ට්‍රිපොලි වෙනුවෙන් අලුත්ම සටන:පූර්ව කොන්දේසි සහ අනාගතය

a-new-battle-for-tripoli-preconditions-and-prospects

2011 වර්ෂයේ නේටෝ මැදිහත්වීමේ පටන් මේ දක්වා ලිබියාව වෙනස් නොවන අවුල් ජාලයක් සහිත රාජ්‍යයක් විය.මුවම්මර් ගඩාෆිගේ රජය බිද වැටීමෙන් පසුව,එරට එකිනෙකාට එරෙහිව යුද වදින සන්නද්ධ කණ්ඩායම්වල අණසකට නතුවිය.ඒවායින් වැඩි ප්‍රමාණයකට අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් සමග සබදතා තිබේ.ඉන්පසුව අල්කයිඩා සංවිධානය සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය ලිබියාව තුල ශක්තිමත් වීමටත්,ව්‍යාප්ත වීමටත් පටන් ගත්හ.හටගත් මානුෂීය අර්බුදය කිසිදිනෙක සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නොහැකි විය.ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වය,අපරාධ සහ නොවිසඳුණු මානුෂීය ප්‍රශ්න හරහා ලිබියාව;අවි,මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනු ලැබීය.ලිබියාව මාරුවීමේ ස්ථානයක් ලෙස භාවිතා කරමින් සරණාගතයෝ විශාල පිරිසක් යුරෝපයට සංක්‍රමණය වීමට පටන් ගත්හ.

පවතින තත්ත්වය වෙනස් කිරීමටත්,ත්‍රස්තවාදය පරාජය කර,නීතිය සහ සාමය ස්ථාපිත කිරීම සඳහා නේටෝ සංවිධානයෙන් ලැබුණේ නොසැලකිය හැකි තරම් දායකත්වයකි.ඊට එක් හේතුවක් වන්නේ බටහිර රටවල සහාය හිමි,ට්‍රිපොලි නගරය කේන්ද්‍රකරගත් ජාතික සම්මුති රජය ඉහත කී අන්තවාදී කණ්ඩායම් සමග සමීප සබදතා පැවැත්වීමයි.එම කණ්ඩායම්,ජාතික සම්මුති රජයේ පාලනය යටතේ තිබෙන වයඹදිග ලිබියාව රැක ගැනීමට සිය සහාය ලබාදුන්හ.ජාතික සම්මුති රජයේ හමුදා සහ ඔවුන්ගේ විදේශීය සහායක රාජ්‍යයන් සිය එකම සහ සැබෑ ත්‍රස්ත විරෝධී මෙහෙයුම සිදු කරන ලද්දේ 2016 වර්ෂයේදීය.ඒ වෙරළබඩ සර්ට් නගරයේ සිටි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් පලවා හැරීමයි.එසේ වුවද ලිබියාව තුල තවමත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් සැලකිය යුතු ප්‍රමාණයක් තිබේ.ජාතික සම්මුති රජයට එක්සත් ජනපදය,යුරෝපා සංගමයේ රටවල්,කටාර් සහ තුර්කිය යන රාජ්‍යයන්ගේ සහාය හිමිය.

එරට නිරිතදිග කොටසේ පාලනය ට්‍රවාරෙග් සහ ටබු සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතියි.මධ්‍යම,ඊසානදිග සහ ගිනිකොණදිග ලිබියාව ලිබියානු ජාතික හමුදාව සහ ටොර්බක් නගරය පදනම් කර ගත් නියෝජිත මණ්ඩලයට පක්ෂපාතී පිරිස් විසින් පාලනය කරති.

පසුගිය වසර කිහිපය තුල,ෆීල්ඩ් මාර්ෂල් කලීෆා හෆ්ටර්ගේ නායකත්වය යටතේ ඇති ලිබියානු ජාතික හමුදාව ලිබියාවේ ප්‍රධාන කොටස්වල බලය තහවුරු කරගෙන සිටි අතර,සමහර අවස්ථාවලදී ප්‍රාදේශීය ප්‍රජාවන් සමග ගිවිසුම් සහ මිත්‍ර සන්ධාන නිර්මාණය කර ගත් අතර,දකුණු ප්‍රදේශයේදී අන්තවාදී සටන්කාමීන් බලය යොදාගෙන පරාජය කරන ලදි.එසේම ලිබියානු ජාතික හමුදාව දකුණුදිග ලිබියාවේ සටන්කාමීන්ට සහ අපරාධ කණ්ඩායම්වලට එරෙහිව සාර්ථක මෙහෙයුමක්ද දියත් කලේය.මෙම කාර්යය සඳහා නයිජර් සහ චැඩ් රජයන්ගේ සහායද ලබා ගත්තේය.ඊජිප්තුව,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ප්‍රංශයද ලිබියානු ජාතික හමුදාවේ මිත්‍රයන් ලෙස හැඳින්වේ.වඩාත් සිත්ගන්නා සුළු කරුණ වන්නේ රුසියානු කුලී හේවායන්,විශේෂ බලකා සම්බන්ධව සංසරණය වූ මාධ්‍ය වාර්තාය.ලිබියානු ජාතික හමුදාවට සහාය පිණිස රුසියාව ලිබියාවේ හමුදා කඳවුරු පවා පිහිටවූ බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නට බ්‍රිතාන්‍යයේ මුඛ්‍ය ධාරාවේ මාධ්‍ය ක්‍රියා කලහ.ලිබියානු අර්බුදයට ක්‍රෙම්ලිනයේ සැබෑ මැදිහත්වීම මේ දක්වා එරට ප්‍රාදේශීය හමුදාවල නියෝජිතයන් සමග පවත්වන රාජ්‍යතාන්ත්‍රික සබදතාවලට සීමා වී තිබේ.

