ගරිල්ලා යුද්ධයේ රහසිගත උමං මාර්ග සහ ඒවාහි භූමිකාව


භූගත උමං මාර්ග,නගර සහ මට්ටම් කිහිපයකින් සමන්විත ගුහා තවමත් ගරිල්ලා යුද්ධයේ බලවත් සහ කාර්යක්ෂම මෙවලමක්ව තිබේ.ලෙබනනය සහ සිරියාව පටන් ඇෆ්ගනිස්ථානය දක්වා මෙම ආරක්ෂක විධිවිධාන පද්ධති විදේශීය සහ රජයේ සාම්ප්‍රදායික හමුදාවලට එරෙහිව අවියක් ලෙස දිගින් දිගටම භාවිතා කරන අතරේ ඒවා සිවිල් ජනාවාසවලටද දැඩි අභියෝගයක් බවට පත්ව ඇත.

සිය සතුරන්ට එරෙහිව උපායමාර්ගිකව වාසියක් අත්කර ගැනීමටත්,ඔවුන්ගේ සැලසුම් කඩාකප්පල් කිරීමටත් මෙම රහස් භූගත උමංමාර්ග ජාලයන් විවිධාකාර සන්නද්ධ කණ්ඩායම් විසින් කාලයක පටන් භාවිතා කෙරේ.



ඊශ්‍රායලයේ හිසරදය:හිස්බුල්ලා සහ හමාස් සංවිධාන ඉදි කල උමං මාර්ග

2018 දෙසැම්බර් මාසයේදී ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඔපරේෂන් නෝර්තන් ෂීල්ඩ් මෙහෙයුම දියත් කලේ හිස්බුල්ලා සංවිධානය ලෙබනන-ඊශ්‍රායල සීමා හරහා ඉදිකල උමං මාර්ග විනාශ කිරීම සඳහාය.ටෙල් අවිව් රජය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හඳුන්වන හිස්බුල්ලා සංවිධානය ඔවුන්ගේ භට පිරිස් සහ අවි ලෙබනනයේ සිට යුදෙව් රාජ්‍යය වෙත රැගෙන ඒමට මෙම උමං මාර්ග භාවිතා කරන්නේ යැ‍යි චෝදනා එල්ල වේ.

2006 වර්ෂයේ ඊශ්‍රායල-හිස්බුල්ලා යුද්ධයේ පටන් මෙම ෂියා සටන්කාමී කණ්ඩායම ලෙබනනයේ සිට ඊශ්‍රායලයට භූගතව ඇතුල් විය හැකි මාර්ග ඉදි කර තිබේ යැ‍යි ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසයි.

Hezbollah Tunnels
ලෙබනන-ඊශ්‍රායල සීමාවේදී හමුවූ උමං මාර්ගයක් ඊශ්‍රායල හමුදා විසින් විනාශ කරන අයුරු

ඉහත කී මෙහෙයුම අතරතුර ඊශ්‍රායල හමුදා අනාවරණය කර ගත් එක් උමං මාර්ගයක් ලෙබනනයේ කෆ්ර් කිලා හි දකුණු ප්‍රදේශයෙන් ආරම්භ වී ඊශ්‍රායලය තුලට මීටර් 40 ගමන් කර තිබේ.මීටර් 2ක් උස,මීටර් 2ක් පළල මෙම භූගත මාර්ගය වාතාශ්‍රය ලබා ගැනීමේ පද්ධති,විදුලිය,ජලය ආදිය සඳහා නල මාර්ගවලින් සමන්විතය.මීටර් 200ක් දිග සම්පුර්ණ උමං මාර්ගය ගල් සහිත භූමිය හරහා ඉදි කිරීමට වසර දෙකක් වත් ගතවන්නට ඇතැයි ඊශ්‍රායල හමුදා පවසයි.

