පරමාණු බෝම්බ සහ හයිඩ්‍රජන් බෝම්බ


තමන් සාර්ථකව හයිඩ්‍රජන් බෝම්බයක් අත් හදා බැලූ බව උතුරු කොරියානු රජය 2016 ජනවාරි මාසයේදී නිවේදනය කලේය.විශේෂඥයින්ගේ මතය වූයේ උතුරු කොරියාව යම් ආකාරයක න්‍යෂ්ඨික අවියක් අත්හදා බලා තිබෙන බවයි.නමුත් එය කුමන වර්ගයේ අවියක්ද යන්න සනාථ කරගෙන නොමැත.

මේවන විට උතුරු කොරියාව සතුව න්‍යෂ්ඨික අවි තිබෙන බව ලෝකයම දන්නා කරුණකි.ඒවා දෙවන ලෝක යුද සමයේ යොදාගත් පරමාණු බෝම්බ වල ප්‍රබලත්වයට සමානය.නමුත් හයිඩ්‍රජන් බෝම්බ යනු ඊටත් වඩා දහස් ගුණයක් බලවත්,මිනිසා විසින් අත්පත් කරගෙන සිටින දියුණුව සහමුලින්ම වනසා දැමිය හැකි අවියකි.මෙම ලිපිය ඔස්සේ හයිඩ්‍රජන් බෝම්බ සහ පරමාණු බෝම්බ අතර වෙනස සරලව පැහැදිලි කෙරේ.



පරමාණු බෝම්බ සහ හයිඩ්‍රජන් බෝම්බ අතර වෙනස

පරමාණු බෝම්බ-මේවාට උදාහරණ ලෙස දෙවන ලෝක යුද සමයේදී එක්සත් ජනපදය විසින් ජපානයට හෙළු බෝම්බ දෙක ඉදිරිපත් කල හැකිය.මෙම බෝම්බ තුල සිදුවන ප්‍රතික්‍රියාව න්‍යෂ්ඨික විඛණ්ඩනයයි(nuclear fission).


සමස්ථානික වන යුරේනියම්-235 සහ ප්ලූටෝනියම්-239 පහසුවෙන්ම මෙලෙස විඛණ්ඩනයට ලක් කල හැකිය.නියුට්‍රෝන ඒවාහි න්‍යෂ්ඨියේ වැදුණු පසු න්‍යෂ්ඨිය පිපිරී ගොස් නියුට්‍රෝන වැඩි ප්‍රමාණයක් සහ අතිවිශාල ශක්තියක් නිකුත් කරයි.

මහත මිනිසා සහ පොඩි ළමයා යන නම් වලින් හැඳින්වූ පරමාණු බෝම්බවල අනුරූ
න්‍යෂ්ඨික අවිවල පිපිරුම් ශක්තිය මැනීමට යොදාගන්නේ ටීඑන්ටී-TNT නම් පුපුරණ ද්‍රව්‍යයේ පිපිරුම් බලයයි.විඛණ්ඩන බෝම්බ හෙවත් පරමාණු බෝම්බවල ප්‍රබලත්වය ටීඑන්ටී කිලෝ ටොන් එකක සිට ටීඑන්ටී කිලෝටොන් සියයක් දක්වා විය හැකිය.නමුත් තාප න්‍යෂ්ඨික බෝම්බ හෙවත් හයිඩ්‍රජන් බෝම්බ යනු පරමාණු බෝම්බවලට(විඛණ්ඩන බෝම්බ)වඩා දහස් ගණනක් බලවත් බෝම්බ වර්ගයකි.හයිඩ්‍රජන් බෝම්බ වල පිපිරීමේ ශක්තිය මනින්නේ ටීඑන්ටී මෙගාටොන් වලිනි(ටීඑන්ටී ටොන් මිලියන ගණනක පිපිරීමකට සමානය).

