මැදපෙරදිග වෙළඳපොල දෙගොඩ තලා යන චීන ඩ්‍රෝන් තාක්ෂණය

Jordan’s Chinese CH-4 drone on display at this year’s SOFEX arms show

ජෝර්දානයේ අගනුවර හමුදා කඳවුරක පැවැත්වෙන ප්‍රදර්ශනයකට ඉදිරිපත් කර තිබූ පියාපත් යට මිසයිල සහ බෝම්බ සවිකල විශාල ප්‍රමාණයේ ඩ්‍රෝන් යානයක් අසල සිටි ඇමෙරිකානු ව්‍යාපාරිකයෝ තිදෙනෙක් අතර මෙවැනි කතාබහක් ඇති විය(ඡායාරූපය:ජෝර්දානයේ විශේෂ මෙහෙයුම් බලකා ප්‍රදර්ශනය සහ සමුළුවේ ප්‍රදර්ශනය පිණිස තබා තිබූ ජෝර්දානයට අයත් චීන සී එච්-4 ඩ්‍රෝන් යානය).

"ඔවුන් ප්‍රඩේටර් ඩ්‍රෝන් යානය මෙහාට ගෙනත් " එක් අයෙක් කීවේ එක්සත් ජනපදය බොස්නියාවේ සිට ඉරාක යුද්ධය දක්වා භාවිතා කල ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් සිහිපත් කරමින්ය.

"ඒක ප්‍රඩේටර් යානයක් නොවේ " තවත් අයෙක් කීය.

සැබවින්ම එහි ප්‍රදර්ශනය කර තිබුණේ චීනයේ නිෂ්පාදනය කල,කෙටි කාලයකින් ලොව පුරා ව්‍යාප්ත වූ "රේන්බෝ සී එච්-4" නම් ප්‍රහාරක ඩ්‍රෝන් යානයයි.ජෝර්දානය මෙම ඩ්‍රෝන් යානය මිලදී ගත්තේ 2015 වර්ෂයේ වුවද පළමුවරට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ලද්දේ 2018 වර්ෂයේ පැවති "විශේෂ මෙහෙයුම් බලකා ප්‍රදර්ශනය සහ සමුළුවේදීය".

කලකට පෙර මෙවැනි දෙයක් දැක ගැනීම පවා සිතා ගත නොහැකි දෙයක් වූයේ "එම් කිව්-1 ප්‍රඩේටර්" සහ එහි අනුප්‍රාප්තිකයා වන වඩාත් මාරක "එම් කිව්-9 ඊපර්" ආදී ඩ්‍රෝන් යානාවලට සමාන කල හැකි සන්නද්ධ ඩ්‍රෝන් යානා දශකයකට වැඩි කාලයක් යන තෙක් බිහි නොවූ නිසාය.නමුත් දැන් තත්ත්වය වෙනස් වී තිබේ.ඒ බීජින් රජය වඩාත් හොඳ ඩ්‍රෝන් යානා නිපදවන නිසා නොව එක්සත් ජනපදය ඩ්‍රෝන් යානා අපනයනය නොකරන රටවලට පවා ඩ්‍රෝන් යානා අලෙවි කරන්නට චීනය සූදානම් බැවිනි.

සන්නද්ධ ඩ්‍රෝන් යානා අලෙවියේදී වසර ගණනක් යන තුරු එක්සත් ජනපදයට තදබල නීති පනවා තිබූ අතර එහි වාසිය මනාව ප්‍රයෝජනයට ගත් චීනය,ඇමෙරිකානු සමාගම්වලට නතුවන්නට තිබූ වටිනා වෙළඳපොලක් සිය ග්‍රහණයට නතු කර ගත්තේය.ජෝර්දානය ඇමෙරිකානු "ඊපර්" ඩ්‍රෝන් යානා මිලදී ගැනීමට ඉල්ලීමක් කර තිබුණත් එක්සත් ජනපදය ඒවා විකිණීම ප්‍රතික්ෂේප කලේය.චීනය එහි වාසිය ලබාගෙන ඩ්‍රෝන් යානා සපයන්නට ඉදිරිපත් වීමත් සමග "චීනය ඒ වාසිය නතු කරගන්නවා" යැ‍යි රිපබ්ලිකන් පාක්ෂික ඩන්කන් හන්ටර් 2015 වර්ෂයේ අග භාගයේදී පැවසීය

