යැංකි රහස් මෙහෙයුම් - 5

March 31, 2018

Ivy Bells මෙහෙයුම එක්සත් ජනපද නාවික හමුදාව,මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය(CIA) සහ ජාතික ආරක්ෂක ඒජන්සිය(NSA) එක්ව සිදුකල එකකි.සීතල යුද සමයේදී එක්සත් ජනපදය,සෝවියට් දේශයේ සබ්මැරීන සහ මිසයිල තාක්ෂණය,විශේෂයෙන් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ඨික ප්‍රහාර සිදුකිරීමේ හැකියාව ගැන ඉතා දැක්වීය.චන්ද්‍රිකා ජාල බිහිවන්නට පෙර බොහොමයක් රහස් තොරතුරු හුවමාරු කෙරුණේ ගොඩබිම සහ සාගරය ඔස්සේ එළා තිබූ සන්නිවේදන මාර්ග ඔස්සේය.විලැඩ්වොස්ටොක් හි පිහිටි සෝවියට් පැසිෆික් නාවික හමුදා මූලස්ථානය සහ කැම්චැට්කා අර්ධද්වීපයේ පෙට්‍රෝපැව්ලොස්කි හි තිබූ නාවික හමුදා කඳවුර සම්බන්ධ කරන සන්නිවේදන මාර්ගයක් 'ඕක්හොට්ස්ක්' මුහුද පතුලේ තිබෙන බව 1970 දශකයේ මුල් කාලයේදී එක්සත් ජනපදය විසින් සොයාගන්නා ලදි.ඕක්හොට්ස්ක් මුහුද සෝවියට් මුහුදු සීමාව තුල පිහිටා තිබිණි.එම ප්‍රදේශයට විදේශීය නෞකාවලට ඇතුලුවීම තහනම් විය.එසේම සෝවියට් නාවික හමුදාව අදාල මුහුදු ප්‍රදේශයේ ශබ්ද අනාවරණය කර ගත හැකි උපාංග පද්ධතියක් ස්ථාපනය කර තිබිණි.ඊට අමතරව එහි නාවුක අභ්‍යාස බහුලව සිදුවිය.

ඕක්හොට්ස්ක් මුහුද

සෝවියට් ඕක්හොට්ස්ක් මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ අවධානම නොතකා එක්සත් ජනපදය Ivy Bells මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදි.ඒ 1971 වසරේය.1971 ඔක්තෝම්බර් මාසයේදී විශේෂයෙන් වැඩිදියුණු කරන ලද USS Halibut (SSGN-587) නම් සබ්මැරීනය ඕක්හොට්ස්ක් මුහුදට යවන ලදි.විශේෂිත කිමිදුම් උපකරණ,ශ්වසන උපකරණ සහිතව පැමිණි කිමිදුම්කරුවන් මීටර් 120 පමණ පතුලේ තිබී සෝවියට් සන්නිවේදන කේබලය සොයාගන්නා ලදි.එම කේබලය කැපීමෙන් තොරව ඒ ඔස්සේ හුවමාරු වන තොරතුරු ග්‍රහණය කර ගත හැකි උපකරණයක් ඊට සවි කරන ලදි.එය අඩි 20ක් දිග උපකරණයක් බව කියවේ.උපකරණය සැලසුම් කර තිබුණේ කේබලය අළුත්වැඩියා කිරීම පිණිස ඉහළට ගත හොත් ගැලවී යන අයුරින් බවයි සඳහන් වන්නේ.

USS Halibut (SSGN-587) සබ්මැරීනය

Bell Laboratories විසින් නිර්මාණය කල මාස ගණනක් පුරා තොරතුරු රැස් කර තබා ගත හැකි උපකරණය.මෙය අඩි 20 දිග සහ අඩි 3ක් පළල ,බරින් ටොන් 6 වන න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වූ එකකි.


මෙහෙයුමට සහභාගී වූ බොහෝ නැවියන් එහිදී සිදුවන දෙය ගැන දැන සිටියේ නැත.සත්‍ය සිද්ධිය වසන් කිරීමට ඇමෙරිකානු බලධාරීන් කතාවක් ගොතා තිබිණි.ඉන් කියවුනේ මෙම මෙහෙයුම ඔස්සේ සෝවියට් මුහුදු සීමාවේ තිබෙන අතිධ්වනි නෞකා නාශක මිසයිල සොයාගැනීම අපේක්ෂාව වූ බවයි.


සෑම මාසයකදී කිමිදුම්කරුවන් උපකරණයේ පටිගත වූ දත්ත සහිත ටේප් ගෙන ඒමට ගිය අතර අලුතින් ටේප් ස්ථාපනයද සිදුකලේය.මෙම ටේප් පට NSA ආයතනයට පැවරුණි.මෙම සන්නිවේදන මාර්ගය ඔස්සේ හුවමාරු වූ සෝවියට් සංවාදයන් unencrypted තත්ත්වයේ තිබූ අතර ඒවා මගින් වැදගත් තොරතුරු රැසක් හෙළිවිය. පෙට්‍රෝපැව්ලොස්කි සබ්මැරීන කඳවුරේ සිට ක්‍රියාත්මක කල මෙහෙයුම් ගැන තොරතුරු පවා ඒවාහි අඩංගු වූ බව සඳහන් වේ.


සෝවියට් දුරකතන සංවාද පටිගත කිරීමට යොදාගත් උපකරණය සවි කල අයුරු දැක්වෙන කටුසටහනක්

1972 වසරේදී AT&T හි Bell Laboratories විසින් නිපදවූ නවතම උපකරණයක් සෝවියට් සන්නිවේදන මාර්ගයට සම්බන්ධ කරන ලදි.එහි තිබූ විශේෂත්වය දිගු කාලයක් තොරතුරු ගබඩා කරගෙන සිටීමේ හැකියාවයි.මෙම අලුත් උපකරණය අඩි 20ක් දිග,ටොන් 6ක් බර න්‍යෂ්ඨික බලයෙන් විදුලිය ජනනය කල හැකි එකකි. Ivy Bells මෙහෙයුමේ සාර්ථකත්වය නිසා ලොව අනෙක් ප්‍රදේශ ඔස්සේ දිවෙන සෝවියට් සන්නිවේදන මාර්ග ඔස්සේද ඔත්තු බැලීමට එක්සත් ජනපදය මෙම ක්‍රමයම යොදාගන්නා ලදි.මෙම රහස් මෙහෙයුම එතැන් පටන් දශකයක් පමණ කාලයක් සිදුවිය.එම කාලය තුල එක්සත් ජනපදය විසින් සෝවියට් දේශයේ කොතරම් රහස් ප්‍රමාණයක් අත්පත් කරගන්නට ඇද්දැයි සිතා ගැනීමට පවා නොහැකිය.1980 දශකයේ මුල් කාලයේදී ඕක්හොට්ස්ක් මුහුදු ප්‍රදේශයේ එක්සත් ජනපදය මෙහෙයුම සිදු කල ස්ථානය ආශ්‍රිතව සෝවියට් නෞකා සහ සාගර පත්ලෙන් යම් දෙයක් ගොඩගැනීමට හැකි නෞකාවක් සැරිසරන බව ඇමෙරිකානු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් විසින් නිරීක්ෂණය කරන ලදි.පසුව USS Parche සබ්මැරීනය යොදාගෙන සිදුකල සෝදිසියකදී හෙළිවූයේ එක්සත් ජනපදය විසින් සෝවියට් සන්නිවේදන කේබලය ඉලක්ක කරගෙන සවිකර තිබූ උපකරණය අතුරුදහන් වී තිබෙන බවයි.