හිරෝෂිමා පිපිරීම සහ නාගසාකි පිපිරීම(දකුණුපස)

පරමාණු බෝම්බ යුද්ධයක් උදෙසා යොදාගත් පළමු සහ එකම රට වන්නේ එක්සත් ජනපදයයි.ඔවුන් ජපානයේ හිරෝෂිමා නගරයට පතිත කල ලිට්ල් බෝයි නම් බෝම්බයේ පිපිරුම් ශක්තිය ටීඑන්ටී කිලෝ ටොන් 15කට සමාන විය.නාගසාකි වෙත අතහරින ලද ෆැට් මෑන් නම් බෝම්බයේ ප්‍රබලත්වය ටීඑන්ටී කිලෝ ටොන් 20කට සමාන විය.කාලයත් සමග නාගසාකි වෙත හෙළු ෆැට් මෑන් බෝම්බය ගුරු කොටගෙන ඉතා කුඩාව සහ සැහැල්ලුව,ඉහළ විනාශයක් ගෙන එන අයුරින් පරමාණු බෝම්බ නිපදවීය.ඒවා යොදාගෙන ලක්ෂ ගණනක් ජීවිත අතුගා දැමිය හැක.මෙතෙක් අත්හදා බැලූ විශාලතම පිපිරුම් ශක්තිය සහිත පරමාණු බෝම්බයේ ප්‍රබලත්වය කිලෝ ටොන් 500ක් විය.



හයිඩ්‍රජන් බෝම්බ-පරමාණු බෝම්බ යනු ලොව තිබෙන ප්‍රබලතම විනාශය කල හැකි අවිය නොවේ.පළමු තැන හිමිකරගෙන්නේ හයිඩ්‍රජන් බෝම්බයයි.හයිඩ්‍රජන් බෝම්බයක් පළමුවරට අත්හදා බැලුවේ එක්සත් ජනපදයයි.ඒ 1952 වසරේදී මාර්ෂල් දූපත්වලදිය.මෙම බෝම්බයට දී තිබූ නම Ivy Mikeය.එහි ප්‍රබලත්වය ටීඑන්ටී මෙගා ටොන් 10ක් වේ(ටීඑන්ටී ටොන් මිලියන 10ක පිපිරීමකට සමානය).මානව ඉතිහාසය තුල අත්හදා බැලූ ප්‍රබලතම හයිඩ්‍රජන් බෝම්බය වන්නේ සෝවියට් දේශයේ සාර් - Tsar බෝම්බයයි.එහි ප්‍රබලත්වය ටීඑන්ටී මෙගා ටොන් 50ක පිපිරීමකට සමාන කර තිබේ.එමගින් ඇති කල තාපයෙන් සැතපුම් 62ක පරාසයක ප්‍රදේශයක් පුලුස්සා දමන ලදි.බෝම්බය පිපිරීමේදී නිකුත් වූ කම්පනයෙන් සැතපුම් 500ක් දුරින් පිහිටි නිවෙස්වල වීදුරු බිඳී ගොස් තිබේ.හයිඩ්‍රජන් බෝම්බවල න්‍යෂ්ඨික විඛණ්ඩනය සහ න්‍යෂ්ඨික විලයනය යන ක්‍රියාවලි දෙකම සිදුවේ.මේ නිසා වඩාත් ප්‍රබල පිපිරීමක් සිදුකෙරේ.

විලයන බෝම්බයක සිදුවන ප්‍රතික්‍රියාව


හයිඩ්‍රජන් බෝම්බ ක්‍රියා කරන්නේ කෙසේද?

පළමු අධියරයේදී හයිඩ්‍රජන් බෝම්බය තුල විඛණ්ඩන පිපිරීමක් සිදුවේ.එමගින් දෙවන අධියරය වන විලයනය ආරම්භ කෙරේ.ඩියුටීරියම් සහ ට්‍රිටියම් එකිනෙක ගැටීමෙන් අධික තාපයක් සහ තෙරපුමක් ඇතිකරයි. ගැටීමෙන් පසුව හීලියම් පරමාණුවක් නිර්මාණය වේ.මේ ක්‍රියාවලිය විලයනය හෙවත් පරමාණු දෙකක් සංයෝජනය වීමකි.පරමාණුවක් විඛණ්ඩනයකදී නිකුත්වන ශක්තියට වඩා වැඩි ශක්තියක් විලයනයක් මගින් නිකුත් කෙරේ.හයිඩ්‍රන් බෝම්බයක් තුල විලයනය දිගින් දිගටම සිදුවීම ඔස්සේ මහත් විනාශකාරී ශක්තියක් ඇති කෙරේ.

පහත රූපයෙන් පෙන්වා තිබෙන්නේ හයිඩ්‍රජන් බෝම්බයක සරල රූප සටහනකි



එකිනෙකට වෙනස් ආකාරවල න්‍යෂ්ඨික අවිවල පිපිරීමේ ප්‍රබලත්වය සංසන්දනය කරන්නට හැකි Online  වැඩසටහනක් විද්‍යාව සම්බන්ධ ඉතිහාසඥයෙක් වන ඇලෙක්ස් වෙලර්ස්ටයින් විසින් නිර්මාණය කර තිබේ.එම වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න.