ඉන් වසර දෙකකට පසුව ප්‍රහාරක ඩ්‍රෝන් යානා වෙළඳපොලේ චීනයේ පංගුව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ.අද වන විට එම් කිව්-9 රීපර් හි ප්‍රහාරක මොඩලය මිලදී ගෙන තිබෙන්නේ එක්සත් රාජධානිය,ප්‍රංශය සහ ඉතාලිය පමණි.ජෝර්දානය ඇතුලුව අනෙකුත් ඇමෙරිකානු මිත්‍රයෝ සී එච්-4 වැනි චීන ඩ්‍රෝන් යානා පියාසර කරවයි.

චීනයේ CH-4 යානය සහ ඇමෙරිකාවේ MQ-9 Reaper යානය(පහළ)

එක්සත් ජනපදය දැන් ප්‍රමාද වී හෝ ප්‍රහාරක ඩ්‍රෝන් යානා වෙළඳපොල අත්පත් කර ගන්නට උත්සාහ කරමින් සිටියි.ප්‍රහාරක ඩ්‍රෝන් යානා අලෙවියේදී,වසර ගණනාවක් තිස්සේ ඇමෙරිකානු සමාගම්වලට නීතිමය බාධාවක් මතුව තිබිණි.ඊට හේතුවූයේ එක්සත් ජනපදය මිසයිල තාක්ෂණය පාලනය කිරීමේ ගිවිසුමට බැදී සිටීම නිසාය.මෙම අන්තර්ජාතික ගිවිසුම හරහා දිගු දුර කෲස් මිසයිල සහ ඩ්‍රෝන් යානා අපනයනය වළක්වා තිබේ.නමුත් චීනය මෙම ගිවිසුමට අත්සන් තබා නැත.

නමුත් 2018 අප්‍රේල් මාසයේදී ට්‍රම්ප්ගේ රජය,"ඇමෙරිකානු නිෂ්පාදන මිලදී ගන්න" යන සිය ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ප්‍රහාරක ඩ්‍රෝන් යානා අපනයනය කෙරෙහි පනවා තිබූ අවහිරයන් ලිහිල් කිරීමට පියවර ගත්තේය."ඇමෙරිකානු ඩ්‍රෝන් යානාවල පිටපත් මැදපෙරදිග ධාවන පථවල යොදවා තිබේ.අනවශ්‍ය බාධා සහිත ප්‍රතිපත්ති හේතුවෙන් ඇ.ඩො.බිලියන 50ක අන්තර්ජාතික ඩ්‍රෝන් වෙළඳපොල එක්සත් ජනපදයට අහිමිවන තැනට තල්ලු කර ඇත.රජය ඩ්‍රෝන් යානා අලෙවි ප්‍රතිපත්තිය වෙනස් කිරීම හමුවේ ඇමෙරිකානු සමාගම්වලට අනුමැතිය ලත් මිත්‍ර රාජ්‍යයන් සහ හවුල්කරුවන් වෙත සෘජුවම අලෙවි කිරීමට අවස්ථාව 
උදාවේ " - පීටර් නෙවාරො,ජනපති ට්‍රම්ප්ගේ වෙළඳ උපදේශක

කෙසේවෙතත් අලුත් අපනයන ප්‍රතිපත්තිය ක්ෂණික බලපෑමක් ඇති කර නොමැති වග පෙනේ.ජෝර්දානයේ විශේෂ මෙහෙයුම් බලකා ප්‍රදර්ශනයට පවා ජෙනරල් ඇටොමික්ස් ඇරොනොටිකල් සිස්ටම් සමාගම ඉදිරිපත් කර තිබුණේ අවි රහිත රීපර් ඩ්‍රෝන් යානා මොඩලයකි.

Missile Technology Control Regime
 මිසයිල තාක්ෂණය පාලනය කිරීමේ ගිවිසුමට අත්සන් තැබූ රටවල්

ට්‍රම්ප් රජයේ සිදු කල ප්‍රතිසංස්කරණ හමුවේ චීනය මෙන්ම ඊශ්‍රායලයටත් නතුව තිබෙන ඩ්‍රෝන් අපනයන වෙළඳපොල අල්ලා ගැනීමට දැන් ප්‍රමාද වැඩි දැයි සිතේ.