1980 දශකය ආරම්භ වීමත් සමගම Ivy Bells මෙහෙයුම වෙනුවෙන් යොදාගත් USS Halibut සබ්මැරීනය වෙනුවට USS Seawolf නම් සබ්මැරීනය ආදේශ කරන ලදි.


මෙතරම් කාලයක් තිස්සේ සෝවියට් දේශයට මෙම උපකරණය අනාවරණය කර ගත නොහැකිවූයේ ඔවුන්ගේ නොහැකියාව නිසාද එසේත් නැත්නම් සිතා මතා වැරදි තොරතුරු එක්සත් ජනපද බුද්ධි තොරතුරු ආයතනවලට සැපයීමේ වුවමනාවෙන්ද යන්න තවමත් රහසකි.කෙසේ නමුත් එක්සත් ජනපදයේ Ivy Bells මෙහෙයුම සම්බන්ධව සෝවියට් දේශයට ඔත්තුව ලබාදුන්නේ රොනල්ඩ් පෙල්ටන් නම් NSA ආයතනයේ හිටපු සේවකයෙක් බව පසුව හෙළිව තිබේ.ඔහු සිදුකල පාවාදීම නිසා ජීවිතාන්තය තෙක් එක්සත් ජනපදයේ සිරදඬුවම් විදීමට සිදුව තිබේ.Ivy Bells මෙහෙයුම සම්බන්ධ තොරතුරු ඔහු විසින් සෝවියට් දේශයට අලෙවි කර තිබෙන්නේ ඇ.ඩො.35,000ට බවයි කියවෙන්නේ.

රොනල්ඩ් පෙල්ටන්

USS Parche සබ්මැරීනය

ඕක්හොට්ස්ක් මුහුදේ සිදුකල මෙහෙයුම සාර්ථක වීම හේතුවෙන් බැරන්ට්ස් මුහුදේ පිහිටි සෝවියට් සන්නිවේදන මාර්ගවලටද රහසේ ඇහුම්කන් දීමට කටයුතු සූදානම් කරන ලදි.ඒ සඳහා ඔවුන් යොදාගත්තේ USS Parche නම් නවීන සබ්මැරීනයයි.1970 දශකයේ අවසන් කාලයේදී බැරන්ට්ස් මුහුදේ සෝවියට් කේබලයක්ද ටැප් කිරීමට එක්සත් ජනපදය සමත් විය.



සාගර පතුල පුරා එලා තිබෙන සන්නිවේදන කේබල් ජාලය



Source:cracked.com

යැංකි රහස් මෙහෙයුම් - 5 යැංකි රහස් මෙහෙයුම් - 5 Reviewed by HarshaLulzSec on March 31, 2018 Rating: 5

රාජ්‍යතාන්ත්‍රිකයෝ නෙරපීම

March 30, 2018

රුසියාව, එක්සත් ජනපදයේ රාජ්‍යතාන්ත්‍රිකයෝ 60දෙනෙක් සිය රටින් නෙරපා හැරීමටත් ශාන්ත පීටර්ස්බර්ග් නුවර එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා දැමීමටත් පියවර ගන්නා බව රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව් රෝයි මාර්තු මස 29 වනදා ප්‍රකාශ කර තිබේ.මාර්තු 31 දින අවසන් වන්නට මත්තෙන් රුසියාවේ මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත.රුසියාවේ මෙම තීරණයට හේතු වූයේ එක්සත් ජනපදයේ සියටැල් නගරයේ රුසියානු තානාපති කාර්යාලය වසා දමා රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයෝ 60 දෙනෙක් රටින් නෙරපා හැරීමට එරට රජය කටයුතු කිරීමයි.

මාර්තු මස 26 දා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දුන් නියෝගයකට අනුව රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයෝ 60 දෙනෙක් රටින් නෙරපා හැර සියටැල් හි රුසියානු තානාපති කාර්යාලය වසා දැමිණි.

"රුසියාව එක්සත් රාජධානියේ දී හමුදා-ශ්‍රේණියක රසායනික අවියක් භාවිතා කිරීමත්,එරට විසින් මෑත කාලයේදී ලොව පුරා සිදු කරමින් තිබෙන අස්ථාවර කිරීමේ ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාරයක් ලෙස එක්සත් ජනපදය අපේ නේටෝ මිත්‍රයන් සහ ලොව පුරා සිටින පාර්ශ්වකරුවන් සමග එක්ව මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබේ" - ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම්.


මෙම ක්‍රියාමාර්ග වලට හේතුවූ සිද්ධිය වන්නේ රුසියානු හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් වශයෙන් ක්‍රියාකරමින් බ්‍රිතාන්‍යයට ඔත්තු සැපයූ සර්ගෙයි ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණිය වන යුලියා ඉලක්ක කරගෙන එල්ල සෝල්ස්බරි නගරයේදී එල්ල වුනා යැ‍යි කියන ස්නායු විෂ සහිත රසායනික ප්‍රහාරයයි.එක්සත් රාජධානියට අනුව ප්‍රහාරය සඳහා යොදාගෙන තිබෙන්නේ නොවිචොක් නම් ස්නායු විෂ වර්ගයයි.ප්‍රහාරයෙන් පසුව ස්ක්‍රිපල් සහ දියණිය අසාධ්‍යය තත්ත්වයෙන් රෝහල් ගත කෙරුණු බවත් වාර්තා වේ.රුසියාව මෙම සිද්ධියට ඈදී තිබෙන්නේ ප්‍රහාරය සඳහා යොදා ගත්තේ යැයි එක්සත් රාජධානිය පාර්ශ්වයෙන් චෝදනා නැගෙන ස්නායු විෂ වර්ගයේ සම්භවය රුසියාවේ සිදුවූ නිසාය.

