රුසියාව සෙබලුන් විශාල පිරිසක් සහ යුදෝපකරණ රැසක් උතුරුදිග සිරියාවට යවයි

syrian-war-report-october-25-2019-russia-deploys-more-personnel-equipment-in-syria

රුසියානු හමුදා පොලිසියේ නිලධාරීන් 276කට වැඩි පිරිසක් සහ යුදෝපකරණ 33ක් සිරියාවට යවනු ඇතැයි රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කලේය.මෙම භට පිරිස් යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ සිරියා-තුර්කි දේශසීමා ඔස්සේ සිදු කරන ආරක්ෂක මෙහෙයුම්වලට සහභාගී වනු ඇතැයි විශ්වාස කෙරේ.

කොබානි නගරයේ දියත් කිරීමට අමතරව,රුසියානු හමුදා පොලිසිය කමිෂ්ලි නගරාසන්නයේද දැනටමත් මුර සංචාර ආරම්භ කර තිබේ.

ඔක්තෝම්බර් මස 24දා රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ප්‍රකාශ කල පරිදි කුර්දි සටන්කාමීන් දේශසීමා ප්‍රදේශයෙන් පසුබැසීම ආරම්භ කර ඇත.

කෙසේවෙතත්,අසීරුතාවලින් තොරව සටන් විරාමය ක්‍රියාවට නැංවීම කල නොහැකි වනු ඇත.ඔක්තෝම්බර් 24දා පස්වරුවේ උතුරු අල්-හසාකා හි අල්-කොස්ලෙයා සහ ටෙල් අල්-ලාබන් නගර ආසන්නයේදී තුර්කි ප්‍රොක්සි හමුදාවලින් එල්ල වූ ප්‍රහාරයක් සිරියානු හමුදාව ව්‍යර්ථ කලේය.ආසඩියා,මිෂ්රාෆා සහ මනජර් ගම්මාන ආසන්නයේ කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ තුර්කි ප්‍රොක්සි හමුදා අතර ගැටුම් හට ගත්තේය.

කුර්දි සටන්කාමීන් සිදු කල සටන් විරාමය උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර දියත් කලේ යැ‍යි තුර්කියට පක්ෂපාතී මූලාශ්‍ර සඳහන් කලහ.ඔක්තෝම්බර් 24දා කුර්දි සටන්කාමීන් දියත් කල ප්‍රහාර මාලාවකින් අල්-හසාකා පළාතේදී තුර්කි සෙබලුන් 5 දෙනෙක් තුවාල ලැබූ බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කලේය.කෙසේවෙතත් නිල තුර්කි නිවේදනයට අනුව ඔවුන්ගේ හමුදා සටන්විරාමය උල්ලංඝනය කර නැත.


දේශපාලන විසඳුමට පැමිණි පසු සිරියානු හමුදාවට එක් වීමේ අදහස සම්බන්ධව සාකච්ඡා කිරීමට සූදානම් යැ‍යි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි ප්‍රකාශකයෙක් වන මුස්ටාෆා බලි රුසියානු මාධ්‍ය වලට පැවසීය.ඔහු පවසන පරිදි මෙය දේශපාලනික අර්බුදයක් බව සියලුම පාර්ශ්වයන් හඳුනාගත යුතුය.එය විසඳීමට දේශපාලනික විධි ඔස්සේ විසඳා ගත යුතුය.ඊසානදිග සිරියාවේ ඇමෙරිකානු හමුදා සිටියදී කුර්දි පාර්ශ්වය මෙවැනි ප්‍රකාශ නිකුත් කලේ තර්ජනාත්මක ස්වරූපයකිනි.නමුත් දැන් ඔවුන්ගේ කථා ව්‍යවහාරය වෙනස් වී තිබේ.මෙම වෙනස්කමින් ඇගවෙන්නේ දේශපාලනික විසඳුමකට පැමිණීමේ හැකියාව ඇති බවයි.


