සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 04

syrian-war-report-november-4-2019

ඊසානදිග සිරියාවේ සිය පාලන ප්‍රදේශ වෙන් කෙරෙන සීමාවන් හි සිරියානු හමුදාව සහ තුර්කිය ප්‍රමුඛ හමුදා සිය ස්ථාන ශක්තිමත් කර ගනිමින් සිටිති.රාස් අල්-අයින් නගරයට දකුණින් වූ  සහ නගරවලට සිරියානු අරාබි හමුදාව අමතර සෙබලුන් සහ යුදෝපකරණ රැගත් විශාල රථ පෙළක් එවීය.එහි ටී-72 යුද ටැංකි,BMP-1 පාබල හමුදා ප්‍රහාරක රථ, මි.මී. 122 ග්වොස්ඩිකා හොවිත්සරයක් සහ මි.මී. 122 ග්‍රාඩ් රොකට් විදින ඇතුලත්ය.ඊට සමගාමීව,තුර්කි හමුදාව ද අමතර සෙබලුන් සහ උපකරණ රාස් අල්-අයින් ප්‍රදේශයට යැවීය.

නොවැම්බර් 1,2 සහ 3 දිනයන්හි කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ තුර්කි ප්‍රොක්සි හමුදා අතර ගැටුම් වයඹදිග අල්-හසාකා හි අසිසාහ්,අල්-ජමිලියා සහ පයිසලියාහ් නම් ගම්මානවලින් වාර්තා විය.කුර්දි සටන්කාමීන් ගම්මාන 10ක බලය නැවත අල්ලා ගැනීමට සමත් වූ බව ඔවුන්ට පක්ෂපාතී මූලාශ්‍ර සඳහන් කරයි.නමුත් තුර්කියට පක්ෂපාතී මූලාශ්‍ර පැවසුවේ කුර්දි සටන්කාමීන් පසු බැස ගිය බවයි.කෙසේවෙතත් රාස් අල්-අයින් හි දකුණු ප්‍රදේශයේ විශාල කොටස කිසිදු පාර්ශ්වයක් හිමිකම් නොකියයි.

අයින් ඊසා හි සමායෝජන මධ්‍යස්ථානයක් පිහිටුවූ බව රුසියානු සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා නොවැම්බර් මස 3දා වාර්තා විය.මෙම මධ්‍යස්ථානය හරහා ඊසානදිග සිරියාවේ ආරක්ෂිත කලාප ගිවිසුම සහයෝගයෙන් යුතුව ක්‍රියාවට නැංවීම සහ සිරියා-රුසියා-ඉරාන සන්ධානය සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අතර සහයෝගීතාවය වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

රුසියානු ගුවන් හමුදාව ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ කෆාර් සිජ්නාහ්,ජෙබාලා,රකයා සිජ්නේ,හාස්,මරාට් අල්-නූමන් සහ කබනි යන නගර ආසන්නයේ ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන ලදි.

දකුණු ප්‍රදේශයේ සිරියානු අරාබි හමුදාවේ පාලන ප්‍රදේශ වෙත කඩා වදින්නට හයාට් ටරිර් අල්-ෂාම් සහ තුර්කි ප්‍රොක්සි හමුදා දැරූ උත්සාහයන්වලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කල බව කියවේ.සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ සිරියානු සෙබලුන් 7 දෙනෙක් මියගොස් යුදෝපකරණ කිහිපයක් දෙපාර්ශ්වය අතර ගැටුම්වලදී විනාශ වූයේ යැ‍යි සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කලහ.

යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ තෙල් නිධිවල පාලනය තහවුරු කර ගැනීමට ඇමෙරිකානු හමුදාව ක්‍රියා කරමින් සිටියි.සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව කමිෂ්ලි නගරය ආසන්නයේ හීමෝ කඳවුරේ අමතර සෙබලුන් ස්ථානගත කිරීමටත්,ඩීර් එසෝර් හි සිරියානු ගුවන් ආරක්ෂක බලකා හි 113 බ්‍රිගේඩයේ කඳවුරක් තිබූ ස්ථානයෙහි නුදුරේදීම ඇමෙරිකානු කඳවුරක් පිහිටුවීමටත් කටයුතු කරනු ඇත.

උතුරු කැරොලිනා හි 4 වන බල ඇණිය,119වන පාබල හමුදා රෙජිමේන්තුව ආදියෙහි සෙබලුන් පිරිසක් ඔක්තෝම්බර් 31දා පටන් නැගෙනහිර සිරියාවේ ස්ථානගත කිරීම ආරම්භ විය.ඔවුන්ගේ සහායට M2A2 බ්‍රැඩ්ලි පාබල හමුදා ප්‍රහාරක රථ ගුවන් මගින් සිරියාවට ගෙන විත් ඇත.
තුර්කි හමුදාව සිරියානු සෙබලුන් 18 දෙනෙක් මුදා හරියි

තුර්කි ප්‍රොක්සි හමුදා අත් අඩංගුවට පත් වූ සිරියානු හමුදා සෙබලුන් 18 දෙනෙක් ඔක්තෝම්බර් මස 31දා තුර්කි හමුදාව විසින් මුදා හරින ලදි.සෙබලුන් භාරදීම සිදු කෙරුණේ අල්-හසාකා හි උතුරු ප්‍රදේශයේ ඩර්බාසියාහ් දේශසීමා පිවිසුමේදීය.මේ සඳහා රුසියානු හමුදා පොලිසියේ නියෝජිතයන් කණ්ඩායම් එක්ව සිටියහ.