සර්ගෙයි ස්ක්‍රිපල් සහ ඔහුගේ දියණිය

මෙම සිද්ධියට රුසියාව සම්බන්ධ යැයි එක්සත් රාජධානියේ අගමැතිනිය වන තෙරේසා මේ ප්‍රබල චෝදනා එල්ල කලද එම චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රබල සාක්ෂි ඔවුන් තවමත් ඉදිරිපත් කර නොමැත.හරි හැටි විමර්ශනයක් සිදු නොකර රුසියාවට චෝදනා නැගීමත්,රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයෝ නෙරපා හැරීමත් පිටුපස වෙනස්ම අරමුණක් තිබෙන බව පැහැදිලිය.

බ්‍රිතාන්‍යය රජය මෙම චෝදනා මුල් කරගෙන එරට සිටි රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයෝ 23ක් දෙනෙක් නෙරපා දමන ලදි.බ්‍රිතාන්‍යය රජයේ ක්‍රියාමාර්ගය අනුමත කරමින් යුරෝපා සංගමයේ රටවල් 15,කැනඩාව සහ යුක්‍රේනයද රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයෝ පිටුවහල් කිරීමට සම්මාදම්  වී ඇත.


2018 මාර්තු 28 වනදා වන විට නෙරපා හරින ලද රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයෝ  ගණන


එක්සත් රාජධානිය - 23

ඇමෙරිකා එක්සත් ජනපදය  - 60

යුක්‍රේනය - 13

නේටෝ සංවිධානය - 7

කැනඩාව - 4

ප්‍රංශය - 4

ජර්මනිය - 4

පෝලන්තය - 4

චෙක් ජනරජය - 3

ලිතුවේනියාව - 3

මෝල්ඩෝවා - 3

ඇල්බේනියාව - 2

ඩෙන්මාර්කය  - 2

නෙදර්ලන්තය - 2

ඉතාලිය - 2

ස්පාඤ්ඤය - 2

ඕස්ට්‍රේලියාව - 2

එස්ටෝනියාව - 1

ක්‍රොයේෂියාව - 1

ෆින්ලන්තය - 1

ජෝර්ජියාව - 1

හංගේරියාව - 1

ලැට්වියාව - 1

රුමේනියාව - 1

ස්වීඩනය - 1

නෝර්වේ - 1

මැසෙඩෝනියාව -1

අයර්ලන්තය - 1

බෙල්ජියම  - 1

මොන්ටෙනෙග්‍රෝ - 1


ඉහත ලැයිස්තුවට අනුව මාර්තු 28 දා වන විට බ්‍රිතාන්‍යය පාර්ශ්වයේ සිට ගනිමින් කිසිදු ප්‍රබල සාක්ෂියක්,පිළිගත හැකි විමර්ශනයකින් තොරව රුසියාවට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට රටවල් 30 ට ආසන්න ගණනක් එක්වී තිබේ.


"යුරෝපා සංගමයේ සාමාජිකයෝ 28 දෙනාගෙන් 14 දෙනෙක් ලන්ඩනය සමග එකමුතුව රුසියානු සමූහාණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රිකයෝ නෙරපා හැරීමට තීරණය කරන ලදි.යුරෝපා සංගමයේ පොදු රාමුවට අනුව  සම්බාධක ඇතුලුව අමතර ක්‍රියාමාර්ග ගැනීම එළඹෙන දින කිහිපය හෝ සතිවලදී ගැනීම නොවැළැක්විය හැකිය." - යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක්


රුසියාව සමග තිබෙන රාජ්‍යතාන්ත්‍රික සබදතා තවත් අවම කර ගැනීම යුක්‍රේන රජය ස්ක්‍රිපල් සිද්ධිය යොදාගෙන ඇත.

"සෝල්ස්බරි හි රසායනික ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස,යුක්‍රේනය අපේ බ්‍රිතාන්‍යය පාර්ශ්වකරුවන් සහ ට්‍රාන්ස්-අත්ලාන්තික් මිත්‍රයන් සහයෝගයෙන් කටයුතු කරමින් රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයෝ 13ක් රටින් පිටුවහල් කිරීමට තීරණය කලා.කෙසේ වෙතත් රුසියානු සමූහාණ්ඩුව සමග අපේ රාජ්‍යතාන්ත්‍රික සබදතා දුර්වල තත්ත්වයක තිබෙන බව ඔබ දනියි." -යුක්‍රේන ජනපති  පෙට්‍රො පොරොෂෙන්කෝ


මෙම නෙරපා හැරීම් අතර ඉතා වැදගත් දෙයක් වන්නේ එක්සත් ජනපදය විසින් පිටුවහල් කල 60 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමේ 12 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා යැවූ රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් වීමයි.මෙම ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර නීතියේ නියමයන්ට පටහැනිය.

ස්ක්‍රිපල් සිද්ධිය මුල් කරගෙන ඕස්ට්‍රියාවේ සිටින රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයෝ නෙරපා හරින යැ‍යි ඕස්ට්‍රියාවේ බ්‍රිතාන්‍යය තානාපතිවරයා වියානා රජයට  බලපෑම් කල බව එරට විදේශ අමාත්‍ය කැරින් නයිස්ල් වීසින් හෙළිකරන ලදි.ඔහු කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධව රුසියාව සහ බ්‍රිතාන්‍යය අතර මැදිහත්කරුවෙක් ලෙස කටයුතු කරන්නට ඕස්ට්‍රියාව සූදානම් බවයි.


සමහර විශේෂඥයන්ගේ මතය නම් මෙම සිද්ධිය කෘත්‍රීම ව නිර්මාණය කල කලින් සැලසුම් කල එකක් බවයි.එහි අරමුණ රුසියාව හුදකලා කිරීමත් 20 වන සියවස මැද භාගයේ සිට 21 වන සියවසේ ආරම්භය දක්වා ස්ථාපිත ජාත්‍යන්තර සබදතා පද්ධතිය බිද හෙළීමත්ය.රාජ්‍යතාන්ත්‍රිකයෝ නෙරපීමේ පරිමාණය සැලකීමට ගැනීමේදී,යුරෝපා සංගමයේ සාමාජික රටවල ඉහළ පෙළේ පිරිස්වලට වර්තමාන තත්ත්වය ගැන සතුටක් නොමැත.කෙසේවෙතත් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන ප්‍රබලයන් ඉදිරියේ ඔවුන්ගේ තීරණයට අවනත වනවා හැරෙන්නට ඔවුන්ට කල හැකි කිසිවක් නොමැත.
අනෙක් අතට,මෙම ක්‍රියාමාර්ගයේ ගෝලීය අරමුණ වන්නේ බටහිර සමාජය මත යොදන පීඩනය වැඩි කිරීමත්,ඒ හරහා බටහිර රටවල් අතර සබදතා වැඩි කර ගනිමින් නව ගෝලීය ආඥාව ශක්තිමත් කිරීමයි.බටහිර රටවල පොදු සතුරා රුසියාව බවත්,සමාජයේ පාලනය සම්පුර්ණයෙන්ම ලබා ගැනීම සාධාරණීකරණයට මේ විදේශීය සතුරාගේ රුව යොදා ගැනීමත් මේවන සිදුවෙමින් පවතියි.