2014 වර්ෂයේදී ඊශ්‍රායල හමුදා දියත් කල ඔපරේෂන් ඉන්ඩිස්ට්‍රක්ටබල් රොක් නම් මෙහෙයුමේදී ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් නිර්මාණය කල භූගත යටිතල ව්‍යුහයන් විනාශ කරන ලදි.මෙහෙයුම යටතේ සොයා ගත් උමං මාර්ග ගණන 30 පමණ විය.ඒවා හමාස් සංවිධානයේ රහස් මෙහෙයුම් සඳහා යොදාගත් ඒවාය.

Hamas-Built Tunnels
උමං මාර්ගයක් තුල සිටින හමාස් සටන්කාමීන් පිරිසක්

ගාසා තීරය තුල හමාස් සංවිධානය සතු වඩාත් භයානකම අවිය ලෙස බොහෝ කාලයක් තිස්සේ සලකනු ලැබුවේ භූගත උමං මාර්ගයයි.එපමණක් නොව ගාසා තීරයේ සිට ඊජිප්තුවට දිවෙන විදුලියෙන් ආලෝකමත් කල උසස් නිමාවක් සහිත උමං මාර්ග නිර්මාණය කරන්නට පලස්තීනුවන් ක්‍රියා කර තිබිණි.මිනිසුන්,ආහාර, ඉන්ධන,ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආදී විවිධ දෑ මෙන්ම සතුන්,මෝටර් රථ පවා භූගත මාර්ග ඔස්සේ ප්‍රවාහනය කලහ.




උමං සංග්‍රාම:සිරියාවේ ත්‍රස්තවාදීහු නිර්මාණය කල භූගත නගර

වසර 7කාලයක් තිස්සේ දිවෙන සිරියානු අර්බුදයේ ආරම්භයේ පටන් උමං සංග්‍රාමයන්හි උපායමාර්ග රජයේ හමුදාවන්ට එරෙහිව ත්‍රස්තවාදීහු පුළුල්ව භාවිත කරන ලදි.ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා වෙමින් ප්‍රදේශ සහ ජනාවාස අතර ගමන් කිරීමට ත්‍රස්තවාදීන් භාවිතා කල මෙවැනි උමං මාර්ග නිරන්තරයෙන් සිරියානු අරාබි හමුදාව විසින් සොයා ගෙන විනාශ කලේය.

අවට ප්‍රදේශවල සිට ඩැමැස්කස් නගරයට දිවෙන භූගත මාර්ග 278ක් පමණ සොයා ගන්නට රජයේ හමුදා සමත් විය.මුල්ම උමං මාර්ග සොයා ගනු ලබන්නේ 2011 වර්ෂයේදී ඩාරා ප්‍රදේශයෙනි.ඉන්පසු නැගෙනහිර ගූටා සහ ඩූමා යන ප්‍රදේශවලින් භූග මාර්ග ජාලයන් හමුවේ.ඉන් සමහරක් "නගර යට නගර" ලෙස හැඳින්වීය.

Douma Tunnels
ඩූමා ප්‍රදේශයේ සටන්කාමීන් විසින් ඉදි කර තිබූ මෝටර් රථයකට පවා පහසුවෙන් ගමන් කල හැකි උමං මාර්ගයක්

කෙසේවෙතත් උමං මාර්ග භාවිතා කිරීම මෙම කලාපයට අලුත් දෙයක් නොවේ.මන්ද සිරියානුවන් ප්‍රංශ ආධිපත්‍යයට එරෙහිව උමං මාර්ග ඉදිකිරීම ආරම්භ කරන්නේ 1920 දශකයේදීය.


වරක් ඩූමා ප්‍රදේශයෙන් දැවැන්ත උමඟක් සොයා ගත්තේය.එය සටන්කාමීන් විසින් භාවිතා කර තිබෙන්නේ භූගත වෙළඳපොලක් ආදී විවිධ කාර්යයන් සඳහාය.ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම භූගත වෙළඳපොලෙන් ඕනෑම දෙයක් මිලදී ගැනීමට හැකියාව තිබිණි.




