සිරියානු යුද වාර්තාව - 2019 සැප්තැම්බර් 05

syrian-war-report-september-5-2019-syrian-army-prepares-security-operation-in-western-aleppo

සැප්තැම්බර් මස 3දා ඉඩ්ලිබ් හි සටන්කාමීන් සන්නද්ධ ඩ්‍රෝන් යානා යොදාගෙන සිරියාවේ රුසියානු මෙයිමිම් ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දරා තිබිණි.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක බලකා,ප්‍රහාරය සඳහා පැමිණි සියලු ඩ්‍රෝන් යානා බිම හෙළිය. ප්‍රහාරයෙන් ගුවන් හමුදා කඳවුරට හෝ සෙබලුන්ට හානියක් සිදු නොවීය.

අගෝස්තු මස 31දා ඉඩ්ලිබ් කලාපයේ සටන් විරාමය ක්‍රියාත්මක කර දින කිහිපයක් ඉක්මයද්දී ප්‍රහාරය එල්ල වූයේය.සිරියා-ඉරාන-රුසියා සන්ධානයේ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් නොසලකා හරිමින්,කලාපය තුල සැබෑ සාමකාමී වාතාවරණයක් පවත්වා ගැනීමට ඉඩ්ලිබ් සටන්කාමී කණ්ඩායම්වලට වැඩි කැමැත්තක් නොමැත බව මෙම සිදුවීමෙන් පෙනී යයි.

අගෝස්තු 31දා සටන් විරාමයට පෙර සහ පසු ඉදිරි ආරක්ෂක වළල්ලේ වෙනස් වීම

දකුණුදිග ඉඩ්ලිබ් හි අජාස් ආසන්නයේ සිය සටන්කරුවන් රැඳී සිටි ස්ථාන ඉලක්ක කර රුසියානු විශේෂ බලකා ප්‍රහාරයක් එල්ල කලේ යැයි සුකාර් අල්-ෂාම් බ්‍රිගේඩ්ස් නම් කණ්ඩායම සැප්තැම්බර් මස හතර වනදා චෝදනා කලේය.එම කණ්ඩයම පවසන පරිදි ප්‍රහාරයෙන් සිය සාමාජිකයෝ දෙදෙනෙක් මරණයට පත්ව හත්දෙනෙක් තුවාල ලබා ඇත.


ප්‍රහාරයෙන් මිය ගිය සටන්කාමීන් දෙදෙනා

පසුගිය සතියේදී මීට සමාන අභිරහස් ප්‍රහාරයකින් දකුණුදිග ඉඩ්ලිබ් හිදී අරාර් අල්-ෂාම් ව්‍යාපාරයේ සටන්කාමීන් දහසය දෙනෙක් පමණ මිය ගියහ.එම සිදුවීම සම්බන්ධව චෝදනා එල්ල වූයේද රුසියානුවන්ටයි.

ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව ඇලපෝ නගරය සුරක්ෂිත කිරීම සඳහා සිරියානු අරාබි හමුදාව හමුදා මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙමින් සිටියි.නගරයේ උතුරු සහ වයඹදිග කොටස්වල,අල්-සාරා සහ අල්-රෂිඩින් දිස්ත්‍රික්කයන්හි සටන්කාමීන්ගේ ස්ථාන ඉලක්ක කරමින් දියත් කෙරෙන මෙම මෙහෙයුමට සිරියානු අරාබි හමුදාවේ ඒකක කිහිපයක් සහ ඉරානයේ සහාය හිමි සටන්කරුවන් 1,500ක් පමණ සහභාගි වේ යැ‍යි වාර්තා වේ.

පසුගිය වර්ෂයේ සිට අල්-සාරා සහ අල්-රෂිඩින් හි සිටින සටන්කාමීන් ඇලපෝ නගර මධ්‍යයට එල්ල කල රොකට් සහ මෝටාර් ප්‍රහාර සියගණනක් හේතුවෙන් සිවිල් වැසියන් දුසිම් ගණනකට ජීවිත හානි සහ තුවාල සිදුවිය.ඔවුහු පසුගිය නොවැම්බර් මාසයේදී ක්ලෝරීන් වායුව යොදාගෙන නගරයට පහර දුන්හ.