Source:southfront.org

රාජ්‍යතාන්ත්‍රිකයෝ නෙරපීම රාජ්‍යතාන්ත්‍රිකයෝ නෙරපීම Reviewed by HarshaLulzSec on March 30, 2018 Rating: 5

සෞදියට නූතන වියට්නාමයක් වූ යේමනයේ යුද්ධය

March 30, 2018

මීට වසර තුනකට පෙර එනම් 2015 මාර්තු මස 26 දා සෞදි අරාබිය ඇතුලුව තවත් අරාබි රටවල් 8ක සහභාගීත්වයෙන් යේමනයට එරෙහිව යුද්ධයක් ආරම්භ කරන ලදි.එහි ප්‍රතිඵලය වූයේ දහස් ගණනක් මිය ගොස් සහ තුවාල ලබා මිලියන දෙකකට වැඩි පිරිසක් අනාථයින් බවට පත්වීමයි.2015 මාර්තු මාසයේදී යේමනයට හමුදාමය මැදිහත්වීමක් සිදු කරද්දී  සෞදිය ප්‍රමුඛ කරගත් සන්ධානයේ නායකයෝ සිතුවේ එය සති කිහිපයකින් අවසන් කල හැකිය කියාය.


රියාද් රජය ලැජ්ජාවට පත්වීම


මැදිහත්වීම සැලසුමට අනුව සිදු නොවීය.සෞදි බලධාරීන් කියා සිටියේ යේමන් ප්‍රශ්නය සති කිහිපයකදී විසඳිය හැකි බවයි.නමුත් දැන් වසර 3 කාලයක් ඉක්මවා ගිය යුද්ධයක් බවට පත් වෙමින් වෙනස්ම කතාවක් කියයි.

සෞදිය ඉලක්ක කරගෙන හවුති සටන්කාමීන් එල්ල කල මිසයිල ගුවනේදී විනාශ කරන අයුරු

ඉරානය සමග සම්බන්ධකම් ඇතැයි කියන හවුති සටන්කාමීන්ගේ පසුනොබසින අධිෂ්ඨානය නිසා සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා මඩ ගොහුරකට වැටුණු අයෙක් ඉන් ගොඩ එන්නට උත්සහා දරන තත්ත්වයට පත්ව තිබේ.පසුගිය වසර 3ක කාලය තිස්සේ හවුති සටන්කාමීන් සෞදි රාජධානියට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කරමින් එරට ජනයාටද යුද්ධයේ භීතිය ගෙන එන්නට සමත් විය.යේමන් යුද්ධයේ තුන්වන සංවත්සරය වෙනුවෙන් පසුගිය මාර්තු 25 රාත්‍රියේදී සෞදි අරාබියේ නගර ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කරන ලදි.

හවුති සටන්කාමීන් යේමනය යුද්ධයේ තුන්වන සංවත්සරය දා පැවැත්වූ රැළිය

වසර තුනක කාලය තුල සැලකිය යුතු ජයග්‍රහණයක් අත්පත් කරගන්නට අසමත් වූ සෞදි අරාබිය තම රටේ ආරක්ෂාවද සහතික කල නොහැකි තැනක සිටියි.අති නවීන යුදෝපකරණ සහ තාක්ෂණයන් වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් වැය කලද,යේමනය අවට මුහුද අවුරා තිබුණද හවුති සටන්කාමීන් හමුවේ තවමත් මෙම තෙල් රාජාණ්ඩු අසාර්ථකය.



මහා ව්‍යසනකාරී තත්ත්වයක්


තවද කොළරාව වැනි රෝග වසංගත තත්ත්වයට පත් වීම හරහා මිලියනයකට ආසන්න ළමුන්ගේ ජීවිත අනතුරේ හෙළන ලදි.යේමනයේ මිලියන තිහක පමණ ජනයා දරිද්‍රතාවයේ පත්ලේ ජීවත් වේ.යුද්ධය ඔවුන්ගේ ජීවිත තවත් අගාධයට ඇද දමා ඇත.දුර්භික්ෂ යනු යේමනයට ආගන්තුකයෙක් නොවේ.මේ නිසා ජනගහනයෙන් මිලියන 30කට ආසන්න පිරිසක් ආහාර සපයා ගැනීමේ නොහැකියාවෙන් පෙළේ.වර්තමානයේ ලොව දරුණුතම මානුෂීය අර්බුදය පවතින්නේ යේමනයේ බව පැවසෙන්නේ.

කොලරාව රෝගයට ගොදුරු වූ යේමනයේ දැරියක්




ටෙහෙරානයේ නැගීම


පසුගිය දශක තුනක කාලය තුල සෞදි අරාබියේ ප්‍රතිපත්තිය වූයේ කලාපය තුල ඉරානයේ බලපෑම අතික්‍රමණය කිරීමයි.2015 පෙබරවාරි මාසයේදී සල්මාන් රජු බලයට පැමිණීමෙන් පසුව මෙම තත්ත්වය තවත් උත්සන්න වූ නමුත් පසුගිය වසර තුන තුල ගන්නා ලද තීරණවල ප්‍රතිඵලය වූයේ ඉරානයේ බලය ප්‍රසාරණය වීමයි.


යුද්ධයට පෙර හවුති නම් ආගමික-දේශපාලනික-සන්නද්ධ ව්‍යාපාරය(ෂියා මුස්ලිම්) වක්‍රාකාරයෙන් ඉරානය සමග සම්බන්ධවී සිටියේය.නමුත් අරාබී තෙල් රාජාණ්ඩුවල හමුදාමය මැදිහත් වීමත් සමග එම සම්බන්ධය තවත් ශක්තිමත් විය.ටෙහෙරානයේ නැගී සිටීම,මැදපෙරදිග සංග්‍රාමවලදී පැහැදිලිව පෙනෙන්නට තිබේ.

කටාර් රාජ්‍යය වැටලීම හරහා ගල්ෆ් සහයෝගීතා මණ්ඩලයේ පැවැත්මට තර්ජනයක් වන උපායමාර්ගික වරදක් සිදු කර ඇතැයි පෙනේ.ඒ හරහා සිදුවූයේ දෝහා රජය සෞදිය අතහැර ඉරානය සමග මිත්‍ර වීමයි.

