සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 09

නැගෙනහිර අල්-සුවයිඩා හිදී ප්‍රාණ ඇපයට ගෙන පසුව නැගෙනහිර හෝම්ස් හි රදවාගෙන සිටි සියලු ප්‍රාණ ඇපකරුවන් නොවැම්බර් මස 8 දා මුදා ගන්නට සිරියානු විශේෂ බලකා සමත් වූ බව සිරියානු රජයේ මාධ්‍ය වාර්තා කලේය.වාර්තාවට අනුව මෙහෙයුම සිදු කෙරුණේ නැගෙනහිර පැල්මයිරා හි හමිමා ප්‍රදේශයේදීය.එහිදී ප්‍රාණ ඇපකරුවන් සිය ග්‍රහණයේ තබා ගෙන සිටි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් කණ්ඩායමක් මුලිනුපුටා දමන්නට සිරියානු සෙබලුන් සමත් විය.

සානා පුවත් සේවය ඒ සම්බන්ධ වැඩි විස්තර ඉදිරිපත් නොකලේය.කෙසේවෙතත් සිරියානු රජයට පක්ෂපාතී ක්‍රියාකාරීන් විශ්වාස කරන්නේ මෙහෙයුමේදී රුසියානු විශේෂ බලකා ඔවුන්ගේම භූමිකාවක් නිරූපණය කරන්න ඇතැයි කියාය.

 මුදාගත් ප්‍රාණ ඇපකරුවන්

Syrian Special Forces freed all hostages


Syrian Special Forces freed all hostages

ජුලි මස 25දා රජයේ පාලන ප්‍රදේශයට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කල බිහිසුණු ප්‍රහාරයෙන් පසුව සිවිල් වැසියන් පිරිසක්ද සිය ග්‍රහණයට ගෙන පලාගියහ.එතැන් පටන් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට ඩැමැස්කස් රජය බොහෝ සෙයින් වෙහෙස වූ අතර ඔක්තෝම්බර් මාසයේදී ත්‍රස්තවාදීන් සමග එකඟතාවයක් ඇති කරන්නට උත්සාහ දැරීය.කෙසේවෙතත් ඒ හරහා නිදහස් කරගන්නට පුලුවන් වූයේ සිවිල් වැසියන් 6 දෙනෙක් පමණි.යුදමය විසඳුමක් බොහෝ ඵලදායි බව පෙනෙන්නට තිබිණි.

ISIS members who killed while rescuing hostages
ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමේදී මරා දැමුවා යැ‍යි කියන ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු

මෙම සතියේ මුල් කාලයේදී අල්-සාෆා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සිරියානු රජයේ හමුදාවල මෙහෙයුමට සහාය වීම පිණිස අල්-සුවයිඩා පළාතේ නැගෙනහිර ප්‍රදේශයට රුසියානු විශේෂ මෙහෙයුම් බලකා පැමිණි බව වාර්තා විය.

වයඹදිග සිරියාවේ සිටි 4 වන සේනාංකය අල්-සාෆා වෙත කැඳවූ බව දිනකට පෙර රජයට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කලේය.රොකට් විදින සහිත රථ කිහිපයක්ද ත්‍රස්තවාදීන් රැදී සිටින ප්‍රදේශය ආසන්නයට ගෙනැවිත් තිබිණි.සිරියානු හමුදාවේ මූලාශ්‍රයකට අනුව රජයේ හමුදා ඉතාම නුදුරේදී අල්-සාෆා වෙත අලුතින් ප්‍රහාරයක් දියත් කරන්නට සූදානම් වෙමින් සිටියි.

ජූලි මාසයේ පටන් සිරියානු රජයේ හමුදා  අල්-සාෆා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පොකට්ටුව මුලිනුපුටා දැමීම සඳහා අවස්ථා කිහිපයකදී උත්සාහ කලද තවමත් එම පොකට්ටුවේ කොටසක් ත්‍රස්තවාදීන් යටතේ තිබේ.දැන්,ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමත්,රුසියානු හමුදා උපදේශකයන්ගේ පැමිණීමත් සමග ත්‍රස්තවාදීන්ගේ තත්ත්වය තවත් ව්‍යාකූල වී තිබේ.

ඩීර් එසෝර් පළාතේ අල්-ටනක් තෙල් නිධිය ආශ්‍රිතව පිහිටුවා තිබෙන හමුදා කඳවුරක් ඉලක්ක කර නොවැම්බර් මස 8 දා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කල ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධාන හමුදා සමත් වූ බව මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය වාර්තා කලේය.සන්ධාන හමුදාවලට අනුව ත්‍රස්තවාදීන් 20කට වැඩි පිරිසක් මරා දමන්නටත් වාහන 7ක් විනාශ කරන්නටත් ඔවුන් සමත්ව තිබේ.

එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ප්‍රදේශයේ ආරක්ෂාව වැඩි කිරීමට අමතර සෙබලුන් යොදවන ලදි.

ඊට පෙර,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් හමුවේ තමන්ට අහිමි වූ යුප්‍රටීස් නිම්නයේ හජින් පොකට්ටුව අසල ස්ථාන රැසක බලය යළිත් ලබා ගන්නට සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සමත් විය.කෙසේවෙතත් මෙම ප්‍රදේශයේ තත්ත්වය අවිනිශ්චිතය.මන්ද එහි සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි පාබල මෙහෙයුම් සියල්ල මේ වෙද්දී සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා විසින් නවතා දමා තිබෙන නිසාය.ඊට හේතු වූයේ උතුරුදිග සිරියාවේ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා වෙත තුර්කිය ප්‍රහාර දියත් කිරීමත්,කුර්දි සටන්කාමීන්ට එරෙහිව මහා පරිමාණ මෙහෙයුමක් දියත් කරන බවට තුර්කි රජය අනතුරු ඇඟවීමත් යන කාරණාය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 09 සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 09 Reviewed by HarshaLulzSec on November 09, 2018 Rating: 5

No comments:

Powered by Blogger.