  •  කුර්දි මහජන ආරක්ෂක ඒකකවලට අයත් හම්වී රථයක් සිරියාවේ රාස් අල්-අයින් නගරය ආසන්නයේදී විනාශ කිරීමට සිරියානු ජාතික හමුදාව නම් තුර්කි ප්‍රොක්සි හමුදා සන්ධානය සමත් විය.



  • ඊසානදිග සිරියාව සම්බන්ධව ඇති කර ගත් තුර්කි-රුසියා ගිවිසුමේ සමහර කොන්දේසිවලට තමන් එකඟ නොවන වග කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි ප්‍රධානියා ඔක්තෝම්බර් මස 25දා වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබේ.

  • උතුරු අල්-හසාකා හිදී තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් 8 දෙනෙක් වත් සිරියානු අරාබි හමුදාවේ සහ කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි ප්‍රහාර හමුවේ මිය ගිය බව මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරය ඔක්තෝම්බර් 25දා වාර්තා කලේය.උතුරු අල්-හසාකා ප්‍රදේශයේ කුර්දි පාලනය යටතේ තිබෙන ගම්මාන කිහිපයකට ඔක්තෝම්බර් 24දා සිරියානු ජාතික හමුදා සටන්කාමීන් එල්ල කල විශ්මිත ප්‍රහාරයකින් කුර්දි සටන්කාමීන් තිදෙනෙක් මිය ගොස්,සිරියානු අරාබි හමුදාවේ සාමාජිකයෙක් තුර්කි ප්‍රොක්සි හමුදා අත් අඩංගුවට පත්ව පසුව ඝාතනය කල බවත් එම නිරීක්ෂණ කණ්ඩායම සඳහන් කරයි.

  • ඔක්තෝම්බර් 24දා සිරියානු අරාබි හමුදාවට අයත් සෙබලුන් විශාල කණ්ඩායමක් ඊසානදිග සිරියාවේ කොබානි නගරයට ලගා වූහ.හවර් පුවත් සේවයට අනුව එහි සෙබලුන් 1,300ක් පමණ සහ වාහන 160 ආසන්න ප්‍රමාණයක් ඇතුලත් විය.



  • ඔක්තෝම්බර් 25දා ඉඩ්ලිබ් කලාපයේ ත්‍රස්තවාදීන්ගේ ස්ථාන වෙත සිරියානු සහ රුසියානු යුද ගුවන් යානා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ප්‍රහාර මාලාවක් එල්ල කලහ.පහත දැක්වෙන්නේ එම ප්‍රහාරවලට අදාල වීඩියෝපට කිහිපයකි.




  • උතුරු රක්කා ප්‍රදේශයේ අයින් ඊසා නගරය ආසන්නයේදී සිවිල් වැසියන් ගමන් ගත් මෝටර් රථයක් ආසන්නයට එල්ල වූ තුර්කි ඩ්‍රෝන් ප්‍රහාරයකින් සිරියානුවෝ පස් දෙනෙක් තුවාල ලැබූහ.ප්‍රහාරය එල්ල වූයේ ඔක්තෝම්බර් 25දා උදෑසන කාලයේ යැයි මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරය වාර්තා කලේය.තුවාල ලැබූවෝ එකම පවුලක දෙමව්පියන් සහ ලමුන් තිදෙනෙකි.වාර්තාවලට අනුව දරුවන්ගේ මව බරපතල තුවාල ලබා කොමා තත්ත්වයේ පසුවේ.ඔක්තෝම්බර් 24දා පස්වරුවේ තුර්කි ඩ්‍රෝන් යානයක් එල්ල කල ප්‍රහාරයකින් උතුරු අල්-හසාකා ප්‍රදේශයේදී කුර්දි සටන්කාමීන් තිදෙනෙක් තුවාල ලැබූහ.



