සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 25

July 31, 2018
ඊශ්‍රායල පාලනය යටතේ පවතින ගෝලාන් උස්බිම්වල නැගෙනහිර දෙසින් දීර්ඝ කාලයක් තිස්සේ කැරලිකරුවන් විසින් අල්ලාගෙන සිටි භූමිය ක්‍රමයෙන් අහිමි වීමත් සමග ඊශ්‍රායලය සිරියානු හමුදාව සමග පවතින අමනාපයද වර්ධනය වෙමින් තිබේ.මෙම බිම් තීරුව සිරියානු රජයේ පාලන ප්‍රදේශයත්,ඊශ්‍රායලය යටතේ ඇති ගෝලාන් උස්බිම් අතර අවරෝධක කලාපයක් ලෙස ක්‍රියා කරන අතර එහි සිටින කැරලිකරුවන්ට ඊශ්‍රායලයේ සහායද හිමිවිය.

ජූලි මස 24දා ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කල පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල ප්‍රහාර දෙකක් හමුවේ සිරියාවට අයත් සුකොයි-22 ප්‍රහාරක යානයක් විනාශ විය.එම යානය බිම හෙළනු ලැබුවේ දකුණුදිග සිරියාවේ සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම්වල නිරත වන සිරියානු අරාබි හමුදාවට සහාය පිණිස ගුවන් ප්‍රහාරක මෙහෙයුමක නිරතව සිටියදීය.එහිදී උම් රන් මාරේ නම් ගුවන් නියමුවා මරණයට පත් විය.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට අනුබද්ධ අමාක් පුවත් සේවය නිකුත් කල,ඊශ්‍රායල ප්‍රහාරයෙන් විනාශ වූ සිරියානු සුකොයි-22 යානය කොටස් 


බිම හෙළු ගුවන් යානය සිය ගුවන් අවකාශයේ සැතපුමක් දුරට ගමන් කල බවත්,අනතුරු ඇඟවීම් කිහිපයකට පසුව යානය බිම හෙළු බවත් ඊශ්‍රායලය පවසයි.සිරියාව තුල ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඊශ්‍රායලය සහාය ලබාදෙන අයුරු නැවත වරක් මෙම සිද්ධිය ඔස්සේ ඔප්පු කර ඇති සිරියාව කියා සිටියි.

මෙම අහිමි වීම නොසලකා හරිමින් සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම්,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සිය මෙහෙයුම් නොනවත්වා කරගෙන යමින් සිටියි.එහිදී ඔවුන් කිර්බට් කෆයින්,අයින් සබිඩා සහ බකාර් ඇතුලුව අලුත් ප්‍රදේශ 10කට වැඩි ගණනක් මුදා ගැනීමට සමත් විය.ජූලි මස 25දා වන විට ඔවුහු සයිඩාහ් සහ අවුන් තාකාර් යන ප්‍රදේශ දෙසින් ඉදිරියට ඇදෙමින් සිටිති.

ඒ අතරතුර කැරලිකරුවන්ගෙන් මුදා ගත් ප්‍රදේශ වල ආරක්ෂාව තහවුරු කිරීමට සිරියා සහ රුසියා හමුදා ක්‍රියා කරමින් සිටිති.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු ජූලි මස 24 දා කියා සිටියේ රුසියානු සන්නද්ධ හමුදාවල ජාත්‍යන්තර බිම්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ මධ්‍යස්ථානය විසින් හෙක්ටයාර් 6,500කට වැඩි භූමි ප්‍රමාණයක් බිම් බෝම්බවලින් සුරක්ෂිතභාවයට පත් කර තිබෙන බවයි.එම මෙහෙයුම් අතරතුර ගොඩනැගිලි 17,000ක් සුරක්ෂිත කල බවත් පුපුරණ ද්‍රව්‍ය සහිත උපාංග 105,000ක් නිෂ්ක්‍රීය කල බවත් අමාත්‍යවරයා පැවසීය.තවද රුසියානු විශේෂඥයෝ විසින් පුහුණු කල රුසියානු ඉංජිනේරු භටයන් විසින් හෙක්ටයාර් 2,000ක භූමිය සුරක්ෂිත කර බිම්බෝම්බ ඇතුලු උපාංග 3,850ක් නිෂ්ක්‍රීය කරන ලදි.

ඇමෙරිකාව නායකත්වය දරන මිත්‍ර සන්ධානයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා විසින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතු වූ ඊසානදිග සිරියාවේ සිජාන් තෙල් බිම් සහ ඒ ආසන්න ස්ථාන කිහිපයක් මුදා ගැනීමට සමත් විය.කුර්දීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව,ඔවුන් අල්-හසාකාහ් හි දකුණු ප්‍රදේශය ත්‍රස්තවාදීන්ගෙන් මුළුමනින්ම මුදා ගෙන ඉරාක දේශසීමාව ඔස්සේ ඇති උතුරු ඩීර් එසෝ ප්‍රදේශයට ඇතුල් වී තිබේ.

ඉදිරි සතිවලදී සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා,රජයේ පාලනයට නතු අල්-බුකමල් නගරයට උතුරින් වූ තෙල් බිම් අල්ලා ගැනීම සඳහා දේශසීමාව  ඔස්සේ ඉදිරියට ඇදේවි යැයි අපේක්ෂා කල හැකිය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට මෙම කුර්දි ආධිපත්‍ය දරන හමුදාවල ඉදිරි ගමන වැළැක්වීම කල නොහැක්කකි.විශේෂඥයින්ට අනුව අගෝස්තුව අවසානයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ සැබෑ ප්‍රතිරෝධය දැකිය හැකි ස්ථාන බවට පත් වන්නේ යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ හජින් නගරය ඇතුලු ප්‍රදේශය පමණි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 25 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 25 Reviewed by HarshaLulzSec on July 31, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 24

July 31, 2018
දකුණුදිග සිරියාවේ ගෝලාන් උස් බිම්වල නැගෙනහිර ප්‍රදේශයේ සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීම සඳහා සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් ජූලි මස 23දා යුද මෙහෙයුමක් ආරම්භ කරන ලදි.

එහිදී  මාලකාහ්  සහ උම් ලව්කාස් ගම්මාන මෙන්ම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් යටතේ පවතින ප්‍රදේශයට උතුරින් ඇති කඳුමුදුන් කිහිපයක්ද මුදා ගැනීමට රජයේ හමුදා සමත් විය.

ජූලි මස 24 දා වන විට සිරියානු අරාබි හමුදාව ඉදිරියට ඇදුනේ ටසිල්  නගරය සහ ආසන්නයේ තිබෙන  සවුඩාහ්,අයින් තාකාර් සහ අඩවාන් ගම්මාන මුදා ගැනීම සඳහාය.එහි ප්‍රධාන අරමුණ ත්‍රස්තවාදීන්ට එරෙහි ඉදිරි පෙරමුණ කෙටි කර ගැනීමයි.ඒ හරහා ත්‍රස්තවාදී පොකට්ටුවේ බලවත් ආරක්ෂක විධිවිධාන සහිත මධ්‍යයේ සහ දකුණුදිග ප්‍රදේශවලට සිරියානු අරාබි හමුදාවේ ඉහළ අවධානය යොමු කල හැකිය.

ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගලවා ගැනීමේ නිරීක්ෂක හමුදාවට අයත් අල්-රෆීඩ් ගම්මානය ආසන්නයේ පිහිටි මුර පොළක්ද යළි අල්ලා ගැනීමට සිරියානු අරාබි හමුදාව සමත් විය.නිදහස් සිරියානු හමුදා කැරලිකරුවෝ සහ හයට් ටරිර් අල්-ෂාම් සංවිධානය විසින් පාලනය කල ගෝලාන් උස්බිම්වලට නැගෙනහිර දෙසින් ප්‍රදේශ වන්නේ බකිරා,බීරජාම්,කුනීට්‍රා සහ ජුබාටා අල්-කෂාබ්ය.

ජූලි මස 23දා සිරියා-ඊශ්‍රායල යුද මුක්ත කලාපය ආසන්නයෙන් එල්ල වූ රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ ඩේවිඩ් ස්ලින්ග් නම් ගුවන් ආරක්ෂක පද්ධති  යොදවන ලදි.ඊශ්‍රායල ආරක්ෂක අංශවලට අනුව ඔවුන් එහිදී අතුරුවාරක ලෙස ක්‍රියා කරන මිසයිල දෙකක් දියත් කරන ලදි.ඒවා කිසියම් ඉලක්කයක ගැටුනේද යන්න අපැහැදිලිය.කෙසේවෙතත් ඊශ්‍රායල ආරක්ෂක අංශ කියන්නේ සිරියානු රජයේ හමුදා සහ කැරලිකරුවන් අතර සටන්වලදී දියත් කල රොකට් ප්‍රහාර නිසා කිසිදු ජීවිත හානියක් හෝ සිදු නොවූ බවයි.

මෙම සිදුවීමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාවට ගුවන් ප්‍රහාරයක් එල්ල නොකලේ ඇයි ද යන්න පුදුමයට කරුණකි.එය සිරියානු යුද්ධය තුල ටෙල් අවිව් රජයේ සාමාන්‍යය හැසිරීමට හාත් පසින්ම වෙනස්ය.

එදිනම ,රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව් රෝයි සහ එරට හමුදාවේ ජෙනරල්වරුන්ගේ ප්‍රධානී ජෙනරල් වැලෙරි ජෙරසිමොව් ජෙරුසලමේ දී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවී සාකච්ඡා කලහ.ඉන්පසුව රුසියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ "සිරියාව තත්ත්වය සහ ඒ හාත්පස ප්‍රදේශයේ ප්‍රමුඛ වැදගත්කම ඈදාගනිමින් පාර්ශ්වකරුවන් මැදපෙරදිග න්‍යාය පත්‍රයේ විවිධ අංශයන් ගැන කතා කල බවයි".

