සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 29

June 30, 2018
ඩාරා පළාතේ සිටින හයාට් ටරිර් අල්-ෂාම් සහ නිදහස් සිරියානු හමුදා කැරලිකරුවන්ට එරෙහිව දියත් කල යුද මෙහෙයුම සාර්ථකව ඉදිරියටම ගෙන යාමට සිරියානු අරාබි හමුදාව,ටයිගර් බලකා සහ ඔවුන්ගේ මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් සමත් ව තිබේ.ඔවුහු අල්-හිරාක් නගරය,රක්හම් ,අල්-සුරාහ් සහ අල්මා යන ගම්මාන සහ 49 වන ගුවන් ආරක්ෂක බ්‍රිගේඩයේ මූලස්ථානය සහ ඒ ආසන්න ස්ථාන කිහිපයක්ද මුදා ගැනීම සමත් වූහ.

ඊට අමතරව ඩාරා නගරයට උතුරින් වූ සාඩ් ඉබ්ටා,ටෙල් හමාඩ් සහ 271 වන බ්‍රිගේඩයේ මූලස්ථානයද රජයේ හමුදාවන් විසින් මුදා ගන්නා ලදි.

ඩයිල් නගරය ආසන්නයේ වීවෘත කර තිබෙන මානුෂීය කොරිඩෝරය ඔස්සේ සටන් පවතින ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඉවත් යෑමට අවස්ථාව ලබා දී තිබේ.

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ සිරියානු අරාබි හමුදා දකුණු දිග සිරියාවේ මෙහෙයුම පුර්ණ ශක්තිය යොදවා දිගටම කරගෙන යනු ඇති බවයි.

ජූනි මස 28දා,නිරිත දිග දේශසීමාවේ අල්-බුකමාල් නගරයට එල්ල වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් සමත් විය.සිරියානු අරාබි හමුදාවට අනුව ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් වැඩි පිරිසක් එහිදී මිය ගොස් තිබේ.ඔවුන් පැමිණි එක් වාහනයක්ද ප්‍රති ප්‍රහාර හමුවේ විනාශ විය.

ජුනි මස 27දා වන විට සිරියානු රජයේ හමුදා ඩීර් එසෝර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලවල් වනසමින් වර්ග කිලෝමීටර් 5,200ක භූමි ප්‍රමාණයක් මුදා ගන්නා ලදි.කෙසේවෙතත් ඉරාක-සිරියා දේශසීමාව මුලුමනින්ම සුරක්ෂිත කිරීමට නම් තවත් මෙහෙයුම් සිදු කල යුතුව තිබේ.

පසුගිය දින කිහිපය ඇතුලත රුසියානු සෙබලුන් 1,140ක්,ගුවන් යානා 13 සහ හෙලිකොප්ටර් 14ක් සිරියාවේ සිට රුසියාවට ගෙන්වා ගත් බව රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටීන් ජූනි මස 28 දා පැවති හමුදා විද්‍යාපීඨවල උපාධිධාරීන්ගේ උත්සවයකදී ප්‍රකාශ කරන ලදි.සිරියාවේ සිටින රුසියානු හමුදා ඉවත් කර ගැනීම ආරම්භ වන්නේ 2017 දෙසැම්බර් මාසයේදීය.

පුටීන්ගේ ප්‍රකාශයට අනුව සිරියාවේ මෙහෙයුම්වලට සහභාගී වූ කමොව්-52 'ඇලිගේටර්' වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා කිහිපයක් සහ ඒවාහි කාර්ය මණ්ඩලයන්ද සිය මවු රට බලා ගොස් තිබේ.

කෙසේ වෙතත් රුසියාව ගුවන් යානා කිහිපයක් සිරියාවෙන් ඉවත් කර ගැනීම හරහා සිරියානු හමුදාවට ලබාදෙන ගුවන් ප්‍රහාරක සහාය නවතා දැමීමට යන බවක් නොකියවේ.මීට පෙරද මෙලෙසම ගුවන් යානා නැවත මවු රට බලා ගෙන්වා ගත් අවස්ථා තිබිණි.නමුත් මෙයින් පැහැදිලි වන්නේ සිරියානු අර්බුදයේ අලුත් අධිරයක ආරම්භයයි.අර්බුදය සම්බන්ධව රුසියාව රාජ්‍යතාන්ත්‍රිකව අමතර අවධානයක් යොමු කිරීමට සූදානම් වන බව එයින් ඇඟවේ.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 29 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 29 Reviewed by HarshaLulzSec on June 30, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 28

June 29, 2018
සිරියානු රජයේ හමුදා ඩීර් එසෝර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් වනසමින් වර්ග කිලෝමීටර් 5,200කට වැඩි භූමි ප්‍රමාණයක් මුදා ගන්නට සමත් වූ බව සිරියානු හමුදාව ජූනි 27දා ප්‍රකාශ කලේය.

සිරියානු අරාබි හමුදාව සහ මිත්‍ර කණ්ඩායම් මෙම ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කලේ ජූනි මස 20දාය.මෙතරම් සිඝ්‍රයෙන් විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට හැකිවූයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රතිරෝධය පහළ මට්ටමක තිබූ නිසා යැ‍යි අනුමාන කල හැකිය.මන්ද ත්‍රස්තවාදීන් බොහොමයක් හෝම්ස් කාන්තාරය දෙසට පසුබැස ගොස් තිබෙන නිසාය.

ඩාරා පළාතේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා තිබෙන මුලයිහා අල්-ෂාර්කියාහ්,මුලයිහා අල්-ගාර්බියාහ්,නහිටාහ් සහ සමා අල්-නිඩාට් යන ගම්මාන හයාට් ටරිර් අල්-ෂාම් කැරලිකරුවන්ගෙන් මුදා ගැනීම සමත් වූ අතර ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායම් අල්-හිරාක් ගම්මානයට ඇතුල්වී තිබේ.

වාර්තා වලට අනුව,රජයේ හමුදාවල ඉදිරි ගමන හමුවේ නිදහස් සිරියානු හමුදා කැරලිකරුවන් 450ක් යටත් විය.

ඒ අතරතුර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය අනුබද්ධ කලිඩ් ඉබ්න් අල්-වලිඩ් හමුදාව සහ එක්සත් ජනපදයේ සහාය ලබන නිදහස් සිරියානු හමුදා කැරලිකරුවන් දකුණු දිග සිරියාවේ සටන් විරාම ගිවිසුමකට එළඹ තිබේ යැ‍යි නීඩා සිරියා නම් පුවත් සේවය වාර්තා කරයි.

මෙම සටන් විරාමය නිල වශයෙන් නිවේදනය නොකලත්,දෙපාර්ශ්වය අතර පසුගිය දිනවල සටන් නොපැවතුණු බව වාර්තා වේ.මෙහි තිබෙන සිත් ගන්නා සුළු කරුණ වන්නේ ඔවුන් මෙම සටන් විරාම ගිවිසුමට එළඹෙන්නේ ඩාරා ප්‍රදේශයේ සිරියානු අරාබි හමුදාව යුද මෙහෙයුම් දියත් කිරීමට සමගාමීවයි.අවශ්‍ය විටෙක මධ්‍යස්ථ විපක්ෂ කණ්ඩායම්වලට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග එකඟත්වයකට පැමිණීමට හැකි බව මින් පැහැදිලිවේ.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 28 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 28 Reviewed by HarshaLulzSec on June 29, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 27

June 28, 2018
ටයිගර් බලකා සහ ජාතික ආරක්ෂක බලකා වල සහාය ඇතිව සිරියානු අරාබි හමුදාව විසින් බුස්රා අල්-හරිර් නගරය,මලිහාට් අල්-අටාෂ් ගම්මානය අත්පත් කර ගත් අතර ඔවුහු දැන් අල්-හිරාක් සහ නහිටා යන ගම්මාන දෙසට සටන් මෙහෙයවමින් සිටිති.

බස්රා අල්-හරිර් හිදී රජයේ හමුදාවන් විසින් යුද ටැංකි 5ක් පමණ සොයා ගන්නට සමත් විය.කැරලිකරුවන් විසින් අතහැර දැමූ ටී-72ඒ වී යුද ටැංකියක්,ටී-72 යුද ටැංකියක් සහ ටී-55එම් යුද ටැංකි 3ක් එලෙස හමුවූ වී තිබේ.

කැරලිකරුවන් දමා ගිය යුද ටැංකි






හයාට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස් රා) සටන්කාමීන් සීමා සහිත ප්‍රතිප්‍රහාර දියත් කලද ඒවා රජයේ හමුදාවල ඉදිරි ගමන අඩාල කිරීමට ප්‍රමාණවත් නොවීය.

ඒ අතරතුර,ඩාරා නගරයට ගිනිකොණදිගින් පිහිටි සිඕල්ස් සහ ගරාස් බන්ධනාගාරය අත්පත් කර ගැනීමට සිරියානු අරාබි හමුදාව අලුත් පෙරමුණක් නිර්මාණය කරමින් සිටියි යැයි රජයට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කරයි.එහි අරමුණ වන්නේ ඩාරා හි කැරලිකරුවන් සතු ප්‍රදේශය පැරවීමටත්,ඇල්නයිමාහ් ගම්මානය හරහා කඩා වෙන් කිරීමෙන් පළාතේ නැගෙනහිර ප්‍රදේශයේ වෙසෙන කැරලිකරුවන්ගේ ප්‍රධාන බලකොටුව වටලෑමයි.

සිරියාවේ ත්‍රස්තවාදී අර්බුදය දිග් ගැස්සවීමේ අරමුණින් යුතුව අල්-හසාකාහ් පළාතේ ට්වයිමින් ප්‍රදේශයේ සිටි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධාන අණදෙන නිලධාරීන් දෙදෙනෙක්ව හෙලිකොප්ටර් දෙකක් යොදාගෙන,ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය විසින් ඉවත් කරගෙන ගිය බව සානා නම් සිරියානු රජයේ පුවත් සේවය වාර්තා කරයි.මෙම ත්‍රස්තවාදීන් රැගෙන ගියා යැ‍යි සැලකෙන්නේ අල්-ෂඩාඩි හි ඇමෙරිකානු හමුදා කඳවුරක් වෙතටයි.

ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය වක්‍රාකාරව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සහාය ලබා දෙන්නේ යැ‍යි සිරියානු රජය,ඉරාන සහ රුසියාව දිගින් දිගට චෝදනා කරයි.සටන් බිමේ සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ව මිත්‍ර සන්ධානයේ පාලනය යටතේ ඇති ප්‍රදේශවලට ගුවන් යානා මගින් රැගෙන යන බවට අවස්ථා ගණනාවකදී සානා පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය මෙම චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරන අතර ඒවා තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස අර්ථ දක්වයි.ඒ අතරතුර ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා නිකුත් කරන ලද ප්‍රකාශ ගණනාවකින් එම චෝදනාවම සිරියානු අරාබි හමුදාවට සහ රුසියාවට එල්ල කරන්නේ එම පාර්ශ්වයද ත්‍රස්තවාදීන් සමග සහයෝගයෙන් ක්‍රියා කරන බවට දෝෂාරෝපණය කරමින්ය.

කෙසේවෙතත් දැනට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ශක්තිමත්ම ස්ථාන පිහිටා තිබෙන්නේ නැගෙනහිර සිරියාවේ යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේය.එම ප්‍රදේශවල මෙහෙයුම් දියත් කරන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ හමුදාය.එසේ නම් සානා පුවත් සේවය ඔවුන්ට එල්ල කරන චෝදනාවල සත්‍යයක් ඇති බව පෙනේ.චෝදනාවලට මිත්‍ර සන්ධානය සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා දක්වන ප්‍රතිචාර දුර්වල වීමත් සැකයක් මතු කරයි.

අනෙක් අතට යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ ත්‍රස්තවාදී තර්ජනය අවසන් කිරීමට ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය ඉක්මන් නොවන්නේ,එසේ කලහොත් ඔවුන්ට සිරියාවේ සිය හමුදා රදවා තැබීමට තිබෙන දුර්වල සාධාරණීකරණයත් ඉවත් වන නිසාවෙනි.ඔවුන්ගේ සැබෑ අරමුණු සඟවා ගැනීමට නම් දිගින් දිගටම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදීම විනා වෙනත් සාධාරණ හේතුවක් දැන් ඔවුන් සතුව නැත.ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ සැඟවුණු අභිමතාර්ථ වන්නේ නැගෙනහිර සිරියාව ඩැමැස්කස් රජයේ පාලනයට නතුවීම වැළැක්වීම,සිරියාව තුල රුසියානු බලය සීමා කිරීම සහ ඉරානයට එරෙහිව සිටින ඊශ්‍රායලයට සහාය ලබා දීමයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 27 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 27 Reviewed by HarshaLulzSec on June 28, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 26

June 27, 2018
ඩාරා පළාතේ ලජාට් දිස්ත්‍රික්කයේ සම්පුර්ණ පාලනය සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩාම් විසින් නතු කර ගත් බවට වාර්තාවේ.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ප්‍රදේශයේ සිටි කැරලිකරුවන් වැඩි පිරිසක් රජයේ හමුදාවන්ට යටත් වී ඇත.

ඊට අමතරව සිරියානු අරාබි හමුදාව සහ මිත්‍ර කණ්ඩායම් මලිහා අල්-අට්ෂ් ගම්මානය මුදා ගැනීමටත් බුසර් අල්-හරිර් හි මධ්‍යයට පැමිණීමටත් සමත්ව තිබේ.

මෙම වාර්තා තහවුරු වන්නේ නම්,පසුගිය සතියේ ආරම්භ වූ ඊසානදිග ඩාරා හි සටන්වලින් රජයේ හමුදා වර්ග කිලෝමීටර් 400ක් මුදාගෙන ඇත.

ඩාරා පළාතේ සිටින රජයේ හමුදා ඉලක්ක කරගෙන හයට් ටරිර් අල්-ෂාම් සංවිධානය(කලින් ජබාත් අල්-නුස්රා)දැවැන්ත ප්‍රහාරයක් එල්ල කල බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ජූනි 25දා නිවේදනය කලේය.එම ප්‍රහාරය ව්‍යර්ථ කල අතර එහිදී කැරලිකරුවෝ 70 මරණයට පත් වූ බව වාර්තා වේ.

මුදාගත් 'ලජාට්' ප්‍රදේශය රතු පැහැයෙන් මායිම් කර තිබේ


මෙම ප්‍රහාරය හරහා ඔවුහු උත්සාහ දැරුවේ ලජාට් දිස්ත්‍රික්කය තුල රජයේ හමුදාවල ඉදිරි ගමන කඩාකප්පල් කිරීමයි.

ජූනි මස 26දා ඊශ්‍රායලය විසින් සිරියාවේ ඩැමැස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාරයක් දියත් කරන ලදි.

රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ගුවන් තොටුපොල ආසන්නයට පතිත වූ මිසයිල ගණන දෙකකි.ඊශ්‍රායලයට පක්ෂපාතී මූලාශ්‍ර කියා සිටියේ ප්‍රහාරය ඉලක්කය ගුවන් තොටුපොලේ නවතා තිබූ ඉරාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවයි.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිරියානු ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වූ බව ප්‍රාදේශීය මූලාශ්‍ර පවසයි.කෙසේවෙතත් එමගින් සතුරු මිසයිල බිම හෙලුවේද යන්න නොපැහැදිලිය.

උතුරුදිග සිරියාවේ නීතිවිරෝධීව රැඳී සිටින ඇමෙරිකානු,ප්‍රංශ සහ තුර්කි ආදී විදේශීය හමුදාවන්ට එරෙහිව නැගී සිටීමට සූදානම් වීම ආරම්භ කල බව මැන්බිජ් හි පොපියුලර් රෙසිස්ටන්ස් නම් රජයට පක්ෂපාතී ගරිල්ලා කණ්ඩායම නිවේදනය කලේය.

අල්-හසාකාහ් හි පොපියුලර් රෙසිස්ටන්ස් නමින් ඊට සමාන කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී නැගෙනහිර සිරියාවෙන් ඉස්මතු විය.එම කණ්ඩායමද ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයට සහ එහි ප්‍රොක්සි හමුදාවලට ප්‍රහාර එල්ල කරන්නේ යැ‍යි තර්ජනය කර තිබිණි.කෙසේවෙතත් මේ දක්වා ඔවුන් සැලකිය යුතු මට්ටමේ ප්‍රහාර සිදු කර නොමැත.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 26 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 26 Reviewed by HarshaLulzSec on June 27, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 25

June 26, 2018
ජූනි මස 23දා දකුණුදිග සිරියාවේ ජනාවාස 11ක සිටි කැරලිකරුවන් සිරියානු අරාබි හමුදාව යටත් වූ අතර ඔවුහු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සහ හයාට් ටරීර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස්රා)කැරලිකරුවන්ට එරෙහි සටන් වදින්නට සූදානම් යැ‍යිද පැවසූ බව ජූනි මස 24දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි.

රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව නිදහස් සිරියානු හමුදා සටන්කරුවන් 900කට ආසන්න පිරිසක් මෙලෙස සිරියානු අරාබි හමුදාව එක්ව තිබේ.

ජූනි මස 24දා,සිරියානු අරාබි හමුදාව සහ ටයිගර් බලකා එක්ව හව්ෂ් හමාඩ් සහ ජඩෙල් ගම්මාන මුදා ගත් අතර ඩාරා නගරයට ඊසාන දිගින් පිහිටි බුස්රා අල්-හරිර් ගම්මානයට ඇතුල් වන්නට සමත් විය.කැරලිකරුවන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව මෙම මෙහෙයුම සඳහා රුසියානු ගුවන් හමුදාවේ සහායද හිමිවිය.

ජුනි 25 වන විටත් ප්‍රදේශයේ සටන් පැවතිණි.

දකුණු දිග සිරියාවේ කැරලිකරුවෝ තමන්ගේ අනාගත බලපැවැත්ම සම්බන්ධව තීරණ ගැනීමේදී,ඇමෙරිකානු හමුදා මැදිහත්වීමක් ගැන නොසලකා ක්‍රියා කල යුතු යැ‍යි අම්මාන්හි ඇමෙරිකානු තානාපති කාර්යාලය ජූනි මස 23දා නිකුත් කල ප්‍රකාශයක සඳහන් වේ.

දකුණු දිග සිරියාව සාමකාමීව සිරියානු රජයේ පාලනයට ඈදා ගැනීමේ අරමුණින් යුතුව සිරියානු රජය සහ රුසියාව ඩාරා පළාතේ සමහරක් නිදහස් සිරියානු හමුදා කණ්ඩායම් සමග සාමදාන ගිවිසුමක් සඳහා කතිකා කරන බවට වාර්තා පළවීමත් සමග ඇමෙරිකාව ඉහත ප්‍රකාශය නිකුත් කරන ලදි.

ජූනි 24දා උතුරුදිග හමා හි ස්ලින් ගම්මානය ආසන්නයේ සිදුවූ හයාට් ටරිර් අල්-ෂාම් කැරලිකරුවන්ගේ ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට සිරියානු අරාබි හමුදාව සමත් විය.කෙසේවෙතත් ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශය සාපේක්ෂව සන්සුන් බවක් ගෙන තිබේ.

තුවාර් අල්-රක්කා සේනාංකය සහ ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අතර කලහය රක්කා නගරයේදී ඇවිලී ගොස් තිබේ.එහිදී සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල ආරක්ෂක බලකා ලෙස කටයුතු කරන 'අසායිෂ්' නම් සංවිධානය ඔවුන්ගේ මූලස්ථානය තමන්ට භාර දී,තම සාමාජිකයන්ට කිහිපදෙනෙකුටත් පහර දුන් බව තුවාර් අල්-රක්කා සේනාංකය පවසයි.