වෙබ් අඩවිය දිස්වන අයුරු

ඔබ ඉහත වෙබ් අඩවියට පිවිසියේ නම් NUKEMAP වැඩසටහන යොදාගෙන අත්හදා බැලීම් කරන්නට අමතක නොකරන්න.පරමාණු බෝම්බ සහ හයිඩ්‍රජන් බෝම්බවල ප්‍රබලත්වය සංසන්දනය කර බැලීමේ වැඩසටහනක් ලෙස මෙය භාවිතා කල හැකිය.පහත දැක්වෙන්නේ ඇලෙස්ක්ගේ NUKEMAP වැඩසටහන යොදාගෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයට ලිට්ල් මෑන් නම් පරමාණු බෝම්බය හෙළු විට සිදුවූ විනාශයයි.ප්‍රතිඵලය 100% නිවැරදි නොවුවද ඔබට ඉන් දළ අදහසක් ලබා ගත හැකිය.

ලිට්ල් බෝයි පරමාණු බෝම්බය නිව්යෝක් අහසේ පුපුරවා හැරීමෙන් පසු

ලිට්ල් බෝයි බෝම්බය, Airburst හෙවත් පොළොවේ ගැටීමට මත්තෙන් ඉලක්කයට ඉහළින් ගුවනේ පුපුරවා හැරි බෝම්බයකි(Surface burst යනු පොළොවේ ගැටීමෙන් පසු සිදුවන පිපිරීමකි).ලිට්ල් බෝයි බෝම්බය Airburst ආකාරයෙන් පුපුරවා හැරිය විට ජිවිත හානිය දෙලක්ෂ හැට දහසක් පමණ වේ.නමුත් එම බෝම්බයම Surface burst ආකාරයෙන් පුපුරවා හැරිය විට මරණ ගණන අඩුවන බව පෙනේවි.

Ivy Mike නම් හයිඩ්‍රජන් බෝම්බය නිව්යෝක් අහසේ පුපුරවා හැරීමෙන් පසු

දැන් අපි හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බලමු.මෙම පිපිරවීමට අප යොදාගන්නේ ලොව පළමු තාප න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම සදහා යොදාගත් එක්සත් ජනපදයේ Ivy Mike බෝම්බයයි.Ivy Mike නම් හයිඩ්‍රජන් බෝම්බය නිව්යෝක් නගරයට ඉහළ අහසේ(Airburst) පුපුරවා හැරිය හොත් සිදුවන මරණ ගණන දළ වශයෙන් 37 ලක්ෂයක් පමණ වේවි.නමුත් එය පොළොව මතුපිට(Surface burst) පිපිරී ගිය හොත් මරණ ගණන 34 ලක්ෂයක් දක්වා පහල බසියි.

එක්සත් ජනපදය Ivy Mike බෝම්බය අත්හදා බැලූ අවස්ථාව

පරමාණු බෝම්බය සහ හයිඩ්‍රජන් බෝම්බයේ පිපිරීම සංසන්දනය කල හොත් හයිඩ්‍රජන් බෝම්බය අතිවිශාල තාප විකිරණ ප්‍රමාණයක් විශාල අරයක් සහිත ප්‍රදේශයක විසුරුවා හරින බව ඔබට පෙනේවි.



උතුරු කොරියාව හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූබව ස්ථිර වශයෙන්ම කියන්නේ කෙසේද?

උතුරු කොරියාව හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලුවේ නම් එය සැඟවීම එතරම් ලෙහෙසි නැත.2016 වර්ෂයේ ජනවාරි මාසයේදී උතුරු කොරියාව සිදු කල න්‍යෂ්ඨික පිපිරවීම 2013 වසරේදී සිදුකල අත්හදා බැලීමට විශාලත්වයෙන් සමාන බව කියවේ(අවස්ථා දෙකෙහිදී ඇතිවූ භූකම්පන ආසන්න වශයෙන් සමානය).මේ නිසා බොහෝදෙනා විශ්වාස කරන්නේ ඔවුන් හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බලන්නට ගොස් අසාර්ථක වී ඇතැයි හෝ එහි වියලන අධිරය අසාර්ථක වී ඇතැයි කියාය.


