වොස්ටොක් 2018 - රුසියා චීන යුද අභ්‍යාස

රුසියාවේ නැගෙනහිර සහ මධ්‍යම යන හමුදා දිස්ත්‍රික්ක නියෝජනය කරන හමුදා සාමාජිකයෝ 300,000කට වැඩි ගණනක් සහභාගී වන නූතන රුසියාවේ දැවැන්තම යුද අභ්‍යාස මාලාව එනම් 'වොස්ටොක්-2018 - Vostok-2018' සම්බන්ධව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු 2018 අගෝස්තු මාසයේදී නිල ප්‍රකාශයක් සිදු කරන ලදි.මෙය දින පහක් පුරා පැවැත්වෙන යුද අභ්‍යාස මාලාවකි.ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය මෙසේ සඳහන්ය.

වොස්ටොක්-2018 සැප්තැම්බර් මස 11 සිට 17 දක්වා පැවැත් වෙන්නේ හමුදා පුහුණු භූමි 5ක්,ගුවන් හමුදා සහ ගුවන් ආරක්ෂක බලකා වල පුහුණු භූමි 4ක් මෙන්ම ජපාන,බීරිං සහ ඕකොට්ස්ක් යන මුහුදු ප්‍රදේශවලයි.ඒ සඳහා මධ්‍යම සහ නැගෙනහිර හමුදා දිස්ත්‍රික්කවල භට පිරිස්,උතුරුදිග නාවික බල ඇණිය,වාසර බලකා,දිගු දුර සහ හමුදා ප්‍රවාහන ඒකකයේ සෙබලුන් සහභාගී වේ.

යුද අභ්‍යාස පැවැත්වෙන ප්‍රදේශ

හමුදා ඒකක යොදවන්නේ ඔවුන්ට නුපුරුදු පුහුණු භූමිවලටයි.ඔවුන්ට එහිදී සංග්‍රාමික කාර්යයන් පුහුණු වීමට සිදුවේ.ගුවන් යානාවලට පැවරී තිබෙන්නේ දිගු දුර පියාසැරි,ගුවනේදී ඉන්ධන ලබා ගනිමින් සම්පුර්ණ කිරීමටත්,ක්‍රියාත්මක තත්ත්වයේ ගුවන් පථවලට ගොඩබෑමටත්ය.නෞකා සහ අනෙකුත් යාත්‍රා,වෙඩි තැබීම් අභ්‍යාස කරමින් සංග්‍රාමික පුහුණුව සිදු කල යුතුය.


වොස්ටොක් 2018 යුද අභ්‍යාස මාලාව සඳහා 300,000ක් පමණ හමුදා සාමාජිකයෝ,1000කට වැඩි ගුවන් යානා,හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන් යානාද නෞකා 80ක් සහ යුද ටැංකි,පුද්ගල ප්‍රවාහන රථ ඇතුලුව අනෙකුත් වාහන 36,000ක් සහභාගී කර ගැනේ.

චීනයේ මහජන විමුක්ති හමුදාවේ සෙබලුන් 3,500ක්  එහි ප්‍රධාන යුද අභ්‍යාසයට සහභාගී වේ.එය පැවැත් වෙන්නේ නැගෙනහිර හමුදා දිස්ත්‍රික්කයේ සුගොල් නම් පුහුණු භූමියේදීය.


වොස්ටොක්-2018 සඳහා චීනය සහභාගී වන බව එරට ආරක්ෂක අමාත්‍යාංශය 2018 අගෝස්තු මස 20දා තහවුරු කලේය."චීනයත් රුසියාවත් අතර ඇති කරගත් ගිවිසුමකට අනුව රුසියාවේ ට්‍රාන්ස්-බයිකාල් කලාපයේ සුගොල් පුහුණු භූමියේදී සැප්තැම්බර් 11-15 කාල සීමාව තුල දෙරට ඒකාබද්ධ යුද අභ්‍යාසවල නිරත වීමට නියමිතය" යනුවෙන් අමාත්‍යාංශ ප්‍රකාශයේ සඳහන් වේ.තවද මෙම යුද අභ්‍යාස හරහා චීනය සහ රුසියාව අතර උපායමාර්ගික යුදමය හවුල්කාරීත්වය ශක්තිමත් කර ගැනීමටත්,විවිධාකාරයේ තර්ජන වලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමේ දෙරටේ හැකියාව වර්ධනය කර ගැනීමත්,කලාපීය සාමය,ස්ථාවරත්වය සහ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට හැකි යැ‍යි චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

චීන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව යුද අභ්‍යාස මාලාවට චීන සෙබලුන් 3,200ක්,900කට වැඩි යුදෝපකරණ, ගුවන් යානා සහ හෙලිකොප්ටර් 30ක් රුසියාවට යවා තිබේ.

