සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 04


නොවැම්බර් මාසයේ මැද භාගයේ පටන් අල්-සුවයිඩා පළාත තුලදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 270කට වැඩි පිරිසක් මරා දමන්නටත් ඇමෙරිකානු යුද ටැංකි නාශක මිසයිල 12ක් ඇතුලුව යුදෝපකරණ විශාල ප්‍රමාණයක් සොයා ගන්නටත් සිරියානු රජයේ හමුදාවන් සමත් වූ බව සිරියාවේ රුසියානු හමුදා හි අණදෙන නිලධාරියාගේ ප්‍රකාශක ඔලෙග් මැක්‍රෙවිච් දෙසැම්බර් මස 3දා නිවේදනය කලේය.

"ත්‍රස්තවාදීන් මෙම ප්‍රදේශයේ මාස කිහිපයක් තිස්සේ රංචු ගැසී සිටියා.ඔවුන් අතර යාර්මුක් සහ ඩැමැස්කස් දෙසින් සහ අල්-ටන්ෆ් දෙසින් පැමිණි පිරිස් විය.මෙහිදී මුහුණ දෙන්නට සිදු වූ එක් අපහසුතායක් වන්නේ යුද ටැංකි සහ කාලතුවක්කු හැසිරවීමේ හැකියාව ඉතා අවම තත්ත්වයේ පසු වීමයි.නමුත් ත්‍රස්තවාදීන් සතුව බෝම්බ විදින ,යුද ටැංකි නාශක මිසයිල සහ මි.මී.82 මෝටාර් අවි විශාල ප්‍රමාණයක් තිබිණි." - ඔලෙග් මැක්‍රෙවිච්

නැගෙනහිර අල්-සුවයිඩා හි වර්ග කිලෝමීටර් 380 ක භූමි ප්‍රමාණයක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් සම්පුර්ණයෙන්ම මුදා ගත් බව  සිරියානු රජයේ මාධ්‍ය නොවැම්බර් මස 17දා නිවේදනය කලේය.නමුත් ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව අල්-සාෆා හි දකුණු දිශාවට වන්නට වූ කාන්තාරයේ තවමත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ රහස් තිප්පොලවල් තිබේ.ඊට අමතරව හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සැලකිය යුතු පිරිසක් රැදී සිටිති.එබැවින් යුප්‍රටීස් ගංගාවේ බටහිර ඉවුරෙන් ත්‍රස්තවාදීන් මුළුමනින්ම අතු ගා දැමූ බව රජයට පක්ෂපාතී සමහර මූලාශ්‍රද පිළිනොගනියි.

සිරියානු අරාබි හමුදාවෙන් එල්ල වන ප්‍රහාරවලින් ආරක්ෂා වන්නට මෙන්ම සිය පිරිස් නැගෙනහිර සිරියාව වෙත යැවීම සඳහා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ඇමෙරිකානු හමුදාවේ පාලනය යටතේ පවතින අල්-ටන්ෆ් කලාපය ක්ෂේම භූමියක් ලෙස භාවිතා කරයි.මෙම කලාපයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් වන තෙක් රටේ එම ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුළුමනින්ම මුදා ගැනීම කල නොහැක්කකි.

Syrian war map 2018-12-03

අල්-ටන්ෆ් කලාපය ආසන්නයේ සිරියානු රජයේ හමුදා සිදු කල හැකි ඕනෑම ආරක්ෂක මෙහෙයුම නවතාලන්නට ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය ක්‍රියා කරයි.දෙසැම්බර් මස 2දා සිරියා-ඉරාක දේශසීමාවේ අල්-ගුරාබ් කඳුකරයේ සිරියානු හමුදාවේ ස්ථාන වෙත සන්ධානයේ හමුදා විසින් රොකට් ප්‍රහාර එල්ල කරන ලදි.ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා මෙම ප්‍රහාරය සඳහා යොදාගෙන තිබුණේ අල්-ටන්ෆ් කඳවුරේ ස්ථානගත කර තිබෙන M142 High Mobility Artillery Rocket System (HIMARS) නම් රොකට් කාලතුවක්කු පද්ධතීන්ය.

මෙම ප්‍රහාරය හේතුව පැහැදිලි නැති මුත් මීට පෙරත් ත්‍රස්තවාදීන් ලුහුබැද අල්-ටන්ෆ් ආරක්ෂිත කලාපය අද්දරට පැමිණි සිරියානු අරාබි හමුදාවේ ඒකකවලට දිගින් දිගටම ඇමෙරිකානු හමුදා ප්‍රහාර දී තිබේ.

සිරියාවේ අෆ්රින් ප්‍රදේශයේදී එල්ල කල නවතම ප්‍රහාර දෙකකින් තුර්කියේ ප්‍රොක්සි හමුදාවන්හි සටන්කරුවන් 11 දෙනෙක් මරා දැමූ බව කුර්දි මහජන ආරක්ෂක ඒකක දෙසැම්බර් මස 3දා නිකුත් කල ප්‍රකාශයක සඳහන් විය.

දෙසැම්බර් මස 2දා අෆ් රින් නගරාසන්නේ ඩර්මිෂ්මිෂේ ගම්මානයේ මුර සංචාරයේ නියුතුව සිටි ජයිස් අල්-ඉස්ලාම් කණ්ඩායමේ සටන්කරුවන් පිරිසකට කුර්දි සටන්කාමීන් පහර දී තිබේ.එහිදී ජයිස් අල්-ඉස්ලාම් හි සාමාජිකයෝ 5 දෙනෙක් මියගොස් 3දෙනෙක් තුවාල ලබා ඇත.ඔවුන්ගේ වාහනයක්ද ප්‍රහාරයෙන් විනාශ විය.

ප්‍රහාරයට සිදු කරන අයුරු දැක්වෙන විඩියෝපටයක්


එදිනම කුර්දි මහජන ආරක්ෂක ඒකකවල සටන්කරුවන් විසින් ජින්ඩෙරෙස් නගරයේ පිහිටුවා තිබෙන අරාර් අල්-ෂාම් සටන්කාමී කණ්ඩායමේ මූලස්ථානයේ නවතා තිබූ හමුදා රථයක් විනාශ කරන ලදි.එම සිදුවීමෙන් තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කරුවන් 6 දෙනෙක් මිය ගොස් 8 දෙනෙක් තුවාල ලැබූ බව කුර්දි මූලාශ්‍ර වාර්තා කරයි.

තුර්කිය විසින් අල්ලා ගත් සිරියානු භූමිය තුල තුර්කි හමුදාව සහ ඔවුන්ගේ ප්‍රොක්සි හමුදා විසින් ඵලදායී ආරක්ෂක ජාලයක් පිහිටුවන තෙක් කුර්දි සටන්කාමීන් අෆ් රින් හි සිදු කරන ප්‍රහාර නොනවතිනු ඇත.කෙසේවෙතත් තුර්කියේ සහාය ලබන සටන්කාමී කණ්ඩායම්වල අදක්ෂභාවයත්,දූෂණයත් හේතුවෙන් එම කාර්යය තවත් ප්‍රමාද වීමටත් සමහර විට අන්කාරා රජයේ ප්‍රයත්නයන් කඩාකප්පල් වීමද සිදු විය හැකිය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 04 සිරියානු යුද වාර්තාව - 2018 දෙසැම්බර් 04 Reviewed by HarshaLulzSec on December 05, 2018 Rating: 5

No comments:

Powered by Blogger.