ඉරානයේ පළිගැනීම:ඉරාකයේ ඇමෙරිකානු හමුදා කඳවුරුවලට බැලස්ටික් මිසයිල ප්‍රහාර

iran-launches-ballistic-missiles-at-us-military-base-in-western-iraq-demands-full-us-troop-withdrawal

ජනවාරි මස 8 දා පෙරවරුවේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාව බටහිර ඉරාකයේ අන්බාර් පළාතේ අයින් අල්-අසාඩ් නම් ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර මිසයිල 10ක් දියත් කලේය.අල් අසාඩ් ගුවන් හමුදා කඳවුරේ ඇමෙරිකානු සහ සන්ධාන හමුදා සෙබලුන් 1,500ක පමණ පිරිසක් රැඳී සිටිති.

මැදපෙරදිග කලාපය සම්බන්ධව කටයුතු කරන එක්සත් ජනපද මධ්‍ය ආඥාවට අනුව ඉරානය මිසයිල 15ක් දියත් කර ඇත.ඉන් 10ක් අයින් අල්-අසාඩ් කඳවුරටද,තවත් මිසයිලයක් එර්බීල් නගරයේ ඇමෙරිකානු හමුදා කඳවුරකටද පතිත වී තිබේ.මිසයිල 4ක් සිය ඉලක්ක වෙත ලගා වීමට ප්‍රථමයෙන් කඩා වැටී ඇතැයි වාර්තාවේ.

ඉරානයෙන් බැලස්ටික් මිසයිල දියත් කරන අයුරු


ඉරාකයෙන් ඇමෙරිකානු හමුදා මුළුමනින්ම ඉවත් කර ගන්න යැ‍යි ඉරානය පවසා තිබේ.ඉරාන ජාතික වීරයෙක් ඝාතනය කිරීමට එරෙහිව පළිගැනීමේදී එම රට එක්සත් ජනපදයද,නැත්නම් ඊශ්‍රායලය හෝ වෙනත් රටක්ද යන්න සලකා බලන්නේ නැතැයිද ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාව නිකුත් කල ප්‍රකාශයේ සඳහන්ය.

අයින් අල්-අසාඩ් ගුවන් හමුදා කඳවුරේ දර්ශනයක්

පළමු ප්‍රහාරයෙන් පැයකට පමණ පසුව ඉරාකයේ ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ඉරානය දෙවන මිසයිල ප්‍රහාරයද එල්ල කලේය.දෙවන ප්‍රහාරයේ ඉලක්කය වූයේද අයින් අල්-අෂාඩ් කඳවුර සහ එර්බිල් නගරයේ ඇමෙරිකානු කඳවුරයි.

ඉරානයෙන් එල්ල වූ ප්‍රහාරය පෙන්ටගනය විසින් නිල වශයෙන් තහවුරු කල අතර සිය හමුදා ආරක්ෂා කිරීමට අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද කීවේය.

ආසන්න වශයෙන් ඇමෙරිකානු සෙබලන් 5,000ක් පමණ ඉරාකයේ රැඳී සිටින අතර ඉන් 1,500කට ආසන්න පිරිසක් ඉරාන ප්‍රහාරයේ ඉලක්කයක් වූ අල් අසාඩ් කඳවුරේ සිටිති.එම කඳවුරේ විවිධ වර්ගවල ගුවන් යානා,හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන් යානා ස්ථානගත කර තිබේ.ඉරාක හමුදා මෙන්ම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීමට පැමිණි ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදා නියෝජනය කරන අනෙක් රටවල සෙබලුන්ද එහි සිටිති.