පිපිරීමෙන් නිකුත් වූ විකිරණ සමස්ථානික වායුගෝලයට මුදාහැරෙන අතර ඒවා එකතු කරගෙන විද්‍යාඥයින් විසින් පරීක්ෂණ පවත්වා එය කුමන ආකාරයක න්‍යෂ්ඨික පිපිරවීමක්ද යන්න අනාවරණය කර ගැනේ.එමගින් උතුරු කොරියාව අත්හදා බැලුවේ පරමාණු බෝම්බයක්ද හයිඩ්‍රජන් බෝම්බයක්ද යන බව පැහැදිලිවේවි.

න්‍යෂ්ඨික පිපිරවීම් තහනම් කිරීම සඳහා පිහිටුවා ගත් Comprehensive Nuclear-Test-Ban Treaty Organization — CTBTO නම් සංවිධානය විසින් මෙවැනි න්‍යෂ්ඨික පිපිරවීම් අනාවරණය කර ගත හැකි ලෝක ව්‍යාප්ත ජාලයක් පිහිටුවා නඩත්තු කරගෙන යයි.න්‍යෂ්ඨික පිපිරවීම් භූගතව,ගුවනේ හෝ ජලය යට සිදුකලත් මේ ජාලයට අනාවරණය කරගත හැකිය.පහත වීඩියෝවේ සරල දක්වා තිබෙන්නේ එම ක්‍රියාවලියයි.


CTBTO සංවිධානය සතු න්‍යෂ්ඨික පිපිරවීම් අනාවරණය කර ගැනීමේ ලෝක ව්‍යාප්ත ජාලය

1994-1996 කාලයේදී විශාල ප්‍රමාණයේ න්‍යෂ්ඨික අත්හදා බැලීම්වලින් වැලකීමේ ගිවිසුමකට (Comprehensive Nuclear-Test-Ban Treaty) ලෝක නායකයන් එකඟ විය.ඊට ලොව පුරා රටවල් 183ක් සහභාගී විය.මෙම ගිවිසුමට අනුව රටවල් ක්‍රියාත්මක වෙනවාද නැද්ද යන්න සොයා බැලීමට,එනම් න්‍යෂ්ඨික අත්හදා බැලීම අනාවරණය කරගත හැකි මධ්‍යස්ථාන 282ක් මේවන විට ලොව පුරා ඉදිකර තිබේ.ඔවුන්ගේ සැලැස්ම වී තිබෙන්නේ එවැනි නිරීක්ෂණ මධ්‍යස්ථාන 337ක් ඉදිකිරීමයි.පිපිරවීම් ඔස්සේ ඇති කරන භූකම්පන,සාගරයේ ශබ්ද තරංග සහ අඩු සංඛ්‍යාත තරංග අනාවරණය කර ගත හැකි ලෙස මෙම මධ්‍යස්ථාන වෙනස් අයුරින් නිර්මාණය කර තිබේ.ඒ අතරින් මධ්‍යස්ථාන 80ක් සතුව වාතයේ තිබෙන විකිරණශීලී අංශු හෝ උච්ච වායු අල්ලා ගැනීමේ සහ විශේලේෂණ හැකියාව තිබේ.



භූකම්පනවේදය - Seismology

2016 ජනවාරි මස 6 වනදා පෙ.ව. 10ට චීනයේ මුඩ්න්ජැයින්ග් හි රික්ටර් පරිමාණයේ 5.1ක ප්‍රබලත්වයක් සහිත භූකම්පනයක් සටහන් විය.ස්වභාවිකව හටගන්නා භූකම්පනයක් සහ මිනිසා විසින් නිර්මාණය කරන භූකම්පනයක් අතර වෙනස්කම් තිබේ.එම වෙනස්කම් ඔස්සේ කෘත්‍රීම භූකම්පනය හඳුනාගත හැකිය.1962 පටන් බොහෝමයක් න්‍යෂ්ඨික අත්හදා බැලීම භූගතව සිදුකරන ලදි.2016 වසරේදී උතුරු කොරියාව සිදුකල අත්හදා බැලීමත් භූගතව සිදුකර තිබේ.

ටියුනීසියාවේ කෙස්රා නගරයේ භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය 42


2016 ජනවාරි මස උතුරු කොරියාව සිදුකල පිපිරවීමෙන් ඇතිවු භූකම්පනය සටහන්ව තිබූ අයුරු


Hydroacoustics - ජල ධ්වනි තරංග

ජලය තුලින් ශබ්ද තරංග වේගයෙන් ගමන් කරන බව ඔබ දන්නවා ඇති.සාගරය තුල යම් රටක් න්‍යෂ්ඨික අත්හදා බැලීමක් කල හොත් එය අනාවරණය කරගැනීමට අවශ්‍ය පහසුකම් සහිත මධ්‍යස්ථාන 11ක් පැසිෆික්,අත්ලාන්තික් සහ ඉන්දියානු සාගරවල පිහිටුවා තිබේ.මේවා දූපත්වල වෙරළාශ්‍රිතව සවිකල මයික්‍රෝෆෝන්වලින් සමන්විතය.ඒවා මගින් එකතු කරගන්නා දත්ත ආසන්න මහද්වීපයේ මධ්‍යස්ථානයකට ‍යැවේ.