සෞදි උපාය කෞශල්‍යයේ නොගැඹුරුකම පෙන්වූ තවත් අවස්ථාවක් වූයේ පසුගිය නොවැම්බර් මාසයේදී ලෙබනනයේ අගමැති සාඩ් හරිරීට ධූරයෙන් ඉල්ලා අස් වන්නැයි බල කිරීමයි.කලාපයේ උපාය මාර්ගික සමතුලිතතාවයේ ප්‍රමුඛ කාරකයන් දෙකක් වන සිරියාවේ සහ ඉරාකයේ භූමිය ඉරානය ක්‍රමයෙන් නතු කරගනිමින් සිටියි.

මොහොමඩ් බින් සල්මාන්

යේමනයේ හවුති සටන්කාමීන්ට එරෙහිව දියත් කල හමුදා මෙහෙයුම හරහා සෞදිය සිය රාජධානියේ මහිමය නැවත ලෝකයට පෙන්වන්නට සිහින මැව්වද අවසානයේදී එය ඔවුන්ට පාරාවළල්ලක් බවට පත්ව ඇත.සෞදියේ කිරුල හිමි කුමරා වන මොහොමඩ් බින් සල්මාන් මෙම යුද්ධය පිටුපස සිටින අතර හමුදා බලපරාක්‍රමය ගමන් කරමින් සිටින්නේ අවසානයක් නොමැති යුද්ධයකට බව ඔහු තවමත් අවබෝධ කරගෙන නොමැත.ඔහුගේ යුද්ධය සෞදි අරාබියේ වියට්නාමයක් බවට පෙරළා තිබේ.



Source:middleeasteye.net

සෞදියට නූතන වියට්නාමයක් වූ යේමනයේ යුද්ධය සෞදියට නූතන වියට්නාමයක් වූ යේමනයේ යුද්ධය Reviewed by HarshaLulzSec on March 30, 2018 Rating: 5

නැගෙනහිර ගූටා මෙහෙයුම් අතරින් මතුවූ රුසියානු කුලී හේවායෝ

March 28, 2018
කුලී හේවායන්,වර්තමානයේදී හඳුන්වන්නේ පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් යන නමින්ය.මොවුන් පෞද්ගලික ආරක්ෂක සමාගම් යටතේ සේවය කරයි.මෙම කුලී හේවායන් බොහෝ දෙනෙක් හමුදාවේ,විශේෂ බලකා ආදියේ සේවය කර ඉවත් වූවන්ය.කුලී හේවායන්ගේ සේවය ලබාගැනීමේදී ඉරාකය,ඇෆ්ගනිස්ථානය නිතර කියවෙන රටවල්ය.මෙවැනි පෞද්ගලික හමුදා කුලියට දෙන සමාගම් අතර ඇමෙරිකාවේ බ්ලැක් වෝටර්  සමාගම ඉතා ප්‍රසිද්ධය.රුසියාව සිරියාවේ යුද මෙහෙයුම් සඳහා කුලී හේවායන් යොදවා ඇතැයි යන්න දැන් රහසක් නොවේ.

සිරියාවේ නැගෙනහිර ගූටා හි මෙහෙයුම් අතරතුර ලබාගත් ඡායාරූප කිහිපයක රුසියානු පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් යැයි සැක කල හැකි සන්නද්ධ පුද්ගලයින් සිටියි.ඔවුන් සියලුදෙනාම මුහුණු ආවරණය කර ගෙන සිටින අතර ඔවුන් යොදවා සිටින්නේ මානුෂීය කොරිඩෝරය හරහා හමුදා පාලන ප්‍රදේශයට පැමිණි සිවිල් වැසියන් අතර ත්‍රස්තවාදීන් සිටියි දැයි සෙවීමටය.






Source:southfront.org

නැගෙනහිර ගූටා මෙහෙයුම් අතරින් මතුවූ රුසියානු කුලී හේවායෝ නැගෙනහිර ගූටා මෙහෙයුම් අතරින් මතුවූ රුසියානු කුලී හේවායෝ Reviewed by HarshaLulzSec on March 28, 2018 Rating: 5

යැංකි රහස් මෙහෙයුම් - 4

March 28, 2018

සීතල යුද සමයේදී පැසිෆික් සාගරයේ අනතුරට ලක්වූ K-129 නම් සෝවියට් න්‍යෂ්ඨික සබ්මැරීනය රහසිගතව ගොඩගෙන සෝවියට් න්‍යෂ්ඨික මිසයිල තාක්ෂණය සහ ඒ තුල වූ රහසිගත ලිපිගොනු අත්පත් කරගැනීමට එක්සත් ජනපදය දියත් කල Azorian නම් මෙහෙයුම ගැන තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

K-129 නම් සෝවියට් සබ්මැරීනය

K-129 සබ්මැරීනය ගිලී ගිය මුහුදු ප්‍රදේශය


මෙම කතාව ඇරඹෙන්නේ පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ K-129 නම් සෝවියට් සබ්මැරීනය මෙගා ටොන් ගණනක් බර න්‍යෂ්ටික මිසයිල 4 සහ නාවිකයන් 70ක් සහිතව උතුරුදිග පැසිෆික් සාගරයේ අනතුරට ලක්ව ගිලී යෑමෙන්ය.ඇතුලත සිදුවූ පිපිරීමක් නිසා මෙම සබ්මැරීනය හවායි දූපත්වලට නෑවික සැතපුම් 1900 උතුරින් ගිලීගොස් තිබිණි.ඇමෙරිකානුවන්ගේ නිරීක්ෂණයන්ට අනුව මෙම සිදුවීම 1968 මාර්තු මස 8 වෙනිදා සිදුව තිබේ.නාවික බුද්ධි තොරතුරුවලට අනුව එය උතුරු අක්ෂාංශ 40 ත් දේශාංශ 180 ත් ආසන්න ප්‍රදේශයේ අනතුරට ලක්ව තිබිණි.අනතුරෙන් පසුව සබ්මැරීනය සොයාගැනීමට සෝවියට් දේශය මහා පරිමාණ මෙහෙයුමක් මාස දෙකක් තිස්සේ සිදුකර තිබුණද ඔවුන්ට කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකිව තිබේ.සෝවියට් දේශය තම උත්සාහය අතහැර දැමුවද ඇමෙරිකාව රහසිගතව මෙම ගිලීගිය සබ්මැරීනය ගැන තොරතුරු රැස්කරන ලදි.1974දී ඔවුන් සබ්මැරීනය ගොඩගැනීමට Project Azorian නම් ව්‍යාපෘතිය දියත් කරන ලදි.මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් එක්සත් ජනපදය ඇ.ඩො.මිලියන 800ක් ආයෝජනය කර තිබේ.වර්තමානයේ(2016) නම් එම මුදල ඇ.ඩො.බිලියන 3.8ක් වන බව කියවේ.