මීට සති දෙකකට පෙර නෙතන්යාහු සිරියාවේ තත්ත්වය සම්බන්ධව රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් සමග මොස්කව් හිදී සාකච්ඡා කලහ.මෙම පාර්ශ්වයන් අතර හමුවීම් ඉහළ යෑමෙන් පෙනෙන අනෙක් සංඥාව වනුයේ නුදුරේදීම දකුණුදිග සිරියාවේ පාලනය ඉරානය සමග මිත්‍ර අසාඩ් රජයට ලැබෙන බවත්,එය වැළැක්වීමට ටෙල් අවිව් රජයට ගත හැකි යථාර්තවාදී විකල්පයක් නොමැති බවත් පෙනේ.ඩැමැස්කස් සහ ටෙල් අවිව් අතර ආතතිය අඩ වශයෙන් හෝ වළක්වා ගැනීමට 1974 වර්ෂයේදී ගිවිස ගත් දෙරට අතර සීමාව යොදා ගත හැකිය.

සිරියානු සරණාගතයෝ ප්‍රතිග්‍රහණය,ඔවුන්ට වාසස්ථාන සැපයීම ආදිය සඳහා පිහිටුවා ගත් රුසියානු මධ්‍යස්ථානය,තාවකාලිකව ඉවත්ව ගිය ජනතාව සහ සරණාගතයෝ යළි පදිංචිය සඳහා ස්ථාන 336,000 වැඩි ප්‍රමාණයක් පිළියෙල කර තිබේ.ඒවා ඇලපෝ,රිෆ් ඩැමැස්ක්,හෝම්ස්,හමා සහ ඩීර් එසෝර් ප්‍රදේශවල පිහිටා ඇත.

රුසියානු හමුදාවට අනුව ලෙබනනය,තුර්කිය,ජෝර්දානය,ඉරාකය,ඊජිප්තුව සහ යුරෝපා රටවලින් සිරියාවට පැමිණි සරණාගතයන් ගණන මිලියන 1.7ක් වේ.මේ සඳහා සූදානම් වීමට රුසියානුවන් ඩැමැස්කස් රජයට සක්‍රීයව දායකත්වය සපයමින් සිටිති.

වෛද්‍ය මධ්‍යස්ථාන 83ක්,අධ්‍යාපන ආයතන 213ක්,විදුලි බලාගාර 73ක්,ජල සැපයුම් මධ්‍යස්ථාන 69ක් සහ ඉන්ධන සහ බලශක්ති මධ්‍යස්ථාන 2ක් මෙන්ම කිලෝමීටර් 244 දිගු මහා මාර්ග යළි ස්ථාපනය කිරීමට රුසියාව සිය සහාය ලබාදී තිබේ.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 24 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 24 Reviewed by HarshaLulzSec on July 31, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 23

July 30, 2018
ජූලි මස 20,21,22 යන දින තුන තුලදී සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් ඩාරා සහ කුනීට්‍රා යන සිරියාවේ දකුණුදිග පළාත්වල 40 කට ආසන්න ගම්මාන සහ ජනාවාස වෙත ප්‍රවේශ වන්නට සමත් විය.මෙම ප්‍රදේශවල සිටි හයට් ටරිර් අල්-ෂාම් සංවිධානයේ සාමාජිකයෝ සහ නිදහස් සිරියානු හමුදා කැරලිකරුවෝ ඊට පෙර සිය යටත් වීම පිළිගෙන තිබූහ.

අන්තවාදී කැරලිකරුවන් සහ ඔවුන්ගේ පවුල්වලින් සමන්විත කණ්ඩායම් කිහිපයක් දකුණුදිග සිරියාවේ සිට බස් රථ දුසිම් කිහිපයක් ආධාරයෙන් ඉඩ්ලිබ් පළාතේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ ඇති ප්‍රදේශය වෙත ඉවත්ව ගියහ.කැරලිකරුවෝ යුද ටැංකි 10කට වැඩි සංඛ්‍යාවක් සිරියානු අරාබි හමුදාවට භාර දී තිබේ.ජූලි මස 23දා වන විටත් කැරලිකරුවෝ රජයේ හමුදාවන් හට සිය අවි භාර දීම දිගටම සිදු කලේ ඉඩ්ලිබ් වෙත යෑම සඳහාය.

එක්සත් ජනපදය සහ යුරෝපා රටවල ඉල්ලීමකට අනුව මානුෂීය කර්තව්‍යයක් සේ සලකා නිරිතදිග සිරියාවේ සිටි 'වයිට් හෙමට්ස්' සංවිධානයේ සාමාජිකයෝ සහ ඔවුන්ගේ පවුල්වල උදවිය සිය ගණනක් ජූලි මස 21දා රාත්‍රියේදී තමන් විසින් ජෝර්දානයට ප්‍රවාහනය කල බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසයි.

ජෝර්දානයේ 'පේට්‍රා' පුවත් සේවයට අනුව වයිට් හෙල්මට්ස් සංවිධානයේ සාමාජිකයෝ සහ ඔවුන්ගේ පවුල්වල අය 800 ඇතුලුව විශාල පිරිසක් එලෙස සිරියාවෙන් ඉවත් කරගෙන තිබේ.

ප්‍රදේශයේ ක්‍රියාත්මක යුද මෙහෙයුමෙන් සිවිල් වැසියන්ගේ ජීවිතවලට සිදුවිය හැකි හානිය සලකා මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසයි.

වයිට් හෙල්මට්ස් යනු බටහිර රටවල සහාය ලබන සංවිධානයකි.සිරියානු,රුසියානු සහ ඉරාන රජය මෙන්ම ස්වාධීන නිරීක්ෂකයන්ට අනුව එම සංවිධානය රසායනික ප්‍රහාර රඟදැක්වීම සහ අසාඩ් රජය පෙරළා දැමීමට එක්සත් ජනපදය ප්‍රමුඛ පක්ෂය දරන උත්සාහයන්ට සහාය පිණිස ක්‍රියාත්මක කල ප්‍රචාරණ මෙහෙයුම්වලට සහාය ලබාදී තිබේ.මෙම සංවිධානය ක්‍රියාත්මක වූයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශවලය.ඔවුන් හයට් ටරිර් අල්-ෂාම් සංවිධානය සමග සමීපව කටයුතු කලහ.

වයිට් හෙල්ම්ටස් සංවිධානය විසින් සිදු කල වඩාත් කැපී පෙනෙනම මෙහෙයුම වන්නේ 2018 අප්‍රේල් 7 දා ඩූමා රසායනික අවි ප්‍රහාරයයි.එම සිද්ධිය හේතුවක් කරගෙන එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන රටවල් ඒකාබද්ධව 2018 අප්‍රේල් මස 14දා සිරියාව ඉලක්ක කරගෙන දැවැන්ත මිසයිල ප්‍රහාරයක් දියත් කරන ලදි.

සිරියානු විශේෂඥයින්ට අනුව වයිට් හෙල්මට්ස් සංවිධානයේ සාමාජිකයෝ සිරියාවෙන් ඉවත් කර ගැනීම පිටුපස තිබෙන ප්‍රධානතම අරමුණ වන්නේ,එම සංවිධානය බටහිර රටවල බුද්ධි අංශ සමග සහයෝගයෙන් සිය ක්‍රියාකාරකම් සිදු කිරීම සම්බන්ධ තොරතුරු සිරියා-රුසියා-ඉරාන සන්ධාන විසින් එහි සාමාජිකයින් හරහා එළිදරවු කර ගැනීම වළක්වා ගැනීමයි.

සිරියානු අර්බුදධයට තමන්ගේ කිසිම මැදිහත්වීමක් නැතැයි ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රකාශ කලද නිදහස් සිරියානු හමුදා කැරලිකාර නායකයෝ සිව්දෙනෙක් ජූලි මස 22දා දකුණුදිග සිරියාවේ සිට ඊශ්‍රායලයට පලා ගියේ යැ‍යි වාර්තා වේ.සිරියානු විපක්ෂයේ ක්‍රියාකාරීන්ට අනුව ඔවුන් පිළිවෙලින් ගෝලාන් නයිට්ස් බ්‍රිගේඩයේ නායක මොආස් නසාර්,සයිෆ් අල්-ෂාම් බ්‍රිගේඩයේ  අණදෙන නිලධාරී අහ්මඩ් අල්-නාස්,අල්-බාබිල් හමුදාවේ  නායක අලා අල්-හලාකි සහ ගෝලාන් නයිට්ස් බ්‍රිගේඩයේ අණදෙන නිලධාරී අබු රටෙබ් නසාර් වේ.

මෙම සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායල හමුදාව සහ බුද්ධි අංශ සමග සහයෝගයෙන් කටයුතු කරන බවට,පසුගිය වසර ගණනාවක තිස්සේ ඩැමැස්කස් රජයෙන් චෝදනා එල්ල විය.ඔවුන් ඉවත් කර ගැනීමෙන් පෙන්වා දෙන අනෙක් කාරණය වන්නේ ඊශ්‍රායලය එහි මිත්‍රයෝ සිරියාව තුල සිදු කල සිය මෙහෙයුම් වසන් කිරීමට දරන උත්සාහ කරන බවයි.

රුසියානු හමුදා ජූලි මස 20 සහ 21 දින වලදී මයිමිම් ගුවන් හමුදා කඳවුරට දෙසට පියාසර කරමින් තිබූ සන්නද්ධ ඩ්‍රෝන් යානා දෙකක් වෙඩි තබා බිම හෙළන ලදි.එම යානා ගුවන් ගත කර තිබුණේ යුද මුක්ත කලාපයට අයත් ඉඩ්ලිබ් සහ උතුරු ලටාකියා ප්‍රදේශවල සිටින කැරලිකරුවන් විසින්ය.

සිරියාව තුල රුසියානු පහසුකම් වලට කැරලිකරුවෝ දිගින් දිගටම පහර දීම හරහා සටන් විරාමය නොසලකා හරිමින් හයට් ටරිර් අල්-ෂාම් ආදී ත්‍රස්තවාදී කණ්ඩායම් ප්‍රදේශයෙන් අතු ගා දමා එල්ල වන ප්‍රහාර අවසන් කිරීමට රුසියා-සිරියා හමුදා නුදුරේදීම මෙහෙයුමක් ආරම්භ කරාවි.




source:southfront.org

සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 23 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 23 Reviewed by HarshaLulzSec on July 30, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 20

July 29, 2018
සිරියානු අරාබි හමුදාව,ටයිගර් බලකා සහ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායම් වල පීඩනය හමුවේ දකුණු දිග සිරියාවේ කැරලිකරුවන්ගේ  ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි.