බටහිර රටවල් කුපිත කරවන සුළු සහ අතිශය බියජනක ප්‍රචාරයක් දැක්වූ රුසියාව පසුගිය වසරේ පවත්වන ලද 'සපාඩ්-2017  - Zapad-2017' නම් යුද අභ්‍යාස මාලාවට වඩා වොස්ටොක්-2018 විශාල එකකි.සපාඩ්-2017 සඳහා සෙබලුන් 12,700ක්,යුද ගුවන් යානා 70ක්,නෞකා 10ක් සහ යුද ටැංකි ඇතුලුව රථ 680ක් පමණ ඊට සහභාගි වූ නමුත් බටහිර රටවලින් ලැබුණු ප්‍රතිචාරය වූයේ රුසියාව ඉදිරිපත් කල වාර්තාවලට වඩා සෙබලුන් සහ යුදෝපකරණ යොදාගෙන යුද අභ්‍යාස සිදු කල බවත්,සැබවින්ම එය යුද අභ්‍යාසයක් ලෙස හඟවමින් අසල්වැසි රටවල් ආක්‍රමණය කිරීමට සිදුකල පුහුණුවක් බවයි.

බෙලරුසියාවේ පැවති සපාඩ්-2017 යුද අභ්‍යාස මාලාවට එක් වූ රුසියානු යුද ටැංකි,2017 සැප්තැම්බර්.

සපාඩ් යුද අභ්‍යාස සිදු කරන්නේ ආරක්ෂාව පිණිස වුවත් නේටෝ බලධාරීන් සහ ඔවුන්ගේ මාධ්‍ය මෙම යුද අභ්‍යාස "රුසියානු චණ්ඩභාවය" ලෙසද හුවාදක්වමින් නේටෝව නැගෙනහිර යුරෝපයේ යුදමය සූදානම සහ ගොඩනැංවීම් සාධාරණීකරණය කලේය.රුසියාවට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යය,ජර්මනිය,ලැට්වියාව,ලිතුවේනියාව,ස්ලෝවැකියාව,ඉතාලිය,බල්ගේරියාව,රුමේනියාව,ජෝර්ජියාව සහ යුක්‍රේනය නියෝජනය කල හමුදා පෝලන්තයේදී 'ඩ්‍රැගන් 17 - Dragon 17' යනුවෙන් යුද අභ්‍යාස මාලාවක් පවත්වන ලදි.ඩ්‍රැගන්-17 සඳහා සහභාගී වූ සෙබලුන් ප්‍රමාණය 17,000ක් වූ අතර යුදෝපකරණ ප්‍රමාණය 3,500ක් විය.ඒ අනුව නේටෝවේ ඩ්‍රැගන්-17 සහභාගීත්වය අතින් රුසියාවේ සපාඩ්-2017 ඉක්මවා ගිය යුද අභ්‍යාසයකි.

ඉන්පසුව රුසියානු දේශසීමාව ආසන්නයේ නේටෝව පවත්වන යුද අභ්‍යාස ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වන්නට විය.ජූනි මාසයේදී රටවල් 19 ක් නියෝජනය කරමින් සෙබලුන් 18,000ක් සහභාගී වූ "සේබර් ස්ට්‍රයික් - Saber Strike" යුද අභ්‍යාසය පෝලන්තය සහ බෝල්ටික් රටවල් මුල් කරගෙන සති දෙකක් පුරාවට පැවැත්විණි.අගෝස්තු මස 20දා තවත් යුද අභ්‍යාසයක් ලැට්වියාවේදී ආරම්භ විය.ලැට්වියාව නිදහස ලැබීමෙන් පසුව එරට තුල පවත්වන ලද විශාලතම යුද අභ්‍යාසය ලෙසද එය ඉතිහාස ගත විය.

2014 වර්ෂයේදී පැවැත් වූ 'වොස්ටොක්' යුද අභ්‍යාස මාලාවද දැවැන්ත එකක් විය.ඊට සෙබලුන් 100,000-155,00 අතර පිරිසක්,යුද ටැංකි 1,500ක් සහ යුද නෞකා 70 සහභාගී වූ බව සඳහන් වේ.වොස්ටොක් යන්නේ අර්ථය නැගෙනහිර යන්නයි.එනම් එය පැවැත් වෙන්නේ ඈත පෙරදිග කලාපයේය.පසුගිය වසරේ සපාඩ්-2017 යුද අභ්‍යාස මාලාව නැගෙනහිර රුසියාවේ සහ බෙලරුසියාවේ පැවැත් වූයේ අසල්වැසි නේටෝ රටවල් සමග සිදු කරන යුද්ධයක පෙර පුහුණුවක් ලෙසයි.වොස්ටොක් යුද අභ්‍යාස මාලාව රුසියාවේ සයිබීරියාව සහ ඈත පෙරදිග කලාපයේ පවත්වනු ලැබේ.