"චීනයට වෙළඳපොල ආක්‍රමණය කිරීමට හැකිවූයේ එක්සත් ජනපදයේ අපනයන ප්‍රතිපත්තියේ උදව් නිසාවෙනි.මන්ද එම ප්‍රතිපත්තිය හේතුවෙන් විශාල ලාභයක් උපදවා ගත හැකි වෙළඳපොලකින් එක්සත් ජනපදය ඈත් කර තැබීය."වෙළඳපොලේ සමහර කොටස් ඊශ්‍රායල නිෂ්පාදකයෝ විසින් පුරවද්දී,ඔවුන් මැදපෙරදිග කලාපයේ සක්‍රීය නොවන්නට පැහැදිලි හේතු තිබේ.ඒ මගින් ඇති වූ හිඩැස චීනය විසින් පුරවා තිබේ " -පිලිප් ෆිනිගන්,ටීල් ගෲප් නම් ගුවන් සේවා,අභ්‍යාවකාශ සහ යුදෝපකරණ වෙළඳපොල සම්බන්ධ විශ්ලේෂණ සමාගමේ අධ්‍යක්ෂකවරයා.

චීනයේ සී එච්-4 ඩ්‍රෝන් යානය දෙස බලද්දී එය ඇමෙරිකානු ප්‍රඩේටර් යානයට සමාන වීම අහඹු සිදුවීමක් නම් නොවේ.මෝටර් රථ හෝ ජංගම දුරකත හෝ වේවා ඒවා චීනයේ නිෂ්පාදන නම් ඒවා බොහෝවිට බටහිර නිෂ්පාදනවල පිටපත් වීමට වැඩි ඉඩක් තිබෙන්නේ චීනය තුල කොපි කිරීම ලැජ්ජාවට කාරණයක් නොවන නිසාය.නමුත් චීන පිටපත් ලාභදායි මෙන්ම අවශ්‍ය කාර්යය කරගන්නට ප්‍රමාණවත් ඒවා වේ.පෙර කී ජෝර්දානයේ පැවැත් වූ ප්‍රදර්ශනයේදී දැකගත හැකි වූ වෙළඳ දැන්වීමක සී එච්-4 ඩ්‍රෝන් යානය ලොව හොඳම ඒවායින් එකක් යැ‍යි සඳහන් කරයි.විශ්ලේෂකයන්ට අනුව චීන කෙටි කාලයක් තුල ඩ්‍රෝන් තාක්ෂණය සම්බන්ධව තම රටත් එක්සත් ජනපදයත් අතර තාක්ෂණික හිඩැස පුරවා ගත්තේ ඔවුන් දියත් කල සයිබර් සංග්‍රාමයේ උදව් නිසාවෙනි.

චීනයේ ඩ්‍රෝන් අලෙවිය ඉහළ ගියේ පසුගිය වර්ෂයන්හි සංවර්ධනය වෙමින් තිබෙන රටවල් කැරලිකෝලාහල මර්ධනය සඳහා ඩ්‍රෝන් තාක්ෂණයේ පිහිට පැතීම හේතුවෙනි.විශේෂයෙන් ඉරාකය, ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග කල සටනේදී සිය ඩ්‍රෝන් යානා සම්බන්ධව ප්‍රචාරණයක් වාසියක් ලබා ගන්නට චීනයට හැකි විය.

ඉරාක හමුදාව මේ දක්වා චීනයේ සී එච්-4 ඩ්‍රෝන් යානා යොදාගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී ඉලක්ක වෙත ප්‍රහාර 260ක් එල්ල කර තිබේ.චීන බසින් පළවූ ලිපියකට අනුව ඒවාහි නිරවද්‍යතාවය 100%කි.ජෝර්දාන හමුදාව සතුවද සී එච්-4 ඩ්‍රෝන් යානා තිබෙන බවත් ඒවා ඒ ආර්-1 නම් චීනයේ නිෂ්පාදිත යුද ටැංකි නාශක මිසයිලවලින් සන්නද්ධය.මෙම මිසයිල ඇමෙරිකානු හෙල්ෆයර් මිසයිලවලට සමානය.නමුත් මේ වන තෙක් එම මිසයිල යොදාගෙන ප්‍රහාර එල්ල කර නොමැති බව ජෝර්දාන හමුදා නිලධාරියෙක් Foreign Policy වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබේ.