යටත් වීමේ ගනුදෙනු වලට යටත්ව නිදහස් සිරියානු හමුදා සාමාජිකයෝ සතු වූ  අල්-ෂයික් සාඩ්,ටෙල් අල්-බසා,ටෙල් අෂ්ටාරා,කිරිබට් අල්-ටිරා,අල්-සුකාරියාහ්,කුරුස් සහ ටෙල් අල්-ජබියාහ් යන ප්‍රදේශවල පාලනය රජයේ හමුදා අතට පත් විය.

රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව හයට් ටරිර් අල්-ෂාම් සංවිධානයේ සාමාජිකයෝ සහ නිදහස් සිරියානු හමුදා කැරලිකරුවෝ සිරියානු අරාබි හමුදාවට මුළුමනින්ම යටත් වූ අතර ඔවුන්ගේ අන්තවාදී කොටස ප්‍රදේශයෙන් ඉවත් යෑමේ එකඟතාවයට කැමැත්ත පල කලහ.එම එකඟතාවයට අනුව කැරලිකරුවෝ ඔවුන් සතු සියලු අවි සිරියානු අරාබි හමුදාවට භාර දීමට නියමිත අතර කොරිඩෝරයක් ඔස්සේ ඉඩ්ලිබ් සහ ඇලපෝ පළාත්වල කැරලිකරුවන්ගේ පාලනය යටතේ තිබෙන ප්‍රදේශයට පසුබැසීමට සූදානම්ය.

ඊට අමතරව යුද මුක්ත කලාපය තුල පිහිටි උම් බටිනාහ් සහ රුවයිබාහ් ගම්මාන ආසන්නයේ තිබෙන නිරීක්ෂණ මුරපොලවල් දෙකක් කැරලිකරුවන් විසින් එක්සත් ජාතීන්ගේ ගලවා ගැනීමේ නිරීක්ෂණ හමුදාව වෙත බාර දෙනු ඇත.මෙම මුරපොලවල් 1974 මැයි 31 දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 350 යෝජනාවට අනුව සිරියා සහ ඊශ්‍රායල හමුදා වෙන් කරනු පිණිස ස්ථාපිත කරන ලදි.

එසේ වුවද කලින් කැරලිකරුවන්ගේ පාලනය යටතේ තිබූ මෙම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිරියානු අරාබි හමුදා ඒකක සහ ටයිගර් බලකා විසින් කල යුතු දෑ බොහෝය.

සිරියානු අරාබි හමුදාවේ මූලාශ්‍රයකට අනුව රජයේ හමුදා සහ නිදහස් සිරියානු හමුදාවේ මධ්‍යස්ථ සාමාජිකයෝ සාමදාන ගිවිසුම ක්‍රියාවට නැංවීමට සහයෝගයෙන් කටයුතු කරමින් සිටිති.කැරලිකරුවන්ගේ යටත් වීමත් සමග ඊට සමගාමීව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට අනුබද්ධ කලිඩ් ඉබ්න් අල්-වලිඩ් හමුදාව ආක්‍රමණයක් දියත් කල හොත් එය මැඩපැවැත්වීම රජයේ හමුදාවල සැලකිල්ලට භාජනය වී තිබේ.

ඒ අතරතුර ඉඩ්ලිබ් පළාතේ රජයේ පාලනය යටතේ තිබෙන  අල්-ෆුආ සහ කෆ්‍රියා නගරවල සිටි සිවිල් වැසියන් සහ ප්‍රාදේශීය ජාතික ආරක්ෂක බලකා සාමාජිකයෝ  6,500 පමණ පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කර ගෙන ඇත.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව බස් රථ 160ක් සහ ගිලන් රථ 10ක් පමණ මෙම කාර්යය සඳහා සහභාගි වී තිබේ.

2015 ඉඩ්ලිබ් ආක්‍රමණයේදී අල්ලා ගත් දුසිම් ගණනක් ගැහැණුන් සහ ළමුන්ද මෙම එකඟතාවය යටතේ මුදා හරින්නට හයට් ටරිර් අල්-ෂාම් සංවිධානය සූදානම් බව පැවසේ.එම සංවිධානයේ බලධාරියෙක් වන අබ් දුල්ලා අල්-හසන්,සංවිධානයට අනුබද්ධ  ඉබා පුවත් ජාලයට පවසා තිබුණේ ඔවුන්ගේ ඉහත ක්‍රියාවට ප්‍රතිචාර වශයෙන් හයට් ටරිර් අල්-ෂාම් සටන්කරුවන් 41 ඇතුලුව පුද්ගලයෝ 1,500 වැඩි පිරිසක් මුදා හරින්නට ඩැමැස්කස් රජය සූදානම්ය.

අල්-ෆුආ සහ කෆ්‍රියා යන රජයේ පාලනයට යටත් නගර දෙක 2015 මාර්තු 28 පටන් මේ දක්වා හයට් ටරිර් අල්-ෂාම් සහ එහි මිත්‍ර කණ්ඩායම් වල වටලෑමට ලක්ව තිබේ.කෙසේවෙතත් මෙම ප්‍රදේශ දෙක රජයේ පාලනය යටතේ පවතින ඇලපෝ පළාතේ කොටසත් සමග සම්බන්ධ කිරීමට හැකියාව ලැබෙන මහා පරිමාණ හමුදා මෙහෙයුමක් සිදු කිරීමට දැනට සිරියානු අරාබි හමුදාව සතුව ප්‍රමාණවත් සම්පත් නොමැත.ඒ නිසා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් වටලෑමට ලක් ව තිබෙන ප්‍රදේශවලින් සිවිල් වැසියන් සහ ජාතික ආරක්ෂක බලකා සාමාජිකයෝ ඉවත් කර ගැනීමට ඩැමැස්කස් රජය පියවර ගත්තේය.මෙම කතාවේ අනෙක් තේරුම  අල්-ෆුආ සහ කෆ්‍රියා නගර හයට් ටරිර් අල්-ෂාම් සංවිධානයට බාර දීමයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 20 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි  20 Reviewed by HarshaLulzSec on July 29, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 19

July 19, 2018
එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ සහාය ඇතිව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අල්-හසාකා සහ ඩීර් එසෝර් පළාත් දෙකෙහි ගම්මාන 16ක් ඇතුලුව වර්ග කිලෝමීටර් 1,100 භූමි ප්‍රමාණයක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයෙන් මුදා ගැනීමට සමත් වූ බව ජූලි 18 දා නිවේදනය කලේය.

මෙහෙයුම අතරතුර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 4 දෙනෙක් මියගොස් තවත් 4 දෙනෙක් සිය අත් අඩංගුවට පත් වූ බව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සඳහන් කරයි.එම හමුදාවල එක් සාමාජිකයෙක් සටන් වලින් මරණයට පත් විය.ඊට අමතරව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා එක් පිකප් ට්‍රක් රථයක්,ප්‍රබල මැෂින් තුවක්කු දෙකක්,ආර් පී ජී-7 අවියක්,බිම් බෝම්බ සහ උණ්ඩ සිය ග්‍රහණයට ගන්නා ලදි.මෙම වාර්තාවලින් පෙනෙන්නේ ඇමෙරිකානු සහාය ලබන හමුදාවල ඉදිරි ගමනට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් කිසිදු ප්‍රතිරෝධයක් එල්ල නොවන බවයි.

සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා/සිරියානු ප්‍රජාතන්ත්‍රික කවුන්සිලය සහ ඩැමැස්කස් රජය අතර අනාගතයේදී කතිකා කිරීම සඳහා හෝම්ස්,හමා,ලටාකියා යන පළාත්වලත් ඩැමැස්කස් අගනුවරත් සිය කාර්යාල විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල දේශපාලන අංශය වන සිරියානු ප්‍රජාතන්ත්‍රික කවුන්සිලයේ සම සභාපති  ඉල්හම් එමෙඩ්, ජූලි මස 17 දා නිවේදනය කලේය.

 සිරියාවේ තත්ත්වය සහ තවත් වැදගත් කාරණා සම්බන්ධව සාකච්ඡා කෙරුණු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනපති ව්ලැඩ්මීර් පුටීන් අතර ජූලි මස 16 දා හෙල්සින්කි  අගනුවර පැවැත් වූ හමුවෙන්  දිනකට පසුව සිරියානු ප්‍රජාතන්ත්‍රික කවුන්සිලය මෙම නිවේදනය නිකුත් කලේය.

ඒ අතරතුර දකුණුදිග සිරියාවේ ඩාරා නගරයේ කැරලිකරුවන් තවත් අවි තොගයක් සිරියානු අරාබි හමුදාවට භාර දුන්හ.එහි ටී-55 යුද ටැංකි 3ක්,බී එම් පී-1 පාබල හමුදා ප්‍රහාරක රථ දෙකක්,හෙල් කැනොන් නම් අවි 4ක්,ප්‍රබල මැෂින් තුවක්කු කිහිපයක් සහ උණ්ඩ තිබිණි.

 කැරලිකරුවන් භාර දුන් යුදෝපකරණ තොගය












කැරලිකරුවන් ජූලි මස 14දා සාමදාන ගිවිසුමකට පැමිණීමත් සමග නගරයේ පාලනය මුලුමනින්ම සිරියානු අරාබි හමුදාව අතට පත් විය.එතැන් පටන් ඔවුන් සිය අවි රජයේ හමුදාවන්ට භාර දෙමින් සිටියි.

ඩාරා නගරයට වයඹදිගින් පිහිටා ඇති  නාවා නගරයේදී තවත් සාමදාන ගිවිසුමක් ඇති කරගෙන තිබේ.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ජූලි 19 වන විට සිරියානු අරාබි හමුදාව නගරය වටා කඳු මුදුන් අත් පත් කරගත් අතර ඉන්පසුව කැරලිකරුවෝ සිය අවි භාර දීම ආරම්භ කරන ලදි.

ඊට පෙර  නාවාහිදී සිරියානු අරාබි හමුදාව සහ හයට් ටරිර් අල්-ෂාම් සංවිධානය අතර ගැටුම් ඇති විය.කෙසේවෙතත් කැරලිකරුවන් අතර වඩාත් මධ්‍යස්ථ මතදාරී කොටස විසින් හයට් ටරිර් අල්-ෂාම් සාමාජිකයෝ එම ප්‍රදේශයෙන් නෙරපා හරින ලදි.