 සෝවියට් දේශය 1981 වර්ෂයේදී පවත්වන ලද සපාඩ්-81 යුද අභ්‍යාස මාලාව එරට ඉතිහාසයේ විශාලතම යුද අභ්‍යාසය යැ‍යි සැලකේ.පහත දැක්වෙන්නේ එය පැවැත්වූ අයුරුය.


වොස්ටොක් අභ්‍යාසවල පුර්ව අංගයන් වන්නේ බටහිර රුසියාවේ  ගුවන් යානා සහ පාබල හමුදා සීඝ්‍රයෙන් රුසියාවේ ඈත පෙරදිග කලාපයට යැවීමයි.එහි අරුත බීරිං සමුද්‍ර සන්ධිය තරණය කර එනම් ඇමෙරිකානු ඒබ්‍රම්ස් යුද ටැංකි දියත් කරාවි යැ‍යි සිතන ගොඩබිම් ආක්‍රමණයක් ගැන රුසියාව බරපතල ලෙස වද වන බවද?

ඇත්තෙන්ම නැහැ.වොස්ටොක් යුද අභ්‍යාසවල සැබෑ අරමුණ චීනය සටනකදී පරාජය කිරීමට සූදානම් වීමයි.

බටහිර රටවලට බොහෝදෙනාට අප්‍රකට වුවද 1960 සහ 1970 දශකවලදී චීනයත් සෝවියට් දේශයත් අතර ඇති වූ දේශසීමා ගැටුම්,මහා පරිමාණ ගොඩබිම් යුද්ධයක් හෝ න්‍යෂ්ඨික යුද්ධයක් ආසන්නයට ළඟා විය.සෝවියට් දේශය විසුරුවා හැරීමෙන් පසුව මොස්කව්-බීජිං සබදතා සුවිශේෂී ලෙස වර්ධනය වුවද මේ යුදමය බලවතුන් දෙදෙනා අනාගත උපායමාර්ගික තරඟය නිසා පරෙස්සමින් කටයුතු කරයි.


බොහොමයක් විශ්ලේෂකයෝ අවදානය යොමු කර තිබෙන්නේ වොස්ටොක් 2018 හි දැවැන්තභාවය සම්බන්ධවයි.චීන සෙබලුන් 3000 කට වැඩි පිරිසක් සහභාගී වීමද සුවිශේෂී සිද්ධියකි.වොස්ටොක් යුද අභ්‍යාස මාලාවේ අරමුණ චීනයෙන් එල්ල වන තර්ජනවලින් ආරක්ෂා වීම නොවේ නම්,එක්සත් ජනපදයේ "අතිශය ආක්‍රමණශීලීභාවය සහ මිත්‍රශීලී නොවන හැසිරීමට" මොස්කව් සහ බීජිං රජයන් එකමුතුවීම යැ‍යි අදහස් කල හැකිය.


මේ සංඥාවේ අරුත රුසියා-චීන නව ආරක්ෂක සන්ධානයක්ද? දෙරට විසින් නිකුත් කරන ලද ප්‍රකාශවලින් එකිනෙකට වෙනස් අර්ථකථන ලබා දෙයි.

චීනයේ සහභාගීත්වය හරහා ඔවුන් සියලුම ක්ෂේත්‍රවලදී සහයෝගයෙන් ක්‍රියා කරන බව ප්‍රදර්ශනය කරන්නේ යැයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක ඩිමිත්‍රි පෙස්කොව් කීය.කෙසේවෙතත් චීන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ යුද අභ්‍යාස මාලාවෙන් "වෙනස් තර්ජනයන්ට එරෙහිව ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමේදී දෙපාර්ශ්වයන්ගේ හැකියාවන් වැඩි දියුණු කර ගත හැකිය" කියාය.වොස්ටොක්-2018 යුද අභ්‍යාස මාලාවට චීනය සහභාගී වීම හරහා නව චීන-රුසියා හමුදා සන්ධානයක් බිහිවන බව ප්‍රකාශ කරන්නට චීන ආරක්ෂක විශ්ලේෂකයෝ ඉක්මණ් නොවීය.කෙසේවෙතත්,ෂැන්ග් හයි සහයෝගීතා සංවිධානය විසින් සංවිධානය කරන ලද යුද අභ්‍යාසය ඇතුලුව ඒකාබද්ධ යුද අභ්‍යාස කිහිපයක් මෙම වසර තුල සිදු කරන්නට චීනය සහ රුසියාව පියවර ගෙන තිබිණි.


