක තිබේද යන්න පැහැදිලි නැති බවත් ඔහු පැවසීය.(මෙම ප්‍රකාශය සනාථ කරමින් ජනවාරි 7දා ඉරානය,ඉරාකයේ ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කලේය).


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිස රැගෙන එන අයෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක ත්‍යාගයක් ලබා දෙන්නේ යැ‍යි ඉරානයෙ චැනල් වන් රූපවාහිනී නාලිකාව ජනවාරි 5දා නිවේදනය කලේය.මෙම ප්‍රකාශය නිකුත් කෙරුණේ කුඩ්ස් බලකා ප්‍රධානී මේජර් ජෙනරල් කසෙම් සොලෙයිමානිගේ අවමංගල පෙරහැර අතරතුරයි.


ඇමෙරිකාව ඉරානයේ කුඩ්ස් බලකා ප්‍රධානි සොලෙයිමානි ඝාතනය කිරීමට ශෝකය පළ කිරීම සඳහා රුසියානු හමුදාවේ නියෝජිත පිරිසක් සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට පැමිණියහ.සිරියාවේ රුසියානු හමුදාවට අණදෙන ජෙනරල් ඇලෙක්සැන්ඩර් චයිකෝද එම අවස්ථාව සහභාගී වූයේය.






ඇමෙරිකානුව බී-52 බෝම්බ හෙළන යානා හයක් ඩියාගෝ ගාර්සියා දූපතට යවන්නට නියෝග ලැබේ තිබේ යැ‍යි වාර්තාවේ.ඩියාගෝ ගාර්සියා දූපත බ්‍රිතාන්‍යයට අයත් එකක් වන අතර එහි පිහිටුවා තිබෙන හමුදා කඳවුර ඇමෙරිකානු හමුදාවට භාවිතා කරන්නට අවසර ලබා දී තිබේ.මෙම නියෝගය ජනවාරි මස 6දා පෙන්ටගනය විසින් නිකුත් කලේ යැ‍යි වාර්තාකරුවන් පවසති.

u-s-deploys-six-b-52-bombers-for-possible-strike-on-iran
බී-52 බෝම්බ හෙළන යානයක්

බී-52 යානා මෙම කඳවුරට ගෙන එන්නේ එය ඉරාන මිසයිල පරාසයෙන් පිටත පිහිටා ඇති නිසා යැ‍යි පෙන්ටගනයේ නිර්නාමික මූලාශ්‍රයක් උපුටා දක්වමින් පුවත් සේවය පවසයි.මෙම දියත් කිරීමෙන් පෙනී යන්නේ එක්සත් ජනපදය,ඉරානය සමග විවෘත සංග්‍රාමයකට සූදානම් වෙමින් ඇති බවයි.




source:southfront.org


ඇමෙරිකා-ඉරාන අර්බුදය:බී-52 බෝම්බ හෙළන යානා හයක් ඩියාගෝ ගාර්සියා කඳවුරට ඇමෙරිකා-ඉරාන අර්බුදය:බී-52 බෝම්බ හෙළන යානා හයක් ඩියාගෝ ගාර්සියා කඳවුරට Reviewed by HarshaLulzSec on January 08, 2020 Rating: 5

No comments:

Powered by Blogger.