 ජල ධ්වනි තරංග අනාවරණ මධ්‍යස්ථානය 2,ක්වීන් චාර්ලට් දූපත,කැනඩාව.


උතුරු කොරියාව මෙතෙක් සිදුකල පිපිරවීම් වල ශබ්ද සංසන්දනය




Infrasound - අඩු සංඛ්‍යාත ශබ්ද තරංග

පිපිරීමකින් පසුව වායුගෝලයට මුදාහැරෙන මිනිස් කණට ශ්‍රවණය නොවන ශබ්ද තරංග(17Hz හෝ ඊට අඩු)අනාවරණය කරගත හැකි මධ්‍යස්ථාන 60ක් ලොව පුරා පිහිටුවා තිබේ.

අඩු සංඛ්‍යාත තරංග අනාවරණ මධ්‍යස්ථානය 44,පෙට්‍රෝපැව්ලොව්ස්ක්-කැම්සිබැට්ස්කි,රුසියාව.



Radionuclide - විකිරණ නියුකලයිඩ අනාවරණය

රහසිගතව සිදු කෙරෙන න්‍යෂ්ඨික පිපිරවීම් අනාවරණය කර ගැනීමට හොඳම ක්‍රමය මෙයයි(පැරණිම ක්‍රමය වන්නේ වාතයට එක්වූ විකිරණශීලී රසායනික පරික්ෂා කිරීමයි.1949 වසරේ දී එක්සත් ජනපදය කාලගුණ බැලූන් යොදාගෙන සෝවියට් දේශයේ අහසේ දත්ත එකතු කලේය.ඒ සෝවියට් දේශයේ න්‍යෂ්ඨික හැකියාවන් ගැන සොයා බැලීමටය.ඉන් සති ගණනකට පසුව ඔවුන්ගේ පළමු අත්හදා බැලීම සිදුවිය).

න්‍යෂ්ඨික පිපිරවීමකින් පසුව වායුගෝලයට මුදා හැරෙන විකිරණශීලී අංශු එකතු කිරීමට එක්සත් ජනපදය භාවිතා කරන WC-135 Constant Phoenix නම් ගුවන් යානය

වායුගෝලයෙන් විකිරණශීලී අංශු සොයාගැනීමේ ක්‍රියාවලිය අද වන විට දියුණු තත්ත්වයක තිබේ.නිරීක්ෂණ මධ්‍යස්ථාන 80ක් සතුව මෙම හැකියාව තිබේ.ඒවාට විකිරණ අංශු අල්ලාගත් වහාම ඒවා සම්බන්ධ විස්තර සැපයිය හැකිය.මෙම මධ්‍යස්ථානවලින් භාගයක් සතුවම උච්ච වායු නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත.භූගත න්‍යෂ්ඨික අත්හදා බැලීම්වලින් වායුගෝලයට සෙනොන් සහ ආගන් වැනි වායු නිකුත් කෙරේ.

විකිරණ නියුකලයිඩ අනාවරණ මධ්‍යස්ථානය 39,කිරිටිමාටි,කිරිබටි



Global Positioning System - ගෝලීය පිහිටුම් පද්ධතිය

චන්ද්‍රිකා යොදාගෙන අභ්‍යාවකාශයේදී න්‍යෂ්ඨික සංවේදක භාවිතා කිරීම ආරම්භ කලේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.මෙම චන්ද්‍රිකා ජාලය  ගෝලීය පිහිටුම් පද්ධතිය නමින් හඳුන්වයි.2009 වසරේදී උතුරු කොරියාව සිදුකල න්‍යෂ්ඨික අත්හදා බැලීම ග්‍රහණය කරගන්නට මේ ක්‍රමය යොදාගෙන තිබේ



source:vox.com


පරමාණු බෝම්බ සහ හයිඩ්‍රජන් බෝම්බ පරමාණු බෝම්බ සහ හයිඩ්‍රජන් බෝම්බ Reviewed by HarshaLulzSec on January 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.