ටෝරා බෝරා:ඇෆ්ගන් ඉස්ලාමීය අන්තවාදීන්ගේ බලකොටුව

සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේදී(1979-1989)සෝවියට් හමුදාවන්ට භූගත සංග්‍රමික අභියෝගයකට මුහුණ දෙන්නට සිදු විය.ඇෆ්ගන් මුජහිඩීන් සටන්කාමීන්,වගා කටයුතුවලට ජල සම්පාදනය සඳහා භාවිතා කරන භූගත ජල මාර්ග වලට සම්බන්ධ ළිදක ස්වභාවයක් ඇති සිරස් පතල්(කානාට්-qanat) සිය ගරිල්ලා සංග්‍රාමයේ කොටසක් බවට පත් කරගත්හ.

මෙවැනි ස්ථාන හඳුනා ගන්නේ කෙසේදැයි සෝවියට් සෙබලුන් වහා අවබෝධ කර ගත්හ.කෙසේවෙතත් පුපුරණද්‍රව්‍ය මගින් දුමාරයක් නිර්මාණය කර සතුරන් ඒවා තුලින් ඉවතට ගැනීමට පෙර ජිහාඩ් සටන්කාමීන්ට යටත් වන්නට අවස්ථාවක් ලබා දෙන්නට සෝවියට් සෙබලුන් ක්‍රියා කලෝය.


ටෝරා බෝරා ගුහා සංකීර්ණය යනු ජලාලාබාද් නගරයට කි.මී.35ක් නිරිතදිගින් පිහිටා තිබෙන ඇෆ්ගන් සටන්කාමීන් විසින් කාලයක් තිස්සේ විශාල භූගත බලකොටුවකි.එය කඳුකරයේ කි.මී.4ක් උසින් ඉදි කල අවි සහ උණ්ඩ ගබඩා,බංකර් සහ වාසස්ථානවලින් සමන්විතව ඉදි කරන ලද්දකි.

"අධික බෑවුම් සහිත බිත්ති සහිත කඳුවල ගැඹුරට කණින ලද බංකර් සහ කඳවුරු සහ සැතපුම් ගණනක් දිග උමං මාර්ග ඇමෙරිකානු මධ්‍ය බුද්ධි කාර්යාංශයේ මූල්‍යමය ආධාර මත මුජහිඩීන් සටන්කාමීන්ට නිර්මාණය කල ඒවාය" යනුවෙන් නිව්යෝර්ක් ටයිම් පුවත්පත 2005 වර්ෂයේදී වාර්තා කර තිබිණි.

සෝවියට් හමුදාව නොනවත්වා මෙම බලකොටුවට කඩා වැදුනද යුද්ධයෙන් පසුව ත්‍රස්තවාදීන් නැවතත් එහි පදිංචි විය.ඇෆ්ගන් ආරක්ෂක හමුදාද මෙම ප්‍රදේශය මුළුමනින්ම මුදා ගත්තේ 2017 වර්ෂයේදීය.දැන් ඔවුන් එහි විශාල හමුදා කඳවුරක් ඉදි කරන්නට සැලසුම් කරමින් සිටියි.ඇෆ්ගන් හමුදා එහි ළඟාවන්නට පෙර 2017 අප්‍රේල් මාසයේ මුලදී ඇමෙරිකානු ගුවන් යානයක් ටෝරා බෝරා ප්‍රදේශය ඉලක්ක කරගෙන මෙහෙයුමක් සිදු කල අතර එහිදී ඔවුන් සතු බලගතුම බෝම්බය වන GBU-43 හෙවත් "The Mother of All Bombs" (MOAB)" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන රාත්තල් 22,000 බර දැවැන්ත බෝම්බය හෙළන ලදි(ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ඉලක්ක කර බෝම්බය හෙළු අවස්ථාවේ දර්ශන පහත දක්වා ඇත).





source:sputniknews.com


ගරිල්ලා යුද්ධයේ රහසිගත උමං මාර්ග සහ ඒවාහි භූමිකාව ගරිල්ලා යුද්ධයේ රහසිගත උමං මාර්ග සහ ඒවාහි භූමිකාව Reviewed by HarshaLulzSec on December 31, 2018 Rating: 5

No comments:

Powered by Blogger.