රක්කාහි මෙම තත්ත්වයට හේතුව වන්නේ කුර්දි ආධිපත්‍යය යටතේ තිබෙන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ එහි සාමාජිකත්වය ප්‍රාදේශීය අරාබි කණ්ඩායම් අතර අසමගියයි.

ඒ අතරතුර සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ටෙල් සෆුක් දේශ සීමා පැන්නුමද ඇතුලුව ඉරාකයට ඇතුල්වන සීමාවේ විශාල ප්‍රදේශයක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මුදා ගන්නට සමත් විය.ඔවුහු සිය මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් වන දකුණුදිග අල්-හසාකාහ් ප්‍රදේශය අත්පත් කර ගැනීමට සමත් විය.

කුර්දින්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ඔවුන් ඊළඟට අවධානය යොමු කරන්නේ යුප්‍රටීස් නිම්නයේ සහ අල්-බුකමල් හි උතුරු ප්‍රදේශයේ සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් වෙතටයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 25 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 25 Reviewed by HarshaLulzSec on June 26, 2018 Rating: 5

යේමන් යුද්ධයේ හැරවුම් ලක්ෂය - අල්-හුඩයිඩාහ් සටන

June 25, 2018
සෞදි අරාබිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය සහ එහි ප්‍රොක්සි හමුදා යේමනයේ බටහිර ප්‍රදේශයේ වරාය නගරය වන අල්-හුඩයිඩාහ් හවුති කැරලිකරුවන්ගෙන් මුදා ගැනීම සඳහා වූ යුද මෙහෙයුම මේවන විට ක්‍රියාත්මකයි.

ජූනි මස 13 වනදා ආරම්භ නවතම යුද මෙහෙයුම,මීට පෙර මිත්‍ර සන්ධනයේ හමුදාවන්හි අසාර්ථක උත්සාහයන්ට වඩා ප්‍රගතියක් පෙන්වයි.ඔවුහු යේමනයේ බටහිර වෙරළ ඔස්සේ කුඩා කොරිඩෝරයක් විවෘත කරගෙන අල්-හුඩයිඩාහ් නගරයට දෙසට සාර්ථකව ලඟාවන්නට සමත්ව තිබේ.මෙවර මෙහෙයුම සඳහා මිත්‍ර සන්ධානයේ සහාය ලබන සටන්කරුවන් 25,000කට වැඩි පිරිසක්ද,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෙබලුන් 1,500 පමණද සහභාගි වේ.ඔවුන්ගේ සහායට සෞදි ගුවන් හමුදාව,විශේෂ මෙහෙයුම් බලකා සහ යුද ටැංකි ඇතුලුව යුදෝපකරණ රැසක් යොදවා තිබේ.

ප්‍රංශයේ ඩෙයිලි ලී ෆිගාරෝ පුවත්පතට අනුව ප්‍රංශ විශේෂ මෙහෙයුම් බලකා,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෙබලුන් සමග යේමනයේ මෙහෙයුම් සිදු කරයි.

මෙම මෙහෙයුමේ පළමු අධියරයේ අරමුණ වන්නේ අල්-හුඩයිඩාහ් නගරය හවුති කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශයෙන් වෙන් කිරීමයි.මිත්‍ර සන්ධානයේ නාවික හමුදා නගරය මුහුදින් වටලා ඇත.කෙසේවෙතත් ජූනි 13දා නගරය ආසන්න වෙරළට සෙබලුන් ගොඩ බැස්සවීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වූයේ හවුති කැරලිකරුවෝ නෞකා ඉලක්ක කරගෙන නෞකා නාශක මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.


ජූනි මස 18දා මිත්‍ර සන්ධානයේ හමුදා අල්-හුඩයිඩාහ් ගුවන් තොටුපොළට ඇතුල් වී එහි ප්‍රධානතම කොටසක බලය තහවුරු කර ගන්නට සමත් වූ බව වාර්තා විය.කෙසේවෙතත් ගුවන් තොටුපොළේ සමහර කොටස් තවමත් හවුති කැරලිකරුවන් සතුය.

මිත්‍ර සන්ධාන හමුදා අල්-හුඩයිඩාහ් හි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි අල්-මටාහෙන් වටරවුම අල්ලාගෙන නගරය ක්‍රමයෙන් සිය ග්‍රහණයට ගනිමින් සිටියි.මෙම ප්‍රගතිය අත් කරගත්තේ හවුති කැරලිකරුවන්ගේ ස්ථානවලට එල්ල කරන ලද මහා පරිමාණ ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවල උපකාරයෙනි.තවත් කරුණක් වන්නේ නගරය කඳුවලින් වට නොවූ භූමියක පිහිටා තිබීමයි.

හවුති කැරලිකරුවෝ ඊට ප්‍රතිචාර දැක්වූයේ සතුරන්ගේ සැපයුම් මාර්ගවලට පහර දීමෙන්ය.ජූනි මස 18දා,අලි අල්-එමාඩ් නම් හවුති නිලධාරියා අල්-මයාඩීන් නම් හිස්බුල්ලා සංවිධානයට පක්ෂපාතී නාලිකාවට පවසා තිබුණේ ජූනි මස 13දා සිට හවුති කැරලිකරුවන් විසින් අල්ලා ගත් මිත්‍ර සන්ධාන හමුදාවල සටන්කරුවන් ගණන 160 පමණ වන බවයි.

වීඩියෝ සහ ඡායාරූප වලින් පෙනෙන්නට තිබෙන්නේ මිත්‍ර සන්ධානයට යුදෝපකරණ විශාල වශයෙන් අහිමි වූ බවයි.

අල්-හුඩයිඩාහ් යනු යේමනයේ හවුති පාලන ප්‍රදේශ සහ ලෝකය සම්බන්ධ කරන ප්‍රධාන සහ අවසන් සැපයුම් මධ්‍යස්ථානයයි.තවද ජනතාවට මානුෂීය ආධාර ලබාදීමට ඉතිරිව තිබෙන එක මාර්ගයද මෙම නගරයයි.එසේම ඉරානයෙන් ලැබෙන සීමා සහිත යුදමය සැපයුම් හවුති කැරලිකරුවන් අතට පත් වන්නේ මෙම වරාය නගරය හරහාය.

මිත්‍ර සන්ධානයට මෙම නගරය යටත් කර ගැනීමට හැකි වුවහොත් යේමන යුද්ධයෙන් හවුති පක්ෂය පරාජය කිරීමේ සටනේදී එය හැරවුම් ලක්ෂයක් බවට පත් වීමට ඉඩ තිබේ.එහි ප්‍රතිඵලය මෙම සන්නද්ධ අරගලය ගරිල්ලා සටනක් බවට පෙරළීමයි.




source:southfront.org


යේමන් යුද්ධයේ හැරවුම් ලක්ෂය - අල්-හුඩයිඩාහ් සටන යේමන් යුද්ධයේ හැරවුම් ලක්ෂය - අල්-හුඩයිඩාහ් සටන Reviewed by HarshaLulzSec on June 25, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 22

June 23, 2018
නැගෙනහිර සිරියාවේ අල් ටන්ෆ් ප්‍රදේශය අවට ස්ථානගත වී සිටින සිරියානු රජයේ හමුදාවට ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය බෝම්බ හෙළු බව සිරියානු රජයට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කරයි.එහිදී සෙබලුන් දෙදෙනෙක් මරණයට පත් වූ බව සඳහන් වේ.හඳුනානොගත් පිරිසක් විසින් එක්සත් ජනපද මුර සංචාරක සෙබලුන් පහරදුන් බවට ඊට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කලේ යැ‍යි කැරලිකරුවන්ට සහ ඇමෙරිකාව පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කරයි.

මෙම සිදුවීම් සත්‍යයක් නම් ඇමෙරිකාව විසින් යටත් කරගෙන සිටින අල්-ටන්ෆ් ප්‍රදේශය මුල් කරගෙන අලුතින් ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් තිබේ.

ජූනි මස 21දා,සිරියානු හමුදාව බී එම්-30 ස්මර්ච් සහ බී එම්-27 උරගන් යන දැවැන්ත රොකට් ලෝන්චර්ස් සමග ඕ ටී ආර්-21 ටොච්කා නම් කෙටි දුර බැලස්ටික් මිසයිල දියත්කරණ රථ කිහිපයක් ඩාරා පළාතට යවන ලදි.

මෙම අවි පද්ධති දකුණුදිග සිරියාවේ කැරලිකරුවන්ට එරෙහි මෙහෙයුම සඳහා භාවිතා කරනු ඇත.

රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු හමුදා මේවන විටත් රොකට් ලෝන්චර් යොදාගෙන ඩාරා පළාතේ නැගෙනහිර ප්‍රදේශයේ බුස් රා අල්-හර්යිර්,මලිහාට් අල්-අට්ෂාන් සහ හිරාක් යන ගම්මානවල කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත පහරදෙමින් සිටියි.

ඒ අතරතුර දකුණුදිග සිරියාවේ කැරලිකාර කණ්ඩායම් 7ක් එකතු වී මධ්‍යම මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කල බව නිවේදන කරන ලදි.එමගින් කැරලිකාර කණ්ඩායම්වල ශක්තිය වඩාත් කාර්යක්ෂමව යොදා ගනිමින් සිරියානු අරාබි හමුදාවට සහ මිත්‍ර කණ්ඩායම්වලට එරෙහි වඩා හොඳ සටනක් දීමට බලාපොරොත්තුවේ.

2015 වර්ෂයේදී රුසියානු හමුදා සිරියාවේ මෙහෙයුම් ඇරඹීමත් සමග සිරියානු අරාබි හමුදා සමග සටන් වලදී කැරකලිකාර කණ්ඩායම් දිගින් දිගටම පරාජය වූයේ සහ පසුබැස්සේ ඔවුනොවුන් අතර සහයෝගය අවම වීමත් සමායෝජනයක් නොමැති කමත් නිසාය.පෙනෙන ආකාරයට දකුණුදිග සිරියාවේ කැරලිකරුවෝ එය පාඩමක් කරගෙන තිබේ.

