මිසයිල සහ ඩ්‍රෝන් :හවුති සටන්කාමීන්ගේ නවතම අවි

houthis-new-missiles-combat-drones-revealed

ජූලි මස 7 වනදා අන්සර් අල්ලාහ් ව්‍යාපාරය(හවුති සටන්කාමීන්)සිය නවතම අවි පද්ධති ලෝකයා හමුවේ නිරාවරණය කරමින් හමුදා ප්‍රදර්ශනයක් පවත්වන ලදි.එහිදී ප්‍රදර්ශනය කල අවි අතර කුඩ්ස්-1 කෲස් මිසයිලය,බඩර්-එෆ් නියතාර්ථ නියාමක උපායමාර්ගික බැලස්ටික් මිසයිලය සහ සමාඩ්-1,සමාඩ්-3 සහ කසෙෆ්-2කේ යන ඩ්‍රෝන් යානා ආදිය තිබිණි.

ප්‍රදර්ශනය විවෘත කෙරුණේ උත්තරීතර දේශපාලන මණ්ඩලයේ සභාපති මඩි අල්-මෂට් විසිනි.ඊට සහභාගී වූ අනෙක් ඉහළ පෙළේ යේමන බලධාරීන් අතර යේමන ආරක්ෂක අමාත්‍ය මෙජර් ජෙනරල් මොහම්මඩ් නසර් ද සිටියේය.



කුඩ්ස්-1 කෲස් මිසයිලය


ප්‍රදර්ශනය භූමියේ තිබූ ප්‍රධානතම අවිය වූයේ කුඩ්ස්-1 කෲස් මිසයිලයයි.එය සෝවියට් Kh-55 කෲස් මිසයිලය පදනම් කරගෙන ඉරානය නිර්මාණය කල සුමර් කෲස් මිසයිලයේ ව්‍යුත්පන්නයක් යැ‍යි මීට පෙර විශ්වාස කලේය.කෙසේවෙතත් අලුත් ඡායාරූපවලින් හෙළිවන්නේ කුඩ්ස්-1 සතුව වෙනස් සැලැස්මක් තිබෙන බවයි.එනම් කුඩ්ස්-1 මිසයිලයේ ඉහළින් ටර්බෝජෙට් එන්ජිමක් ඇති අතර ස්ථිතික පියාපත් බඳට සවි කර තිබේ.මිසයිලයේ එන්ජිම චෙක් ජනරජයේ PBS Velká Bíteš සමාගමේ නිෂ්පාදනය කෙරෙන ටීජේ-100 එන්ජිමක් යැයි හඳුනාගත හැකිය.

කුඩ්ස්-1 කෲස් මිසයිලය

හවුති පාර්ශ්වය කුඩ්ස්-1 මිසයිලයේ ලක්ෂණයන් හෙළිකර නොමැත.කෙසේවෙතත්,එහි මෙහෙයුම් පරාසය කිලෝමීටර් 150කට වැඩි බව විශ්වාස කෙරේ.මාර්ගෝපදේශනය සඳහා ඇමෙරිකානු ගෝලීය පිහිටුම් පද්ධතිය වැනි චන්ද්‍රිකා මාර්ගෝපදේශන පද්ධතියක සහාය ඇති අභ්‍යන්තර මාර්ගෝපදේශන පද්ධතියක් මිසයිලය සතුව ඇතැයි සිතිය හැකිය.



සමහර මූලාශ්‍ර සඳහන් කරන පරිදි මිසයිලය යම් ආකාරයක ගොඩබිම් සමෝච්ච රේඛා සටහන් ගැලපීමේ පද්ධතියකින් සන්නද්ධය.එමගින් මිසයිලයට පහළ උසකින්,සතුරු රේඩාර් පද්ධතිවලට හසුනොවීය පියාසර කිරීමට ඉඩ ලැබේ.


හවුති සටන්කාමීන් ජූනි මස 12දා කුඩ්ස්-1 කෲස් මිසයිලයක් යොදාගෙන සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පැමිණීමේ පර්යන්තයට සාර්ථක ප්‍රහාරයක් එල්ල කලේය.ඊට අමතරව සෞදි අරාබියේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටා ඇති අල්-ෂුකයික් කරදිය මිරිදිය බවට පත් කිරීමේ මධ්‍යස්ථානය සහ විදුලි බලාගාරයට ජූනි 19දා තවත් මිසයිල ප්‍රහාර එල්ල විය.



