ජපානයට අයත් F-35A ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදහන්

 japan-air-self-defense-force-f-35a-has-gone-missing-off-of-northern-japan

ජපාන මාධ්‍ය වාර්තාවලට අනුව එරට ජපාන ස්වාරක්ෂක හමුදාවේ ගුවන් හමුදාවට අයත් ඇමෙරිකානු එෆ්-35 ඒ ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානයක් අප්‍රේල් මස 9 දා අපරභාගයේදී උතුරුදිග ජපානයේ පුහුණු මෙහෙයුමක් අතරතුර රේඩාර් තිරයෙන් අතුරුදහන් වී තිබේ.

වාර්තා වෙන පරිදි F-35A ජෙට් යානය අප්‍රේල් 9 දා ජපාන වේලාවෙන් රාත්‍රී 7.30 පමණ ආගිය අතක් නැත.මෙම ගුවන් යානය ජපානයේ මිසාවා ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත වී ඇති අතර කඳවුරේ සිට සැතපුම් 85ක් නැගෙනහිරින් පැසිෆික් සාගරයට ඉහළ අහසේදී යානය ජපාන රේඩාර් පද්ධතිවලින් නොපෙනී ගියේය.

ජපානයේ මිසාවා ගුවන් හමුදා කඳවුරේ පිහිටීම

කෙසේවෙතත් මේ සියලු දෑ එරට මාධ්‍ය විසින් වාර්තා කල තොරතුරු වන අතර මේ දක්වා  සිදුවීම සම්බන්ධව ජපාන බලධාරීන් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

අතුරුදහන් වූ යානයේ සිට තිබෙන්නේ එක් නියමුවෙකි.සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුමක් මේ වන විටත් ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා ජපාන වෙරළාරක්ෂක හමුදාවේ මුර සංචාරක නෞකා 2ක් යොදවා ඇතැයි වාර්තා වේ.




එෆ්-35ඒ යනු සාම්ප්‍රදායික ගුවන් ගත වීමක් සහ ගොඩබෑමක් කල හැකි,ලොක්හීඩ් මාර්ටීන් සමාගමේ බහු කාර්ය ෆයිටර් ජෙට් යානා පෙළේ කුඩාම සහ සැහැල්ලුම යානයයි.අතුරුදහන් වූ යානය 2018 ජනවාරි මාසයේ පටන් මිසාවා කඳවුරට අනියුක්ත කර තිබේ.මෙම කඳවුරට එවැනි ගුවන් යානා 42ක් ලබා දීමට ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

පළමු එෆ්-35 යානය මිසාවා ගුවන් කඳවුරට පැමිණි අවස්ථාව

දැනට එෆ්-35 යානයේ විශාලතම ගනුදෙනුකරුවා වන්නේ ජපානයයි.ඔවුන් එෆ්-35 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානා 147ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇත.ජපානයේ ඇණවුම් වලින් යානා 42ක් එෆ්-35බී යානාය.එෆ්-35 බී මොඩලයට ධාවන පථයක් රහිතව සෘජුව/සිරස් අතට ගුවන් ගත වීමට සහ ගොඩබෑමට හැකියාව තිබේ.ඒ අනුව ජපානය මිලදී ගන්නා එෆ්-35 බී යානා, හෙලිකොප්ටර් ප්‍රවාහනය සඳහා නිර්මාණය කලේ යැ‍යි කියන "අසුමෝ" පන්තියේ යුද නෞකාවේ පාවිච්චියට යොදා ගනිවි. ඇණවුමේ අනෙකුත් යානා එෆ්-35ඒ මොඩලයට අයත්ය.මෙම මිලදී ගැනීමත් සමග ජපාන ගුවන් හමුදාවේ හැකියාවත් තවත් වර්ධනය වේ.

ජපානයේ "අසුමෝ" පන්තියේ හෙලිකොප්ටර් ප්‍රවාහන නෞකාව

2018 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු හමුදාව ඔවුන්ගේ එෆ්-35 බල ඇණියෙන් භාගයක් ගුවන් ගත කිරීම නවතා දැමුවේ දකුණු කැලිෆෝනියාවේදී එෆ්-35 යානයක් කඩා වැටීමෙන් පසුවයි.පසුගිය වර්ෂයේදී ජපානයේ දියත් කල ඇමෙරිකානු එෆ්-35 යානයක් පුහුණු මෙහෙයුමක පියාසර කරද්දී ගුවන් යානයේ රාමුවේ කොටසක් අහිමි විය.



පසුගිය පෙබරවාරියේදී ජපාන එෆ්-2 ෆයිටර් ජෙට් යානයක් ෆුකුඔකා ගුවන් හමුදා කඳවුරට කි.මී. 130ක් දුරින් ජපාන මුහුදට කඩා වැටුණු අතර එහි කාර්ය මණ්ඩල සාමාජිකයෝ දෙදෙනා සෝදිසි සහ මෙහෙයුම් කණ්ඩායම් විසින් සාර්ථකව මුදා ගන්නා ලදි.



source:thedrive.com


ජපානයට අයත් F-35A ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදහන් ජපානයට අයත්  F-35A ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදහන් Reviewed by HarshaLulzSec on April 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.