R-21 මිසයිලයක්

සෝවියට් සබ්මැරීනයක් අත්පත් කරගැනීමෙන් ඇමෙරිකානුවන්ට ලැබෙන්නේ මොනවාද?සෝවියට් න්‍යෂ්ඨික මිසයිල කිහිපයක් මෙම සබ්මැරීනය තුල තිබිණි.ඒවා R-21 නම් වර්ගයට අයත් වේ.R-21 යනු සබ්මැරීනයක සිට නිකුත් කල හැකි පළමු සෝවියට් න්‍යෂ්ඨික මිසයිල වර්ගයයි.සෝවියට් න්‍යෂ්ඨික මිසයිල තාක්ෂණය අධ්‍යයනය කිරීමට හැකිවීම ඇමෙරිකාවට මේ හරහා ලැබෙන එක් වාසියකි.සෝවියට් නාවික කේත කියවීමට හැකි උපකරණ(cryptological documents /equipments) සබ්මැරීනය තුල අනිවාර්යයෙන්ම අඩංගු විය හැකි බව ඇමෙරිකානුවන්ගේ විශ්වාසය විය.එම රහස් අත්පත් කරගත්විට සෝවියට් නාවික හමුදාවේ මෙහෙයුම්,සබ්මැරීන සහ නෞකාවල ගමන් මාර්ග ගැන වැදගත් තොරතුරු අනාවරණය කරගැනිමට ඇමෙරිකානුවන්ට අවස්ථාව උදාවේ.

Richard M. Nixon

සබ්මැරීන සහ වෙනත් දියුණු තාක්ෂණයන් යොදාගෙන ඇමෙරිකානුවන් අනතුරට ලක්වු සෝවියට් සබ්මැරීනය සොයාගනියි.තොරතුරු සියල්ල සනාථ කිරීමෙන් පසුව සෝවියට් සබ්මැරීනය රහසේම සොරාගැනීමට ජනපති රිචඩ් නික්සන් අවසර ලබාදෙයි.


Project Azorian ව්‍යාපෘතිය


සෝවියට් R-21 සබ්මැරීනය ගොඩගැනීමට සැලැස්මක් තැනීමට 1969 වසරේදී CIA සංවිධානය විසින් ඉන්ජිනේරුවන් සහ තාක්ෂණවේදීන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් සූදානම් කරන ලදි.ටොන් 2500 වඩා බර සබ්මැරීනයක් අඩි 16,500ක් ගැඹුරු සාගර ප්‍රදේශයකින් ගොඩගන්නේ කෙසේද? මෙම මෙහෙයුම කිසිවෙක්ගේ අවදානයට ලක්නොවී විශේෂයෙන්ම සෝවියට් දේශයේ නිරීක්ෂණයන්ට ලක්නොවී රහසිගතව සිදුකරන්නේ කෙසේද?


ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක පිටපතකින් ලබාගත් සැලැස්මක් ආකාරයේ රහසිගත සැලස්මක් නිර්මාණය කරන්නට මෙම කණ්ඩායම සමත්විය(මෙම සිද්ධිය 1977 තිරගතවූ The Spy Who Loved Me නම් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයට පාදක කරගන්නා ලදී).මෙම අපූරු සැලැස්ම කොටස් තුනකින් සමන්විත විය.

1.recovery ship-මුහුදු පතුල දෙසට විවෘත කිරීමට හැකි සහ වසා දැමිය දොරවල් තිබෙන අභ්‍යන්තර කුටියක් සහිත දැවැන්ත නෞකාවක්



2.capture vehicle-මෙය නෞකාවේ සිට මුහුදු පතුලට යැවුනු දැවැන්ත අත් සහිත කොටසකි.සබ්මැරීනය ආරක්ෂිතව අල්ලාගැනීමට මෙම යන්ත්‍රය නිපදවා තිබිණි.



3.ඩැහැගත් සබ්මැරීනය ඉන්පසු බත්තලකට පටවයි.මෙම බත්තල වහලයක් සහිතව ජලයේ ගිල්විය හැකි අයුරින් නිර්මාණය කර තිබිණි.ඒ කිසිවෙක්ගේ අවධානයට ලක්නොවන අයුරින් සබ්මැරීනය ප්‍රවාහනය කිරීමයි.



Howard Hughes

සැලැස්මේ පළමු කොටස හෙවත් දැවැන්ත බේරාගැනීමේ නෞකාව නිර්මාණය කිරීම පැවරුණේ බිලියනපතියෙක් වූ Howard Hughes හටය.ඔහු ඊට පෙරත් එක්සත් ජනපද හමුදාවේ මෙවැනි රහස් ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය කල නිර්මාණ සැපයූ අයෙකි.නමුත් Howard Hughesගේ සමාගම් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ කරගෙන නැත.ඔහුගේ සමාගම් විසින් Hughes Glomar Explorer නමින් හඳුන්වන නෞකාව මේ රහස් ව්‍යාපෘතිය වෙනුවෙන් නිර්මාණය කරන ලදි.එය අඩි 619 දිග,අඩි 116 පළල නෞකාවකි.Hughes Glomar Explorer නෞකාව ඇ.ඩො.මිලියන 350ක් වටිනා එකකි.නෞකාවේ පළමු මුහුදු ගමන 1974 ජූනි 20 දා සිදුකර තිබේ.එය නිර්මාණය කලේ මුහුදේ තිබෙන මැග්නීසියම් කැණීම සඳහා බවයි කියවුනේ.නමුත් එහි නියම අරමුණ හෙළිවන්නේ පසුකාලයේදී.

Hughes Glomar Explorer නෞකාව

Hughes Glomar Explorer නෞකාව Long Beach හි නවතා තිබූ අයුරු(1974)

Hughes Glomar Explorer නෞකාවේ සැලැස්ම

K-129 සබ්මැරීනය මුහුදු පත්ලේ සිට මතුපිටට ඔසවාගෙන ආ හැකි නිය සහිත අඬුවක ආකාරයේ උපකරණය නිර්මාණය කලේ ලොක්හීඩ් සමාගමයි.එය Clementine යන නමින් හැඳින්වූ අතර ටොන් 2170 ක බරකින් යුක්ත විය.මෙම උපකරණය අඩි 179ක දිගක් සහ අඩි 31 පළලක් සහිතව නිර්මාණය කර තිබිණි.





