නාවිකයින් දාහතරදෙනෙකුට මරු කැඳවූ රුසියානු සබ්මැරීන අනතුර

russian-submarine-fire

ජූලි මස පළමුවෙනිදා රහසිගත රුසියානු න්‍යෂ්ඨික සබ්මැරීනයක් තුල ඇති වූ ගින්නක් නිවා දැමීමට ප්‍රථමයෙන්  එහි සිටි නාවිකයන් 14 දෙනෙක් මිය ගියහ.මෙම නාවිකයන් සේවය කලේ ලොෂාරික් නම් කුඩා න්‍යෂ්ඨික සබ්මැරීනයේය.එය දිය යට ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් සඳහා යොදා ගත් සබ්මැරීනයක් යැයි සැක කෙරේ.ගින්නට හේතුව සඳහන් නොවීය.

අනතුර සිදු වී තිබෙන්නේ ආක්ටික් වෘත්තයේ උතුරු කොටසේ රුසියාවට අයත් මුහුදු ප්‍රදේශයේය.රුසියානු රජයේ මාධ්‍යවලට අනුව සබ්මැරීනයේ ගින්න ඇති වන්නේ ගැඹුරු ජලය තුල මිනිස් ශරීරයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව පර්යේෂණවල යෙදී සිටියදීය.

ලොෂාරික් සබ්මැරීනයේ රූප සටහනක්

ගින්න නිසා රුසියානු නාවිකයින් 14 දෙනෙක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.වාර්තාවලට අනුව ගින්න නිවීමට දැරූ උත්සාහයේදී නාවිකයින් මරණයට පත් ව තිබේ.රූපවාහිනිය ඔස්සේ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටීන් පැවසූයේ මිය පිරිස අතර පළමු පන්තියේ කපිතාන් නිලයේ හත්දෙනෙක් සිටි බවත් ඉන් දෙදෙනෙක් "රුසියාවේ වීරයෝ" යන සම්මානයෙන් පිදුම් ලැබූවන් බවත්ය.ඉහල නිලයන්හි නිලධාරීන් එතරම් ප්‍රමාණයක් මරණයට පත් වීම අසාමාන්‍යය තත්ත්වයකි.

ට්විටර් වෙබ් අඩවියේ පළවූ වාර්තාවකට අනුව ගින්න ඇති වී තිබෙන්නේ ලොෂාරික්හි නොව එය රැගෙන යන මවු සබ්මැරීනය වන පොඩ්මොස්කොවියෙහිය.පොඩ්මොස්කොවියෙ සබ්මැරීනය සැලසුම් කර තිබෙන්නේ ලොෂාරික් වැනි කුඩා ප්‍රමාණයේ විශේෂ මෙහෙයුම් සබ්මැරීන රැගෙන යාත්‍රා කල හැකි අයුරින්ය.

ලොෂාරික් (AS-12)යනු ගැඹුරු ජලයේ විශේෂ මෙහෙයුම් කල හැකි සබ්මැරීනයකි.ඔත්තු බැලීමේ සබ්මැරීනයක් යැ‍යිද මතයක් තිබේ.එය සේවයට එක් වන්නේ 1997 වර්ෂයේදී වන අතර ජලය ටොන් 1,000ක් විස්ථාපනය කරයි(එක්සත් ජනපද නාවික හමුදාවේ වර්ජීනියා පන්තියේ ප්‍රහාරක සබ්මැරීන ජලය ටොන් 7,800ක් විස්ථාපනය කරයි ).එහි දිග අඩි 230ක්ද පළල අඩි 23ක්ද වේ.කාර්ය මණ්ඩලය 25 දෙනෙකුගෙන් සමන්විතය.සබ්මැරීනය අවශ්‍ය බලය උත්පාදනය කරන්නේ මෙගා වොට් 5ක තනි න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයකිනි.

ලොෂාරික් සබ්මැරීනයේ අභ්‍යන්තරය පෙන්වන රූප සටහනක්

ලොෂාරික් සබ්මැරීනයට නම ලැබී තිබෙන්නේ රුසියානු කාටූන් අශ්වයෙක් ඇසුරිනි.අශ්වයා නිර්මාණය කර ඇත්තේ එකිනෙක සම්බන්ධ වූ බෝලවලින්ය.සබ්මැරීනය ඇතුලත තිබෙන්නේ එකිනෙක සන්ධි වූ අධි පීඩන ගෝල හතකි.සාගරයේ ගැඹුරට කිමිදීමේදී ඇතිවන අධික පීඩනයෙන් ආරක්ෂාව සැපයීම සඳහා මෙම ගෝල නිර්මාණය කර තිබේ.මෙමගින් සබ්මැරීනයට මීටර් 1000ක් දක්වා ගැඹුරට කිමිදී හැකියාව ලැබී තිබේ යැ‍යි සඳහන් වේ.