සිරියානු සරණාගතයෝ ප්‍රතිග්‍රහණය කර ගැනීම,නැවත පදිංචි කිරීම සහ වුවමනා එපාකම් සපුරා දීම ආදී කාර්යයන් සඳහා මධ්‍යස්ථානයක් රුසියාව විසින් පිහිටුවන ලද බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ජූලි මස 18 දා නිකුත් කල නිවේදනයක සඳහන් වේ.මගිනි තම නිවෙස් බලා පැමිණෙන පුද්ගලයින් සහ විදෙස් රටවලින් එන සිරියානු සරණාගතයෝ නිරීක්ෂණය කිරීම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කෙරේ.ඊට අමතරව මානුෂීය ආධාර බෙදා හැරීම සහ සෞඛ්‍ය පහසුකම්,මානුෂීය සේවාවන් නැවත ස්ථාපනය කිරීමට සිරියානු රජයට සහාය ලබාදීමද එම මධ්‍යස්ථානයට පැවරී තිබෙන කාර්යයන් අතර වේ.

මේ වනවිට සිරියානු යුද්ධය එහි අවසානයට ළඟා වෙමින් සිටින නිසා මානුෂීය මෙහෙයුම් සහ රට පුරා සාමකාමී ජන ජීවිතය යළිත් ස්ථාපනය කිරීමට සිරියානු රජයට අවස්ථාව ලැබී තිබේ.එය අර්බුදයට දේශපාලනික විසදුමක් ලබා ගැනීමට අවශ්‍ය වැදගත් සාධක වනු ඇත.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 19 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 19 Reviewed by HarshaLulzSec on July 19, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 17

July 18, 2018
දකුණු දිග සිරියාවේ ඩාරා නගරයට උතුරු දෙසින් වූ ජනාවාස අල්-හර්රා,නිමර්,උම් අල්-අව්සාජ් සහ හර්රා ,අමාර් යන කඳුමුදුන් ඇතුලුව තවත් ස්ථාන කිහිපයක් හයට් ටරිර් අල්-ෂාම් සහ නිදහස් සිරියානු හමුදාව කැරලිකරුවන්ගෙන් මුදා ගැනීමට සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් සමත් විය.

ගෝලාන් උස්බිම්වලට නැගෙනහිරින් පිහිටි කැරලිකරුවන් සතු එක් ප්‍රධාන ආරක්ෂක මර්මස්ථානයක් වන්නේ නාවා නගරයයි.එය බිද වැටුණු වහාම කැරලිකාර කණ්ඩායම්වල ආරක්ෂාව ද සම්පුර්ණයෙන්ම කඩා වැටෙයි.

ඒ අතරතුර එම ප්‍රදේශයේ සිටින සමහරක් නිදහස් සිරියානු හමුදා කැරලිකාර කණ්ඩායම් සටන් විරාමයක් සහ සාකච්ඡා සඳහා සිරියා-රුසියා-ඉරාන සන්ධානයෙන් ඉල්ලීමක් කර තිබේ.වාර්තාවලට අනුව කැරලිකරුවන්ගේ මධ්‍යස්ථ කොටස ඔවුන්ගේ අවි භාර දීමටත් ඩැමැස්කස් රජයේ අනුමැතිය සහිතව එම ප්‍රදේශවල සිය පදිංචිය තහවුරු කර ගැනීමටත් සූදානමින් පසුවේ.කෙසේවෙතත් තවමත් ඔවුන් සමග එකඟතාවයකට පැමිණ නැත.

ජූලි මස 16 දා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ රුසියානු ප්‍රතිවාදියා ව්ලැඩ්මීර් පුටීන් ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදී හමුවී සාකච්ඡා කරන ලදි.සිරියාවේ වර්තමාන තත්ත්වයද ඔවුන් දෙදෙනාගේ කතිකාවේ මාතෘකා අතර විය.

දෙදෙනා අතර සාකච්ඡාවෙන් පසුව පැවැත් වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පුටීන් කියා සිටියේ යුද්ධයෙන් විනාශ වූ සිරියාව තුල සාමය ස්ථාපිත කිරීම ප්‍රධාන අරමුණ බවත් එය රුසියා-ඇමෙරිකා සහයෝගයෙන් සාර්ථක කර ගත හැකි බවත්ය.සරණාගතයෝ නැවත ඔවුන්ගේ ගම්බිම් වෙත යැවීමත්,මානුෂීය තත්ත්වය වැඩි දියුණු කිරීමත් කල යුතු බව ඔහු අවධාරණය කලේය.

අනෙක් පසින් මැදපෙරදිග සම්බන්ධව සිය පාලනතන්ත්‍රයේ ප්‍රතිපත්ති අතර ඊශ්‍රායලයට තිබෙන ලැදියාව ප්‍රමුඛ යැයි ට්‍රම්ප් නැවත වරක් පෙන්වන ලදි.එක්සත් ජනපදය,ඊශ්‍රායලය සමග ඉතා සමීපව ක්‍රියා කරමින් ඊශ්‍රායලය සුරක්ෂිත කිරීමට කියා කිරීම තම රටේ ප්‍රමුඛ අරමුණුවලින් එකක් බව ඔහු කීය.

ත්‍රස්තවාදීන්ගේ පරාජයත් සමග ගෝලාන් උස්බිම්වල තත්ත්වය බේරුම් කර ගැනීම 1974 වර්ෂයේ ඊශ්‍රායල-සිරියා එකඟතාවයට අනුකූලව සිදුවිය යුතු යැයි පුටීන් පැවසීය.

දකුණුදිග සිරියාවේ තත්ත්වය සම්බන්ධව දෙපාර්ශ්වය අවම වශයෙන් පාර්ශ්වික එකඟත්වයකට පැමිණ ඇති බවත්,සිරියාවේ අර්බුදයට දේශපාලනික විසඳුමක් ලබා ගැනීම සඳහා පුලුල් ගිවිසුමකට පැමිණීමට පළමු පියවර තබා ඇති බවත් මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්හ.කෙසේවෙතත් මෙය කොතරම් යතාර්ථයට සමීපද යන බව එම පාර්ශ්වයන් ගන්නා සැබෑ පියවරයන්ගෙන් දැක ගත හැකි වේවි.

ඒ අතරතුර ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතු හජින් නගරය දෙසට ගමන් කිරීම යළි ආරම්භ කර තිබේ.කුර්දීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා නගරයට ඇතුල් වී ගොඩනැගිලි කිහිපයක් අල්ලා ගැනීමට සමත් වුවද තවත් දෙපාර්ශ්වය අතර ගැටුම් පවතියි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 17 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 17 Reviewed by HarshaLulzSec on July 18, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 16

July 16, 2018
නොබෝදා සිරියානු අරාබි හමුදාව විසින් මුදාගත් දකුණුදිග සිරියාවේ ප්‍රදේශවල සම්බන්ධව කැරලිකරුවන් සමග ඇති කරගත් එකඟතාවය දැන් ක්‍රමයෙන් ක්‍රියාවට  නැංවෙමින් පවතියි.

සාමදාන ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමග මේ දක්වා රජයේ හමුදාවන්ට කැරලිකරුවන් විසින් භාර දී තිබෙන යුදෝපකරණය ප්‍රමාණය සම්බන්ධව,සිරියාවේ සමගිසන්ධානය සඳහා වූ රුසියානු මධ්‍යස්ථානය වාර්තාවක් නිකුත් කරන ලදි.පහත දැක්වෙන්නේ එලෙස භාර දුන් යුදෝපකරණයි.

යුද ටැංකි 20ක්

සන්නාහ සන්නද්ධ රථ 13ක්

ගුවන් යානානාශක ස්වයංක්‍රීය අවි 6ක්

ගුවන් යානානාශක අවි 13ක්

මෝටාර් අවි 29ක්

කාලතුවක්කු 3ක්

යුද ටැංකි නාශක රොකට් ප්‍රචාලන ග්‍රෙනේඩ් විදින 83ක්

විශාල ප්‍රමාණයේ මැෂින් තුවක්කු 55ක්

ස්වයංක්‍රීය රයිෆල් 301ක්


ඉදිරි දිනවලදී කැරලිකරුවෝ තවත් යුදෝපකරණ භාර දීම නියමිතය.භාර දුන් යුදෝපකරණවල ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.





ඊට අමතරව ඩාරා සහ කුනීට්‍රා යන පළාත්වල සිටින හයට් ටරිර් අල්-ෂාම් ඇතුලු අන්තවාදී සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කරගෙන සිරියානු අරාබි හමුදාව සහ මිත්‍ර කණ්ඩායම් එල්ල කරන ප්‍රහාර නොනවත්වා කරගෙන යයි.

රජයේ හමුදා සර්මින්,ඉන්කීල්,කිරිබට් සිරියාහ්,ජැසිම් සහ ඒ ආසන්න ප්‍රදේශ මුදා ගැනීමට සමත්ව තිබේ.ප්‍රාදේශීය ක්‍රියාකාරීන්ට අනුව හමුදා ඒකක  අල්-හරාහ් නගරය දෙසට ගමන් කරමින් සිටිති.

ජූලි මස 14දා තුර්කි ජනපති ටයීප් එර්ඩොගන් සහ රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටීන් ඉඩ්ලිබ් පළාත තුල සිරියානු අරාබි හමුදාව ආරම්භ කිරීමට නියමිත යුද මෙහෙයුම සම්බන්ධව දුරකතනයෙන් සාකච්ඡා කර තිබේ යැයි තුර්කි ජනපති මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත.ඩාරා නගරය මුදා ගැනීමෙන් දින දෙකකට පසුව මෙම දුරකතන ඇමතුම ලබා ගෙන තිබේ.

ඉරානය සහ රුසියාව සමග අස්ටානා සාකච්ඡාවලට සහභාගී වුවද,ඉඩ්ලිබ් පළාතේ හයට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින්නට අන්කාරා රජයට හදිසියක් නොමැති බව පෙනේ.සිරියානු අරාබි හමුදාව මෙහෙයුමක් ආරම්භ කලහොත් තුර්කිය එය අවහිර කිරීමට ප්‍රයත්න දරාවි.