නැගෙනහිර අල්-සුවයිඩා ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලවල් විනාශ කිරීම සඳහා ආරම්භ කල යුද මෙහෙයුම යටතේ මේවන විට කිරිබට් අල්-හිබාරියාහ් සහ  ඒ ආසන්නයේ ජනාවාස 11ක් මුදා ගන්නට සිරියානු අරාබි හමුදාව සමත් විය.වාර්තාවලට අනුව මෙම මෙහෙයුම සඳහා හිස්බුල්ලා සංවිධානයේ සටන්කරුවන්,සිරියානු සමාජීය ජාතිකවාදී පක්ෂය සහ ජාතික ආරක්ෂක බලකා වල සටන්කරුවන්ගේ සහායද ලැබී තිබේ.

ඇමෙරිකා-තුර්කි එකඟතාවයකට මුල් වූ උතුරුදිග සිරියාවේ මැන්බිජ් නගරයේ තත්ත්වය වර්ධනය වෙමින් තිබේ.තුර්කි විදේශ කටයුතු අමාත්‍ය මෙව්ලට් කැව්සොග්ලු ජූනි මස 21දා පැවසුවේ කුර්දි මහජන ආරක්ෂක ඒකක මැන්බිජ් වලින් ඉවත් වීම ජූනි මස 4 වනදා ආරම්භ කල බවයි.ජූනි මස 20දා එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය කියා සිටියේ තුර්කි හමුදා තවමත් මැන්බිජ් වෙත ඇතුල් වූයේ නැති කියාය.

කෙසේවෙතත් මැන්බිජ් හි ඉරණම සම්බන්ධව එකඟ වූ අවසන් කොන්දේසි තවමත් ප්‍රසිද්ධියට පත් කර නොමැත.එබැවින් ප්‍රදේශයේ තුර්කි හමුදා දියත් කිරීම තවමත් ප්‍රශ්නාර්ථයකි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 22 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 22 Reviewed by HarshaLulzSec on June 23, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 21

June 22, 2018
ඊසානදිග ඩාරා පිහිටි සුසයිකාහ් සහ අල්-ඩාල්ලාෆා යන ගම්මාන කැරලිකරුවන්ගේ මුදා ගන්නට සිරියානු අරාබි හමුදාව සහ ටයිගර් බලකායන් සමත් විය.මේ වන විට ඔවුන් කැරලිකරුවන් සතු අල්-අජාට් ප්‍රදේශය වටලෑම සඳහා එම ප්‍රදේශ වෙත දිවෙන සැපයුම් මාර්ග අවහිර කරමින් සිටිති.

කැරලිකරුවන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සටන් වලින් රජයේ හමුදා සෙබලුන් 7 දෙනෙක් වත් මියගොස් ඇත.ඊට අමතරව ඔවුහු වාහනය සහ යුද ටැංකියක් විනාශ කල බවද වාර්තා වේ.

අස්ටානා සාකච්ඡාවලදී තුර්කිය,ඉරානය සහ රුසියාව එකඟ වූ පරිදි පිහිටුවන ලද යුද මුක්ත කලාප අනතුරේ හෙළීම සඳහා හයාට් ටහිර්යිර් අල්-ෂාම් සහ අනෙකුත් කැරලිකාර කණ්ඩායම් දිගින් දිගටම රජයේ හමුදාවලට ප්‍රහාර එල්ල කරයි.එම ප්‍රහාරවලින් සිරියානු අරාබි හමුදාවේ සෙබලුන්,නිලධාරීන් ඇතුලුව 7 දෙනෙක් මරණයට පත්ව ඇත.

කැරලිකරුවන්ගේ ප්‍රහාර උත්සන්න වුවහොත් උතුරු ලටාකියා,දකුණු ඉඩ්ලිබ් සහ බටහිර ඇලැපෝ යන ප්‍රදේශ ආවරණය වන සේ යුදමය ක්‍රියා මාර්ගයකට අවතීරණය වන්නට සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් වලට සිදුවේවි.

හෝම්ස් පළාතේ පැල්මයිරා සහ හුමයිමාහ් යන ප්‍රදේශ අතර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලවල් වනසමින් වර්ග කිලෝ මීටර් 2,500ක භූමි ප්‍රමාණයක් නිදහස් කර ගන්නට සිරියානු අරාබි හමුදාව සමත් වූ බව සිරියානු රාජ්‍ය මාධ්‍යය ජූනි මස 20දා නිවේදනය කලේය.

රජයේ හමුදා මෙම යුද මෙහෙයුම්වලදී ජනාවාස 14ක් වත් මුදා ගැනීමට සමත්ව තිබේ.ඊට අමතරව ඩීර් එසෝර් පළාතේ දකුණුදිග කොටසේ ෆයිඩාට් ඉබන් මුයිනියා,ටී-2 පොම්පාගාර සංකීර්ණය,මයිස්ලියාහ් සහ ඩරාට් වඩි අල්-මියාහ් ආදි ප්‍රදේශ ඇතුලුව වර්ග කිලෝ මීටර් 1,200ක භූමි ප්‍රමාණයක් මුදාගෙන ඇත.

මීට පෙර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර ගණනාවක ඉලක්කයක් බවත් වූ සිරියා-ඉරාක දේශසීමාවේ පිහිටි අල්-බුකමල් නගරයට අමතර බල ඇණි කැඳවන්නට සිරියානු හමුදාව ක්‍රියා කලේය.

රජයේ හමුදා නැගෙනහිර අල්-සුවයිඩා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් ඉලක්ක කරගෙන දියත් කල මෙහෙයුමේදී ජනාවාස සහ වැදගත් කඳුමුදුන් ඇතුලුව ස්ථාන 11ක බලය තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.එනමුත් මෙම කාන්තාර ප්‍රදේශය තුල තවමත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදින් සිය ගණනක් මෙහෙයුම්වල නිරත වෙමින් සිටිති.

සිරියානු විපක්ෂය සඳහා වූ මොස්කව් වේදිකාවේ නායක කඩ්‍රි ජමිල්ට අනුව සිරියානු රජය සහ විපක්ෂයේ නියෝජිතයෝ අතර හමුවක් ජූලි මස 10දා පැවැත්වීමට සූදානම්ය.කෙසේවෙතත් මේ සඳහා විපක්ෂය නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න තවමත් ප්‍රශ්නයකි.එනම් තුර්කි සහාය ලබන කණ්ඩායම් මෙම හමුව ප්‍රතික්ෂේප කරයි.

ජනපතිවරයා නියෝජනය කරන සිරියාව සඳහා වූ නියෝජිත ඇලෙසැන්ඩර් ලැව්රෙන්ටියෙව් ප්‍රකාශ කලේ මෙම හමුව සඳහා කුර්දි නියෝජිතයෝ එක්වනු ඇති බවයි.

"මේ සඳහා විපක්ෂයේ කුර්දි සාමාජිකයෝ,රජයේ නියෝජිතයෝ සහ සිවිල් කමිටු සාමාජිකයෝ සහභාගී වනු ඇත.කුර්දීන් තුර්කිය පක්ෂපාතී සහ සිරියාවට පක්ෂපාති ලෙස වෙන් කිරීමෙන් අප වැළකී සිටිනවා.කුර්දි මහජන ආරක්ෂක ඒකක සහ ප්‍රජාතන්ත්‍රික එක්සත් පක්ෂය,තුර්කිය දකින්නේ ඍණාත්මකවයි." - ඇලෙසැන්ඩර් ලැව්රෙන්ටියෙව්

මෙම හමුවේදී රැස්වන කමිටුවෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවේ.එය ඩැමැස්කස්,අන්කාරා,ටෙහෙරාන් සහ මොස්කව් රජයන් සිරියානු අර්බුදය සාමකාමීව විසදා ගැනීම ඇති කරගත් රාජ්‍යතාන්ත්‍රික රාමුව ඔස්සේ එකඟ වූ එක් ප්‍රධාන කරුණකි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 21 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 21 Reviewed by HarshaLulzSec on June 22, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 20

June 21, 2018
ජූනි මස 19 දා දකුණුදිග සිරියාවේ ඩාරා නගරයට ඊසානදිගින් වු බසෙර් අල්-හර්යිර් ගම්මානය ආසන්නයේ කැරලිකාර කණ්ඩායම්වලට රජයේ හමුදා ප්‍රහාර එල්ල කරන ලදි.ජූනි මස 20දා දෙපාර්ශ්වය අතර කඩින් කඩ ගැටුම් ඇතිවුවද සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් විශාල වාසියක් අත් කරන්නට සමත් නොවීය.

රජයට පක්ෂපාතී මූලාශ්‍ර මෙම සිද්ධීන් අත්හදා බැලීමක් ලෙස විස්තර කරන අතර සැබෑ ආක්‍රමණය නුදුරේදීම සිදු වනු ඇත.

සිරියානු අරාබි හමුදාව ඩුවෙයිර් අල්-හරන් සහ මෙලිහිට් අල්-අටාෂ් යන ප්‍රදේශ සියතට ගත හොත් එම ප්‍රදේශයේ සිටින කැරලිකරුවෝ වටලෑමකට ලක්වන අතර එම ප්‍රදේශය කැරලිකරුවන් සතු ප්‍රධාන භූමියෙන් වෙන්වී යයි.

ඒ අතරතුර කාලතුවක්කු සහ යුද ටැංකි ඇතුලුව යුදෝපකරණ රැසක් ඩාරා පළාතට යැවීමට සිරියානු හමුදාව ක්‍රියා කරමින් සිටියි.

ජූනි මස 19දා ඊශ්‍රායලයට අයත් ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානයක් - ස්කයිලර් - ඊශ්‍රායලය අල්ලාගෙන සිටින ගෝලාන් උස්බිම්වලට නැගෙනහිර දෙසින් කුනීට්‍රා පළාතට කඩා වැටිණි.දකුණුදිග සිරියාවේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමට සිරියානු රජයේ හමුදා සූදානම් වීමත් සමග ඊශ්‍රායල හමුදාවද එම ප්‍රදේශය ආවරණය කරමින් සිදු කරන ඔත්තු බැලීමේ මෙහෙයුම් පුළුල් කරමින් ඇති බව පෙනේ.