මෙම සෙබලුන් කොටු වන්නේ ඔක්තෝම්බර් 29 දා තුර්කි හමුදාවේ යුද ටැංකිවල සහාය ඇතිව තුර්කි ප්‍රොක්සි හමුදා රාස් අල්-අයින් ආසන්නයේ සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත පහර දුන් අවස්ථාවේදීය.එහිදී හසුවූ එක් සෙබලෙක් සටන්කාමීන් විසින් ඝාතනය කලහ.



මෙයිමිම් ගුවන් හමුදා කදවුර ආසන්නයේදී සන්නද්ධ ඩ්‍රෝන් යානා කිහිපයක් බිම හෙළයි

සිරියාවේ බටහිර කොටසේ වෙරළාසන්නයේ රුසියානු මෙයිමිම් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගෙන පැමිණි සන්නද්ධ ඩ්‍රෝන් යානා කිහිපයක් ඔක්තෝම්බර් 31දා රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිවල සහාය ඇතිව බිම හෙළන ලදි.කඳවුර ආසන්න අහසේ අවම වශයෙන් පිපිරීම් පහක් පමණ සිදුවූ බව ප්‍රාදේශීය මූලාශ්‍ර වාර්තා කලහ.



යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරයකින් බේරුණු ටී-72 යුද ටැංකියක්

උතුරු ලටාකියාහි ඉදිරි ආරක්ෂක වළල්ලේ දී හයාට් ටරිර් අල්-ෂාම් සටන්කාමීන්ගේ යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරයක් හමුවේ නොනැසී සිටීමට සමත් වූ ටී-72 යුද ටැංකියක වීඩියෝපටයක් සමාජ ජාල මාධ්‍ය තුල සංසරණය වේ.කෙසේවෙතත් යුද ටැංකියේ කාර්ය මණ්ඩලය සුළු තුවාල ලබා ඇත.





ඊසානදිග සිරියාවේ ප්‍රහාරයකින් තුර්කි සෙබලෙක් මරුට

සිරියාවේ අල්-හසාකා පළාතේ මෙහෙයුම්වල නියුතුව සිටි තුර්කි සෙබලුන් මර උගුලකට හසුවීමෙන් එක් අයෙක් මියගොස් හය දෙනෙක් තුවාල ලැබූහ.පිපිරීම සිදුව තිබෙන්නේ රාස් අල්-අයින් නගරය ආසන්නයේදීය.




උතුරු ලටාකියා හි අල්කයිඩා සහ තුර්කි ප්‍රොක්සි හමුදා මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කලහ

නොවැම්බර් මස 1දා උතුරු ලටාකියා හි රජයේ පාලන ප්‍රදේශ වෙත අන්තවාදී සටන්කාමීන් මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කලහ.මෙම විශ්මිත ප්‍රහාරය සඳහා හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම නායකත්වය ලබා දුන්නේය.ඊට අමතරව තුර්කියේ සහාය ලබන සිරියානු ජාතික හමුදාවද ඊට සහභාගී විය.



ඊසානදිග සිරියාවේ තුර්කි රුසියා පළමු ඒකාබද්ධ මුර සංචාරය

තුර්කි-රුසියා එකඟතාවයට අනුව තුර්කි හමුදාව සහ රුසියානු හමුදා පොලිසිය නොවැම්බර් මස පළමුවෙනිදා සිය පළමු ඒකාබද්ධ මුර සංචාරය සිදු කලහ.





ඇමෙරිකානු හමුදාවේ රථ පෙළක් නැගෙනහිර ඇලපෝ ප්‍රදේශයට ඇතුල් වේ

ට්‍රක් රථ 80කට වැඩි ගණනකින් සමන්විත රථ පෙළක් ඔක්තෝම්බර් මස 31දා සිරියාවේ නැගෙනහිර ඇලපෝ හි සන්ධාන කඳවුරකට ලගා විය.නෝර්ත් ප්‍රෙස් නම් පුවත් සේවය නිකුත් කල වීඩියෝවක දැක්වෙන පරිදි රථ පෙළ ගමන් කරන්නේ සරින් කඳවුර වෙතයි.ට්‍රක් රථ වැඩි ගණනක් හිස්ය.කිහිපයක පමණක් ඇමෙරිකානු හමුදා ඉන්ජිනේරු රථ ගෙන යයි.එක් රියදුරෙක් පැවසූ පරිදි ඔවුන් කඳවුරේ උපකරණ ඉන් ඉවත් කර ගැනීම සඳහා පැමිණි පිරිසකි.සරින් යනු නැගෙනහිර ඇලපෝ හි සන්ධාන හමුදාව සතු විශාලතම කඳවුරකි.




සටන්කාමීන් තමන්ගේම ඩ්‍රෝන් යානයක් බිම හෙළයි

උතුරු ලටාකියා හි සිරියානු අරාබි හමුදාවේ පාලන ප්‍රදේශ වෙත පහරදුන් සටන්කාමීන් නොවැම්බර් 1දා තමන්ගේම සන්නද්ධ ඩ්‍රෝන් යානයක් බිම හෙළීය.බිම හෙළු යානයේ ඡායරූපයකට අනුව එය සටන්කාමීන්ටම අයත් එකකි.2018 අගෝස්තු සහ 2019 වර්ෂයේ උතුරු හමා හි රජයේ හමුදා වෙත එල්ල කල අසාර්ථක ප්‍රහාර සඳහා යොදාගෙන තිබුණේද මීට සමාන යානාය.


මෙම වර්ගයේ ඩ්‍රෝන් යානා විදුලි මෝටරයක්,නාසය කොටසේ කුඩා අවි ශීර්ෂයක් හෝ පියාපත් යටින් කුඩා බෝම්බ කිහිපයක් සහිතය.මේවා කෙටි දුරක් පියාසර කල හැකි දුරස්ථපාලක යානාය.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 04 සිරියානු යුද වාර්තාව - 2019 නොවැම්බර් 04 Reviewed by HarshaLulzSec on November 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.