රක්කාහි ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයට  විරුද්ධව කටයුතු කරන කණ්ඩායමක් වන The Popular Resistance of Raqqa (PRR) විසින් ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ නියෝජිතයෝ සහ ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල අණදෙන නිලධාරීන් රැස්වීමක් පවත්වන ලදැයි සැක කරන ගොඩනැගිල්ලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් සිදුවූ හානි සම්බන්ධව වාර්තා ලැබී නැත.මිත්‍ර සන්ධානය හෝ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා මේ සම්බන්ධව අදහස් දක්වා නොමැත.

ඒ අතරතුර යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ පිහිටා ඇති ඔමාර් තෙල් නිධිය කුර්දි සටන්කාමීන්ගේ ආධිපත්‍යයට නතු සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා විසින් ඩැමැස්කස් රජයට පැවරූ බවට වාර්තා පළව තිබේ.එම වාර්තා සනාථ කර නොමැති වුවත් ඩැමැස්කස් රජයට තෙල් නිධි සහිත භූමියට ඇතුල් වීමට කුර්දි පාර්ශ්වයට අවසර ලබා දී ඇතැයි අනුමාන කල හැකිය.

කුර්දි මහජන ආරක්ෂක ඒකක වල ආධිපත්‍යයට නතු සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ කුර්දින්ගේ දේශපාලන අංශය වන හට ඔවුන්ගේ පාලනය යටතේ ඇති තෙල් නිධිවලින් තෙල් ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික හැකියාවන් නොමැත.ඒ අනුව රජයේ විශේෂඥයන්ගේ අනුදැනුම සහිතව තෙල් නිධිවල ආදායම බෙදා ගැනීමට ඔවුන් තීරණය කර ඇතැයි සිතිය හැකිය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 16 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 16 Reviewed by HarshaLulzSec on July 16, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 13

July 13, 2018
ජූලි මස 12දා අපරභාගයේදී සිරියානු අරාබි හමුදාවේ ඒකක සහ රුසියානු හමුදා පොලිසිය,ඩාරා නගරයේ කැරලිකරුවන් සතුව තිබූ දකුණුදිග ප්‍රදේශයට ඇතුල් වී එහි බලය තහවුරු කලහ.

නගරයේ මෙම කොටස 2012 වර්ෂයේ පටන් හයට් ටරිර් අල්-ෂාම්  සංවිධානය සහ එහි මිත්‍රයන් යටතේ තිබිණි.

ඩාරා නගරයේ තැපැල් කාර්යාලය ආසන්නයේ මධ්‍යම චතුරස්‍රයේ සිරියානු අරාබි හමුදා සෙබලුන් සිරියානු ජාතික ධඡය ඔසවා ඇති අයුරු

ඊට සමගාමීව නගරයේ දකුණු ප්‍රදේශවල කැරලිකරුවන් තම යටත් වීම ආරම්භ කලහ.කැරලිකාර කණ්ඩායම් වල නායකයින් සහ රුසියාවේ සහාය ලබන ඩැමැස්කස් රජය අතර ඇති වූ සාමදාන ගිවිසුමේ කොටසක් ලෙස මෙම ක්‍රියා මාර්ගයන් ගැනේ.

තවද රජයේ හමුදාව ඩාරා හි බටහිර ප්‍රදේශයේ කාෆ්‍ර ෂාම්ස්,ඉන්කිල් සහ මුසයිරිබ් යන ගම්මානවලට ඇතුල් වූහ.

ගිවිසුමට අනුව කැරලිකරුවෝ ඔවුන්ගේ බර අවි සහ මධ්‍යම ප්‍රමාණයේ අවි මෙන්ම අනෙකුත් යුදෝපකරණද සිරියානු අරාබි හමුදාවට භාර දීම ආරම්භ කර තිබේ.යටත් වීමෙන් පසුව කැරලිකරුවන්ට රජයේ අනුමැතිය ඇතිව මෙම ප්‍රදේශවල නීත්‍යානුකූලව පදිංචි වීමට හෝ කැරලිකරුවන් යටතේ තිබෙන ඇලපෝ සහ ඉඩ්ලිබ් යන පළාත් දෙකෙන් එකකට යෑමට පුලුවනි.

කෙසේවෙතත් සමහරක් විපක්ෂයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව පසුබැසීම/ඉවත්ව යෑම කැරලිකරුවන්ට විකල්පයක් ලෙස තෝරා ගත නොහැකි යැයි,ගිවිසුම සම්බන්ධව සාකච්ඡාවලදී රුසියානුවන් නිර්දේශ කර ඇත.ඉඩ්ලිබ් පළාතේ සිටින හයට් ටරිර් අල්-ෂාම් සංවිධානය රුසියා සහ සිරියා හමුදාවල ඊළඟ ඉලක්කයයි.කැරලිකරුවන්ට පසුබැසීමට ඉඩ දුන් හොත් ඉඩ්ලිබ් සහ ඇලපෝ හි කැරලිකරුවන්ගේ පිරිස් බලය ඉහළ යයි.මෙම විවෘත රහස කැරලිකරුවන්ට පක්ෂ මාධ්‍ය සහ ක්‍රියාකාරීන් නොසන්සුන් කිරීමට හේතු වී තිබේ.

දකුණුදිග සිරියාවේ වර්තමාන තත්ත්වය

ඒ අතරතුර මධ්‍යස්ථ විපක්ෂයේ කැරලිකරුවන් සමග ඇති කර ගත් එකඟතාවයකට ස්තුතිවන්නට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට අනුබද්ධිත කලීඩ් ඉබ්න් අල්-වලිඩ් හමුදාව බටහිර ඩාරා හි හයිට් සහ කිර්බට් යාලා යන ගම්මානවලට ඇතුල් වීමට සමත් විය.පසුගිය දින කිහිපය තිස්සේම සිරියානු ගුවන් හමුදාව,හයිට් ගම්මානය ආසන්නයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර ගණනාවක් එල්ල කලද ත්‍රස්තවාදී කණ්ඩායමේ ගමන වළක්වන්නට නොහැකි විය.

ඩාරා නගරය මුලුමනින්ම මුදා ගැනීමෙන් පසුව සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම්වල ඊළඟ ප්‍රධාන ඉලක්කය වන්නේ බටහිර ඩාරා ප්‍රදේශයයි.යඩුඩෙහ් සහ මුසයිරිබ් ආසන්නයේ දැනටමත්  ගැටුම් වාර්තා වේ.

කුර්දි මහජන ආරක්ෂක ඒකක වලට අනුබද්ධ ගඩාබ් අල්-සයිටුන් නම් සන්නද්ධ කණ්ඩායම ඉඩ්ලිබ් පළාතේ තුර්කියේ සහාය ලබන කැරලිකාර කණ්ඩායම් ඉලක්ක කරගෙන ප්‍රහාර දෙකක් එල්ල කලේය.ජූලි 9 සහ 10 යන දෙදින තුල සිදු කල ප්‍රහාර දෙකෙන් කැරලිකරුවෝ 5 දෙනෙක් මරණයට පත්වූහ.

ජූලි මස 11-12 දිනවලදී රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටීන් විසින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලාහ් අලි කමෙනෙයිගේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධව උපදේශක අලි අක්බාර් වෙලයාටි සමග වෙන වෙනම සාකච්ඡා කර ඇත.මෙම හමුවීම් දෙකෙහිදී සිරියාවේ තත්ත්වය සහ මැදපෙරදිග කලාපය සම්බන්ධව කතා බහ කර තිබේ.

ජනපති පුටීන් මොස්කව් හි ක්‍රෙම්ලිනයේදී අගමැති නෙතන්යාහු හමුවූ මොහොත,2018 ජූලි 11.

ඉරාන හමුදා සිරියාවෙන් ඉවත් කිරීමට ඊශ්‍රායලය දරන උත්සාහයන්ට රුසියාවේ සහාය ලබා ගැනීමට නෙතන්යාහු ප්‍රයත්න දරන බව ඔහු නොකඩවා මොස්කව් වෙත පැමිණීමෙන් පෙනී යයි.කෙසේවෙතත් රුසියාව ටෙල් අවිව් රජයේ අරමුණට සහාය නොදෙන බව පැහැදිලිය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 13 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 13 Reviewed by HarshaLulzSec on July 13, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 12

July 12, 2018
කැරලිකරුවන් යටත් වීමෙන් පසුව ඩාරා හි වයඹදිගින් වූ ටෆාස්,යඩුඩාහ් සහ ටල් අෂාරි ප්‍රදේශවල බලය තහවුරු කර ගන්නට සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් සමත් විය.රුසියානු හමුදා පොලිසියේ ඒකක හි ස්ථානගත කර තිබේ.

ඩාරා පළාතේ යුද මෙහෙයුම අතරතුර   නිදහස් සිරියානු හමුදා කැරලිකරුවන් සතුව තිබූ ප්‍රංශයේ නිෂ්පාදිත  'ඇපිලාස් - APILAS'  නම් යුද ටැංකි නාශක අවි කිහිපයක් සොයා ගන්නට රජයේ හමුදා සමත්විය.ප්‍රාදේශීය නිරීක්ෂයන්ට අනුව මෙවැනි අවියක් රජයේ හමුදා අතට පත් වූයේ පළමු වතාවටයි.

ඇපිලාස් යනු අතේ ගෙන යා හැකි මි.මී.112 පොලා නොපනින වර්ගයේ යුද ටැංකි නාශක අවියකි.එය නිපදවා තිබෙන්නේ ප්‍රංශයේ ජියාට්-GIAT සමාගම විසින්ය.මෙම අවියට මීටර් 500ක් දුරින් ඇති ඉලක්කයකට පහරදීමටත්,මි.මී.720 ඝනකම සන්නාහයක් හෝ මීටර් 2ක් ඝනකම් කොන්ක්‍රීට් ව්‍යුහයක් විනිවිද යෑමටත් හැකිය.