බිම හෙළු ඊශ්‍රායල ඩ්‍රෝන් යානය




දකුණුදිග සිරියාවේ තවමත් සැලකිය යුතු තරම් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ හයට් ටහර්යිර් අල්-ෂාම් කැරලිකරුවන් ප්‍රමාණයක් සිටින බව සිරියාව වෙනුවෙන් පත් කල රුසියානු ජනපති නියෝජිත ඇලෙසැන්ඩර් ලැව් රෙන්චෙව් ජූනි මස 19දා ප්‍රකාශ කර තිබිණි.මෙම නිවේදනය සිදු කලේ තුර්කි,ඉරාන සහ රුසියා නියෝජිතයෝ යුද මුක්ත කලාප සම්බන්ධ ගිවිසුම පිළිබදව පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරයි.මෙම රාජ්‍ය විරෝධී,ත්‍රස්ත කණ්ඩයම් වල පැවැත්ම රුසියා-ඉරාන-සිරියා පක්ෂය නොඉවසන බව එම ප්‍රකාශයෙන් ඇඟවේ.

ටයාරා,අල්-බව්ඩාහ්,වාඩි අල්-ලුවයිසියාහ් සහ ඉරාක දේශ සීමා ආසන්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලවල් විනාශ කරන්නට සිරියානු අරාබි හමුදාව සහ මිත්‍ර කණ්ඩායම් සමත් විය.

එහිදී සිරියානු අරාබි හමුදාව ඉරාකයේ සටන්කාමී කණ්ඩායම් එකිනෙක මුණ ගැහුණේ ඉරාක-සිරියා දේශසීමාවේ,ගිනිකොණදිග ප්‍රදේශයේ හුමයිමාහ් ගම්මානයේදීය.

ඩැමැස්කස් රජයට පක්ෂපාතී හමුදා රැදී සිටි අල්-බුකමල් හි ගිනිකොණ දිග ප්‍රදේශයට ජූනි මස 18 දා ඇමෙරිකා-ඊශ්‍රායල-සන්ධානය එල්ල කල ගුවන් ප්‍රහාරවලින් පසුව ඉරාකයේ ඒකක නිවේදනය කලේ කවර පක්ෂයකින් විරෝධය එල්ල වුවද තමන් දේශසීමාව අවට ප්‍රදේශ සුරක්ෂිත කිරීමට සූදානම් වන බවයි.

නැගෙනහිර අල්-සුවයිඩා හි සටන්වලින්,කිර්බට් අල්-උම්බාෂි මුදා ගැනීමටත් අල්-කාරා දෙසට ගමන් කරන්නටත් සිරියානු අරාබි හමුදාව සමත් විය.අල්-කාරා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ රජයේ හමුදා අතර ගැටුම් පවතියි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 20 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 20 Reviewed by HarshaLulzSec on June 21, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 19

June 20, 2018
ජූනි මස 18දා,එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ හමුදා අල්-බුකමල් නගරයේ ගිණිකොණ දිග ප්‍රදේශයේ පිහිටි අල්-හිරි නම් ගම්මානයේ ස්ථානගතව සිටි සිරියානු රජයේ හමුදා ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර දියත් කල බව වාර්තා වේ.සිරියානු අරාබි හමුදාව ඉදිරියේ පරාජය වෙමින් සිටින ත්‍රස්තවාදීන් කණ්ඩායම් තුල චිත්ත ධෛර්යය වර්ධනය කිරීම මෙම ගුවන් ප්‍රහාරවල අරමුණ යැයි සිරියානු රජයේ මාධ්‍ය කියා සිටියි.

සිරියාව තුල තම නීතිවිරෝධී හමුදාමය මැදිහත් වීම සාධාරණීකරණය උදෙසා එරට තුල ත්‍රස්තවාදීන්ගේ පැවැත්ම එක්සත් ජනපදයට අත්‍යාවශ්‍ය කරුණක් බව ඒ වෙනුවෙන් ඇමෙරිකාව විවිධාකාරයෙන් මෙම ත්‍රස්තවාදීන්ට සහාය ලබාදෙන්නේ යැ‍යි සිරියාවේ සානා පුවත් සේවය චෝදනා කරයි.

එක්සත් ජනපදය නායකත්වය දරන සන්ධානය මෙම වාර්තා ප්‍රතික්ෂේප කරන අතර අල්-බුකමල් ආසන්නේ කිසිදු ගුවන් ප්‍රහාරයක් සිදු නොකල බව පවසයි.

කෙසේවෙතත් ප්‍රහාර වලින් තමන්ට සිදුවු හානිය තහවුරු කරන සාක්ෂි ඉදිරිපත් කරන්නට සිරියානු රජයේ පාර්ශ්වයට හැකිව තිබේ.වෙනස් මූලාශ්‍රවලට අනුව ගුවන් ප්‍රහාරවලින් මිය ගිය සහ තුවාල ලැබූ රජයට පක්ෂපාතී සටන්කරුවන් ගණන 30-90 අතර වේ.ඒ අතර ඩැමැස්කස් රජයේ පාර්ශ්වය වෙනුවෙන් සටන් වැදුණු ඉරාක සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයෝද සිටිති.

මෙම ප්‍රහාර සම්බන්ධව ඇගිල්ල දිගු වන අනෙක් පාර්ශ්වය ඊශ්‍රායලයයි.

එදිනම,කුර්දි ආධිපත්‍යය දරන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා විසින් පාලනය කල මැන්බිජ් නගරය ආසන්නයේ තුර්කි සහ ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධාන හමුදා ඒකාබද්ධ මුර සංචාරවල යෙදීම ආරම්භ කරන ලදි.සජුර් ගංගාව ආසන්නයේ තුර්කි රථ විනාශ සංඛ්‍යාවක් තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පට නිකුත් කර තිබේ.

තුර්කි විදේශ කටයුතු අමාත්‍ය  මෙව්ලට් කැව්සොග්ලු පැවසුවේ තුර්කි හමුදා මැන්බිජ් වෙත ඇතුල් වීම ආරම්භ කල බවයි.කෙසේවෙතත් ඔහුගේ ප්‍රකාශය තහවුරු කරන සාක්ෂි තවමත් ඉදිරිපත් කර නැත.

ඒ අතර සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තුර්කි සෙබලුන් මැන්බිජ් වෙත ඇතුල් නොවූ බවයි.කෙසේවෙතත් කුර්දීන්ට දැන් එම ප්‍රදේශය තුල සුළු බලයක් පමණක් ඉතිරිව තිබේ.සියල්ල රදා පවතින්නේ ඇමෙරිකා-තුර්කි එකඟතාවයේ කොන්දේසි මතයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 19 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 19 Reviewed by HarshaLulzSec on June 20, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 18

June 19, 2018
ජුනි මස 17 දා සිරියානු රජයේ හමුදා ටී 2 පොම්පාගාර සංකීර්ණය ආසන්නයේ කබ්ට් මවුන්ට්,ෂාඩිඩ් මුදුන සහ අබාර් වරාක් සහ බිර් අට්ෂාන් යන ප්‍රදේශ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත්වාදීන්ගෙන් මුදා ගැනීමට සමත් විය.

සටන්වලදී ත්‍රස්තවාදීන් 18 දෙනෙක් සහ හමුදා සෙබලුන් 8 දෙනෙක් මරණයට පත් වූ බව මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණායතනය පවසයි.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සටන්වලදී ත්‍රස්තවාදීන්ගේ වාහන කිහිපයක් විනාශ විය.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට පක්ෂපාතී අමාක් නම් පුවත් ඒජන්සියට අනුව ත්‍රස්තවාදීන් සැඟව සිට එල්ල කල ප්‍රහාරයකින් සිරියානු අරාබි හමුදාවේ යුද ටැංකියක් සහ වාහනයක් විනාශ විය.

සිරියානු හමුදාවේ මේ ඉදිරි ගමනේ අරමුණ හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ සහ නැගෙනහිර සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලවල් විනාශ කිරීමයි.

අමතර බලඇණි කැඳවීමෙන් පසුව නැගෙනහිර අල්-සුවයිඩා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී තිප් පොලවල් විනාශ කිරීමේ මෙහෙයුම යළි දියත් කරන්නට සිරියානු අරාබි හමුදා ක්‍රියා කලේය.මෙහෙයුමේ ප්‍රධාන ඉලක්ක වන්නේ අවුර්,හිබාරියාහ් සහ ආසන්න ජනාවසයන්ය.ජූනි මස 16දා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියානු අරාබි හමුදාවේ රථයක් අල්-හරාමියාහ් ආසන්නයේදී විනාශ කරන ලදි.

ජෙනරල් සුහෙයිල් අල්-හසාන්ගේ නායකත්වය යටතේ පවතින ටයිගර් බලකාහි අතිරේක ඒකක ඩාරා පළාත පැමිණි අතර ඔවුන් එහි දියත් කිරීමට නියමිත යුද මෙහෙයුම සඳහා සහභාගි වනු ඇත.කැරලිකරුවන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව දෙපාර්ශ්වයට ඩාරා පළාත සම්බන්ධව සාමදාන ගිවිසුමකට පැමිණීමට තවත් හැකියාව ලැබී නැත.

ජූනි මස 17දා ඩෂිෂා ගම්මානය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සමත්ව තිබේ.ඊට අමතරව එම හමුදා අල්-නසිරාහ් සහ ටෙල් අල්-ජබිර් යන ප්‍රදේශද අත්පත් කරගෙන ඇත.එහි සිටි ත්‍රස්තවාදීන් ඉරාක දේශසීමාව දෙසට පසුබැස ගියහ.