ජනවාරි 8 දා ඉරාන මිසයිල ප්‍රහාරයට ගොදුරු වූ අයින් අල්-අසාඩ් ගුවන් හමුදා කඳවුර ප්‍රහාරයෙන් පසු දිස්වන අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ප්ලැනට් ලැබ්ස් සමාගම මුදා හැර තිබේ.එම ඡායාරූපවල දැක්වෙන පරිදි මිසයිල පතිත වූ ස්ථාන හයක් පමණ හඳුනා ගත හැකිය.ප්‍රහාරවලින් කිසිදු හානියක් සිදුව නැතැයි සමහරක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සිදු කල ප්‍රකාශ,මෙම ඡායාරූපවලින් අසත්‍යය බව ඔප්පු කෙරේ.ඊට අමතරව ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබලුන්ට කිසිදු හානියක් සිදු වූයේ නැතැයි පෙන්ටගනය සිදු කල ප්‍රකාශයද ගැනද ප්‍රශ්නාර්ථයක් මතු කරයි.කෙසේවෙතත් ප්‍රහාරයට ප්‍රථමයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගත්තේ නම් එවැන්නක් සිදුවීමට වැඩි සම්භාවිතාවයක් ඇත.

අයින් අල්-අසාඩ් කඳවුර ඉරාන මිසයිල ප්‍රහාරවලින් පසුව දිස්වන අයුරු

කඳවුරු භූමියේ මිසයිල පතිත වූ ස්ථාන

මිසයිල පතිත වූ ස්ථාන පෙන්වන සමීප ඡායාරූපයක්

මිසයිල ප්‍රහාරවලින් කඳවුරේ තිබූ ගොඩනැගිල්ලක් මුළුමනින්ම විනාශ වී ඇති අයුරු

 ඉහල විභේදනයක් සහිත අයින් අල්-අසාඩ් කඳවුරේ චන්ද්‍රිකා ඡායාරූපයක් මෙතනින් නරඹන්න.


ඉරානය සිතාමතාම ජිවිත හානි අවම කිරීම සඳහා කඳවුරේ නිශ්චිත ස්ථාන පමණක් ඉලක්ක කර ඇතැයි පෙනේ.බොහෝවිට ඔවුන් අවම හානියක් සිදුවන පරිදි ඉලක්ක තෝරාගෙන ඇතැයි හෝ තමන් සතුව ඉතා නිවැරදිව ඉලක්ක කල හැකි මිසයිල සංචිතයක් සතු බව පෙන්වීමට හෝ උත්සාහ දරා ඇතැයි සිතිය හැකිය.ඉරානය සතුව ඉතා නිවැරදිව ඉලක්ක කල හැකි කෙටි දුර බැලස්ටික් මිසයිල පද්ධති තිබේය යන්න රහසක් නොවේ.ඇමෙරිකානුවන් පවසන ආකාරයට අල් අසාඩ් කඳවුරට මිසයිල 14ක් එල්ල කර ඇති අතර ඉන් තුනක් අසාර්ථක වී තිබේ.නමුත් චන්ද්‍රිකා ඡායාරූපවල පෙනෙන්නේ මිසයිල ගැටුණු ස්ථාන අඩක වඩා අඩු ගණනකි.එහිදී අනුමාන කල හැක්කේ වඩා වැඩි බලපෑමක් සහ අතිරේක විනාශයක් කිරීමට එක් ඉලක්කයක් වෙත මිසයිල එකකට වැඩි ගණනක් යොමු කර ඇති බවයි.

ප්‍රහාරය සඳහා භාවිතා කල මිසයිල ප්‍රභේදය තවමත් නිල වශයෙන් තහවුරු කර නැති වුවද,ඉරාන බලධාරීන් සොයා ගත්,ඉලක්ක වෙත ලඟා වූ මිසයිලවල සුන්බුන් වලට අනුව ඒවා කියම් නම් කෙටි දුර බැලස්ටික් මිසයිල ප්‍රභේදයට අයත්ය.තවත් වාර්තාවලින් පවසන්නේ ඉරානය ෆටෙහ්-110 පන්තියේ සංස්කරණ හෝ ව්‍යුත්පන්න යොදා ගන්නට ඇතැයි කියාය.ඉරානයේ ෆාර්ස් පුවත් සේවයට අනුව ප්‍රහාර මාලාව සඳහා භාවිතා කර තිබෙන්නේ "ෆටෙහ්-313" මාදිලියේ මිසයිලයි.