AR-1 anti tank missile
AR-1 නම් යුද ටැංකි නාශක මිසයිල - නිල් පැහැයෙන් දිස්වන මිසයිල

මේ දක්වා සිය ඩ්‍රෝන් යානා මිලදී ගත් රටවල් සියල්ලම චීනය විසින් හෙළිදරව් කර නොමැත.නමුත් ජෝර්දානයේ පැවති ප්‍රදර්ශනයේ පෙන්වූ වීඩියෝවක දැක්වුනේ ඇල්ජීරියාව,නයිජීරියාව,ජෝර්දානය, සැම්බියාව,ඉරාකය, සෞදිඅරාබිය,ඉතියෝපියාව,තුර්ක්මෙනිස්ථානය,පාකිස්තානය සහ මියන්මාරය යන රටවල් චීනයේ ඩ්‍රෝන් ගැනුම්කරුවන් බවයි.

මෙම ලැයිස්තුවේ සඳහන් නොවන රට වන්නේ,පසුගිය වසරේදී සිය පළමු සී එච්-4 ඩ්‍රෝන් යානය මිලදී ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.යේමනයේ හවුති නායකයෙක් මරා දමන්නට එක්සත් අරාබි එමීර් රාජ්‍යය චීන ඩ්‍රෝන් යානයක් භාවිතා කලේ යැ‍යි Foreign Policy වෙබ් අඩවිය පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා කර තිබිණි.

ඩ්‍රෝන් ප්‍රහාරයක ප්‍රතිඵලයක් ලෙස ඝාතනයට ලක් වූ හවුති නායක සලෙහ් අල්-සමාඩ්

සී එච්-4 ඩ්‍රෝන් යානය පිටත පෙනුමෙන් ඇමෙරිකානු රීපර් ඩ්‍රෝන් යානයට සමාන වුවද හැකියාවන් අතින් පහළ මට්ටමක පසුවේ.උදාහරණයකට චීන ඩ්‍රෝන් යානය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පාලනය කල නොහැකිය.එමගින් යානයේ මෙහෙයුම් පරාසය සහ සංග්‍රාම භූමිය තුල උපයෝගීතාවය පහළ වැටී තිබේ.නමුත් සී එච්-5 නම් නවතම ඩ්‍රෝන් යානයට එම හැකියාවෙන් සමන්විත වේවි යැ‍යි අනුමාන කෙරේ.

ජෝර්දානයේ විශේෂ මෙහෙයුම් බලකා ප්‍රදර්ශනයේදී චීනයේ ඇරෝස්පේස් ලොන්ග්-මාර්ච් ඉන්ටර්නැෂනල් සමාගම "සී එච්-901" නමින් හඳුන්වන කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන් යානයක්ද ප්‍රදර්ශනය කෙරිණි.එය "මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානය" යැ‍යි සමාගම පවසයි.

CH-901 drone
CH-901 නම් ඩ්‍රෝන් යානය

තවත් චීන සමාගමක් වන ෂෙන්සියැන් ප්‍රෙසිසන් ටෙක්නොලජි සමාගම මෙම ප්‍රදර්ශනයට ඔවුන්ගේ කුඩා ප්‍රමාණයේ ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් එක් කර තිබිණි.ඊට අත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇතැයි පැවසේ.කි.ග්‍රෑ. 35ක බරකින් යුක්ත මෙම ඩ්‍රෝන් යානයට සිරස්ව ගුවන් ගත වීමත්,ගොඩබැස්ස වීමත් සිදු කල හැකිය.එහි පියාසර කාලය මිනිත්තු 20කට සීමාව වන අතර පියාසර පරාසය කි.මී. 8කි.

එම සමාගමේ විධායක අධ්‍යක්ෂක සුයි කුන් පැවසුවේ මෙම ඩ්‍රෝන් යානය සැලසුම් කිරීමට ඔහු වසර 4ක කාලයක් වැය කල බවයි.ගොඩබිම් පාලන මධ්‍යස්ථානයත් සමග ඔහු මේ ඩ්‍රෝන් යානය ඇ.ඩො. 300,000කට අලෙවි කිරීමට බලාපොරොත්තු වේ.මෙම සංකල්පය "ට්‍රක් රථයක් තුලා ගුවන් හමුදාවක්" නමින් හඳුන්වන්නේ ඩ්‍රෝන් යානය,ක්‍රියාකරුවා සහ පාලන මධ්‍යස්ථානය,වාහනයක් මගින් ඇදගෙන යන විශේෂයෙන් නිර්මාණය කල බහලුමක ප්‍රවාහනය කල හැකි වීම නිසාය.