කුර්දීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා දේශසීමාව සම්පුර්ණයෙන්ම ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සැලසුම් කර තිබේ.කෙසේවෙතත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් වැඩි ප්‍රමාණයක් සිටින යුප්‍රටීස් නිම්නය සම්බන්ධව ඇමෙරිකානු සහාය ලබන හමුදා සිය අවධානය යොමු කරන්නේ කවදාද යන්න අපැහැදිලිය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 18 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 18 Reviewed by HarshaLulzSec on June 19, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 15

June 17, 2018
රුසියාව සහ තුර්කිය ඇලපෝ පළාතේ ටෙල් රිෆාට් නගරය  සම්බන්ධව එකඟතාවයකට එළඹී ඇතැයි ලන්ඩනය මූලික කරගත් අල්-අරාබි අල්-ජඩීඩ් නම් පුවත්පත ජූනි මස 14දා වාර්තා කර තිබිණි.

එම එකඟතාවයට අනුව තුර්කි හමුදාවත් ,රුසියානු හමුදා පොලිසියත් ටෙල් රිෆාට් නගරය තුල රැද වේ.කෙසේවෙතත් මෙම නගරයට රුසියානු හමුදා පොලිසිය කැඳවූයේ මාස කිහිපයකට පෙරය.සිරියානු අරාබි හමුදාව සහ කුර්දි මහජන ආරක්ෂක ඒකක ටෙල් රිෆාට්න ගරයෙන් ඉවත් වනු ඇත.තවද තුර්කියේ සහාය හිමි රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ට ප්‍රදේශයට ඇතුල්වීම තහනම් වනු ඇත.

එකඟතාවයේ අරමුණ වනුයේ ප්‍රදේශයේ සටන් විරාමයක් පවත්වා ගැනීමත් ඒ හරහා සිවිල් වැසියන්ට ටෙල් රිෆාට්න ගරයේ යළි පදිංචි වීමට අවස්ථාව සලසාදීමත්ය.

සමහරක් රාජ්‍ය පාක්ෂික මූලාශ්‍රවලට අනුව සිරියානු අරාබි හමුදාව ටෙල් රිෆාට්න ගරයෙන් ඉවත් වීමට සූදානමින් පසුවේ.2018 වර්ෂයේ මුල් භාගයේදී සිරියානු අරාබි හමුදා ඒකක මෙම නගරයට කැදවූයේ අෆ්රින් නගරයේ කුර්දි සටන්කාමීන් ඉලක්ක කරගෙන තුර්කිය යුද මෙහෙයුමක් ඇරඹීමෙන් පසුවයි.

ඇලපෝ පළාතේ හයට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස් රා) සහ සිරියානු විමුක්ති පෙරමුණ(කලින් අරාර් අල්-ෂාම්)යන කණ්ඩායම් ඉලක්ක කරගෙන රුසියානු ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරන ලදි.මෙම ප්‍රහාරවලට හේතුවූයේ සටන්කාමී කණ්ඩායම් ඇලපෝ නගරයේ රජයේ පාලනයට යටතේ තිබෙන ප්‍රදේශවලට සිදු කරන පහරදීම්ය.බොහෝ විට ඔවුන් සිදු කරන්නේ පහර දී පළා යෑමයි.

ජූනි මස 14 දා,දකුණුදිග සිරියාවේ සාමදාන කොමිටුවේ සාමාජිකයෙක් වූ වෛද්‍ය මූසා කන්බාස් නාඳුනන තුවක්කුකරුවෙක්ගේ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත් විය.ප්‍රහාරය එල්ල වූයේ වයඹදිග ඩාරා හි අල්-හරා නගරයේ තිබූ ඔහුගේ පුද්ගලික සායන මධ්‍යස්ථානයක් ඉදිරිපිටයි.මෙම කොමිටුවේ තවත් සාමාජිකයන් තිදෙනෙක් වූ ටුෆික් අල්-ගුනීම්,මොහොමඩ් අල්-ගුනීම් සහ මුෆාක් අල්-බාර්ගස් යන අය ජූනි මස 2දා ඝාතනය කරන ලදි.මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණායතනයට අනුව මෙම කොමිටුවේ සාමාජිකයෝ 12 දෙනෙක් වත් පසුගිය මාස 2 කාලය තුල ඝාතනයට ලක්ව ඇත.

සමහර සටන්කාමී කණ්ඩායම් සහ ඔවුන්ගේ විදේශීය අනුග්‍රාහකයෝ(එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය)මෙම ඝාතන රැල්ල හරහා ඩැමැස්කස් රජය දකුණුදිග සිරියාවේ පාලනය සාමකාමී ක්‍රියාමාර්ග ඔස්සේ අත්පත් කර ගැනීමට දරන උත්සාහය ව්‍යර්ථ කිරීම සඳහා  ප්‍රයත්න දරන බව සිරියානු විශේෂඥයෝ පවසති.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 15 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 15 Reviewed by HarshaLulzSec on June 17, 2018 Rating: 5

යේමන යුද වාර්තාව - 2018 ජූනි 14 - හුඩයිඩා සටන

June 16, 2018
සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය යේමයේ හුඩයිඩා නම් වරාය නගරය හවුති  කැරලිකරුවන්ගෙන් මුදා ගැනීම සඳහා 2018 ජූනි මස 13දා අලුත් මෙහෙයුමක් ආරම්භ කරන ලදි.

"වරාය මුදා ගැනීම ඇරඹෙන්නේ  හවුති කැරලිකරුවන්ගේ පසුබැසීමත් සමගයි.එමගින් බාබ් අල්මඩෙඩ් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත ගමනාගමන කටයුතු කිරීමට ඉඩ ලැබීමත් ඉරානයෙන් ලැබෙන යුදමය ආධාර කපා දැමීමට හැකිවේවි." - සෞදි අරාබියේ සහාය ලබන යේමන් රජයේ ප්‍රධානී අබ්ඩ් රබුහ් මන්සුර් හාඩි

පාබල මෙහෙයුම්වලට සෞදිය ප්‍රමුඛ සන්ධානයේ ගුවන් හමුදා සහ නාවික හමුදා සහාය ලැබෙන බව වාර්තා වේ.සෞදියට සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යයට පක්ෂපාතී වාර්තාවලට අනුව හමුදා දිශා කිහිපයකින් නගරයට පහරදෙමින් ඇත.කෙසේ වෙතත් ප්‍රාදේශීය වාර්තාවලට අනුව ප්‍රධානතම ආක්‍රමණය සිදු වන්නේ හුඩයිඩා නගරයට දකුණින්  වූ ගුවන් තොටුපොල දෙසින්ය.

එදිනම යේමන නාවික හමුදාව(හවුති කැරලිකරුවන්ට පක්ෂපාතී)නිවේදනය කලේ ඔවුන් හුඩයිඩා ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ සෞදිය ප්‍රමුඛ සන්ධානයට අයත් නෞකාවක් ඉලක්ක කර නෞකා නාශක මිසයිල දෙකක් දියත් කල බවයි.නාවික හමුදාවට අනුව ඉලක්ක කල නෞකාව හුඩයිඩා නගරයට පහර දෙන්නට යොදාගත් එකකි.නෞකා කිහිපයක් යොදාගෙන සෙබලුන් වෙරළ ගොඩබැස්සවීමට දැරූ උත්සාහයක්,මෙම මිසයිල ප්‍රහාර හරහා ව්‍යර්ථව ගිය බව සඳහන් වේ.


පසුගිය මාස කිහිපය තුලම හවුති විරෝධී සන්ධානයේ හමුදා කිහිප වරක්ම හුඩයිඩා නගරය අල්ලා ගැනීමට වෑයම් කලද ඒවා අසාර්ථක විය.

සෞදිය ප්‍රමුඛ සන්ධානය කියන්නේ ඉරානයෙන් රැගෙන අවි හවුති කැරලිකරුවන්ට ලැබෙන්නේ මෙම වාරය නගරය ඔස්සේ බවයි.හවුති විරෝධී සන්ධානයේ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා පුපුරණද්‍රව්‍ය සහිත බෝට්ටු නිර්මාණය කරන එක් ස්ථානයක් ලෙසද හවුති කැරලිකරුවෝ මෙම වරාය නගරය භාවිතා කරයි.

හවුති පාලනයට නතු ප්‍රදේශවලට මානුෂීය ආධාර සැපයීම  දැනට ඉතිරිව තිබෙන එකම මාර්ගය හුඩයිඩාහ් නගරයයි.




source:southfront.org


යේමන යුද වාර්තාව - 2018 ජූනි 14 - හුඩයිඩා සටන යේමන යුද වාර්තාව - 2018 ජූනි 14 - හුඩයිඩා සටන Reviewed by HarshaLulzSec on June 16, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 13

June 14, 2018

සිරියානු හමුදාව අමතර 'පැන්ට්සියර්-එස් 1' කෙටි-මධ්‍යම පරාස ගුවන් ආරක්ෂක පද්ධති කිහිපයක් සිරියාවේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවලට යැවූ බව රජයට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කරයි.

අමතර 'පැන්ට්සියර්-එස් 1 ' පද්ධතීන්,ඊශ්‍රායලය විසින් යටත් කර ගත් ගෝලාන් උස්බිම් ආසන්නයේ ස්ථානගත කර තිබේ යැ‍යි හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ඒකකය ජූනි මස 12දා වාර්තා කර තිබිණි.මෙහි අරමුණු වන්නේ දකුණුදිග සිරියාවේ ඩාරා හි කැරලිකරුවන් ඉලක්ක කරගෙන දියත් කරන යුද මෙහෙයුම්වලදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ඔස්සේ ප්‍රතිචාර දැක්වුවහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමටයි.

රජයේ හමුදා සහ ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ හමුදා අතර ආතතිය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ඩීර් එසෝර් පළාතට අමතර 'පැන්ට්සියර්- එස් 1' පද්ධතීන් යවනු ඇතැයි ජූනි මස 11දා වාර්තා පළ වී තිබිණි.

හුමයිමාහ්-ටී2 පොම්පාගාර සංකීර්ණය-මුඅසිලාහ් ප්‍රදේශයෙන් එල්ල වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට සිරියානු රජයේ හමුදා සමත් විය.යුප්‍රටීස් ගංගාවේ බටහිර ඉවුරේ තත්ත්වය තවමත් අස්ථාවරය.