මෙම දැවැන්ත මෙහෙයුම ලෝකයෙන් වසන් කරන්නට එක්සත් ජනපදය සාර්ථක සැලැස්මක් නිර්මාණය කර තිබිණි.මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණේ මෙය මුහුදු පත්ලේ ඛනිජ කැණීමේ මෙහෙයුමක් බවයි(Economist magazine).නිව්සයන්ස්ටිස්ට් මගින් වාර්තා කලේ නෞකාව මගින් දිනකට ටොන් 5000ක් කණින බවයි.

සබ්මැරීනය ගොඩගත් පසු එය නොපෙනෙන ලෙස ප්‍රවාහනය කිරීමට යොදාගත් සම්පුර්ණයෙන්ම ජලයේ ගිල්විය හැකි බත්තල






කැලිෆෝනියා වෙරළ ආසන්නයේ තිබූ එම විශේෂිත බත්තල



බත්තල ක්‍රමයෙන් ජලයේ ගිල්වන අයුරු



K-129 සබ්මැරීනය ගොඩගැනීමේ මෙහෙයුම දියත් කරන්නට පෙර එක්සත් ජනපද නාවික හමුදාව ගැඹුරු මුහුදේ දියත් කල පෙරික්සුම්වලදී ගිලීගිය සෝවියට් සබ්මැරීනයේ ඡායාරූප 20,000 වඩා ලබාගෙන තිබූ බව සඳහන්වේ.ජනපති නික්සන් සහ ජාතික ආරක්ෂක උපදේශක හෙන්රි කීසිංගර් විසින් මෙම මෙහෙයුම අනුමත කල මුත් ටොන් 2000 වැඩි බරක් සහිත සබ්මැරීනයක් අඩි 17,000 පමණ ගැඹුරේ සිට මතුපිටට ගෙන ඒම දැවැන්ත කාර්යයකි.ඒ කාලයේදී ගැඹුරු මුහුදේ මෙවැනි ගොඩ ගැනීමක් සිදුකල උපරිම ගැඹුර වූයේ අඩි 245 මුහුදු පත්ලේ තිබූ චන්ද්‍රිකාවක කොටසක්(රාත්තල් සියගණනක් බර)ගොඩගැනීමයි.

සෝවියට් සබ්මැරීනය ගිලීගොස් තිබූ ප්‍රදේශයේ ගැඹුර සම්බන්ධ අවබෝධයක් ලබාගත හැකි සටහනක්



Hydrophone - ජලය යට ශබ්දවලට ඇහුම්කන් දීමට තැනූ මයික්‍රෝපෝනයක්


එක්සත් ජනපද නාවික හමුදාව හයිඩ්‍රෝපෝන් ජාලයක් යොදාගෙන සබ්මැරීන සහ නෞකාවල සාමාන්‍යය මුහුදු ගමනාගමනය සම්බන්ධ තොරතුරු රැස් කරන ලදි.එම තොරතුරු ඔස්සේ ඔවුන් සෝවියට් K-129 සබ්මැරීනය ගිලීගිය ප්‍රදේශය හඳුනාගැනීමට සමත්ව තිබිණි.ඉන්පසු මුහුදු පතුලට යැවූ කැමරාවක් ඔස්සේ සබ්මැරීනය සොයාගත් අතර එය කොටස් දෙකකට කැඩී තිබෙන බව නිරීක්ෂණය විය.1974 ජූනි 20 දා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සිට ගමන් ඇරඹූ Hughes Glomar Explorer නෞකාව සබ්මැරීනය ගිලීගිය ප්‍රදේශයට පැමිණියේ 1974 ජූලි 4 වෙනිදාය.එතැන් පටන් ඇරඹුණු සබ්මැරීනය ගොඩ ගැනීමේ මෙහෙයුම මාසයක් පුරා සිදුකර තිබේ.නමුත් එම කාර්යය තමන්ට රිසි පරිදි නිවීසැනහිල්ලේ කිරීමට නම් ඇමෙරිකානුවන්ට අවස්ථාවක් නොලැබී තිබේ.මන්ද එම කාල සීමාව තුල සෝවියට් නෞකා 2ක්,Hughes Glomar Explorer නෞකාව අවට ප්‍රදේශය සැරිසැරීමයි.සෝවියට් නැව් එම මුහුදු කලාපයේ සැරිසැරුවේ තම සබ්මැරීනය ගොඩ ගැනීමේ ඇමෙරිකානු උත්සාහයක් ගැන සැක සිතීම නිසා බව 1991 පසු අනාවරණය වී තිබේ.එවැන්නක් සිදුවේ නම් වහාම එය වැළැක්වීමට ක්‍රියා කරන ලෙස සෝවියට් නාවික හමුදාවට උපදෙස් ලැබී තිබුණද සබ්මැරීනය ගිලීගිය ස්ථානය සෝවියට් දේශය විසින් නිවැරදිව හඳුනාගෙන නොතිබූ නිසා එවැන්නකට ඉඩ නොලැබුණි.




සෝවියට් නෞකාවල නිරීක්ෂණයට ලක්නොවී සූක්ෂමව සබ්මැරීනය ගොඩගැනීමට ඇමෙරිකානුවන්ට සිදුවිය.සෝවියට් හෙලිකොප්ටර් Hughes Glomar Explorer නෞකාවේ තට්ටුව මත ගොඩබෑම වැළැක්වීමට පථය අවුරා දමන ලදි.නමුත් සබ්මැරීනය මතුපිටට ගෙන එද්දී එහි සුන්බුන් සාගරය ජලයේ ඉලිප්පීමට තිබෙන ඉඩ නිසා මෙහෙයුමේ රහස්‍යබාවය සෝවියට් නාවික හමුදාවට අනාවරණය වීමේ අවදානමක්ද තිබිණි.1974 අගෝස්තු මාසයේ 4 වනදා සබ්මැරීනය මතුපිටට රැගෙන එද්දී එහි කොටසක් යළි කඩා වැටිණි.ඉතිරි වූයේ ඉන් 2/3 කොටසක් පමණි(අඩි 38 කැබැල්ලක්).මෙම අසාර්ථකත්වයට බලපෑවේ සබ්මැරීනය ඩැහැගැනීමට නිර්මාණය කර තිබූ උපකරණයේ ලෝහ නිය ශක්තිමත් ලෝහයෙන් නිර්මාණය කර තිබුණත් ඒවා නැමෙන සුළු නොවීමයි.සබ්මැරීනයේ අනෙක් කොටස ආපසු ගොඩගැනීම සඳහා උපකරණය් යළි නිර්මාණය කිරීමට අවශ්‍ය විය.එනම් දෙවන මෙහෙයුමක් සිදුකිරීමට සිදුව තිබිණි.නමුත් Project Azorian ව්‍යාපෘතියේ රහස්‍යභාවය මාධ්‍ය ඔස්සේ අනාවරණය වීම නිසා දෙවන මෙහෙයුමකට යෑමට තිබූ හැකියාව අහෝසි විය.





