සීතල යුද සමයෙන් ඇසෙන කතා - ඉරාන ඇමෙරිකා ඒකාබද්ධ ඔත්තු බැලීමේ මෙහෙයුම

Project Dark Gene

සෝවියට් සමූහාණ්ඩුවේ ගුවන් අවකාශ තුල සිදු කල ඇමෙරිකා-ඉරාන ඒකාබද්ධ ඔත්තු බැලීමේ මෙහෙයුමක් සෝවියට් මිග්-21 යානයක් විසින් 1973 නොවැම්බර් මස 28 දා අවසන් කරන ලදි.රුසියානු ගුවන් නියමුවෙක් වූ 35 හැවිරිදි කැප්ටන් එලිසීව් සිය ජීවිතයද කැප කරමින් සීතල යුද්ධ සමයේ ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශයේ ‘Project Dark Gene’ නම් ඔත්තු බැලීමේ වැඩසටහන අඩාල කලේය.
මීට වසර 45කට පෙර සෝවියට් මිග්-21 ජෙට් ප්‍රහාරක යානයක් මෙහෙයවූ කැප්ටන් ගෙනඩි එන්.එලිසිව් අතිධ්වනි වේගයෙන් ආර් එෆ්-4සී පැන්තම් ඔත්තු බැලීමේ යානය වෙත කඩා වැදීමෙන් සෝවියට් සමූහාණ්ඩුවේ ගුවන් අවකාශයෙන් සංවේදි තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව ඇමෙරිකානුවන්ගෙන් දුරස් කරන ලදි.

ආර් එෆ්-4සී පැන්තම් යානය මෙහෙයවන ලද්දේ ඉරාන ගුවන් හමුදාවේ මේජර් මොහමෙඩ් ෂොකුනියා විසින්ය.යානයේ පිටුපස අසුනේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ කර්නල් ජෝන් සෝන්ඩර්ස් සිටියේය.ඇමෙරිකානු පාර්ශ්වය පැවසුවේ සිය උපදේශකයෙක් විසින් ඉරාන නියමුවන්ට නවතම මාදිලියේ ගුවන් යානයක් පියාසර කරවන අයුරු උගන්වද්දී අහම්බෙන් ගුවන් යානය සෝවියට් සමූහාණ්ඩුවේ ගුවන් අවකාශයට පිවිසි බවයි.

කෙසේවෙතත් යතාර්ථය නම් මෙම කණ්ඩායම,Project Dark Gene කේත නාමයෙන් හඳුන්වන ඔත්තු බැලීමේ වැඩසටහනේ කොටසක් වීමයි.මෙම වැඩසටහන 1960 දශකයේ සිට 1970 දශකයේ අග භාගය දක්වා ඇමෙරිකානු මධ්‍ය බුද්ධි කාර්යාංශයත් ඉරාන ගුවන් හමුදාවත් ඒකාබද්ධව ක්‍රියාවට නැංවූවකි.

ඔවුන්ගේ ඒකාබද්ධ මෙහෙයුමේ අරමුණ වූයේ සෝවියට්-ඉරාන දේශසීමා ඔස්සේ විහිදී තිබූ සෝවියට් දේශයේ ගුවන් ආරක්ෂක ජාලයේ දුර්වල ස්ථානයක් සොයා ගැනීමයි.

U.S. Air Force RF-4C Phantom II
ඇමෙරිකානු ගුවන් හමුදාවේ RF-4C Phantom II ගුවන් යානයක්

1953 වර්ෂයේ ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණයේ සිට 1979 වර්ෂයේ ඉස්ලාමීය විප්ලවය දක්වා ඉරානය සහ එක්සත් ජනපදය ගජ මිතුරන් විය.මෙහම්මඩ් රෙසා ෂා රජු යටතේ ඉරානය මැදපෙරදිග කලාපය තුල ඇමෙරිකානුවන්ගේ ක්ෂේම භූමියක් බවට පත් වූ අතර එරට විශ්වාසනීය බොර තෙල් සැපයුම්කරුවාද විය.අනෙක් අතට එක්සත් ජනපදයෙන් ටෙහෙරාන් රජයට ආර්ථික සහ හමුදාමය ආධාර ගලා ආවේය.වොෂින්ටනය නිර්ලෝභීව අවි,උපාංග සහ හමුදා උපදේශකයෝ රාජාණ්ඩුව වෙත ලබා දුන්නේය.

සෙබස්තියන් රොබ්ලින් නම් හමුදා විශ්ලේෂකයාට අනුව 1971 වර්ෂය වෙද්දී ටෙහෙරානය සතුව ඇමෙරිකානු ආර් එෆ්-4සී පැන්තම් ඔත්තු බැලීමේ යානා දුසිම් දෙකක් පමණ තිබිණි.සෝවියට් සන්නිවේදනයට ඇහුම්කන් දීමට හැකි පරිදි එම ගුවන් යානා විශේෂයෙන් නවීකරණය කරන ලද ඒවා විය.

මෙම ගුවන් යානයේ විශේෂිත දිගැටි නාසයේ කැමරා කිහිපයක් සවි කර තිබිණි.ඊට අමතරව යානයේ පිටත සවි කල නාභිගත කරන ලද කැමරාවක්ද ගුවන් ‍යානයේ කාර්ය මණ්ඩලයට භාවිතා කල හැකි විය.යානයට දිවා-රාත්‍රී දෙකෙහි ඉහළ සහ පහළ උන්නතාංශයන්හිදී ඡායාරූප ලබා ගන්නට පුලුනි.එය අධෝරක්ත පරිලෝකන යන්ත්‍රයකින්ද රේඩාර් පද්ධතියකින්ද සමන්විතය.තවද සතුරු යානාවලින් එල්ල වන තර්ජනවලදී පහර දීම සඳහා ගුවන්-ගුවන් නියාමක මිසයිල 4ක් එය සතු විය.

