ඊශ්‍රායල-ඉරාන වෛරය:නෙතන්යාහුගෙන් අලුත් චෝදනා පත්‍රයක්

සැප්තැම්බර් මස අවසානයේදී  ඊශ්‍රායලය සිය ඉරාන-විරෝධී ප්‍රචාරණ න්‍යාය පත්‍රය යළිත් ප්‍රසාරණය කලේ,එක්සත් ජනපද-ඊශ්‍රායල පක්ෂය ශක්තිමත් කිරීම පිණිසත්,වොෂිංටනයට තවත් ඉරාන-විරෝධී ක්‍රියාමාර්ග ගැනීම සාධාරණ යැ‍යි කීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් යුතුවයි.

සැප්තැම්බර් මස 27දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කීවේ ඉරානයේ ටෙහෙරාන් නගරය ආසන්නයේ රහසිගත "න්‍යෂ්ඨික ගුදමක්" තිබෙන බවත් එහි න්‍යෂ්ඨික අමුද්‍රව්‍ය ටොන් 300ක් පමණ ගබඩා කල හැකි බවත්ය.

ඉරානය සතුව ඇතැයි කියන න්‍යෂ්ඨික අමුද්‍රව්‍ය සහිත ගබඩාවේ ඡායාරූපයක් සහිතව මහා මණ්ඩලය අමතන ඊශ්‍රායල අගමැතිවරයා

ඊට අමතරව හිස්බුල්ලා සංවිධානය බේරූට් ගුවන්  තොටුපොල ආසන්නයේ නියතාර්ථ මිසයිල දියත් කිරීමේ ස්ථාන 3ක් ස්ථාපනය කර ඇතැයිද හේ කීවේය.

"නියාමක නොවන මිසයිල,මාර්ගෝපදේශනයක් සහිත නියතාර්ථ අවි බවට පත් කිරීම සඳහා ඉරානය ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය මෙහෙයවමින් සිටියි.මෙම මිසයිලවලට මීටර් 10 නිරවද්‍යතාවයක් සහිතව ඊශ්‍රායලයේ වඩාත් අභ්‍යන්තරයේ තිබෙන ඉලක්ක වෙත ළඟාවිය හැකිය." යනුවෙන් නෙතන්යාහු පැවසීය.ඔහුට අනුව එහි පළමු ස්ථානය ඔසායි නම් ප්‍රදේශයයි.එය ගුවන් පථයේ සිට කැබලි කිහිපයක් දුරින් පිහිටා ඇත.දෙවන ස්ථානය  කමිලෙ චැමවුන් ක්‍රීඩාංගනය යටද තුන්වැන්න ගුවන්තොටුපොල අසලමද පිහිටුවා ඇතැයිද ඔහු කීය.


පහත දැක්වෙන්නේ ඊශ්‍රායල හමුදාව නිකුත් කල බේරූට් හි තිබෙනවා යැ‍යි කියන හිස්බුල්ලා සංවිධානයට අයත් මිසයිල නිෂ්පාදනාගාරයි.



නුඹලා කරමින් සිටින්නේ කුමක්ද කියා ඊශ්‍රායලය දන්නවා,නුඹලා එය කරමින් සිටින්නේ කෙහේද කියා ඊශ්‍රායලය දන්නවා සහ නුඹලාට ඉන් පලා යන්නට ඊශ්‍රායලය ඉඩ දෙන්නේ නැහැ යැයි ඔහු එහිදී හිස්බුල්ලා සංවිධානයට අනතුරු අගවමින් කියා සිටියේය.

නෙතන්යාහුට අනුව මෙම මිසයිලවලට දෙන ලද ඉලක්කයට මීටර් 10 ආසන්නයෙන් පතිත වීමට හැකියාව තිබේ.හිස්බුල්ලා සංවිධානය සතු රොකට් සහ මිසයිල සංචිතය 100,000-150,000 අතර වෙතැයි අනුමාන කෙරේ.කෙසේවෙතත් ඒවායින් බොහොමයකට දෙන ලද ඉලක්කයක් වෙත නිරවද්‍යව පතිත වීමේ හැකියාව නොමැත.

ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසුව හිස්බුල්ලා සංවිධානය බේරූට් හි නියතාර්ථය මිසයිල නිෂ්පාදනය කරන කර්මාන්තශාලා සහිත භූගත ස්ථාන පෙන්වන ගුවන් ඡායාරූප මුදා හරින්නට ඊශ්‍රායල ආරක්ෂක හමුදා පියවර ගෙන තිබිණි.ඊශ්‍රායල හමුදා පවසන්නේ මෙම භූගත පහසුකම් ඉදි කරන්නේ ඉරානයේ සහාය ඇතුව බවයි.

ඊශ්‍රායල පාර්ශ්වයේ කතාවට අනුව හිස්බුල්ලා සංවිධානය මෙම මිසයිල පහසුකම්වල සේවයේ යෙදෙන්නේ පසුගිය වසරේ පටන්ය.

සිරියාව,ලෙබනනය පමණක් නොව ඉරාන ආක්‍රමණශීලීත්වය හමුවේ ඉරාකය තුලත් ක්‍රියාත්මක වන්නට ඊශ්‍රායලයට හැකි යැයි නෙතන්යාහු මහා මණ්ඩලය හමුවේ කරන ලද කතාවේදී කියා සිටියේය.

නෙතන්යාහුගේ රහසිගත න්‍යෂ්ඨික ගුදම සම්බන්ධ චෝදනාවට ඉරාන විදේශ අමාත්‍ය ජවඩ් සරිෆ් ට්විටර් වෙබ් අඩවිය හරහා පිළිතුරු ලබා දී තිබිණි.ඔහු නෙතන්යාහුගේ කතාව "" ලෙස විස්තර කරන ලදි.සිය නීතිවිරෝධී න්‍යෂ්ඨික අවි වැඩසටහන සම්බන්ධව හෙළි කිරීමටත්,ජාත්‍යන්තර පරීක්ෂකයන්ට ඇතුල්වීමට ඉඩ ලබාදීමටත් ඊශ්‍රායලයට කාලය පැමිණ ඇතැයි හෙතෙම කීය.

මැදපෙරදිග කලාපය තුල න්‍යෂ්ඨික අවි සහිත එකම රාජ්‍යය වන ඊශ්‍රායලය, න්‍යෂ්ඨික වැඩසටහන සාමකාමී අරමුණක් වෙනුවෙන් යැ‍යි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය දිගින් දිගටම ප්‍රකාශ කරන ලද රටකට එරෙහිව ලැජ්ජා නැතිව චෝදනා එල්ල කරන තත්ත්වයට වැටුණේ කෙසේද යන්න නෙතන්යාහු වහා පැහැදිලිකල යුතු යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා ඉස්ලාමීය ජනරජ පුවත් ආයතනය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

25 දෙනෙකුට මරු කැදවූ සැප්තැම්බර් මස 22දා ඉරානයේ අවාස් නගරයේ පැවති හමුදා පෙළපාලියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධ යැ‍යි ඉරාන විප්ලවාදී ආරක්ෂක හමුදාවේ උප ප්‍රධානියා චෝදනා එල්ල කල අතර,ඔවුන්ට ඉරානයෙන් රථ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්න යැ‍යිද හෙතෙම කීය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගත්තද ඉරාන පාර්ශ්වය කියන්නේ මෙම ත්‍රස්තවාදීන් පුහුණු කිරීම සහ ඔවුන්ට අරමුදල් සැපයීම විදේශීය බලවේග විසින් සිදු කරන ලද බවයි.

මැදපෙරදිග තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පරාජයත් සමග ඊශ්‍රායල-ඇමෙරිකා පක්ෂයත්,ඉරානයත් අතර අර්බුදය උත්සන්න වෙමින් පවතියි.




source:southfront.org


ඊශ්‍රායල-ඉරාන වෛරය:නෙතන්යාහුගෙන් අලුත් චෝදනා පත්‍රයක් ඊශ්‍රායල-ඉරාන වෛරය:නෙතන්යාහුගෙන් අලුත් චෝදනා පත්‍රයක් Reviewed by HarshaLulzSec on October 02, 2018 Rating: 5

No comments:

Powered by Blogger.