ඩීර් එසෝර් පලාතේ සිටින සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවලට සහාය වනු පිණිස ඉතාලිය සිය හමුදා සිරියාවට එවා ඇතැයි තුර්කි මාධ්‍ය  ජූනි මස 12දා වාර්තා කර තිබිණි.

එම වාර්තාවලට අනුව ඉතාලි හමුදා ඉරාකය හරහා සිරියාවට ඇතුල් වී හසාකා නගරයට පැමිණ එතනින් ඔමාර් තෙල් නිධිය ආසන්නයේ ඇමෙරිකානු කඳවුරට ළඟා වූ බව සඳහන් වේ.එසේ පැමිණි ඉතාලි සෙබලුන් ගණන කොපමණ දැයි සඳහන් නොවේ.

ඉරාක දේශ සීමාව ආසන්නයේ ඩෂිෂාහ් නගරයට බටහිරින් වූ අල්-අල්-ජයෙර්,හුල්වාහ් සහ ඩරාල් කටාබ් යන ප්‍රදේශ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගන්නට සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සමත් විය.ඔවුන්ගේ මෙහෙයුම් අතරතුර මුදාගෙන තිබෙන ජනාවාස ගණන 20 යැ‍යි සඳහන් වේ.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 13 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 13 Reviewed by HarshaLulzSec on June 14, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 12

June 13, 2018
සිරියාවේ ඇමෙරිකානු හමුදා රැදී සිටින අල්-ටන්ෆ් ප්‍රදේශයේ සිට නැගෙනහිර සිරියාවේ පැල්මයිරා පෞරාණික නගරයට එල්ල වූ කැරලිකරුවන්ගේ ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට රජයට පක්ෂපාති හමුදා සහ රුසියානු ගුවන් හමුදාව සමත් වූ බව රුසියාව කීය.

මැෂින් තුවක්කුවලින් සන්නද්ධව මෝටර් සයිකල් සහ වාහන වලින් පැමිණෙන කැරලිකරුවන් කණ්ඩායම් දුර තියා අනාවරණය කර ගන්නට සිරියානු රජයේ හමුදා සමත් ව තිබේ.ප්‍රතිප්‍රහාරවලින් කැරලිකරුවන් සිව්දෙනෙක් මියගොස් මෝටර් සයිකලයක් සහ වාහනයක් විනාශ විය.

නිදහස් සිරියානු හමුදාව සහ එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් බලකා එක්ව සිරියාවේ ඩීර් එසෝර් පළාත තුල රසායනික අවි යොදාගෙන ප්‍රහාර දියත් කර ප්‍රකෝප කරවීම් ගණනාවක් සඳහා සූදානම් වන්නේ යැ‍යි ජූනි මස 11දා රුසියානු හමුදාවේ  ප්‍රකාශක මේජර් ජෙනරල් ඉගෝර් කොනාෂෙන්කොව් පැවසීය.මෙවර නාටකයේ අරමුණ සිරියානු රජයේ මර්මස්ථාන වෙත අලුත් මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කිරීමට ව්‍යාජ හේතුවක් ලෝකයා ඉදිරියේ මවා පෑමයි.ඒ හරහා තම සහාය ලබන රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ට යුප්‍රටීස් නිම්නයේ සිටින සිරියානු රජයේ හමුදාවන්ට එරෙහිව සාර්ථක ප්‍රහාරයක් දියත් කිරීමට අවස්ථාව සලසා දෙනු ඇත.

එක්සත් ජනපදය විසින් කුර්දි ආධිපත්‍ය දරන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවන්ට හම්වී ජිප් රථ,බර අවි සහ ඩබල් කැබ් රථ ඇතුලුව ට්‍රක් රථ 250 පමණ සපයා දී ඇතැයි රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ කුර්දි මූලාශ්‍ර උපුටා දක්වමින්ය.

මූලාශ්‍රවලට  අවි සහ සන්නද්ධ රථ  සිරියාවේ ඩීර් එසෝර් වෙත රැගෙන විත් තිබෙන්නේ උතුරු ඉරාකයේ සිට සෙමෙල්කා දේශසීමා පැන්නුම හරහාය.

ඒ අතරතුර හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරය සිට හුමයිමාහ් -ටී2 පොම්පාගාර සංකීර්ණය-මුඅසිලාහ් ඔස්සේ රජයේ හමුදාවන්ට එරෙහිව එල්ල වන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර තවදුරටත් සිදුවෙමින් තිබේ.සිරියානු රජයේ හමුදා එම ප්‍රහාර ව්‍යර්ථ කලද ප්‍රදේශයේ තත්ත්වය තවමත් අනාරක්ෂිතය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 12 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 12 Reviewed by HarshaLulzSec on June 13, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 11

June 12, 2018
සිරියා-ඉරාක දේශසීමා ආසන්නයේ අල්-බුකමල් නගරය ඉලක්ක කරගෙන පසුගිය සති අන්තයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු එල්ල කරන ලද ප්‍රහාර මාලාවන් කිහිපයක්ම ව්‍යර්ථ කරන්නට සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් සමත් විය.ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ බෝම්බ සවිකල රථද ප්‍රහාර සඳහා යොදාගෙන තිබේ.එහි අරමුණ වූයේ සිරියානු අරාබි හමුදාවේ ආරක්ෂක වළල්ල බිද දමා වැදගත් ස්ථාන වල බලය තහවුරු කර ගැනීමයි.නමුත් ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය.

ජූනි මස 8-10 අතර කාලයේ ඇතිවූ සටන් වලදී රජයේ පාර්ශ්වයේ සටන්කරුවෝ 35ක් පමණ මිය ගිය බව විපක්ෂයට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කරයි.අනෙක් පසින් සිරියානු අරාබි හමුදා විසින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 20 කට ආසන්න පිරිසක් මරා දමා බෝම්බ සහිත මෝටර් රථ 2ක් විනාශ කර තිබේ.

්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අලුතින් ඒකක කිහිපයක් පිටත් කර හරින්නට සිරියානු අරාබි හමුදාව ක්‍රියා කලේය.

ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව අල්-බුකමල් නගරය යළි යටත් කර ගැනීමට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දැරූ සියලු ප්‍රයත්නයන් සිදු වූයේ යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරු ප්‍රදේශයේ සිටය.එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය සහ එහි ප්‍රොක්සි හමුදා මෙම ත්‍රස්තවාදී කණ්ඩායම සමග සටන් වැදී සිටින්නේද මෙම ප්‍රදේශයේ වීම විශේෂත්වයකි.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඉතිරිව තිබෙන බලකොටු පිහිටා තිබෙන්නේ එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ පාලනය යටතේ තිබෙන ප්‍රදේශවල බව රුසියානු හමුදාවේ ප්‍රකාශක මේජර් ජෙනරල් කොනාෂෙන්කොව් පැවසීය.ඉතිරිව තිබෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ තිප්පොලවල් සක්‍රියව පවතින්නේ අල්-ටන්ෆ් සහ යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ යැයි ඔහුගේ ප්‍රකාශයේ වක්‍රාකාරව කියවේ.

ඒ අතරතුර සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ඩෂීෂා නගරය අල්ලා ගැනීමට ඉදිරියට ඇදෙමින් සිටියි.ඔවුන් අබු හම්ඩාහ්,ෂමාස් සහ ල්-හුල්වා යන ගම්මානවල බලය අල්ලා ගැනීමට සමත් විය.ඔවුන්ගේ මෙහෙයුමට ඉරාක හමුදාවල ගුවන් ප්‍රහාරක සහ කාලතුවක්කු ප්‍රහාරක ශක්තියේද සහාය ලැබෙන අතර මීට පෙර දේශසීමාව ආසන්නයේ සහ යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන ලදි.

සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ මිත්‍ර සන්ධානය යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අයත් ගම්මාන මඟ හරිමින් මෙහෙයුම් සිදු කරන්නේ ඇයිද යන්න පැහැදිලි නැත.මේ නොසලකා හැරීම ඔස්සේ රජයේ හමුදාවලට,ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා වක්‍රාකාරයෙන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සහාය දෙන්නේ යැ‍යි අනුමාන කිරීමට මග සකස් කර දී ඇත.

අරාර් නිම්නය සහ රාසම් හාටිට් ගම්මානය මුදාගනිමින් නැගෙනහිර අල්-සුවයිඩා ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් මුලිනුපුටා දැමීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබේ.ත්‍රස්තවාදීන්ට අයත් අමාක් නම් පුවත් ඒජන්සියට අනුව සටන් වලදී රජයේ හමුදා සෙබලුන් 12 දෙනෙක් මරණයට පත්ව ඇත.කෙසේවෙතත් දීර්ඝ කාලයක් රජයේ හමුදාවන්ට එරෙහිව ප්‍රතිරෝධය දක්වන්නට මෙම ත්‍රස්තවාදී කණ්ඩායම්වලට නොහැකිය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 11 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 11 Reviewed by HarshaLulzSec on June 12, 2018 Rating: 5

යුද අවිවල සුසාන බිම් - 2

June 11, 2018
ජොන්ස්ටන් දූපත-අතහැර දැමූ නාවික හමුදා කඳවුර

ලොව පුරා හුදකලා වූ හමුදා කඳවුරු රැසක් තිබුණත් ජොන්ස්ටන් අතොළුව(Johnston Atoll) වැනි ඉතා දුරින් පිහිටි(ජනාවාසවලින්) හමුදා කඳවුරු ඇත්තේ සුළු ප්‍රමාණයකි.මෙය මධ්‍යම පැසිෆික් සාගරයේ පිහිටි ගුවන් පථයකට වඩා දෙයක් නොපෙනෙන කඳවුරක් වුවද අතහැර දැමීමට පෙර කවර ආකාරයේ ඉදිකිරීම් තිබුණේද යැයි සිතාගත හැකිය.බොහෝවිට මෙහි භූගත පහසුකම් තිබෙන්නට ඉඩ ඇති.ජොන්ස්ටන් අතොළුව එක්සත් ජනපදයට අයත් භූමියකි.මේ අවට තිබෙන දූපත් ඇතුලුව වර්ග කිලෝ මිටර් 50ක භුමියක් ඔවුන් සතුය.ඒවා අතර ජොන්ස්ටන් දූපත ප්‍රධාන වේ.1926 වසරේ ලැබුණු නියෝග පරිදි මෙහි පක්ෂීන්ගේ අභ‍යභූමියක් ස්ථාපනය කෙරුණද 1934 දී එහි පාලනය එක්සත් ජනපද නාවික හමුදාව යටතට පත් කෙරිණි.ඉන්පසු මෙම දූපත න්‍යෂ්ඨික අවි අත්හදා බලන භූමියක් බවට පත්විය.
 
