සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 02

ඉරාන ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක හමුදාවේ ගුවන් හමුදාව ඔක්තෝම්බර් මස 1දා සිරියාවේ යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදි.වාර්තා වන පරිදි ඔවුන් බැලස්ටික් මිසයිල 6ක් වත් දියත් කර තිබේ.ප්‍රහාරවලින් අල්-බුකමල් ආසන්න ප්‍රදේශයේ සිටි ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයක් මිය යන්නට සහ තුවාල ලබන්නට ඇතැයි ඉරාන හමුදා පවසයි.


බැලස්ටික් මිසයිල දියත් කිරීම


ඉරාන මාධ්‍යවලට අනුව ප්‍රහාර සඳහා යොදාගත් මිසයිල කියාම් සහ සොල්ෆගාර් යන මිසයිල පවුල් වලට අයත් වේ.එක් මිසයිලයක "ඇමෙරිකාවට මරණය,ඊශ්‍රායලයට මරණය,සෞදි අරාබියට මරණය" යනුවෙන්ද "සාතන්ගේ මිතුරන් මරමු" නම් වැකියද සඳහන් කර තිබිණි.

Qiam-1 බැලස්ටික් මිසයිලයක්

සොල්ෆගාර් පවුලේ බැලස්ටික් මිසයිලයක්

මිසයිල ප්‍රහාරවලට අමතරව ඉරාන ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක හමුදා අවම වශයෙන් ඩ්‍රෝන් යානා 7ක් වත් යොදාගෙන ත්‍රස්තවාදීන්ගේ මූලස්ථාන සහ ඔවුන් රැස්වන ස්ථාන වෙත පහර දුන්හ.එහිදී භාවිතා කර තිබෙන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදිත ආර් කිව්-170 වර්ගයේ ඩ්‍රෝන් යානය ඇසුරෙන් නිපදවන ලද තන්ඩර්බෝල්ට් නම් ඩ්‍රෝන් යානයයි.

ඉරානය සතු තන්ඩර්බෝල්ට් නම් ඩ්‍රෝන් යානය

2018 සැප්තැම්බර් මස 22දා ඉරානයේ අවාස් නගරයේ නගරයේ හමුදා පෙළපාලියකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඉරානය ඔක්තෝම්බර් 1 වනදා මිසයිල ප්‍රහාරය සිදු කර තිබේ.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් වගකීම භාර ගත් මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයෝ 25ක් මියගොස් 65 දෙනෙක් තුවාල ලැබීය.කෙසේවෙතත් අවම වශයෙන් වක්‍රාකාරව හෝ මෙම ප්‍රහාරය පිටුපස එක්සත් ජනපදය,ඊශ්‍රායලය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිටි යැ‍යි ඉරාන නායකත්වය චෝදනා කලේය.


අවාස් නගරයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ දර්ශන


මිසයිල ප්‍රහාරය සම්බන්ධව අදහස් දැක්වූ ඉරාන සන්නද්ධ හමුදාවල කාර්යමණ්ඩල ප්‍රධානී මේජර් ජෙනරල් මොහම්මඩ් බගේරි කියා සිටියේ මෙය ප්‍රහාරයට දක්වන ලද පළමු අධියරයේ ප්‍රතිචාරයක් බවයි.පළිගැනීමේ අනෙකුත් පියවරයන්ද තිබිය හැකි යැ‍යි ඔහු අවධාරණය කලේය.


 ඉරානයේ තන්ඩර්බෝල්ට් ඩ්‍රෝන් යානා ත්‍රස්තවාදී ඉලක්ක වෙත පහරදෙන අයුරු


මෙහි තිබෙන සුවිශේෂීත්වය වන්නේ,ඉරාන ප්‍රහාරය සිදු වන්නේ ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා කලින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත්තා යැ‍යි කියන ප්‍රදේශයක් ආසන්නයේ වීමයි.සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හජින් පොකට්ටුව අල්ලා ගැනීම ඉදිරියට ඇදෙන්නේ සති තුනකට පෙර පටන්ය.කෙසේවෙතත් මේ දක්වා එම හමුදාවන්ට අල්ලා ගැනීමට හැකිව තිබෙන්නේ සීමා සහිත භූමි ප්‍රදේශයක බලය පමණි.ඒ බව ඔවුන් නිකුත් කරන නිවේදන වලින්ද පැහැදිලි වේ.

රුසියාව තවදුරටත් සිරියාවේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක ඩිමිට්‍රි  පෙස්කොව් ඔක්තෝම්බර් මස 1දා පැවසීය.සිරියාව තුල විදේශීය හමුදාවල සහ භට පිරිස්වල රැදී සිටීම නීත්‍යානුකූල නොවේය යන්න මොස්කව් රජයේ ස්ථාවරය යැ‍යි හෙතෙම ප්‍රකාශ කලේය.

සිරියාවට යවන ගුවන් ආරක්ෂක පද්ධති පුර්ණ මධ්‍යගත කෙරෙනු ඇතැයි රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ආරක්ෂක කොමිටුවේ ප්‍රධානී වික්ටර් බොන්ඩරෙව් පැවසීය.ඒ හරහා සිරියාව තුල රුසියානු සහ සිරියානු රේඩාර් මධ්‍යස්ථාන අතර සම්බන්ධීකරණය වැඩි වේවි.




source:southfront.org

 
සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 02 සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 02 Reviewed by HarshaLulzSec on October 03, 2018 Rating: 5

No comments:

Powered by Blogger.