ට්‍රිපොලි නගරය ආශ්‍රිතව ත්‍රස්තවිරෝධී මෙහෙයුමක් ආරම්භ කරන බව ෆීල්ඩ් මාර්ෂල් හෆ්ටර් නිවේදනය කලේ අප්‍රේල් මස 4දාය.පසුගිය දිනවලදී ට්‍රිපොලි නගරයේ දකුණු දිශාවේ විශාල ප්‍රදේශයකට වේගයෙන් ළඟාවූ ලිබියානු ජාතික හමුදාව ට්‍රිපොලි ජාත්‍යන්තර ගුවන් තොටුපොල අල්ලා ගත්තේය.ජාතික සම්මුති රජයේ හමුදා සහ ලිබියානු ජාතික හමුදාව අතර සටන්වලදී පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි ප්‍රාදේශීය මූලාශ්‍ර සඳහන් කරයි.තවද දෙපාර්ශ්වය සතු යල්පැනගිය ගුවන් හමුදාවන්ද සටන සඳහා යොදාගෙන තිබේ.

කෙසේවෙතත් ජාතික සම්මුති රජයට පක්ෂපාතී සන්ධානය අල්-නුවාසි බ්‍රිගේඩය,ට්‍රිපොලි විප්ලවාදී බ්‍රිගේඩය,අල්-මාජබ් බ්‍රිගේඩය,33 වන පාබල හමුදා බ්‍රිගේඩය,අබු ඔබිඩ අල්-සාවියා බලකා,අල්-හල්බස් බ්‍රිගේඩය සහ උසාම අල්-ජුවෙයිලි ආදී කණ්ඩායම්වලින් සමන්විත අතර ඔවුන් ලිබියානු ජාතික හමුදාවට එරෙහිව යම් ප්‍රතිරෝධයක් පෙන්වීමට සමත් වූයේ හෆ්ටර් ගේ නායකත්වය දරන හමුදා ට්‍රිපොලි නගරය සමීපයට ළඟාවීමෙන් අනතුරුවයි.

ලිබියාවේ වර්ධනය වන ආරක්ෂක තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් සිය හමුදා ට්‍රිපොලි නගරයෙන් ඉවත් කර ගත් බව එක්සත් ජනපද අප්‍රිකානු බල ඇණිය අප්‍රේල් මස 7 දා නිවේදනය කලේය.එහි තේරුම නගරය තුල ගැටුම් ඇතිවේ යැයි යන වොෂින්ටනයේ විශ්වාසයි.

ට්‍රිපොලි අල්ලා ගැනීමේ සිය ක්‍රියාමාර්ගය දේශපාලන බල අරගලයේ කොටසක් නොව,එහි සැඟවී සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කල මෙහෙයුමක් යැ‍යි ලිබියානු ජාතික හමුදාව කියයි.ප්‍රාදේශීය හමුදා යටතේ බෙදී වෙන්වී ඇති රට රජයේ පාලනය යටතේ ඒකාබද්ධ කර,තනි පුද්ගලයෙක්ගේ පාලනයට ගැනීමට උත්සාහයක් ලෙස ලිබියානු ජාතික හමුදාවේ ට්‍රිපොලි මුදා ගැනීමේ සටන හැඳින්විය හැකිය.මෙම මෙහෙයුමේ සාර්ථකත්වය හමුවේ එරට තුල ප්‍රධාන ප්‍රදේශයන්ගේ පාලනය යළි ස්ථාපිත කිරීමටත්,පවතින බල රික්තය තුල නිදහසේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය සටන්කාමීන් සහ අපරාධ සන්නද්ධ කණ්ඩායම් මර්ධනය කිරීමටත් ඉඩ ලැබේවි.

අනෙක් අතට,ලිබියානු ජාතික හමුදාවේ අලුත් මෙහෙයුම ජාත්‍යන්තර මට්ටමේ දැඩි විවේචනයන්ට භාජනය වේ.ලිබියාවේ පිරිහීම ප්‍රයෝජනයට ගෙන එහි භූමිය සහ බලශක්ති සම්පත් සිය වාසිය වෙනුවෙන් යොදා ගන්නා විදේශීය බලවතුන්,ලිබියානු ජාතික හමුදාවේ ක්‍රියාමාර්ගවලට විරුද්ධ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සහ මානුෂීය අර්බුද වැළැක්වීම යන බැනරයට මුවා වෙමින්ය.

ඔවුන් සාර්ථක වුවහොත් ලිබියාවේ මානුෂීය සහ ආරක්ෂක තත්ත්වය නරක අතට හැරෙමින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සහ අල්කයිඩා ඇතුලු අන්තවාදී කණ්ඩායම්වල් ව්‍යාප්තිය පුළුල් වී යුරෝපයට සංක්‍රමණිකයන් යැවීමේ කාර්යය දිගටම සිදුවනු ඇත.




source:southfront.org


ට්‍රිපොලි වෙනුවෙන් අලුත්ම සටන:පූර්ව කොන්දේසි සහ අනාගතය ට්‍රිපොලි වෙනුවෙන් අලුත්ම සටන:පූර්ව කොන්දේසි සහ අනාගතය Reviewed by HarshaLulzSec on April 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.