  • උතුරු අල්-රක්කා ප්‍රදේශයේ අලුතින් පිහිටුවන ලද තුර්කියේ සහාය හිමි සිරියානු ජාතික හමුදාවේ මූලස්ථානයක් ඉලක්ක කරගෙන ඔක්තෝම්බර් 25දා කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.පිපිරීමෙන් එක් අයෙක් මියගොස් පුද්ගලයින් ගණනාවක් තුවාල ලැබූහ.ඊට පෙර දිනයේ ටෙල් අබ්යාඩ් නගර මධ්‍යයේ Glory Corps නම් සටන්කාමී කණ්ඩායමේ මූලස්ථානය ආසන්නයේ සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් සිව්දෙනෙක් තුවාල ලැබූහ.





  • ඔක්තෝම්බර් මස 25දා පස්වරුවේ සිරියානු අරාබි හමුදාව උතුරු අල්-හසාකා හි දේශසීමා නගරයක් වන කමිෂ්ලි හි හමුදා යෙදවීම ආරම්භ කල සානා පුවත් සේවය වාර්තා කලේය.හමුදා ස්ථානගත කරන ලද්දේ නගරයේ බටහිර සීමාවේය.




  • ඊසානදිග සිරියාව කුර්දි ජනතාවට නොව අරාබි ජනයාට යෝග්‍ය යැ‍යි තුර්කි ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන් ඔක්තෝම්බර් 25දා ප්‍රකාශ කලේය.ඔහු ඊට හේතුව වශයෙන් සඳහන් කර තිබුණේ එම ප්‍රදේශය කාන්තාරයක ස්වරූපය ගැනීමත්,එවැනි භූවිෂමතාවයක් කුර්දි ජනජීවිතයට වඩා අරාබි ජාතිකයන්ට සුදුසු බවත්ය.

  • ඔක්තෝම්බර් මස 26දා අලුයම් කාලයේදී ඇමෙරිකානු සන්නාහ සන්නද්ධ රථ සහ ට්‍රක් රථ දුසිම් ගණනක් ඉරාකයේ සිට ඊසානදිග සිරියාවට ඇතුල් විය.රුසියානු රූපවාහිනී නාලිකාවට ඊට අදාල වීඩියෝපටයක් නිකුත් කර තිබිණි.මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරයට අනුව මෙම රථ පෙළ අල්-වලිඩ් දේශසීමා පිවිසුම හරහා පැමිණ සිරියාවේ ඩීර් එසෝර් පළාතේ තෙල් නිධි දක්වා ගමන් කලහ.සිරියාවේ තෙල් බිම්වල බලය අල්ලා ගැනීමේ තීරණය සම්බන්ධව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය,ඇමෙරිකාවට චෝදනා එල්ල කලේය.එහිදී ඇමෙරිකානු හමුදා සහ කුලී හේවායින් යොදවා නීතිවිරෝධී තෙල් වෙළඳාමේ යෙදන අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක්ද මුදා හරින ලදි.



  • කුර්දි-ඩැමැස්කස් එකඟතාවයේ කොටසක් වශයෙන් ඔක්තෝම්බර් 26දා සිරියානු අරාබි හමුදාවේ තවත් සෙබලුන් උතුරු අල්-හසාකා හි ටෙල් ටමර් සහ රාස් අල්-අයින් නගර අතර ගම්මාන කිහිපයකට ඇතුල් වූහ.ඔක්තෝම්බර් මාසයේ මුලදී තුර්කි ප්‍රොක්සි හමුදා ග්‍රහණයට පත් වූ දේශසීමා නගරයක් වන රාස් අල්-අයින් ආසන්නටද සිරියානු රජයේ හමුදා කණ්ඩායම් ලඟා වී ඇතැ‍යි සානා පුවත් සේවය වාර්තා කලේය.