"ද්විත්ව අසුන් ගුවන් යානය ඇමෙරිකානු සහ ඉරාන ගුවන් නියමුවන් සහිතව මාසයක දෙවරක් ඔත්තු බැලීමේ මෙහෙයුම්වල නිරත විය". -සෙබස්තියන් රොබ්ලින්



සෝවියට් නියමුවාගේ වික්‍රමය

1973 නොවැම්බර් මස 28දා දේශසීමා උල්ලංඝනය කිරීමක් සම්බන්ධව සෝවියට් ගොඩබිම් ගුවන් ආරක්ෂක පද්ධතිවලට සංඥා ලැබිණි.982 වන ප්‍රහාරක ගුවන් තරණ රෙජිමේන්තුවේ නියෝජ්‍ය අණදෙන නිලධාරියෙක් ලෙස කටයුතු කල කැප්ටන්  ගෙනඩි එන්.එලිසිව් වැසියානි ගුවන් කඳවුරෙන්(දැන් මෙම කඳවුර ජෝර්ජියාවට අයත්ය) පිටත් වූයේ නාදුනන ගුවන් යානයට බාධා කිරීමේ අරමුණින් යුතුවයි.

පැන්තම් යානය සෝවියට් ගුවන් අවකාශයෙන් ඉවත්ව යද්දී මිග්-21 යානය එය පසුපස හඹා ගියේය.ඒ වෙද්දී ඉරාන පැන්තම් යානයේ වේගය මාච් 1.4ක් තරම් විය.සතුරු යානයට වෙඩි තබන්නට කැප්ටන්  එලිසිව් තීරණය කලේය.ඔහු මිග්-21 යානය සතු වූ අධෝරක්ත සංඥාවෙන් මග සොයා ගන්නා ගුවන්-ගුවන් "විම්පල් කේ-13" කෙටි දුර මිසයිල දෙක සතුරු යානය ඉලක්ක කර මුදා හැරියේය.නමුත් පැන්තම් යානය ආරක්ෂක ගිනි දළු දුසිම් ගණනක් නිකුත් කරමින් මිසයිල මඟ හැර ගියේය.ඊට අමතරව මිග්-21 යානය සතුව මි.මී. 23 මැෂින් තුවක්කුවක් තිබෙන මුත් එම අවස්ථාවේදී එය යම් දෝෂයකට ලක් වීම නිසා අක්‍රියව පැවතිණි.කෙසේවෙතත් සෝවියට් නියමුවා ඉරාන ඔත්තු බැලීමේ යානයට ගැලවී යන්නට ඉඩ දුන්නේ නැත.අවසානයේ කැප්ටන්  එලිසිව් හට ඉතිරි වූයේ සිය යානය සතුරු යානයේ වැද්දවිමේ විකල්පය පමණි.

Soviet MiG-21 jet fighter
මිග්-21 ෆයිටර් ජෙට් යානයක්

මිග්-21 යානය අතිධ්වනි වේගයේ පියාසර කරමින් ආර් එෆ්-4සී පැන්තම් යානයේ ගැටිණි.ගැටීමෙන් මිග්-21 යානය ගුවනේදී කැබලිවලට කැඩි බිදී ගිය අතර කැප්ටන් එලිසිව් මරණයට පත් විය.නමුත් පැන්තම් යානයේ සිටි ඇමෙරිකානුවා සහ ඉරාන නියමුවා හානියට පත් පැන්තම් යානයෙන් සාර්ථකව පිටතට පැන ගත්හ.

 ෂොකුනියා සහ සෝන්ඩර්ස් ගොඩබැසීමෙන් පසුව සෝවියට් දේශසීමා ආරක්ෂකයන්ගේ අත් අඩංගුවට පත් විය.සිදුවීමෙන් සති දෙකකට පමණ පසුව ඔවුන් දෙදෙනා යළිත් ඉරානයට භාර දෙන ලදි. ඒ වෙනුවට ඉරානයට කඩා වැටුණු සෝවියට් චන්ද්‍රිකාවක් සෝවියට් දේශයට ලබා දෙන්නට ඉරානය ක්‍රියා කලේය.තවදුරටත් ඉරාන ගුවන් හමුදාවේ සේවය කලේය.ඉරාක-ඉරාන යුද්ධය අතරතුර 1982 වර්ෂයේදී ඉරාක ගුවන් නියමුවෙක් පැදවූ මිග් යානයක් විසින් ඔහුගේ ගුවන් යානය වෙඩි තබා බිම හෙළන ලදි.


රුසියාවේ වොල්ගොග්‍රෑඩ් හි ඉදි කර තිබෙන කැප්ටන් ගෙනඩි එන්.එලිසිව්ගේ ස්මාරකය

කැප්ටන් ගෙනඩි එන්.එලිසිව් මරණයෙන් පසුව සෝවියට් දේශයේ වීරයෙක් වශයෙන් පිදුම් ලැබීය.
source:sputniknews.com
සීතල යුද සමයෙන් ඇසෙන කතා - ඉරාන ඇමෙරිකා ඒකාබද්ධ ඔත්තු බැලීමේ මෙහෙයුම සීතල යුද සමයෙන් ඇසෙන කතා - ඉරාන ඇමෙරිකා ඒකාබද්ධ ඔත්තු බැලීමේ මෙහෙයුම Reviewed by HarshaLulzSec on December 05, 2018 Rating: 5

No comments:

Powered by Blogger.