ෆටෙහ්-313 මිසයිලයක්

ප්‍රහාරය සඳහා මිසයිල කීයක් භාවිතා කලේද යන්න සම්බන්ධව විවිධ පාර්ශ්ව වෙනස් සංඛ්‍යාවන් ඉදිරිපත් කරති.ජනවාරි 8 දා පෙරවරුවේදී එක්සත් ජනපද බලධාරීන් සිය ඇස්තමේන්තු මිසයිල ගණන 15 සිට 16 දක්වා වැඩි කල අතර පියාසැරියේදී අසාර්ථක වූ ගණන 4 දක්වා ඉහළ දැමීය.එක් මිසයිලයක් පමණක් එර්බිල් වෙත පතිත වී තිබේ.ඉරාක පුවත් වාර්තා පවසන්නේ ඉරානය මිසයිල 22ක් දියත් කල බවයි.

ප්‍රහාරය සඳහා බැලස්ටික් මිසයිල සූදානම් කරන අයුරු දැක්වෙන්නේ යැ‍යි කියන වීඩියෝපටයක් ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිකුත් කර තිබිණි.


ඉරානය දියත් කල මිසයිල කිසිවක් අතරමගදී බිම හෙළුවේ නැතැයි එක්සත් ජනපදය තහවුරු කලේය. ඇමෙරිකානුවන්ට එසේ කිරීමට හැකියාවක් නොලැබුණේ ඔවුන් ඉරාකයේ සිටින්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග සටන් කිරීම සඳහා පමණක් නිසාවෙනි.එබැවින් ඔවුන් ඉරාකය තුල ප්‍රති-බැලස්ටික් මිසයිල පද්ධති ස්ථානගත කර නොතිබිණි.

ජනවාරි 8 දා සිදුවීමට සම්බන්ධ පාර්ශ්වයන් ඉරාන මිසයිල ප්‍රහාරය ගැන පරස්පර වාර්තා නිකුත් කලහ.

ඉරානය:මුල්ම වාර්තාවලට අනුව නිකුත් කල මිසයිල ගණන 10කි.සම්පූර්ණ ගණන සඳහන් කර නොමැත.එක්සත් ජනපදය මෙහෙයවන අයින් අල්-අසාඩ් ගුවන් හමුදා කඳවුරට සහ එර්බිල් නගරය ආසන්නයේ ඇමෙරිකානු කඳවුරට ඉරානය එල්ල කල ප්‍රහාරවලින් "ඇමෙරිකානු ත්‍රස්තවාදීන්" 80 දෙනෙක් මිය ගොස් ඇමෙරිකානු ගුවන් යානා සහ යුදෝපකරණවලට දැඩි හානි සිදුවූයේ යැ‍යි ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කලේය.වොෂින්ටනය පළිගැනීමේ ක්‍රියාමාර්ග ගත හොත් කලාපය තුල තවත් ඇමෙරිකානු ඉලක්ක 100ක් ඉරානය සතු යැ‍යි ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාවේ ඉහළ පෙලේ නිලධාරියෙක් පැවසූ බව රූපවාහිනී වාර්තාවෙහි කියවේ.

දියත් කල කිසිදු මිසයිලයක් අතරමගදී බිම හෙළා නැතැයි එම හමුදාව වෙනත් ප්‍රකාශයකින් පවසා තිබුණේය.කෙසේවෙතත්,ඔවුන් ප්‍රහාරයේ ප්‍රතිඵල සම්බන්ධව තක්සේරුවක් නිකුත් කරේ නැත.