"ඔබ තොග ගැනුම්කරුවෙක් නම් ඔබට වට්ටමක් හිමිවේ.මට මේවා ඔබේ රටේ දේශීයව වුවත් නිපදවිය හැකිය" -සුයි කුන්

නමුත් ඒවන තෙක් ඔහු සිය සංග්‍රාමික ඩ්‍රෝන් යානා එකක් හෝ විකුණා තිබුණේ නැත.ඔහුට අනුව දැනට මේ ඩ්‍රෝන් යානය භාවිතා කරන්නේ චීන පොලිසිය පමණි.මෙම ප්‍රදර්ශනයට පැමිණියේ සිය වෙළඳාම වර්ධනය කර ගැනීමේ අරමුණින් යුතු යැ‍යි ඔහු කීය.

An Israeli army drone throwing teargas grenades on Palestinian protesters
පලස්තීන උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමට ඊශ්‍රායලය භාවිතා කරන ඩ්‍රෝන් යානයක්

චීනයෙන් ඩ්‍රෝන් යානා ආනයනය කල මැදපෙරදිග රාජ්‍යයන් වන්නේ ජෝර්දානය, ඉරාකය,සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.චීනයේ අවසරය ඇතිව ඩ්‍රෝන් යානා 300ක් සිය රට තුල නිපදවන්නට සෞදි අරාබිය සැලසුම් කරමින් සිටියි. ඊශ්‍රායලය,තුර්කිය සහ ඉරානය ස්වදේශීයව තමන්ගේම ඩ්‍රෝන් යානා නිපදවයි.

දේශපාලනික අවදානම නිසා මිනිසුන් සහිත යානා යොදාගෙන සිදු කල නොහැකි සීමාවෙන් පිටත ප්‍රහාර සහ ඝාතන සඳහා ඉරානය,තුර්කිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ඩ්‍රෝන් යානා යොදා ගනියි.

ඉරානය මාදිලි දෙකක් ඩ්‍රෝන් යානා නිපදවන අතර එකක් ඊශ්‍රායල ඩ්‍රෝන් යානයකට සමානකම් පෙන්වයි.යල් පැන යන සිය ගුවන් හමුදාවේ හිඩැස පිරවීමට විකල්පයක් ලෙස ඉරානය ඩ්‍රෝන් යානා භාවිතා කරන බව පෙනේ.ඔවුන් පසුගිය සමයේ ඉරාකය සහ සිරියාව යන රටවල ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත ඩ්‍රෝන් ප්‍රහාර දියත් කරන ලදි.සිරියානු කඳවුරුවල  සිට දියත් කල ඉරාන ඩ්‍රෝන් යානා ඊශ්‍රායල ගුවන් සීමාව උල්ලංඝනය කල බවද වාර්තා විය.තවද ඔවුන් හමාස්,හිස්බුල්ලා සහ හවුති සටන්කාමීන්ට ඩ්‍රෝන් යානා සපයන බවට චෝදනා එල්ල වේ.

තුර්කිය සිරියාවේ සහ ඉරාකයේ කුර්දි සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාරක ඩ්‍රෝන් යානා භාවිතා කරයි. ස්වදේශීය නිපදවූ ඩ්‍රෝන් යානා වලින් සමන්විත බල ඇණිය සීඝ්‍රයෙන් පුලුල් කරමින් සිටින බව තුර්කි රජය කියා තිබේ.

කලාපයේ අනෙක් රටවල් මෙන් නොව ප්‍රහාරක ඩ්‍රෝන් යානා මිලදී ගැනීම,මෙහෙයුම්වල යෙදවීම ආදිය ඉතා රහසිගතව තබා ගන්නට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රියා කරන බව පෙනේ.සෞදි අරාබිය මෙන් නොව යේමනයේ ගුවන් ප්‍රහාර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩ්‍රෝන් යානා යොදා ගන්නවා මෙන්ම ලිබියාවේ මෙහෙයුම් සඳහාද ඒවා භාවිතා කරන බවට වාර්තා පළවේ.