සිරියානු හමුදාව අතට පත් වූ ඇපිලාස් - APILAS නම් යුද ටැංකි නාශක අවි

ප්‍රංශයේ නිෂ්පාදිත මෙම අවිය පළමුවරට දුටුවේ 2015 වර්ෂයේ ජූනි මාසයේ තලාහ් සටනේදීය(බ්‍රිගේඩ් 52 කඳවුර).එතැන් වන අමූඩ් හරන් එක්සත් ජනපදයේ සහාය ලබන නිදහස් සිරියානු හමුදා කණ්ඩායම මෙම අවිය සිරියානු අරාබි හමුදාවට එරෙහිව  භාවිතා කරන ලදි.

කැරලිකරුවෙක් ඇපිලාස් - APILAS නම් යුද ටැංකි නාශක අවියක් අතැතිව

සිරියානු රජයට පක්ෂපාති ක්‍රියාකාරීන්ට අනුව මෙම අවිය බොහෝ විට ජෝර්දානය හරහා නිදහස් සිරියානු හමුදා කැරලිකරුවන් අතට ලැබෙන්නට ඇත.කෙසේවෙතත් අවියේ මූලාශ්‍රය,ඇපිලාස් අවිය භාවිතා කරන ජෝර්දාන හමුදාවද නැත්නම් එය කෙලින්ම ප්‍රංශයෙන් නැව්ගත කල ඒවා දැයි නොදනියි.මෙම ප්‍රංශ අවිය ජෝර්දානයේ සහ සෞදි අරාබියේ හමුදාවන් භාවිතා කරයි.

මෙම සතියේ මුලදී ප්‍රංශයේ නිෂ්පාදිත මිලාන් - MILAN නම් යුද ටැංකි නාශක නියාමක මිසයිල 12ක් සිරියානු අරාබි හමුදාවට භාර දෙන්නට ඩාරා හි නිදහස් සිරියානු හමුදාවේ කැරලිකරුවන් ක්‍රියා කර තිබිණි.මේවා ජෝර්දානය හරහා කැරලිකරුවන්ට ලැබෙන්නට ඇතැයි රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසයි.

දකුණුදිග සිරියාවේ කැරලිකරුවන්ට බටහිර රටවල් ලබා දෙන සහාය මෙම අවි ඔස්සේ අනාවරණය වේ.එය කලාපයේ ආරක්ෂාවට බරපතල තර්ජනයකි.

බිම හෙළු ඩ්‍රෝන් යානයේ යැයි සැලකෙන කොටස් එකතු කරන ඊශ්‍රායල පොලිස් නිලධාරීන්

ගෝලාන් උස්බිම් වලට ඉහළින් පියාසර කරමින් තිබූ සිරියානු හමුදාවට අයත් ඩ්‍රෝන් යානයක් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය විසින් හඳුනාගෙන බිම හෙළු බව ජූලි මස 11දා ඊශ්‍රායල හමුදාව විසින් නිවේදනය කලේය.

ඊශ්‍රායල මාධ්‍ය වලට අනුව ඩ්‍රෝන් යානය බිම හෙළීමට පෙර එය ඊශ්‍රායල ගුවන් අවකාශයේ කි.මී. 9.4 දුරක් පියාසර කර තිබිණි.වාර්තාවලට අනුව ඩ්‍රෝන් යානය සන්නද්ධ එකක් නොවූ අතර එහි කොටස්   ටයිබෙරියස් විල ආසන්නයෙන් හමුවී ඇත.

පෙබරවාරි මස 10දා උතුරුදිග සීමාවේ බෙයිට් ෂීන් නගරය ආසන්නයේදී ඉරාන ඩ්‍රෝන් යානයක්,ඊශ්‍රායල හෙලිකොප්ටර් යානයක් මගින් වෙඩි තබා බිම හෙළන ලදි.ඉන්පසුව ඊශ්‍රායලය කියා සිටියේ ඩ්‍රෝන් යානය සන්නද්ධ එකක් කියාය.ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ගුවන් හමුදාව,සිරියානු සහ ඉරාන හමුදා ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කරන ලදි.

නවතම සිදුවීම නිදහසට කරුණක් ලෙස ගනිමින් දකුණුදිග සිරියාවේ කැරලිකරුවන්ට එරෙහිව මෙහෙයුම් සිදු කරන සිරියානු අරාබි හමුදාව ඉලක්ක කරගෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දියත් කරාවි යැයි පළවූ අදහස සත්‍යයක් බවට පත් කරමින් ජූලි මස 11දා කුනීට්‍රා පළාතේ සහ යන ගම්මානවල සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වලට ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරන ලදි.

සිරියානු ගුවන් ආරක්ෂක බලකා ප්‍රතිප්‍රහාර එල්ල කලත්,ඊශ්‍රායලය නිකුත් කල වීඩියෝවට අනුව මිසයිල සියල්ල බිම හෙළන්නට සිරියානු පාර්ශ්වය අසමත් වූ බව පෙනේ.

ජූලි 11දා සිරියානු ඩ්‍රෝන් යානයක් සිය ගුවන් අවකාශය උල්ලංඝනය කිරීමට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය දියත් කලේ යැ‍යි ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවසීය.මෙම සතිය තුල ඊශ්‍රායලය සිරියාවට එල්ල කල දෙවන ප්‍රහාරය මෙයයි.


නැගෙනහිර අල්-සුවයිඩා හි ප්‍රධාන කඳු මුදුන් වන  රකාට් සහ අලියා වෙත එල්ල වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් ව්‍යර්ථ කර ත්‍රස්තවාදීන් කිහිපදෙනෙක් මරා දමන්නට සිරියානු අරාබි හමුදාවට හැකි විය.ත්‍රස්තවාදීන්ට පක්ෂ මූලාශ්‍රවලට අනුව ප්‍රහාරයෙන් රජයේ හමුදාවන්ටද හානි සිදුව තිබේ.

ඉඩ්ලිබ් පළාතේ  අල්-රාමි,මොස් රා,අල්-නජෙයා,කින්ඩා,උරම් අල්-ජව්ස්,ෆ්‍රිකෙ,මුහම්බාල් සහ සන්කුල්  යන ප්‍රදේශවල හයට් ටරිර් අල්-ෂාම් සහ එහි මිත්‍රයන්ගේ ස්ථාන ඉලක්ක කරගෙන ජූලි මස 10 සහ 11 යන දිනවලදී සිරියානු ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදි.

මීට පෙර උතුරුදිග ලටාකියා හි රජයේ හමුදා ඉලක්ක කරගෙන හයට් ටරිර් අල්-ෂාම් සංවිධානය එල්ල කල ප්‍රහාරයකදී සෙබලුන් සහ නිලධාරීන් ඇතුලුව 25 දෙනෙක් පමණ මිය ගියහ.ඊට ප්‍රතිචාර ලෙස මෙම ගුවන් ප්‍රහාර මාලාව දියත් කර තිබේ.

එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය,කුර්දි ආධිපත්‍ය යටතේ ඇති සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවන්ට අවිත් සමග ට්‍රක් රථ 200කට වැඩි සංඛ්‍යාවක් ලබා දී ඇතැයි තුර්කියේ  TRT රූපවාහිනිය ජූලි මස 10 වනදා වාර්තා කරන ලදි.කුර්දි මූලාශ්‍රයක් උපුටා දක්වමින්  TRT රූපවාහිනී නාලිකාව තවදුරටත් කියා තිබුණේ මෙම සැපයුම්,හසාකා පළාතේ දකුණුදිග ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් ඉලක්ක කරගෙන දියත් කර ඇති සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවල මෙහෙයුම් සඳහා භාවිතා කරනු ඇති බවයි.

අන්කාරා රජයේ ඉල්ලීම පිළිගනිමින් එක්සත් ජනපදය,සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවන්ට යුදමය සැපයුම් ලබා දීම නවතා ඇතැයි තුර්කි නායකත්වය කීවද,එක්සත් ජනපදය නොනවත්වා එම කණ්ඩායමට අවි සහ උණ්ඩ සපයමින් සිටියි.මෙම සැපයුම් නොකඩවා සිදු කිරීමෙන් අන්කාරා-වොෂින්ටන් රජයන් අතර නොඉවසුම් ගතිය තවත් වර්ධනය වේ.



source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 12 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 12 Reviewed by HarshaLulzSec on July 12, 2018 Rating: 5

ඉතිහාසයේ ප්‍රබලම සාම්ප්‍රදායික බෝම්බ

July 12, 2018
ස්පාඤ්ඤයේ බාස්ක් පළාතේ අගනුවර වූ ගුවර්නිකා නගර වැසියන්ට සහ එවකට 14 වියේ පසුවූ ලුයිස් ඉරිඔන්ඩො ඔර්ට්නෙට්සෙයාට 1937 වසරේ අප්‍රේල් 26 දා යනු තවත් සඳුදා දිනයක් විය.එදින පස්වරුවේ 4.30ට පමණ නගරයේ සිටි 7000ක පමණ වැසියන්ගෙන් වැඩි පිරිසක් සිටියේ වීදිවල සැරිසරමින් සහ සාප්පු සවාරි යමින්ය.ඒ වන විට ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය ඇරඹී වසරක් පමණ ගතවී තිබිණි.එකවරම පල්ලියෙන් සීනුව වාදනය වෙන ශබ්දය ඔවුන්ට ඇසුනි.ඉන් කියවුනේ ප්‍රදේශයට ගුවන් යානා ළඟාවන බවයි.මීට පෙරද මෙවැනි අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කෙරුණද කිසිදු ගුවන් ප්‍රහාරයක් නගරය ඉලක්ක කරගෙන එල්ල නොකෙරුණ නිසා මෙවර එම අනතුරු ඇඟවීම කිසිවෙක් එතරම් ගණන් ගත්තේ නැති බව,ඉන් අනතුරුව එල්ල කල බෝම්බ ප්‍රහාරවලින් දිවි ගලවා ගත් පෙර කී ලුයිස් ඉරිඔන්ඩො 2012 වසරේදී ජර්මන් සඟරාවක් වන ස්පීගල් වෙත ප්‍රකාශ කර තිබිණි.ඔහු එම ප්‍රහාරයෙන් දිවිගලවාගෙන තිබෙන්නේ වැඩිහිටියෙක් තදින්ම අවවාද කිරීම හේතුවෙන් ආරක්ෂා සහිත ස්ථානයකට ගිය නිසාය.