බඩර්-එෆ් නියතාර්ථ නියාමක උපායමාර්ගික බැලස්ටික් මිසයිලය


අප්‍රේල් මස 16 දා පළමු වරට ප්‍රදර්ශනය කල බඩර්-එෆ් නියතාර්ථ නියාමක උපායමාර්ගික බැලස්ටික් මිසයිලයද මෙවර ප්‍රදර්ශනයට ඇතුලත් විය.මිසයිලයේ ඡායාරූපවලට අනුව එහි පුරෝගාමීන් වන බඩර්-1 සහ නියාමක බඩර්-1පී මිසයිලවලට වඩා එය විශ්කම්භයෙන් විශාලය.ප්‍රමාණයෙන් බඩර්-එෆ් මිසයිලය සෝවියට් OTR-21 ටොච්කා මිසයිලයට සමානය.කෙසේවෙතත්,එහි සැලැස්ම වෙනස්ය.

බඩර්-එෆ් බැලස්ටික් මිසයිලය

මීට පෙර හවුතීන් සඳහන් කර තිබුණේ ප්‍රොක්සිමිටි ෆියුස් එකක් සහිත විශාල අවි ශීර්ෂයකින් යුක්ත බඩර්-එෆ් මිසයිලයේ මෙහෙයුම් පරාසය කිලෝමීටර් 160 ක් බවයි.ලබා දෙන ඉලක්කයට මීටර් 20 පමණ ඉහළ අහසේදී මිසයිලය පිපිරී යෑමෙන් ඇති වන 14,000 පමණ සුන්බුන් කැබලි මීටර් 350ක අරයක් සහිත වෘත්තාකාර ප්‍රදේශයක විසිරෙන බව හවුති සටන්කාමීන්ගේ ප්‍රකාශකයෙක් පවසා තිබිණි.


මිසයිලය සම්බන්ධව හවුති සටන්කාමීන් පවසා තිබූ සමහරක් කරුණු ඡායාරූපවලින් සනාථ වේ.එය සතු චලනය විය හැකි වරල් වැනි ව්‍යුහයන් මගින් මිසයිලය සතුව මාර්ගෝපදේශන පද්ධතියක් තිබෙන බව තහවුරු විය.ලේසර් ප්‍රොක්සිමිටි ෆියුසය මිසයිලයේ නාසයේ දැකගත හැකිය.


පසුගිය අප්‍රේල් මාසයේ සිට සෞදිය ප්‍රමුඛ සන්ධානය සහ එහි ප්‍රොක්සි හමුදාවන්ට එරෙහිව සාර්ථක ප්‍රහාර එල්ල කිරීමට බඩර්-එෆ් වර්ගයේ මිසයිල භාවිතා කර ඇත.අවසන් ප්‍රහාරයේ ඉලක්කය වූයේ මධ්‍යම යේමනයේ මාරිබ් පළාතේ සෞදි සහාය ලබන හමුදාවන්හි හමුදා කඳවුරකි.



සමාඩ්-1 ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානය


සමාඩ්-1 ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානය සැලැස්මෙන් හිස්බුල්ලා සංවිධානයේ මිර්සාඩ් ඩ්‍රෝන් යානයට සමානය.හිස්බුල්ලා සංවිධානය පසුගිය වර්ෂයේදී දකුණුදිග ලෙබනනයේ කෞතුකාගාරයක ප්‍රදර්ශනය කර තිබිණි.සමාඩ්-1 ඩ්‍රෝන් යානය දත්ත ලින්කු දෙකක්(යානය පාලනය සහ සජීවිව දර්ශන විකාශනයට) සහිත විද්‍යුත්-ප්‍රකාශ පෙරික්සුම් පද්ධතියකින් සමන්විතය.

සමාඩ්-1 ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානය

සමාඩ්-1 ඩ්‍රෝන් යානයේ කිසිදු ආකාරයක අවි රැගෙන යා හැකි යැයි විශ්වාස නොකෙරේ.කෙසේවෙතත්, හවුතීන් ඩ්‍රෝන් යානයේ හිස කොටස අවි ශීර්ෂයක් බවට පත් කර මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක් ලෙස භාවිතා කරාවි යැ‍යි විශ්වාස කල හැකිය.


හිස්බුල්ලා සංවිධානයේ මිර්සාඩ් ඩ්‍රෝන් යානය



සමාඩ්-3 ඩ්‍රෝන් යානය


සමාඩ් ඩ්‍රෝන් යානාවල තුන්වන පරම්පරාව නියෝජනය කරන සමාඩ්-3 ඩ්‍රෝන් යානයත් ප්‍රථමවරට මෙවර ප්‍රදර්ශනය කර තිබිණි.එහි සැලැස්ම පළමු පරම්පරාවට සමානය.කෙසේවෙතත්,ඡායාරූපවල දැක්වෙන පරිදි සමාඩ්-3 යානය සතුව අමතර ඉන්ධන ටැංකියක් ඇත.එමගින් ඩ්‍රෝන් යානයේ පියාසර පරාසය සැලකිය යුතු ලෙස වර්ධනය වේ.මෙම ඩ්‍රෝන් යානයෙන් සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කල හැකිය.

