එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වීම සහ ඊශ්‍රායල ප්‍රහාරය

මැයි මස 8 වනදා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කලේ එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වන බවයි.ඊට හේතුව ලෙස සඳහන් කර තිබුණේ අදාල ගිවිසුමෙන් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඇලුම්කම් අනාරක්ෂිත වීමයි.බලශක්ති,බොර තෙල් ආශ්‍රිත රසායනික ද්‍රව්‍ය සහ මූල්‍ය යන අංශ ආවරණය වන සේ ඉරානය මත නැවත සම්බාධක පැනවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න යැ‍යි ට්‍රම්ප් සිය පාලන තන්ත්‍රයට අණ කර සිටියේය.

ඔහු කියා සිටියේ අදාල එකඟතාවය ඉරානයේ මිසයිල වැඩසටහනට අඩාල කිරීමට අසමත් වූ බවයි.ඉරානය හිස්බුල්ලා සංවිධානයට අනුග්‍රහය දැක්වීම,සිරියාවේ අෂාඩ් රජයට සහාය දැක්වීම සහ ඉරානයේ ෂියා සටන්කාමීන්ට මෙන්ම යේමනයේ හවුති සටන්කාමීන්ට ඉරානයේ අනුග්‍රහය ලබා දෙන්නේ යැ‍යි එක්සත් ජනපදය චෝදනා කරයි.තමන්ගේ තීරණය ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන සම්බන්ධව ඉදිරිපත් කල බුද්ධි තොරතුරුද මතද පදනම් වූවක් බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වීම ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක් ඉෂ්ඨ කිරීමක් මෙන්ම ඊශ්‍රායලය සතුටු කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකිය.

ට්‍රම්ප්ගේ තීරණයට ඉරානයේ ප්‍රතිචාරය


ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ඇමෙරිකානු ඉතිහාසයේ බිහිවූ යුදෙව්වන්ට වඩාත්ම පක්ෂපාතී නායකයා ලෙස හඳුන්වන්නට හැකිය.ඔහු ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගත් අතර,ඊශ්‍රායලයේ කීමට ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන්ද ඉවත් විය.එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්ති හසුරවන්නේ මේ කුඩා යුදෙව් රාජ්‍යය යැ‍යි කෙනෙක් කිවහොත් එය පුදුම විය යුතු කරුණක් නොවේ.

ප්‍රංශය ප්‍රමුඛ යුරෝපා රටවල්ද ට්‍රම්ප්ගේ තීරණය වෙනස් කිරීමට උත්සාහ කලද එය අසාර්ථක විය.ප්‍රංශ ජනපතිගේ ආසන්නතම ඇමෙරිකානු සංචාරයේ ප්‍රධාන අරමුණක් වූයේද ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමයි.


න්‍යෂ්ඨික ගිවිසුම යළි දියත් කිරීමට නම් ධවල මන්දිරය නිකුත් කල ඉල්ලීම වලට ඉරානයට එකඟවීමට සිදුවේ.ඉන් කිහිපයක් පහත දැක්වේ.

  • අන්තර් මහද්වීපික මිසයිල අත්පත් කර නොගත යුතුය,න්‍යෂ්ඨික අවි ගෙන යා හැකි මිසයිල සංවර්ධනය නවතා දැමිය යුතුය,අනෙක් රටවලට බැලස්ටික් මිසයිල ලබා නොදියයුතුය.
  • හිස්බුල්ලා,හමාස්,තලෙයිබාන් සහ අල්කයිඩා ආදී ත්‍රස්තවාදීන්,අන්තවාදීන් සහ කලාපීය ප්‍රොක්සි හමුදාවලට අනුග්‍රහය දැක්වීම නවතා දැමිය යුතුය.
  • ඊශ්‍රායලය වනසා දමන බවට ප්‍රසිද්ධියේ තර්ජනය කිරීම නවතා දැමිය යුතුය.
  • නිදහසේ යාත්‍රා කිරිමට ඇති අයිතිය(එක්සත් ජනපදයට )විශේෂයෙන් පර්සියානු බොක්ක සහ රතු මුහුදේ,බාධා කිරීම නවතා දැමිය යුතුය.
  • යේමනයේ යුද්ධයට මැදිහත් වීම නවතා දැමීම සහ හවුති සටන්කාමීන්ට අවි සැපයීම හරහා කලාපය අස්ථාවර කිරීම අවසන් කිරීම.
  • එක්සත් ජනපදය සහ ඊශ්‍රයලය ඇතුලුව අපගේ මිත්‍රයන්ට එරෙහිව සයිබර් ප්‍රහාර එල්ල කිරීම අවසන් කලයුතුය.
  • ඉරාන රජයට එරෙහි උද්ඝෝෂණවලදී කලාක් මෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම නොකල යුතුය.
  • එක්සත් ජනපද පුරවැසියන් ඇතුලුව විදේශිකයන්ට එරෙහි අකටයුතුකම් නැවැත්වීම.

කෙසේවෙතත් ඉරානය තලෙයිබාන් සහ අල්කයිඩා යන සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානවලට ආධාර අනුබල දෙන්නේ යැ‍යි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබීම බොහෝදෙනාගේ උපහාසයට ලක්විය.


ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ඨික වැඩසටහන නැවත ආරම්භ කලහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වෙතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් මැයි මස 9 වනදා අනතුරු ඇඟවීමක් කලේය.