ඉරාකය:අන්බර් පළාතේ අයින් අල්-අසාඩ් කඳවුරට සහ ඉරාක කුර්දිස්ථානයේ අගනුවර වන එර්බිල් නගරයේ කඳවුරකට මිසයිල ප්‍රහාර 22ක් එල්ල වූ බව ඉරාක හමුදාව පැවසුවේය.

"ජනවාරි 8 දා පෙරවරු 1.45-2.45 අතර කාලයේදී මිසයිල 22ක් හඳුනාගත් බවත්,ඉන් 17ක් අයින් අල්-අසාඩ් ගුවන් හමුදා කඳවුරට කඩා වැටුණු අතර ඒවායින් 2ක් පිපිරී ගියේ නැත...එර්බිල් නගරයට මිසයිල පහක් ලඟා වූ අතර සියල්ල සන්ධාන හමුදා මූලස්ථාන වෙත පතිත වූහ.ඉරාක හමුදාවන්ට කිසිදු හානියක් නොවීය" යනුවෙන් ඉරාක හමුදාවේ ප්‍රකාශයේ සඳහන් වේ.


එක්සත් ජනපදය:අවම වශයෙන් මිසයිල දුසිම් දෙකක්වත් දියත් කර තිබේ යැ‍යි ඇමෙරිකා එක්සත් ජනපදය පැවසීය.පසුව වාර්තා වූයේ මිසයිල 10ක් අයින් අල්-අසාඩ් ගුවන් හමුදා කඳවුරටත්,එක් මිසයිලයක් එර්බිල් නගරය ආසන්නටත් වැටුණු බවයි.මිසයිල හයක් ඉලක්ක වෙත ළඟාවන්නට අසමත් වූහ.

ඇමෙරිකානු සෙබලුන්ට හානියක් නැති බවත් හානි සිදුව තිබෙන්නේ ඉරාක හමුදාවට යැ‍යි පෙන්ටගනය පැවසුවේය.


ඉලක්කයන්ට ළඟා වීමට සමත් වූ ඉරාන බැලස්ටික් මිසයිල එර්බිල් නගරය ආසන්නට කඩා වැටී ඇති අයුරු





කුඩ්ස් බලකා ප්‍රධානී මේජර් ජෙනරල් කසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කල මිසයිල ප්‍රහාරයට ප්‍රථමයෙන්,ප්‍රහාරයේ ඉලක්ක වන්නේ කුමන කඳවුරුද යන්න වග ඉරාකය විසින් එක්සත් ජනපදයට දැනුම් දුන්නේය යැයි අරාබි රාජ්‍යතාන්ත්‍රික මූලාශයක් උපුටා දක්වමින් සී එන් එන් නාලිකාව ජනවාරි 5දා සඳහන් කර තිබිණි.

මූලාශ්‍රයට අනුව ප්‍රහාරයට ලක්වන්නට නියමිත කඳවුරු කවරක්ද යන වග ඉරාන බලධාරීන් විසින් ඉරාක පාර්ශ්වයට දැනුම්දී තිබෙන අතර ඉන්පසුව ඉරාක පාර්ශ්වය එක්සත් ජනපදයට අනතුරු අඟවා ඇත.

අසවල් කඳවුරුවලින් ඉවත් සිටින්නට යැ‍යි ඉරානය,ඉරාක හමුදාවට නිකුත් කල අනතුරු ඇඟවීම එක්සත් ජනපද නිලධාරියෙක් විසින් තහවුරු කලේය.

ඉරාකයේ ඇමෙරිකානු කඳවුරුවලට එරෙහිව ප්‍රහාරය ආරම්භ වූ බව හෝ කෙටි වේලාවකින් ආරම්භ වන්නේ යැයි ඉරාන වාචිකව ඉරාකය දැනුවත් කල බව ඉරාක අගමැති අඩිල් අබ්දුල් මාඩි ප්‍රකාශයක් නිකුත් කරමින් සනාථ කරන ලදි.කෙසේවෙතත්,කුමන කඳවුරුවලට ප්‍රහාර එල්ල වන්නේද යන්න ටෙහෙරාන් රජය සඳහන් කලේ නැතැයි හෙතෙම පැවසුවේය.