1937 අප්‍රේල් 26 දා ජර්මන් සහ ඉතාලි ගුවන් හමුදාවන් ස්පාඤ්ඤය නගරයක් වූ ගුවර්නිකා විනාශ කරන ලදි.සිවිල් වැසියන් ඉලක්ක කර මහා පරිමාණයෙන් සිදුකල පළමු බෝම්බ හෙළීම ලෙස මෙය හැඳින්වේ.මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ 1937 මැයි 8 දාය.




මෙම බෝම්බ හෙළීම සිදුකලේ ජාතිකවාදී හමුදාවල ඉල්ලීම පරිදි එරට තුල සිවිල් යුද්ධයක් පැවති සමයකය.මෙහි දැක්වෙන්නේ විජයග්‍රාහී ජෙනරල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ(1939 සිට ඔහුගේ මරණය සිදුවු 1975 තෙක් ස්පාඤ්ඤ පාලනය කරන ලදි - ජාතිකවාදීන්ගේ පක්ෂයේ නායකයෙක්)සෙබලුන් ගුවර්නිකා නගරය ඔස්සේ ඇවිද යන අයුරු,1937 ඔක්තෝම්බර්.




ගුවර්නිකා බෝම්බ හෙළීම ජර්මන් ගුවන් හමුදාවට දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් සිදුකල පුහුණුවක් හා සමානය.




මෙම ප්‍රහාරයේදී ගිනි ගන්නා සුළු බෝම්බ යොදාගෙන තිබුණේ හානිය වැඩි කිරීම සඳහාය.




පැබ්ලෝ පිකාසෝ නම් සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා "ගුවර්නිකා" යනුවෙන් චිත්‍රයට නගන ලද්දේ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පසුව ගුවර්නිකා නගරය දිස්වූ අයුරුය.




ෆ්‍රැන්කෝගේ පාලන සමයේදී එනම් 1939 සිට 1975 කාලය අතර ,ගුවර්නිකා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ප්‍රකාශ කිරීම තහනම් කර තිබිණි.




තමන් එසේ නොකලා නම් අනිවාර්යෙන්ම බෝම්බ ප්‍රහාරවල ඉලක්කයක් වන බව ඔහු කියා තිබිණි.අනතුරු ඇඟවීමෙන් සුළු මොහොතකට පසුව ගුවර්නිකා නගරයේ ඉහල අහස යුද ගුවන් යානාවලින් පිරී ගියේය.දුසිම් තුනක් පමණ බෝම්බ නගර මධ්‍යට හෙළන ලදි.ප්‍රහාරය සිදුවන විට තමන් ඇතුලු පිරිසට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හටගත් බවත්,බෝම්බ පිපිරීමෙන් නිකුත් වූ කම්පන තරංග දරුණු ලෙස ශරීරයට දැනුනු බවත් ඔහු කියා සිටියේය.

බෝම්බ ප්‍රහාරයෙන් දිවිගලවාගත් සිවිල්වැසියන් දෙදෙනෙක් සමග ප්‍රහාරයෙන් පසුව කතා බහක යෙදෙන පූජකයෙක්




ෆ්‍රැන්කෝගේ හමුදා ගුවර්නිකා නගරය අත්පත් කරගැනීමෙන් පසුව ,ඌරෙක් සුන්බුන් අතර ආහාරයට යමක් සොයමින්.




මෙහි දැක්වෙන්නේ විනාශ වූ ගුවර්නිකා නගරය සහ 2007 වසරේ එය දිස් වු අයුරුය


බෝම්බ හෙළීම මිනිත්තු 30 පමණ කාලයක් පැවතිණි.බෝම්බ ප්‍රහාරවලින් 126 දෙනෙක් පමණ මරුමුවට පත්ව තිබූ අතර නගරයේ ගොඩනැගිලි වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබිණි.නමුත් සැබෑ මරණ ප්‍රමාණය සිවිල් යුද්ධයෙන් ජයගත් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කො විසින් හිතා මතා සඟවා ලූ බව ඉතිහාසඥයෝ කියති.ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ඇවිලී ගියේ 1936 වසරේ සිට 1939 දක්වාය.මෙහිදී රිපබ්ලිකන් පාර්ශ්විකයින් සහ ජාතිකවාදීන් අතර සටන් ඇතිවිය.නාසි ජර්මනිය ජාතිකවාදීන් පක්ෂය ගත් අතර ඔවුන්ගේ සහාය පිණිස මෙම ගුවන් ප්‍රහාරය එල්ල කරන ලද්දේ හයින්කල් වර්ගයේ බෝම්බ හෙළන යානා යොදාගෙනය.

බ්‍රිතාන්‍ය ලැන්කෙස්ටර් ගුවන් යානයක් ග්‍රෑන්ඩ් ස්ලෑම් බෝම්බයක් රැගෙන පියාසර කරන අයුරු.මෙහි බර රාත්තල් 22,000කි.


මෙහිදී යොදාගන්නා ලද්දේ රාත්තල් 110 බර සැහැල්ලු බෝම්බය.නමුත් අනාගත යුද්ධවලදී අධි බරැති දැවැන්ත බෝම්බ යොදාගන්නා ලදි.


ගෝතා බෝම්බ

මුල් කාලීනව ගුවනින් හෙළන ලද්දේ කුඩා ප්‍රමාණයේ අතින් එසවිය හැකි බෝම්බයි.1911-1912 සමයේදී පැවති ඉතාලි-තුර්කි යුද්ධයේදී(තුර්කිය සතු නූතන ලිබියාවේ ප්‍රදේශ අල්ලා ගැනීමට ඉතාලිය සමත්විය)ගුවන් නියමුවන් සිය කුටියේ සිට සතුරන් වෙත බෝම්බ හෙළන ලදි.පළමු ලෝක යුද්ධයේදී බෝම්බ වල ප්‍රමාණය ක්‍රමයෙන් විශාල විය.තවද බෝම්බ හෙළීම සඳහාම විශේෂිත යානා නිර්මාණය කෙරිණි.ජර්මනිය 1915 වසරේ පටන් ගුවන් නැව් යොදාගෙන එංගලන්තයට බෝම්බ හෙළන ලදි.1917 වර්ෂයේ පටන් ජර්මනිය ගෝතා  IV නම් ගුවන් යානා යොදාගෙන එංගලන්තයට බෝම්බ හෙළන්නට පටන් ගත්තේය.1918 වර්ෂයේ පෙබරවාරි 16 දා එංගලන්ත ගුවනට ඇතුලු වූ යානයක් කි.ග්‍රෑ,1000ක් බර බෝම්බයක් චෙල්සිහි රාජකීය රෝහලට හෙළන ලදි.එහිදී පුද්ගලයන් 21 මරණයට පත්විය.(ඡායාරූපය:ජර්මනිය විසින් ගෝතා  IV යානාවලින් හෙළන ලද විවිධ ප්‍රමාණවල බෝම්බ)





SC 2500 බෝම්බය

පළමු ලෝක යුද්ධයෙන් වසර 22කට පසුව ජර්මනිය යළිත් වරක් ලන්ඩන් නගරයට බෝම්බ වැසි වස්සවන ලදි.එහිදී ඔවුන් භාවිතා කල විශාලම බෝම්බයක් වූයේ SC 1800 සාටන්ය.එහි බර රාත්තල් 4000ක් පමණ විය.මෙම බෝම්බය රැගෙන ගියේ හයින්කල් හී-111 ගුවන් යානාවලිනි.මෙය අඩි 13ක් පමණ උස ,විෂ්කම්භය අඩි 2ක් පමණ වූ දැවැන්ත බෝම්බයක් විය.නාසීන්ගේ SC 2500 බෝම්බය ඊටත් වඩා විශාල,රාත්තල් 5500ක බරකින් යුක්ත විය.ජර්මනිය යුද්ධයේදී භාවිතා කල බරින් වැඩිම බෝම්බය ලෙසද එය සලකනු ලැබේ(ඡායාරූපය: ජර්මන් SC 2500 බෝම්බයක්).





පොලා පනින බෝම්බය - Upkeep

බ්‍රිතාන්‍යයේ ඩෑම්බස්ටර් බලගණය ලැන්කෙස්ටර් වර්ගයේ බෝම්බ හෙළන යානා 19කින් රැගෙන ගිය,රහසිගත ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස නිපදවූ අප්කීප් නම් බෝම්බ ජර්මනියේ රුහ් නිම්නයේ තිබූ මුනා සහ ඊඩර්සී නම් වේලි විනාශ කිරීමට යොදාගන්නා ලදි.මෙම මෙහෙයුම ඔපරේෂන් චැස්ටයිස් නමින් හැඳින්වූ අතර 1942 මැයි මස 16-17 දිනවල රාත්‍රියේ සහ අලුයම් කාලයේදී දියත් කරන ලදි.මේ සඳහා යොදාගත්තේ සිලින්ඩරාකාර රාත්තල් 9250ක් බර අප්කීප් නම් නාවික හමුදාව සබ්මැරීනවලට ප්‍රහාර එල්ල කිරීමට යොදාගන්නා ඩෙප්ත්චාර්ජර්ස් නම් බෝම්බවලට සමාන බෝම්බ වර්ගයකි.මෙම බෝම්බ වර්ගය ජලාශයක වේල්ලට යම් දුරක් තිබියදී ඉතා පහළින් පියාසර කරන ගුවන් යානයකින් ජලයට අතහරියි.ඉන්පසු බෝම්බය පොලා පනිමින් ඉදිරියට ගමන් කරයි.අවසනයේදී එය වේල්ලේ ගැටී සිරස්ව ජලය තුලට වැටී යම් දුරකදී පුපුරා යෑමෙන් වේල්ලට මහත් විනාශයක් ඇතිකරයි.මෙම බෝම්බයේ නිර්මාතෘ වන්නේ ශ්‍රීමත් බ්‍රාන්ස් වොලිස් නම් නිර්මාණකරුවාය.ඉන් ඇති කරන පිපිරීම අඩි කිහිපයක් ගනකම් කොන්ක්‍රීට් වේල්ලක සිදුරක් ඇතිකිරීමට ප්‍රමාණවත්ය(ඡායාරූපය:පොලා පනින බෝම්බයක් අත්හදා බැලීම).