  සිරියාවේ දකුණු ප්‍රදේශයේ ඩාරා හි 4 වන සේනාංකයේ කඳවුරක පිපිරීමක්

සැප්තැම්බර් මස 4දා බටහිර ඩාරා හි සෙයිසූන් නගරයේ සිරියානු අරාබි හමුදාවෙහි 4 වන සේනාංකයේ කඳවුරක කුඩා පිපිරීමක් සිදු විය.මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරයේ වාර්තාවට අනුව පිපිරීමෙන් හමුදා නිලධාරියෙක් සහ සෙබලුන් සිව්දෙනෙක් තුවාල ලබා තිබේ.



 උතුරු හමා හි වටලෑමට ලක් වූ නිරීක්ෂණ මුරපොලට තුර්කියෙන් නැවත සැපයුම්

උතුරු හමා හි මුරාක් නගරයේ දකුණු ප්‍රදේශයේ ,දැන් සිරියානු රජයේ හමුදාවට නතු ප්‍රදේශයේ තිබෙන සිය නිරීක්ෂණ මුරපොලට සැප්තැම්බර් 4දා තුර්කි හමුදාව නැවත සැපයුම් එවීය.ආහාර ද්‍රව්‍ය රැගත් වාහන හතරක් මුර පොලට ඇතුල් වූ බව විපක්ෂයට පක්ෂපාතී මූලාශ්‍ර සඳහන් කලහ.



 දකුණු ඉඩ්ලිබ් හිදී සටන්කාමීන් සිරියානු හමුදාවේ බුල්ඩෝසර් යන්ත්‍ර දෙකක් විනාශ කරයි

පසුගිය දා මුදාගත් දකුණු ඉඩ්ලිබ් හි අල්-ටමානාහ් නගරය ආසන්නයේදී සිරියානු අරාබි හමුදාවට අයත් බුල්ඩෝසර් යන්ත්‍ර දෙකක් සැප්තැම්බර් මස 4දා අන්තවාදී සටන්කාමීන් එල්ල කල ප්‍රහාරයකින් විනාශ විය.සිඩි අලි කඳු මුදුනේ ආරක්ෂක විධිවිධාන සිදු කරමින් සිටියදී මෙම යන්ත්‍ර ඉලක්ක කර යුද ටැංකි නාශක නියාමක මිසයිල ප්‍රහාර එල්ල කලේ යැයි අල්-ෆාටා අල්-මුබින් මෙහෙයුම් මැදිරිය පැවසීය.මෙම සටන්කාමී කණ්ඩායම පසුගිය මැයි මාසයේදී පිහිටුවන්නේ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම විසින්ය.ඊට අල්කයිඩාවට සම්බන්ධ සටන්කාමීන් මෙන්ම තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම්වල පිරිස්ද ඇතුලත්ය.

වාර්තා සහ චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව සිරියාවේ හෝම්ස් පළාතේ ටී 4 ගුවන් හමුදා කඳවුර ක්‍රමයෙන් පුළුල් කරමින් තිබේ.චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන කඳවුරේ දකුණුදිග ධාවන පථයේ දිග මීටර් 3,200 සිට 3,750 දක්වා දීර්ඝ කර ඇත.තුන්වන ධාවන පථයකුත් ඉදි කරමින් තිබේ.

ටී 4 ගුවන් හමුදා කඳවුර - 2019 අගෝස්තු මස 26 දා දිස්වූ අයුරු




ඊශ්‍රායලයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව මෙම ඉදිකිරීම් වලින් පෙනෙන්නේ සිරියාව තුල ඉරානයේ ශක්තිය වර්ධනය වන අයුරුය.සිරියාවේ ඩ්‍රෝන් මෙහෙයුම් සඳහා ඉරානය ටී 4  ගුවන් හමුදා කඳවුරද භාවිතා කරයි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 සැප්තැම්බර් 05 සිරියානු යුද වාර්තාව - 2019 සැප්තැම්බර් 05 Reviewed by HarshaLulzSec on September 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.