මේ හරහා සී එන් එන් පුවත් සේවය කියන්නට උත්සාහ කරන්නේ ඇමෙරිකානු හමුදාවට සිදුවන හානිය අවම කිරීම සඳහා ඉරානය හිතාමතාම ප්‍රහාරය සඳහා ඉලක්ක තෝරා ගෙන ඇතැයි කියාය.


ඉරාකයේ ඇමෙරිකානු කඳවුරුවලට එල්ල වූ මිසයිල ප්‍රහාරත් සමග ජනවාරි 8දා ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා සයීඩ් අලි කමෙයිනි එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතන ලදි.

"පසුගිය රාත්‍රියේදී කම්මුල් පහර ගැසුවා(ඇමෙරිකාවට),නමුත් වඩාත් වැදගත් වන්නේ කලාපය අස්ථාවර කරන කලාපයේ ඇමෙරිකානු පැවැත්ම අවසන් කිරීමයි.තමන් පියවරක් පසුපසට ගතහොත් ඇමෙරිකානුවන් ඔවුන්ගේ එදිරිවාදිකම් නවත්වාවි යැ‍යි සමහරක් මිනිසුන් සිතීම ඉතා නිහීන අත්වැරැද්දකි." - උත්තරීතර නායක අයතොල්ලා සයීඩ් අලි කමෙයිනි

"ඇමෙරිකානු කඳවුරුවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ටෙහෙරානයේ පළමු ප්‍රතිචාරයයි,ඉදිරි දිනවලදී සහ සතිවලදී ඉස්ලාමීය ජනරජය තවත් මාර්ගවලින් ප්‍රතිචාර දක්වනු ඇත ""යනුවෙන් කමෙයිනි පැවසුවේය.

මිසයිල ප්‍රහාර හුදෙක් එක්සත් ජනපදයට නිකුත් කල අනතුරු ඇඟවීමක් පමණි.ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා දුටුවේ ඉරාන සන්නද්ධ හමුදාවල හැකියාවන්ගෙන් ස්වල්පයක් යැ‍යිද ඉරාන සන්නද්ධ හමුදාහි ප්‍රධානී මේජර් ජෙනරල් මොහොමඩ් හොසෙයින් බකෙරි ජනවාරි 8දා උදෑසන පැවසුවේය.

ඉදිරියේදී ඉරාක පාර්ශ්වයේ ප්‍රතිචාරයට ඇමෙරිකානුවන්ට මුහුණ දීමට සිදුවේ යැයි ඉරාක මහජන සේවා මණ්ඩලයේ අසයිබ් අල් අල්-හාක් කණ්ඩායමෙහි නායක කයිස් අල්-කසාලි පවසා තිබේ.ඉරාකයේ ෂියා කටයිබ් හිස්බුල්ලා කණ්ඩායමේ නායක අබු මාඩි අල්-මුහන්ඩිස් ඝාතනය කිරීමේ පළිගන්නේ යැ‍යි ඔහු කියා සිටියේය.එය ඉරාන ප්‍රතිචාරයට වඩා මදක් හෝ අඩු නොවන එකක් යැයිද කීය.



source:southfront.org,thewarzone.com


ඉරානයේ පළිගැනීම:ඉරාකයේ ඇමෙරිකානු හමුදා කඳවුරුවලට බැලස්ටික් මිසයිල ප්‍රහාර ඉරානයේ පළිගැනීම:ඉරාකයේ ඇමෙරිකානු හමුදා කඳවුරුවලට බැලස්ටික් මිසයිල ප්‍රහාර Reviewed by HarshaLulzSec on January 10, 2020 Rating: 5

No comments:

Powered by Blogger.