්‍රම්ප්ගේ තීරණයට සමගාමීව මැදපෙරදිග සිටින එක්සත් ජනපදයේ අතිජාත මිත්‍රයා,ඊශ්‍රායලය සිරියාවේ ඉරාන ඉලක්කවලට දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කලේය.


ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්ක

මැයි මස 8 වනදා ඩැමැස්කස් ආසන්නයේ අල්-කිස්වා ප්‍රදේශයට ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර දියත් කලේය.ඒ අතරින් මිසයිල දෙකක් බිම හෙළන්නට සිරියානු ගුවන් ආරක්ෂක බලකා සමත් වුවද අනෙක්වා ඉලක්කය මත පතිත විය.

ඊශ්‍රායල නිකුත් කල වීඩියෝපටයකට අනුව සිරියාවේ තිබූ රුසියානු පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක අවි පද්ධතියක් ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් විනාශ වන අයුරු


ගෝලාන් උස්බිම්වලට දකුණුදිග සිරියාවෙන් එල්ල වූ රොකට් ප්‍රහාරයක් හේතුවක් ලෙස දක්වමින් මැයි මස 9 වනදා ඊශ්‍රායලය දකුණුදිග සිරියාව,ඩැමැස්කස් අවට සහ හෝම්ස් පළාතේ ඉරාන සහ සිරියානු ගුවන් ආරක්ෂක බලකා ඉලක්ක වෙත දැවැන්ත මිසයිල ප්‍රහාරයක් දියත් කරන ලදි.

ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කයන් බවට පත් වූ ස්ථාන සම්බන්ධව ඊශ්‍රායල ආරක්ෂක හමුදා නිකුත් කල ඡායාරූප  සහ සිතියම්




රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව ඊශ්‍රායලය ගුවන්-ගොඩබිම් සහ උපායමාර්ගික මිසයිල 70කට වැඩි ගණනක් ප්‍රහාර සඳහා භාවිතා කර තිබේ.නමුත් ඉන් හරි අඩකට වඩා බිම හෙළන්නට සිරියානු ගුවන් ආරක්ෂක බලකා සමත්වූ බව රුසියානුවෝ කියයි.

සිරියානු ගුවන් ආරක්ෂක බලකා විසින් බිම හෙළු ඊශ්‍රායල මිසයිලයක කොටසක්



ඊශ්‍රායලයට අනුව ඉරාන ඉස්ලාමීය විප්ලකාරී ආරක්ෂක බලකා විසින් 20කට නොඅඩු රොකට් සංඛ්‍යාවක් ඊශ්‍රායලයේ ගෝලාන් උස්බිම් වෙත එල්ල කර තිබුණද ඉන් කිසිදු හානියක් සිදූවූ බවට වාර්තා නොවීය.නමුත් ඊශ්‍රායලය ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීය.

ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති කොමිටුවේ සාමාජිකයෙක් වන ජවාඩ් ජමලි නොබන්ඩෙගානි කියන්නේ ගෝලාන් උස්බිම්වලට එල්ල වූයේ යැ‍යි කියන රොකට් ප්‍රහාරය 'ව්‍යාජ' එකක් බවයි.ඉතිහාසය තුල ඊශ්‍රායලය සිරියාවේ සිදු කර තිබෙන ප්‍රහාර විස්තර සහිතව ලේඛන ගතව තිබෙන බව ඔහු කීය.

මෙම ප්‍රහාරයෙන් සිරියාව තුල තිබූ ඉරානය සතු සියලුම යටිතල ව්‍යුහයන් විනාශ වූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිග්ඩෝර් ලිබ්‍රමන් කීය.කෙසේවෙතත් බිම්මට්ටමින් ලැබෙන ඡායාරූප සහ වීඩියෝපටවලට අනුව නම් එවැනි විනාශයක් සිදුව නොමැත.


'ඉරාන පාලනතන්ත්‍රය විශ්වාස කල නොහැකිය,තම ආරක්ෂාව සලසා ගැනීමට ඊශ්‍රායලයට සම්පුර්ණ අයිතිය තිබේ සහ තම ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ගන්නා ඕනෑම උත්සාහයකට අපි සහාය දෙනවා' යැ‍යි වොෂින්ටනය ප්‍රකාශ කර තිබේ.

පසුගිය කාල සීමාව තුල ඇති වූ සිදුවීම් දෙස බලද්දී පෙනී යන්නේ මැදපෙරදිග අලුත්ම අර්බුදයක් ඇවිලී යෑමට ආසන්න බවයි.ස්වාධීන විදේශ ප්‍රතිපත්තිය සහ ඉරාන විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් වන මිසයිල වැඩසටහන අතහැර දැමීම සඳහා උනන්දු කරවීමට එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානය කෙරෙහි පීඩනය වැඩි කරමින් සිටිති.මෙම අරමුණ තනිකරම රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික ක්‍රියාමාර්ගවලින් දිනා ගත නොහැකි නිසා ඊශ්‍රායල-ඇමෙරිකා සන්ධානය සීමා සහිත  යුදමය ක්‍රියාමාර්ග ක්‍රමයෙන් ප්‍රසාරනය කරමින් ඇත.



source:southfront.org


එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වීම සහ ඊශ්‍රායල ප්‍රහාරය එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වීම සහ ඊශ්‍රායල ප්‍රහාරය Reviewed by HarshaLulzSec on May 12, 2018 Rating: 5

No comments:

Powered by Blogger.