1979 වර්ෂයේ උතුරු වියට්නාමයේ සිදු කල කෙටි ආක්‍රමණයෙන් පසුව යුද්ධ වැදී නැති චීන හමුදාව,රුසියාව සිරියානු යුද්ධයේදී ලබාගත් සංග්‍රාමික අත්දැකීම්වල අලුත් උපක්‍රම වොස්ටොක් 2018 හිදී හඳුනාගනිවි යැ‍යි චීන මාධ්‍ය  අවධාරණය කරති.යුද අභ්‍යාස මාලාවේදී රුසියා,චීන සහ මොන්ගෝලියා දේශසීමා ආසන්නයේ සුගොල් පුහුණු භූමිය චීන හමුදා කණ්ඩායම්වල නවාතැන් පොල වනු ඇත.

චීනයේ ස්වයංපාලන ප්‍රාන්තයක් වන අභ්‍යන්තර මොන්ගෝලියාවේ උතුරු-නැගෙනහිර දේශසීමාවේ මැන්සුලි නගරය හරහා දුම්රිය ඔස්සේ රුසියාවට ළඟාවන 'ටයිප් 99' යුද ටැංකි 13ක් සහ පාබල හමුදා ප්‍රහාරක රථ 2ක් දැක්වෙන ඡායාරූප පසුව මුදා හැර තිබිණි.ටයිප් 99 යනු චීනයේ වඩාත් නවීනතම යුද ටැංකිය වන අතර එය විදෙස් රටක දියත් කිරීම කලාතුරකින් සිදුවන දෙයකි.

 චීන යුද ටැංකි රුසියාවට ළඟාවන අයුරු



වොස්ටොක්-2018 යුද අභ්‍යාස මාලාවට ආරාධනා කර තිබෙන අනෙක් රට මොන්ගෝලියාවයි.චීනයේ චින්ග් රාජවංශය ක්‍රි.ව. 1690 දී මොන්ගෝලියා යටත් කරගත් අතර අද වනවිට මොන්ගෝලියානු ජාතිකයෝ බහුතරයක් අභ්‍යන්තර මොන්ගෝලියාව නම් චීනයේ ස්වයංපාලන ප්‍රාන්තයේ ජීවත් වෙයි.කෙසේවෙතත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව මොස්කව් රජය,ස්වාධීන මොන්ගෝලියා ජනරජයට මැදිහත් වන අතර එරට ස්වාධීනත්වය පිළිගන්න යැ‍යි චීනය කැමති කරවා ගනියි.මොන්ගෝලියාවේ මිලියන 3ක් පමණ වන ජනතාව එතැන් පටන් රුසියාව සමග සමීප මිත්‍රත්වයකින් කටයුතු කරන මුත් පශ්චාත් කොමියුනිස්ට් යුගය තුලදී බීජිං රජය සමග සබදතා සුවිශේෂී අයුරින් වර්ධනය කරගත්තේය.ඒ කෙසේවෙතත් මොන්ගෝලියාවේ ජනගහනයෙන් ඌණ දැවැන්ත තැනිතලා චීනය සමග උපායමාර්ගික බාධකයක් ලෙස ක්‍රියා කරයි.එය මොස්කව් පාලනයට යම් සහනයකි.

නේටෝ සංවිධානයට මෙම යුද අභ්‍යාස නිරීක්ෂණය කිරීමට ආරාධනා කර තිබිණි.නමුත් රුසියාව සහ චීනය යන දෙරට සමග භූමි ප්‍රදේශ සම්බන්ධව ආරවුල් පවතින ජපානයට ඒ හරහා තැතිගැනීමක් ඇති විය.ඒ අතරතුර රුසියාව නෞකා 30 පමණ යොදාගෙන මධ්‍යධරණී මුහුදේ මහා පරිමාණ නාවික යුද අභ්‍යාසයක් සිදු කරන ලදි.

 



source:rt.com, nationalinterest.org


වොස්ටොක් 2018 - රුසියා චීන යුද අභ්‍යාස වොස්ටොක් 2018 - රුසියා චීන යුද අභ්‍යාස Reviewed by HarshaLulzSec on September 11, 2018 Rating: 5

No comments:

Powered by Blogger.