  • ඊසානදිග සිරියාවේ දකුණු අල්-හසාකා හි ප්‍රධාන කඳවුරකින් ඇමෙරිකානු හමුදා රථ පෙළක් ඉවත්ව ගිය බව සානා පුවත් සේවය ඔක්තෝම්බර් 25දා වාර්තා කර තිබිණි.අල්-ෂඩ්ඩාඩි නගරය ආසන්නයේ පිහිටා ඇති මෙම කඳවුරේ ඇමෙරිකානු සෙබලුන් දුසිම් ගණනක් රැඳී සිටියහ.එහි අවම වශයෙන් හෙලිකොප්ටර් යානා 8ක් වත් තිබෙන්නට ඇත.කුර්දි පාලනය යටතේ තිබූ අල්-ජබ්සා ගෑස් කර්මාන්තශාලාව සහ අල්-ෂඩ්ඩාඩි තෙල් නිධියට ආරක්ෂාව සැපයූවේ මෙම කඳවුර හරහාය.

අල්-ෂඩ්ඩාඩි කඳවුර


  • උතුරු අල්-හසාකා හි තුර්කි දේශසීමාවේ රාස් අල්-අයින් සහ ටෙල් ටමර් නගරය සම්බන්ධ කරන මාර්ගයේ පළමු සිරියානු හමුදා-රුසියානු හමුදා පොලිස් ඒකාබද්ධ මුර සංචාරය ඔක්තෝම්බර් 26 දා සිදු කෙරිණි.මුර සංචාරයට අදාල විඩීයෝපටයක් සානා පුවත් සේවය පළ කර තිබේ.



  • උතුරු රක්කා ප්‍රදේශයේ කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ඔක්තෝම්බර් 26දා එල්ල වූ තුර්කි ප්‍රොක්සි හමුදා ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කලේය. එහිදී තුර්කි ප්‍රොක්සි හමුදා ගම්මාන තුනක බලය අල්ලා ගත්තද කුර්දි සටන්කාමීන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ ඔවුන් පසුබැස ගියහ.හවර් පුවත් සේවයට අනුව ගැටුම්වලින් අවම වශයෙන් තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් 18ක් වත් මියගොස් තුර්කි හමුදා රථ දෙකක්ද විනාශ විය.කෙසේවෙතත්,මෙම ප්‍රහාර ඔස්සේ තුර්කි-රුසියා එකඟතාවය උල්ලංඝනය වේ.

  • උතුරු රක්කා හි තුර්කි පාලනය යටතේ තිබෙන අයිල් අල්-අරුස් ගම්මානයේදී මෝටර් සයිකලයක අටවා තිබූ බෝම්බයක් ඔක්තෝම්බර් 26දා පිපිරී ගියේය.මෙම ගම්මානය තුර්කි දේශසීමාවේ ටෙල් අබ්යාඩ් නගරයට දකුණු දිශාවෙන් පිහිටා තිබේ.මීට සති කිහිපයකට ප්‍රථමයෙන් තුර්කි ප්‍රොක්සි හමුදා එම නගරය අල්ලා ගත්හ.පිපිරීමෙන් සිවිල් වැසියන් දෙදෙනෙක් තුවාල ලැබූ බව විපක්ෂ මූලාශ්‍ර පැවසූහ.මෙය තුර්කි ප්‍රොක්සි හමුදා හි අභ්‍යන්තර් අර්බුදයක් පාදක කර ගෙන සිදු කල පිපිරීමක් යැයි හවර් නම් කුර්දි පුවත් සේවය වාර්තා කලේය.