ටෝල්බෝයි බෝම්බය

බ්‍රාන්ස් වොලිස් විසින් නිර්මාණය කල තවත් බෝම්බයක් වන්නේ රාත්තල් 12,000ක්(කි.ග්‍රෑ.5400) බර ටෝල්බෝයි නම් අර්ත්ක්වික් බෝම්බයයි(භූමිකම්පන බෝම්බය).ටෝල්බෝයි වර්ගයේ බෝම්බ 800කට වඩා බ්‍රිතාන්‍ය විසින් නිපදවා තිබේ.මේවා 1944 වසරේදී ජර්මනියේ වී-1, වී-2 රොකට් දියත් කරන ස්ථාන,දුම්රිය උමං මාර්ග සහ ජර්මන් සබ්මැරීන සඟවා තබන ස්ථාන ඉලක්ක කරගෙන හෙළන ලදි.ටර්පිට්ස් නම් ජර්මන් යුද නැවට පහරදීම සඳහාද මෙම බෝම්බ භාවිතා කර තිබේ.අඩි 21ක් දිග ටෝල්බෝයි බෝම්බ රැගෙන ගියේ ඇව්රෝ ලැන්කෙස්ටර් ගුවන් යානාවලය(ඡායාරූපය: Tallboy බෝම්බයක්).





ග්‍රෑන්ඩ් ස්ලෑම් බෝම්බය

ටෝල්බෝයි බෝම්බය පරයන විනාශයක් කල හැකි තවත් අර්ත්ක්වික් බෝම්බයක් බ්‍රාන්ස් වොලිස් විසින් නිර්මාණය කරන ලදි.එය ග්‍රැන්ඩ් ස්ලෑම් නම් රාත්තල් 22,000(කි.ග්‍රෑ.10000)ක් බර අඩි 26ක් දිග බෝම්බයකි.දෙවන ලෝක යුද්ධයේ අවසන් මාස දෙක තුල නාසි ජර්මනියට මහත් විනාශයක් සිදුකිරීමට මෙම වර්ගයේ බෝම්බ 42ක් යොදාගන්නා ලදි.ජර්මන් පාලම්,සබ්මැරීන සගවා තබන ස්ථාන ආදියට ග්‍රෑන්ඩ් ස්ලෑම් බෝම්බ හෙළන ලදි.අර්ත්ක්වික් වර්ගයේ බෝම්බ ඉහල උසක සිට හෙළනු ලබන්නේ ඉලක්ක කරන ගොඩනැගිලි,ඉදිකිරීම්වල දැඩි ගනකම් කොන්ක්‍රීට් ස්ථර බිදගෙන යෑමට අවශ්‍ය වේගය ලබා ගැනීමටයි.කොන්ක්‍රීට් ආස්ථරන බිදගෙන ගොස් බෝම්බය පුපුරා යන අතර ඉන් ඇතිකරන කම්පන තරංග මහත් විනාශයක් ඇතිකරයි(ඡායාරූපය: Grand Slam බෝම්බයක්).





ක්ලවුඩ්මේකර් බෝම්බය

බ්‍රිතාන්‍යයන්ගේ ටෝල්බෝයි සහ ග්‍රෑන්ඩ් ස්ලෑම් බෝම්බ වලට වඩා වැඩි විනාශයක් කල හැකි බෝම්බයක් අත්හදා බැලීමට ව්‍යාපෘතියක් 1944 වසරේදී එක්සත් ජනපදය විසින් ඇරඹීය.මෙම බෝම්බය ටී-12 ක්ලවුඩ්මේකර් නමින් හැඳින්වීය.මෙහි බර රාත්තල් 42,000(කි.ග්‍රෑ. 19000) විය.එකල මෙවැනි බෝම්බයක් ගෙන යෑමේ හැකියාව තිබූ එකම ගුවන් යානය වූයේ බී-36 නම් බෝම්බ හෙළන යානයයි.නමුත් ක්ලවුඩ්මේකර් බෝම්බ සංග්‍රාමයකදී භාවිතා කර නොමැත.මෙම වැඩසටහන 1948 වසරේදී අත්හිටුවන ලදි(ඡායාරූපය: T-12 Cloudmaker බෝම්බයක්).





ටාර්සන් බෝම්බය

රාත්තල් 13,000ක බරකින් යුක්ත වීබී-13 ටාර්සන් නම් බෝම්බය ක්ල්වුඩ්මේකර් බෝම්බය හා සැසඳීමේදී බරින් අඩු මුත් රේඩියෝ නියාමක බෝම්බයක් විය.එනම් මෙය ඇමෙරිකානුවන්ගේ මුල්ම "ස්මාට් බෝම්බ" ලෙසද හැඳින්විය හැකිය.1945 වර්ෂයේදී ආරම්භ කල මෙම ව්‍යාපෘතිය යටතේ නිපද වූ බෝම්බ 30කට වඩා බී-29 යානා යොදාගෙන කොරියාවේ කොමියුනිස්ට් බලාගාර සහ පාලම්වලට හෙළන ලදි(ඡායාරූපය:VB-13 Tarzon බෝම්බයක්).





ඩෙසි කටර් බෝම්බය

බීඑල්යූ-82 හෙවත් ඩෙසි කටර් යන පටබැඳි නාමයෙන් හඳුන්වන බෝම්බය වියට්නාම යුද්ධය සමයේ නිපදවන ලද්දකි.වියට්නාම යුද්ධය සමයේ ඇමෙරිකානු හමුදා අග්නිදිග ආසියානු වනාන්තරවලට ගොඩබැස්ස වීම සඳහා ක්ෂණිකව එළිපෙහෙලි වූ භූමියක් සකස් කරගැනීම සඳහා මෙම බෝම්බ කැළෑ සහිත ප්‍රදේශවලට හෙළන ලදි.රාත්තල් 15,000ක් පමණ බර බෝම්බ ප්‍රවාහනය කලේ සී-130 හර්කියුලිස් ගුවන් යානයකින් හෝ සීඑච්-54 එනම් පියාඹන දොඹකරය යන නමින් හැඳින්වූ හෙලිකොප්ටරය යොදාගෙනය.බෝම්බයක් බිම හෙළු විට පැරෂුරයක් දිග හැරෙන්නාක් මෙන් දැවැන්ත පිපිරීමක් සිදුවී මධ්‍යයේ ආවාටයක් ඇති නොකරමින් කි.මී.1 පමණ අරයක් සහිත ප්‍රදේශයක් එළිපෙහෙලි කර දෙයි.මෙම බෝම්බ වියට්නාම යුද්ධයේ අවසන් සමයේ,1991 වර්ෂයේ ගල්ෆ් යුද්ධයේදී සහ 2001 වසරේදී ඇෆ්ගන් යුද්ධයේදී භාවිතා කර තිබේ(ඡායාරූපය: BLU-82 “Daisy Cutter” බෝම්බයක්).





සියලුම බෝම්බ වල මව හෙවත් GBU-43 බෝම්බය

දෙවන ලෝක යුද සමයේ භාවිතා කල භූකම්පන බෝම්බවල පුනරාගමනය සලකුණු කල බෝම්බය ලෙස මෙය හැඳින්විය හැකිය.එක්සත් ජනපදය සතු න්‍යෂ්ඨික නොවන අවි සංචිතය සතු විශාලතම අවියක් ලෙසද මෙය සලකනු ලැබේ.GBU-43 බෝම්බයක් රාත්තල් 22,000ක බරකින් යුක්ත වන අතර අඩි 30ක් දිගය.මෙම බෝම්බයකට ටීඑන්ටී ටොන් 11කට සමාන පිපිරවීමක් සිදුකල හැකිය.එක් GBU-43 බෝම්බයක් 2003 වර්ෂයේ ගල්ෆ් කලාපයට යැවුවද එය භාවිතා කර නොමැත(ඡායාරූපය: GBU-43/B Massive Ordnance Air Blast බෝම්බයක්).





බංකර් බස්ටර් බෝම්බය

රාත්තල් 30,000ක් බර GBU-57A/B බංකර් බස්ටර් නම් බෝම්බය සතුරු බංකර් බිදගෙන අභ්‍යන්තරයට ගමන් කර පිපිරීයන ලෙස සැලසුම් කර තිබේ.මෙය එක්සත් ජනපදය ඊට පෙර භාවිතා කල එම වර්ගයේ බෝම්බවලට(රාත්තල් 5000 GBU-28 සහ GBU-37 බෝම්බ) වඩා වැඩි ගැඹුරකට ගමන් කරයි.ජීපීඑස් තාක්ෂණය යොදාගෙන මෙම බෝම්බය සිය ඉලක්කය වෙත නිවැරදිව ගමන් කරයි.බෝම්බයක් පළමුවරට අත්හදා බලන ලද්දේ 2007 වර්ෂයේදීය.දැනට ඇමෙරිකානු ගුවන් හමුදාව සතුව මෙවැනි බෝම්බ 20ක පමණ සංචිතයක් තිබෙන බව කියවේ(ඡායාරූපය: GBU-57A/B බෝම්බයක්).





සියලු බෝම්බවල පියා

2007 වසරේදී තමන් Aviation Thermobaric Bomb of Increased Power[ "Father of All Bombs" (FOAB)]නම් බෝම්බයක් නිපදවූ බව රුසියාව ප්‍රකාශයට පත් කරන ලදි.ගුවනින් හෙළන මෙම බෝම්බයක බර රාත්තල් 15000ක් විය.ඉන් ඇතිකරන පිපිරුම ටීඑන්ටී ටොන් 44ක් මගින් ඇතිකරන පිපිරීමකට සමානය.මානව ඉතිහාසය තුල නිපදවන ලද න්‍යෂ්ඨික නොවන වඩාත් විනාශකාරීම බෝම්බය ලෙසද මෙය සලකනු ලැබේ.රුසියාවට අනුව මෙවැනි බෝම්බ 100ක පමණ සංචිතයක් ඔවුන් සතුව තිබේ.




source:militaryhistorynow.com


ඉතිහාසයේ ප්‍රබලම සාම්ප්‍රදායික බෝම්බ ඉතිහාසයේ ප්‍රබලම සාම්ප්‍රදායික බෝම්බ Reviewed by HarshaLulzSec on July 12, 2018 Rating: 5
Powered by Blogger.