මෙහෙයුම 1974 අගෝස්තු මාසයේදී අවසන් වේ.Project Azorian ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම අසාර්ථක එකක් නොවීය.එහිදී ටෝර්පිඩෝ දෙකක් ගොඩගන්නා ලදි.ඊට අමතරව සෝවියට් නාවිකයන් හයදෙනෙක්ගේ මළසිරුරුද සොයාගන්නා ලද අතර ඒවා ලෝහ පෙට්ටිවල දමා හමුදා ගෞරව සහිතව මුහුදේදීම භූමදාන කර තිබේ.Hughes Glomar Explorer නෞකාව 1974 සැප්තැම්බර් මාසයේදී වෙත පැමිණෙන්නේ සබ්මැරීනයෙන් ලබාගත් ද්‍රව්‍යයන් සහිත පෙට්ටි සමගයි.ගොඩගත් සබ්මැරීනයේ කොටස වොෂින්ටන් හි ඹන්ගොර් සබ්මැරීන කඳවුරට ගෙනයන ලදි.


Project Azorian ව්‍යාපෘතිය අනාවරණය වීම


පළමුවරට Azorian ව්‍යාපෘතිය සම්බන්ධව එක්සත් ජනපද වැසියන් දැනුවත් කරන්නේ Jack Anderson නැමැත්තාය.ඉන්පසු Seymour Hersh නම් මාධ්‍යවේදියා විසින් මෙම රහස් ව්‍යාපෘතිය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඔස්සේ අනාවරණය කරයි(1975 පෙබරවාරි ).ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පතද මේ සම්බන්ධව ලිපියක් පළකරයි(1975 මාර්තු ).සබ්මැරීනය ගොඩගැනීමේ මෙහෙයුම CIA සංවිධානය විසින් චිත්‍රපටගත කර තිබූ අතර එය තවමත් සම්පුර්ණයෙන් ප්‍රසිද්ධ කර නොමැති අතර භූමදාන කල සෝවියට් නාවිකයන්ගේ සිරුරු හය 1992 දී රුසියානුවන්ට භාරදෙන අයුරු එම චිත්‍රපටයේ කොටසක අඩංගුව තිබේ.2010 වසරේදී Azorian ව්‍යාපෘතිය සම්බන්ධව වාර්තාවක් CIA සංවිධානය විසින් නිකුත් කරන ලදි.



මළසිරුරු භාරදෙන අයුරු දැක්වෙන වීඩියෝපටය




සෝවියට් දේශයේ ප්‍රතිචාරය


එක්සත් ජනපදය දියත් කල Azorian ව්‍යාපෘතිය ලෝකය ඉදිරියේ එළිදරව් වීමෙන් පසුව සෝවියට් දේශය ඒ සම්බන්ධව කිසිදු නිල නිවේදනයක් නිකුත් නොකිරීම ධවල මන්දිරය පුදුමයට පත් කලේය.නමුත් ඔවුන් අපේක්ෂා කලේ 1960 දී ඇමෙරිකානු ඔත්තු බැලීමේ යානයක්(U-2) සෝවියට් ගුවන් සීමාවේදී වෙඩි තබා බිම හෙළීමේ සිද්ධියේ පසු ඇතිවූ තත්ත්වයට සමාන තත්ත්වයක් මෙම අනාවරණය විම ඔස්සේ සිදුවේවි යැයි කියාය.


සෝවියට් දේශය මේ සම්බන්ධව ප්‍රසිද්ධියේ ප්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිටීමට හේතුවිය හැකි කරුණු අඩංගු වාර්තාවක් 1975 අප්‍රේල් මාසයේදී CIA සංවිධානය විසින් පිලියෙල කරන ලදි.

-සෝවියට් දේශයේ සිට බොහෝ දුරකින් සබ්මැරීනය අනතුරට ලක්වීමත්,ඒ සඳහා මැදිහත්වීමට දරන ප්‍රයත්නයක් ඉතා දුෂ්කර එකක් වීම.

-තම සබ්මැරීනය අනතුරට ලක්වූ ස්ථානයවත් සොයාගැනීමට සෝවියට් දේශයට නොහැකිවූ බව ලෝකයා ඉදිරියේ අනාවරණය වීම වැළැක්වීම.තමන්ට වඩා එක්සත් ජනපදය තාක්ෂණික අතින් ඉහළින් පසුව බවත් ඔවුන් තම සබ්මැරීනය සොයාගත්තා පමණක් නොව එය ගොඩගැනීමටද සමත්වූ බව සනාථ වීම තම අභිමානයට කැළලක් බව සෝවියට් දේශය සිතීම.

-වසර පහක් තිස්සේ කැණීමේ ව්‍යාපෘතියක් ලෙස හුවාදක්වමින් සැලසුම් කල ඇzඔරිඅන් ව්‍යාපෘතිය සම්බන්ධව කිසිදු බුද්ධි තොරතුරක් අනාවරණය කරගන්නට සෝවියට් දේශයේ බුද්ධි අංශවලට නොහැකිවූ බව සඟවාලීම.


සෝවියට් දේශයේ නිහඬ බවට හේතු ලෙස CIA සංවිධානය විසින් සඳහන් කර තිබුණේ ඉහත කරුණුය.නමුත් තමන් දෙවන මෙහෙයුමක් දියත් කල හොත් සෝවියට් දේශය ඔවුන්ගේ සියලු ශක්තිය එය නැවැත්වීම වෙනුවෙන් යොදවාවි යැයි CIA සංවිධානය අනතුරු අඟවා තිබිණි.1975 ජූනි 16දා කීසිංගර් විසින් ජනපති ෆෝර්ඩ් වෙත එවන ලද ලියවිල්ලකට අනුව ව්‍යාපෘතිය තවදුරටත් කරගෙන යෑමට සුදුසු තත්ත්වයක් නොමැති බවත් ,සෝවියට් දේශයෙන් දෙවන මෙහෙයුමට ප්‍රබල බලපෑම් එල්ලවීමේ ඉඩත් නිසා එය නවතා දැමීම සුදුසු බව යෝජනා කර තිබිණි.අවසානයේදී Azorian ව්‍යාපෘතිය අහවර කරන ලදි.

Project Azorian සම්බන්ධව නිර්මාණය කල චිත්‍රපටය



Source:Cracked.com

යැංකි රහස් මෙහෙයුම් - 4 යැංකි රහස් මෙහෙයුම් - 4 Reviewed by HarshaLulzSec on March 28, 2018 Rating: 5
Powered by Blogger.