  • ඔක්තෝම්බර් මස 26දා උදෑසන කාලයේ සිරියාවට ඇතුල් වූ ඇමෙරිකානු භට පිරිස් උතුරු අල්-හසාකා හි කඳවුරක ස්ථානගත වූ බවට සානා පුවත් සේවය පැවසීය.එම වාර්තාවට අනුව ඇමෙරිකානු සෙබලුන් ටෙල් ටමර්-කාමිෂ්ලි නගර අතර කඳවුරේ ලැගුම් ගත්හ.මෙම රථ පෙළට වාහන 13ක් සහ සෙබලුන් දුසිම් ගණනක් ඇතුල් විය.මීට පෙර මේ රථ පෙළ සම්බන්ධව මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරය පළ කර තිබූ වාර්තාවට අනුව ඒවා ඩීර් එසෝර් පළාතේ තෙල් නිධි වෙත ගමන් කරමින් තිබිණි.ජනපති ට්‍රම්ප් පැවසුවේ සෙබලුන් යම් ප්‍රමාණයක් තෙල් නිධිවල ආරක්ෂාව සඳහා නැගෙනහිර යුප්‍රටීස් ප්‍රදේශය යොදවන බවයි.නමුත් දැන් පෙනෙන පරිදි ඇමෙරිකානු හමුදාව අනෙකුත් ප්‍රදේශවලත් අලුතින් හමුදා රැඳවීමට ක්‍රියාකරමින් සිටින බව මෙම සිදුවීමෙන් පෙනී යයි.

  • ඔක්තෝම්බර් 26දා සිරියානු අරාබි හමුදාව ඊසානදිග සිරියාවේ කොබානි නගරයේ අමතර සෙබලුන් යෙදවීය.මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරය ඊට අදාල ඡායරූප කිහිපයක් නිකුත් කර තිබිණි.සෙබලුන්ට අමතරව යුද ටැංකිද නගරයට ඇතුල් වන අයුරු ඒවාහි දැකගත හැකිය.





  • ඔක්තෝම්බර් 26දා පස්වරුවේ සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ තුර්කි දේශසීමා ආසන්නයේ ස්ථාවලට අභිරහස් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 8කින් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කරන ලදි.විපක්ෂ ක්‍රියාකාරීන් පවසන පරිදි තුර්කියෙන් පැමිණි මෙම යානා උතුරු ඉඩ්ලිබ් හි බරිෂා නගරයෙන් පිටත ප්‍රදේශයට ප්‍රහාර එල්ල කලහ.සමහර වාර්තාවලට අනුව නගරයේ බටහිර කොටසේ ගුවනින් සෙබලුන් ගොඩබෑමක්ද සිදු කර තිබේ.මෙම හෙලිකොප්ටර් යානා කවර පාර්ශ්වයකට අයත් දැයි හඳුනාගෙන නැති වුවද,බොහොමයක් මූලාශ්‍ර පවසන පරිදි ඒවා ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානයේ හෙලිකොප්ටර් යානාය.2019 වර්ෂයේ මුල් භාගයේදී ඉඩ්ලිබ් හි අල්කයිඩාවට අනුබද්ධ හොරස් අල්-ඩීන් ත්‍රස්තවාදීන්ගේ මූලස්ථාන ඉලක්ක කර සන්ධාන හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කලහ.ඉන්පසුව නැගෙනහිර ඉඩ්ලිබ් හි අන්සාර් අල්-තව්හිඩ් කණ්ඩායමේ මූලස්ථානයකට ප්‍රහාර එල්ල විය.




  • සිරියාවට එවීමට නියමිත අමතර හමුදා පොලිස් ඒකකවලට අවශ්‍ය සන්නාහ සන්නද්ධ රථ කිහිපයක් රුසියාවේ සිට සිරියාවට ගුවන් මගින් රැගෙන එන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වේ.






source:southfront.org


රුසියාව සෙබලුන් විශාල පිරිසක් සහ යුදෝපකරණ රැසක් උතුරුදිග සිරියාවට යවයි රුසියාව සෙබලුන් විශාල පිරිසක් සහ යුදෝපකරණ රැසක් උතුරුදිග සිරියාවට යවයි Reviewed by HarshaLulzSec on October 30, 2019 Rating: 5

No comments:

Powered by Blogger.