සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 05

එක්සත් ජනපදයේ ප්‍රොක්සි හමුදාවන් ලෙස ක්‍රියා කල සටන්කාමී කණ්ඩායම්වල හිටපු සාමාජිකයෝ සිරියාවේ මෙහෙයුම්වල නිරත,ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ හමුදාවලට එකතු වෙමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත නොවැම්බර් මස 01දා වාර්තා කර තිබිණි.එම් වාර්තාවට අනුව සටන්කරුවන් 2,000ක් පමණ එලෙස එක්වී ඇති බවත්,ඔවුන් හිස්බුල්ලා සංවිධානය යටතේ වැටුප් ලබා ගැනීමත් ආරම්භ කර ඇත.ඊට හේතුව ලෙස පුවත්පත සඳහන් කරන්නේ එක්සත් ජනපදයෙන් ලැබුණු මූල්‍යමය ආධාර නතර වීමයි.කෙසේවෙතත්,ප්‍රාදේශීය විශේෂඥයින් ඉදිරිපත් කරන හේතුව වන්නේ එක්සත් ජනපදයේ සමහරක් ප්‍රොක්සි හමුදාවල ඇස් ඉදිරිපිට සිරියාවේ ඇමෙරිකානු උපායමාර්ගය  පරාජය වීමයි.2016-2018 අතර කාලය අතුල සටන්කාමී කණ්ඩායම්වල හිටපු දහස් ගණනක් සාමාජිකයෝ ඩැමැස්කස් රජය සමග සාමදාන විය.ඔවුන්ගෙන් සැලකිය යුතු කොටසක් සිරියානු හමුදාව තුල අලුතින් ස්ථාපනය කරන ලද "කලාමුන් පලිහ-Shield of Qalamoun" වැනි ඒකක වල සේවය කරති.

යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් යටතේ තිබෙන හජින් නගරයට ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය නොවැම්බර් මස 3 වනදා ගුවන් ප්‍රහාර එල්ල කලේ යැ‍යි සිරියාවේ බලාඩි නම් පුවත්පත වාර්තා කලේය.ගැහැණුන්,ළමුන් ඇතුලුව සිවිල් වැසියන් 17 දෙනෙක් ප්‍රහාරවලින් මරණයට පත්වූ බව සඳහන් වේ.මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ස්ථාන වෙත එල්ල වූ ගුවන් ප්‍රහාර වාර්තා කලද කිසිදු ජීවිත හානියක් සඳහන් කර නැත.ඇමෙරිකාවේ සහාය හිමි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අදාල ප්‍රදේශයේ සිය පාබල මෙහෙයුම් නවතා දැමුවේ ඔක්තෝම්බර් මස 31දාය.

නොවැම්බර් මස 3දා එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර තොග රැගත් ට්‍රක් රථ දුසිම් ගණනක් සිරියා-ජෝර්දාන දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති අල්-රුක්බන් සරණාගත කඳවුරට ඇතුල් වු බව රොයිටර් පුවත් සේවය වාර්තා කලේය.මාස 9ක් ඇතුලත කඳවුරට ලගා වූ පළමු රථ පෙල මෙයයි.මෙම ට්‍රක් රථ පෙළට ආරක්ෂාව සැපයීමට රුසියානු හමුදා පොලිසියේ ඒකකයක් සහ රුසියානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා 3ක්ද යෙදවූ බව විපක්ෂ කණ්ඩායම් සමග සමගිසන්ධානය උදෙසා වූ රුසියානු මධ්‍යස්ථානය නිවේදන කලේය.අල්-රුක්බන් සරණාගත කඳවුර පිහිටා තිබෙන්නේ ගිනිකොණදිග සිරියාවේ ඇමෙරිකානු හමුදාව යටතේ තිබෙන ප්‍රදේශයේය.


රුසියානු හමුදාව ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය ආසන්නයේ සිය නිරීක්ෂණ මුර පොලවල් වෙත RHM-6 නම් රසායනික පෙරික්සුම් රථ හයක් යැවූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක මේජර් ජෙනරල් ඉගෝර් කොනෂෙන්කොව් ඔක්තෝම්බර් මස 31දා පැවසීය.සටන්කාමීන් සතු ප්‍රදේශ අතරින් ඇලපෝ පලාතේ රසායනික අවි ප්‍රහාරයක් රඟ දැක්වීමේ ඉහලම සම්භාවිතාවය පවතියි යැයි ඔහු පැවසීය.

අල්-ලටාමියා නගරයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ සිට හමා නගරයට උතුරින් රජයේ හමුදා රැදී සිටින ස්ථාන වෙත ඇතුල්වන්නට උත්සාහ දැරූ ජයිස් අල්-ඊසා සටන්කාමීන් පිරිසක් නවතාලන්නට සිරියානු අරාබි හමුදාවේ ඒකකයක් නොවැම්බර් මස 3දා ක්‍රියා කර තිබිණි.සානා පුවත් සේවයට අනුව ප්‍රතිප්‍රහාර හමුවේ සටන්කාමීන්ට බරපතල හානි සිදුවිය.

ඉඩ්ලිබ් අවට සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් තවදුරටත් ප්‍රහාර දියත් කරන්නට හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් ක්‍රියා කරයි.රුසියාවේ ටාස් පුවත් සේවයට අනුව ලටාකියා පළාතට සහ ඇලපෝ නගරයට එල්ල වූ සටන්කාමීන්ගේ කාලතුවක්කු ප්‍රහාර වලින් සිරියානු හමුදාවේ සෙබලුන් දෙදෙනෙක් මිය ගොස් 13දෙනෙක් තුවාල ලබා ඇත.

අෆ්රින් නගරය ආසන්නයේ කෙසාවියේ සහ බියේ ගම්මාන අතරදී තුර්කියට පක්ෂපාතී ෂාම් ලීජන් නම් සටන්කාමී කණ්ඩායමට අයත් ට්‍රක් රථයකට ඔක්තෝම්බර් මස 30දා එල්ල කල ප්‍රහාරයකින් සටන්කාමීන් 5 දෙනෙක් මිය ගිය බව කුර්දි මහජන ආරක්ෂක ඒකක නිවේදනය කලේය.

අමතර සම්බාධකත් සමග 2015 වර්ෂයේ න්‍යෂ්ඨික ගිවිසුමට පෙර ඉරානයට පනවා තිබූ සියලු සම්බාධක යළිත් බලාත්මක කරන්නට ට්‍රම්ප් රජය නොවැම්බර් මස 5දා ක්‍රියා කලේය.මේ හරහා ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමේ කොන්දෙසී තමන්ට වාසි සහගත අයුරින් වෙනස් කර ගැනීමත් ඉරානයේ විදේශ සහ අභ්‍යන්තර ප්‍රතිපත්තිවලට බලපෑමක් කිරීමත් ඇමෙරිකානු රජයේ අරමුණ වේ.මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් සිරියාව තුල එක්සත් ජනපදය-ඊශ්‍රායලය යන පක්ෂයත්,ඉරාන නායකත්වය දරන හමුදාත් අතර අවිනිශ්වතභාවය වර්ධනය විය හැකිය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 05 සිරියානු යුද වාර්තාව - 2018 නොවැම්බර් 05 Reviewed by HarshaLulzSec on November 06, 2018 Rating: 5

No comments:

Powered by Blogger.