හවුති නායක සලෙහ් අල්-සමාඩ් ඝාතනය වූයේ යැ‍යි සැලකෙන ඩ්‍රෝන් ප්‍රහාරයේ විඩියෝ දර්ශනයක්


කලාපය තුල ඩ්‍රෝන් යානා වැඩිම ගණනක් භාවිතා කරන්නේ ඊශ්‍රායලයයි.එරට සතු ඩ්‍රෝන් යානා ගණන කොපමණද යන්න හරි හැටි කිව නොහැකිය.

ඇමෙරිකානු ඒවා භාවිතා කරද්දී මෙන් නොව චීන ඩ්‍රෝන් යානා භාවිතා කරද්දි සමහර රටවලට ආර්ථික මෙන්ම දේශපාලනික වාසිද හිමිවේ.චීන ඩ්‍රෝන් යානා ඉතා ලාබදායි වන්නේ ඒවාහි මිල ඊට සමාන ඇමෙරිකානු පද්ධතිවල මිලෙන් 1/4 ක් තරම් වන නිසාය.අනෙක් කාරණයට තමන්ගෙන් මිලදී ගන්නා අවි පද්ධති අදාල රටවල් කෙසේ භාවිතා කල යුතු දැයි චීනයෙන් බලපෑම් එල්ල නොවීමයි.නමුත් ඇමෙරිකානු අපනයන පැමිණෙන්නේ භාවිතය සම්බන්ධව සීමා මායිම්ද සහිතවයි.

ඇමෙරිකාවේ මිත්‍ර රාජ්‍යයන්ට චීන ඩ්‍රෝන් යානා මිල දී ගැනීමට ඉඩදීම හුදෙක් මූල්‍යමය ගැටලුවක්ම නොවේ.එක්සත් රාජධානියේ උපාය මාර්ගික අධ්‍යයනයන් සඳහා ජාත්‍යන්තර ආයතනයේ ඩග්ලස් බෙරිට අනුව විදෙස් රාජ්‍යයක් ඇමෙරිකානු අවි මිලදී ගත් විට,එම තාක්ෂණය භාවිතා කල යුත්තේ කෙසේද යන්න යම් ප්‍රමාණයකින් පාලනය කිරීමේ හැකියාව එක්සත් ජනපද රජය සතුය.එය ඇමෙරිකානු අපනයන නීතියේ අන්තර්ගතය.

නමුත් චීනයේ අවි වෙළඳාම හුදෙක් ගනුදෙනුවක් පමණි.මිලදී ගත් පසු එම අවි කුමන කාර්යයකට කුමන පාර්ශ්වයක් භාවිතා කරන්නේද යන්න චීනයට අදාල නැත.

ඉරාක හමුදා චීන ඩ්‍රෝන් යානා යොදාගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත පහර දෙන අයුරු දැක්වෙන විඩියෝ දර්ශන පෙළක්


දැන් අපනයන අවහිරතා ලිහිල් කර තිබෙන නිසා ඇමෙරිකා එක්සත් ජනපදයට වඩාත් තරඟකාරීව ජාත්‍යන්තර වෙළඳාමේ නිරත විය හැකි මුත් ප්‍රශ්නය වන්නේ තමන්ට අවශ්‍ය චීන ඩ්‍රෝන් යානා බව දැනටමත් බොහෝ රටවල් තීරණය කර තිබීමයි.

ඔවුන් තවත් ඩ්‍රෝන් යානා මිලදී ගන්නේ නම් මෙම රටවල් නිරායාශයෙන්ම චීනයට බැදී පවතියි."ඔබ වරක් දොර විවර කල විට,එය ඔබට වසා දමන්නට හැකිවේවි යන්න සහතික විය නොහැක." - ඩග්ලස් බෙරි



source:foreignpolicy.com


මැදපෙරදිග වෙළඳපොල දෙගොඩ තලා යන චීන ඩ්‍රෝන් තාක්ෂණය මැදපෙරදිග වෙළඳපොල දෙගොඩ තලා යන චීන ඩ්‍රෝන් තාක්ෂණය Reviewed by HarshaLulzSec on December 23, 2018 Rating: 5

No comments:

Powered by Blogger.