සමාඩ්-3 ඩ්‍රෝන් යානය

2018 ජූලි 26 දා හවුති සටන්කාමීන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබු ඩාබි ජාත්‍යන්තර ගුවන් තොටුපොලට එල්ල කල ප්‍රහාරය සඳහා භාවිතා කර තිබුණේද සමාඩ්-3 ඩ්‍රෝන් යානයකි.එම ගුවන් තොටුපොල පිහිටා තිබෙන්නේ බටහිර යේමනයේ හවුති පාලන ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 1,500කට වැඩි දුරකින්ය.





කසෙෆ්-2කේ ඩ්‍රෝන් යානය


පසුගිය ජනවාරි මාසයේදී හවුතීන් පළමුවරට හඳුන්වා දුන් කසෙෆ්-2කේ ඩ්‍රෝන් යානයද මෙම ප්‍රදර්ශනයේදී එළිදැක්විණි.කසෙෆ්-2කේ යානයේ සැලැස්ම,ඉරානයේ අබාබිල්-2 යානයේ පිටපතක් වන කසෙෆ්-1 යානයට සමාන යැ‍යි Conflict Armament Research (CAR) group නම් විමර්ශන සංවිධානයේ වාර්තාවක සඳහන් වේ.

කසෙෆ්-2කේ ඩ්‍රෝන් යානය

පළමු පරම්පරාව මෙන් නොව කසෙෆ්-2කේ ඩ්‍රෝන් යානය අධිබල පුපුරණද්‍රව්‍ය සහිත විශාල ඛණ්ඩනීකරණ අවි ශීර්ෂයකින් සමන්විතය.එය පිපිරී යන්නේ ඉලක්කයට මීටර් 20ක් පමණ උසකදීය.


කසෙෆ්-2කේ ඩ්‍රෝන් යානය පළමු වරට භාවිතා කලේ යේමනයේ අල්-ආනඩ් දිස්ත්‍රික්කයේ සෞදියේ සහාය ලබන හමුදා සිදු කල හමුදා පෙළපාලියකට පහර දීම සඳහාය.එම ප්‍රහාරයෙන් සෞදියේ සහාය ලබන හමුදා හි ඉහළ පෙළේ නිලධාරීන් ඇතුලුව හය දෙනෙක් මරණයට පත් වූහ.

එතැන් පටන් කසෙෆ්-2කේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා යොදාගෙන දකුණුදිග සෞදි අරාබියේ මර්මස්ථානවලට දුසිම් ගණනක් ප්‍රහාර එල්ල කරන ලදි.



පැරණි අවි පද්ධති


ඊට අමතරව පැරණි අවි පද්ධතීන්ද ප්‍රදර්ශන භූමියේ දැකගත හැකි විය.සෝවියට් ස්කඩ් මිසයිල මත පදනම්ව නිර්මාණය කල බර්කන්-1 සහ බර්කන්-2එච් උපායමාර්ගික බැලස්ටික් මිසයිල සහ බඩියර්-1 හා බඩියර්-2පී කාලතුවක්කු රොකට්ටු ඒ අතර තිබිණි.සෝවියට් එස්-75 ගුවන් ආරක්ෂක පද්ධතියේ මිසයිලය ඇසුරින් නිපදවූ කහියර්-2එම් මිසයිලයද ප්‍රදර්ශනය කෙරිණි.

පහළ සිට ඉහලට පිළිවෙලින්  කහියර්-2එම් මිසයිලය,බඩියර්-1 හා බඩියර්-2පී,බඩියර්-එෆ් කාලතුවක්කු රොකට්ටු

පහත දැක්වෙන්නේ ප්‍රදර්ශන භුමියේ අනෙකුත් ඩ්‍රෝන් යානා සමග තිබූ රසිඩ්-1 ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානයයි.

රසිඩ්-1 ඩ්‍රෝන් යානය

සෞදි ප්‍රමුඛ සන්ධානයේ යේමන ආක්‍රමණය ආරම්භයේ පටන් හවුති සටන්කාමීන්ගේ ඩ්‍රෝන් සහ මිසයිල සම්බන්ධ හැකියාවක් සුවිශේෂී ලෙස වර්ධනය වී ඇත.මෙම හැකියාවන් යොදාගෙන සෞදිය ප්‍රමුඛ සන්ධානයේ යටිතල පහසුකම් සහ හමුදාමය ඉලක්ක වෙත සාර්ථක ප්‍රහාර දියත් කරන්නට හවුති සටන්කාමීන් සමත් වූහ.





source:southfront.org


මිසයිල සහ ඩ්‍රෝන් :හවුති සටන්කාමීන්ගේ නවතම අවි මිසයිල සහ ඩ්‍රෝන් :හවුති සටන්කාමීන්ගේ නවතම අවි Reviewed by HarshaLulzSec on July 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.