ලොෂාරික් සබ්මැරීනයට නම ලැබීමට හේතු වූ කාටූන් අශ්වයා

ලොෂාරික් සබ්මැරීනය සැලසුම් කර තිබෙන්නේ සාගර පත්ලේ මෙහෙයුම් කිරීමට හැකි අයුරිනි.එහි ඉදිරිපස පුළුල් සහ අධි තීව්‍රතාවයක් සහිත ආලෝක ධාරාවක් විහිදුවිමට හැකි විදුලි පහනක් ඇති අතර උපකරණ හැසිරවීමට දුරස්ථව පාලනය කල හැකි බාහු තිබේ.ඊට අමතරව මුහුදු පත්ලේ සිටගෙන සිටීම සඳහා අවශ්‍ය අකුලා ගත හැකි හිම සපත්තු ආකාරයේ ව්‍යුහයන් එය සතුය.කෙසේවුවත් විද්‍යාත්මක පර්යේෂණ සබ්මැරීනයක් ලෙස විස්තර කරන මෙය ගැඹුරු මුහුදේ පර්යේෂණ සඳහා වූ ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩලය භාරයේ තිබේ.මෙම සබ්මැරීනය අතිශය රහසිගත සේම ටොප් ගියර් සඟරාවේ රුසියානු සංස්කරණයේ පමණක් එහි ඡායාරූපයක් පළ වී තිබුණි.එම ඡායාරූපයද අහම්බෙන් කැමරාවෙන් සටහන් වූ එකකි.

ලොෂාරික් සබ්මැරීනයේ යැයි සැලකෙන දැනට තිබෙන එකම ඡායාරූපය

ගැඹුරු මුහුදේ පර්යේෂණ සඳහා වූ ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩලයේ බල ඇණියට අයත් සබ්මැරීන නමයක් විශේෂ මෙහෙයුම් සඳහා පිටත්ව ගිය බව The Barents Observer වෙබ් අඩවියේ සඳහන් විය.කෙසේවෙතත් එම මුහුදු ගමන්වල අරමුණ සම්බන්ධව තොරතුරු වාර්තා නොවේ.ගෝලීය විද්‍යුත් සන්නිවේදන ජාලයේ කේබල් පද්ධතිය වැටී තිබෙන ප්‍රදේශයේ ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කරයි.

සංවාදයන්ට රහසේ සවන්දීමට අමතරව හමුදාමය අරමුණ සඳහා මුහුද පත්ලේ කුඩා ස්ථාපනය කිරීම් සහ උපාංග තැන්පත් කිරීම හෝ ඉවත් කර ගැනීම ආදී කාර්යයන් සඳහා ලොෂාරික් වැනි සබ්මැරීනවලට යොදා ගත හැකි යැ‍යි The Barents Observer වෙබ් අඩවිය පවසයි.ආක්ටික් කලාපය රුසියානු නාවික හමුදාවට වැදගත් වේ.රුසියානු සබ්මැරීන කෝලා අර්ධද්වීපයෙන් පිටත්ව උතුරු අත්ලාන්තික් ප්‍රදේශයට ඇතුල් වීමේදී මෙවැනි උපාංගවලින් විදේශීය සබ්මැරීන නොමග යැවීමේ උපක්‍රම ක්‍රියාත්මක කල හැකිය.අනෙකුත් ඇහුන්කම් දීමේ උපාංගවලට සතුරු නෞකා වල අවරපෙති මගින් ඇති කරන ශබ්ද අනාවරණය කර ගැනීමට පුළුවනි.සබ්මැරීනයට මුහුදු අභ්‍යන්තරයට ඩ්‍රෝන් යාත්‍රා දියත් කිරීමත් නැවත ගෙන්වා ගැනීමත් සිදු කල හැකිය.

රුසියානු නාවික හමුදා පළ කල ලොෂාරික් සබ්මැරීනයේ චිත්‍රයක්

2017  වර්ෂයේදී ආර්ජන්ටිනාවේ ARA සැන් ජුවාන් සබ්මැරීන අනතුරින් නාවිකයන් 44 දෙනෙක් මරණයට පත් වීමේ පටන් මේ දක්වා සිදුවූ දරුණුතම සබ්මැරීන අනතුර වූයේ මෙම ගින්නයි.2008 වර්ෂයේදී K-152 නර්පා සබ්මැරීනයේ ගිනි නිවීමේ පද්ධතිය අනුදැනුමක් නොමැතිව සක්‍රීය වීම නිසා සිදුවූ අනතුරින් නාවිකයින් 20 දෙනෙක් මිය යාමෙන් පසුව රුසියාවේ සිදුවූ නරකම අනතුරත් මෙයයි.

නිල වාර්තාවලට අනුව දැන් ලොෂාරික් සබ්මැරීනය සෙවරොමොර්ස්ක් වෙත ගෙනැවිත් තිබේ.නිල නොවන වාර්තාවලට අනුව එය ගොඩ්සියෙවොහි නවතා ඇත.


ඇමෙරිකා-රුසියා සබ්මැරීන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම සිදුවිම ඇති වූයේ යැයි කටකතාවක් අන්තර්ජාලය පුරා පැතිර ගියේය.එහිදී ඇමෙරිකානු සබ්මැරීනයක් ගිලී ගොස්,රුසියානු සබ්මැරීනයට බරපතල හානි සිදුවූ බව සඳහන් වේ.ගැටුමට මුල් වූයේ රුසියානු සබ්මැරීනය ඇමෙරිකානු මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා යැ‍යි කටකතාවෙන් කියවේ.කෙසේවෙතත් මෙවැනි අසත්‍ය පුවත් වලින් රුසියාව ආක්‍රමණකාරී හැසිරීමක් පෙන්වන බව ලෝකයට පෙන්වන්නට උත්සාහ දරන බව පැහැදිලිය.




source:popularmechanics.com


නාවිකයින් දාහතරදෙනෙකුට මරු කැඳවූ රුසියානු සබ්මැරීන අනතුර නාවිකයින් දාහතරදෙනෙකුට මරු කැඳවූ රුසියානු සබ්මැරීන අනතුර Reviewed by HarshaLulzSec on July 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.