Johnston Atoll පිහිටීම

මෙම දූපත හවායි දූපත්වලට නාවුක සැතපුම් 750ක් බටහිර දෙසින් පිහිටි ස්වාභාවික කොරල් දිවයිනකි.වසර ගණනාවක් තිස්සේ එය කෘත්‍රීමව විශාල කිරීමේ ප්‍රතිඵලය ලෙස හමුදා කඳවුරකට උචිත ලෙස විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කරගන්නා ලදි.

කාලයත් සමග දූපතේ වර්ගප්‍රමාණය වර්ධනය වූ අයුරු

ජොන්ස්ටන් දූපත නාවික කඳවුරක් ලෙස USS Lansing වැනි නෞකාවලට පහසුකම් සැලසීය.පැසිෆික් සාගරයේ මෙම හුදකලා ප්‍රදේශයේ තිබූ එවැනි පහසුකම් සැලසිය හැකි එකම දූපතද එය විය.මෙහි තිබෙන ගුවන් පථය දූපතට සැපයුම් ගෙන ඒමට සහ අනෙකුත් ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කෙරිණි.තවද මෙම දූපතට වාණිජ දුරකතන මාර්ග 10ක් සම්බන්ධව තිබූ අතර එහි සිට දුරකතන මාර්ග 10ක් විහිදී ගොස් තිබේ.

USS Lansing නෞකාව

1958 සිට 1975 වසර තෙක් මෙම දූපත භූගත සහ මතුපිට න්‍යෂ්ඨික අවි සඳහා අත්හදා බැලීමේ භූමියක් ලෙස යොදාගන්නා ලදි.1962 වසරේ Operation Dominic මෙහෙයුමේදී න්‍යෂ්ඨික මිසයිල කිහිපයක් පරීක්ෂා කරන්නට මෙම ජොන්ස්ටන් දූපත යොදාගෙන තිබේ.පහත රූපයේ දැක්වෙන්නේ එම න්‍යෂ්ඨික අත්හදා බැලීමේදී අහසේ ඇතිවූ තියුණු දිලිසුමයි.අසාර්ථක වූ අත්හදා බැලීමක රොකට් එන්ජිමක් ඊළඟ රූපයෙන් පෙන්වා තිබේ.


ජොන්ස්ටන් දූව ඇමෙරිකාවේ පළමු ඔත්තුබලන චන්ද්‍රිකා සහ අනෙකුත් විද්‍යාත්මක රොකට් දියත් කරන්නට යොදාගෙන තිබේ.නමුත් 1993 පටන් එය හමුදාමය මෙහෙයුම් සඳහා යොදා ගැනීම අවම කර තිබෙන්නේ රසායනික අවිවල අවශේෂ විශාල වශයෙන් අඩංගු වීම නිසාය.මෙහි සිදුකල න්‍යෂ්ඨික අත්හදා බැලීම්(1962) නිසා ඉතිරි වූ විකිරණශීලී අවශේෂ,වියට්නාමයට එරෙහිව යොදාගත් රසායනික අවිවල අවශේෂ සහ සෝවියට් දේශයේ සරීන් ස්නායු වායු මෙම භූමියේ ඉතිරිව තිබේ.



1992 වසරේ පළවූ වාර්තාවකින් කියවුනේSR-71 Blackbird යානයට ආදේශකයක් ලෙස නිපදවූ ආවුරෝරා(Aurora) නම් ඔත්තුබලන යානය මෙම දූපතට ගොඩ බා තිබෙන බවයි.

"අවුරෝරා නෙවාඩා කාන්තාරයේ කඳවුරකින් ගුවන් ගත වී පැසිෆික් සාගරයේ දිවයිනකට ගමන් කලා,ඊටපසු එය යලි එ.ජනපදයට එන්නට පෙර තෙල් පුරවා ගන්නට ස්කොට්ලන්තයට පැමිණියා" යනුවෙන් එම වාර්තාවේ සඳහන් බව කියවේ.

Aurora spyplane

ජොන්ස්ටන් දූපතේ තිබෙන දිගු ගුවන් පථය මෙන්ම එය පැසිෆික් සාගරයේ සැඟවුණු ස්ථානයක් වූ නිසා එවැනි රහස්‍ය අතිධ්වනි ගුවන් යානයක් ගොඩ බස්සවන්නට යොදාගන්නට ඇතැයි සිතිය හැකිය.



2003 වසරේදී ජොන්ස්ටන් දූපත මත්ස්‍ය සහ වනජීවී රක්ෂිතයක් බවට පත්කරන ලදි.එහි තිබූ සියලුම හමුදාමය ඉදිකිරීම් පහසුකම් විනාශ කර දමන ලදි.ගුවන් පථය වසා දමන ලද බව පෙන්වීමට එහි දෙකෙළවර කතිරවලින් සලකුණුකරන ලදි.අතීතයේ මෙම දූපතේ තිබූ ගොඩනැගිලි මාර්ග ආදියේ සලකුණු ඡායාරූපවලින් පැහැදිලිව පෙනේ.මාර්ක් එග්රිච් නැමැත්තා අවසර සහිතව ලබාගත් ඡායාරූපවලට අනුව දැන් දූපත පිහිනුම් තටාකයක්,ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් සහ ආපනශාලාවකින් සමන්විතය.ඉදිකිරීම් ඉවත් කරන අයුරුද එම ඡායාරූපවල දැක්වේ.

Mark Eggerich ජොන්ස්ටන් දූපතේදී ලබාගත් ඡායාරූප කිහිපයක්






වොෂින්ටනයේ භූගත මිසයිල ගබඩාව
 
මෙය ටයිටෑන් මිසයිල සංකීර්ණයකි.මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම වොෂින්ටනයේ අක්කර 57ක් පුරා විහිදී ගිය පොළොව මත පිහිටි ඉදිකිරීම් සහ භූගත ගොඩනැගිලි 16කින් සමන්විතය.මෙම භූගත කඳවුරු සංකීර්ණයට න්‍යෂ්ඨික යුද්ධයකදී මිනිසුන් 150ක් දවස් 30ක් දක්වා පිටතින් සැපයුම් හෝ ආධාර නොමැතිව නඩත්තු කිරීමේ හැකියාව තිබුණු බව කියවේ.නමුත් පසුකාලයේදී පහසුවෙන් තැනින් තැනට ගෙන යා හැකි මිසයිල දියත් කරන පද්ධති පහසුකම් නිර්මාණය වීමත් සමග භූගතව පිහිටි මෙවැනි මිසයිල දියත් කරන කඳවුරුවල අවශ්‍යතාවය ක්‍රමයෙන් අවම කරන ලදි.ගංවතුර නිසා සිදුවන ජල කාන්දුවීම්,නඩත්තු කිරීම් ක්‍රමයෙන් නවතා දැමීම නිසා මෙම භූගත කඳවුරු අභාවයට ගියේය.මෙම භූගත පහසුකම් 1961-1965 අතර කාලයේ භාවිතා කර තිබේ.මෙය නිර්මාණය කිරීම එසමයේ ඇ.ඩො. මිලියන් 170ක් හෙවත් 2011 වසරට අනුව ඇ.ඩො. බිලියන 1.26ක් වැය වී තිබේ.

පොළොව මතුපිටින් බැලූවිට පෙනෙන අයුරු(පැරණි ඡායාරූපයකි)

භූගත ගොඩනැගිලි සංකීර්ණයේ සැලැස්ම

HGM-25A Titan I මිසයිලයක්


භූගත ගොඩනැගිලිවල දර්ශන






















සෝවියට් යුද ටැංකිවල ඇෆ්ගන් සුසාන බිම

වසර 10ක් ඇෆ්ගනිස්ථානයේ යුද වැදී 1989 වසරේදී එරට හැර යන විට සෝවියට් හමුදා දමා ගිය යුද ටැංකි විශාල ප්‍රමාණයක් කාබුල් නගරයේ ගුවන් තොටුපල පිටත ප්‍රදේශයක තවමත් ඉතිරිව තිබේ.ඒවා 1960,1970 දශකවල නිපදවූ යුද ටැංකිවන අතර ඉන් සමහරක් ඇෆ්ගන් හමුදාව විසින් අලුත්වැඩියා කර තලෙයිබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව පාවිච්චි කරන බව වාර්තාවේ.ඔවුන් කියන පරිදි T-55, T-62 යුද ටැංකි කිහිපයක් තවමත් ක්‍රියාත්මක කල හැකි තත්ත්වයේ පවතියි.තවද ඔවුන්ගේ යුද ටැංකිවලට අවශ්‍ය සමහර කොටස් පවා සෝවියට් හමුදා හැරදමා ගිය යුද ටැංකිවලින් ලබාගෙන තිබේ.මෙම යුද ටැංකි ඇෆ්ගනිස්ථානයේ කඳුකර ප්‍රදේශවලට ඉතා යෝග්‍ය බවයි ඇෆ්ගන් හමුදාව පවසන්නේ.

මෙම යුද ටැංකි අතහැර දමා තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේය



මෙම යුද ටැංකි අතහැර දමා තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේය



source:cracked.com


යුද අවිවල සුසාන බිම් - 2  යුද අවිවල සුසාන බිම් - 2 Reviewed by HarshaLulzSec on June 11, 2018 Rating: 5
Powered by Blogger.