2017 වර්ෂයේ එළිදැක්වූ රුසියාවේ නවතම අවි

December 22, 2017

2017 වර්ෂය ඉක්ම යෑමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.මෙම වසරේදී රුසියාව විසින් නිර්මාණය කල විශාලතම සහ කාලයක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි ගුවන් යානා තුනක් එළිදරව් කරන ලදි.ඒවා නම් මිග්-35 ජෙට් යානය,ටීයූ-160එම්2 උපාය මාර්ගික බෝම්බ හෙළන යානය සහ ඊළඟ පරම්පරාවේ පියාඹන රේඩාර්ය එහෙවත් ඒ-100 ගුවන් යානයයි.


MiG-35 යානය


2017 වර්ෂයේ පළමු සහ දැවැන්තම මංගල දර්ශනය වන්නේ 4++ පරම්පරාවේ ෆයිටර් ජෙට් යානයක් වන මිග්-35 යානයයි.ගුවන් කරණම් ගැසීම්,හැසිරවීම අතින් ඉහල තැනක සිටින මෙම යානය හඳුන්වාදීමත් සමග මිග්-29 පන්තියේ සියලුම ජෙට් යානා විශ්‍රාම යැවීමට නියමිතය.තවද මිග්-35 යානය රුසියාවේ පමණක් නොව ලොව පුරා රටවල ගුවන් හමුදාවල සේවයට එක්වීමට නියමිතය.

මෙම ජෙට් යානය උපරිම වේගය පැයට කි.මී.2700 බව සඳහන් වේ.මිග්-29 යානය සමග සසදන විට අලුත් සාමාජිකයාට වැඩි මිසයිල සහ බෝම්බ ප්‍රමාණයක් රැගෙන යා හැකිය.මිග් සමාගමේ අත්හදා බැලීමේ ගුවන් නියමුවෙක් වන මිකායිල් බෙල්යෙව්ට අනුව මෙම යානයේ අත්හදා බැලීම් දැනට අවසන් අධිරයේ තිබෙන අතර වසර කිහිපයක් ඇතුලත එය රුසියානු ගුවන් හමුදාවේ සේවයට එක් වනු ඇත.




Tu-160M2 යානය


මෙය සෝවියට් ධවල හංස යුගයේ නැවත ඉපදීමක් ලෙස හැඳින්විය හැකිය.Tu-160M2 යනු ලොව විශාලතම උපයා මාර්ගික බෝම්බ හෙළන යානයයි.මෙම පවුලේ නවතම සාමාජිකයාට පොළොව මට්ටමේ සිට කි.මී.18 ක උපරිම උසකින් පියාසර කල හැකි යැ‍යි සඳහන් වේ.අපරිවර්තී ගෝලයේ පළමු ස්ථරයට ආසන්න වන මෙම උස මට්ටමේදී ගුවන් යානයක් බිම හෙළීමට සමත් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් නොමැත.රුසියාව නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් පසුවන ඊළඟ පරම්පරාවේ බෝම්බ හෙළන යානය(PAK DA) සේවයට එක්වන තුරු එරට ගුවන් හමුදාව යානය සංක්‍රාන්ති මොඩලයක් ලෙස Tu-160M2 පාවිච්චි කරනු ඇත.Tu-160M2 යානය සෝවියට් යුගයේ ගුවන් යානයකට සමාන වුවද එය නූතනයට ගැලපෙන අංගෝපාංගයන්ගෙන් සමන්විතය.මාර්ගෝපදේශන පද්ධති,රේඩියෝ - ඉලෙක්ට්‍රොනික් අවි,පරිගණක පද්ධති සහ නවතම නියාමක බෝම්බ සහ මිසයිලවලින් එය සන්නද්ධය.

තවද  Tu-160M2 යානය සාම්ප්‍රදායික මෙන්ම න්‍යෂ්ඨික අවිවලින්ද සන්නද්ධ කිරීමට පුලුවනි.ඒවා අතර කි.මී.2000ක් දුරින් වූ ඉලක්කවලට පහරදීමට හැකි එච්-101(H-101) සහ එච්-555(H-555) දිගු දුර මිසයිලද තිබේ.ඊට අමතරව පොකුරු බෝම්බ,මුහුදු බෝම්බ,සන්නාහය සහ කොන්ක්‍රීට් පසාරු කරගෙන යන බෝම්බ, Tu-160M2 යානය රැගෙන යයි.



A-100 යානය


නව පරම්පරාවේ පුර්ව අනතුරු ඇඟවීමේ සහ පාලන ගුවන් යානයක්(AWACS) වන මෙහි බොහෝමයක් තොරතුරු අතිශය රහසිගත වේ.සෝවියට් අයි එල්-76(Il-76) ප්‍රවාහන ගුවන් යානය මත පදනම්ව නිර්මාණය කල මෙම යානය නවතම රේඩාර් සහ සන්නිවේදන පද්ධතිවලින් සමන්විතය.මෙවැනි යානා සැලසුම් කර තිබෙන්නේ ස්ටෙල්ත් ගුවන් සහ ගොඩබිම් හමුදා අනාවරණය කර ගැනීමටත් එම තොරතුරු එසැනින් පාලන මධ්‍යස්ථානයටත් ගුවනේ තිබෙන මිත්‍ර ප්‍රහාරක සහ බෝම්බ හෙළන යානාවලටත් ලබාදීමට හැකිවන පරිද්දෙනි.නවතම යානය සෝවියට් ඒ-50(A-50) මොඩලය වෙනුවට ආදේශ කිරීමට අපේක්ෂා කරයි.එය සේවයට පැමිණෙන්නේ 2020 දශකයේ මුල් භාගයේදීය.


Source:rbth.com
2017 වර්ෂයේ එළිදැක්වූ රුසියාවේ නවතම අවි 2017 වර්ෂයේ එළිදැක්වූ රුසියාවේ නවතම අවි Reviewed by HarshaLulzSec on December 22, 2017 Rating: 5

යුදෙව් දේශයේ සිහිනය

December 13, 2017

සිරියාව 2011 වර්ෂයේ පටන් යුද පිටියක් බවට පත්ව තිබෙන්නේ කවර පාර්ශ්වයන්ගේ කුමන්ත්‍රණ හමුවේදැයි අමුතුවෙන් කිවයුතු නැත.2015 වර්ෂය මැදභාගය වන විට සිරියානු රජයේ හමුදා ක්‍රමයෙන් පරාජය කරා ගමන් කරමින් සිටියහ.නමුත් 2017 වර්ෂය වන විට සියල්ල කණපිට පෙරළී තිබේ.රුසියානුවන්ගේ සහාය ඇතිව සිරියානු රජයේ හමුදා ජයග්‍රාහී මාවතට අවතීරණය වී තිබේ.එවන් තත්ත්වයක් යටතේ ජනපති බෂාර් අල් අෂාඩ්ට බරපතල චෝදනා එල්ල කරන්නට ඔහුට විරුද්ධ පාර්ශ්වයන් පෙළ ගැසී තිබේ.ඊශ්‍රායලය යනු සිරියාව අද පත්ව තිබෙන තත්ත්වයට වගකිව යුතු එක් රටකි.ජනපති අෂාඩ් ඝාතනය කල යුතු යැ‍යි මැයි මාසයේදී එරට ඇමතිවරයෙක් බරපතල ප්‍රකාශයක් සිදුකර තිබිණි.

එරට නිවාස කටයුතු පිළිබද අමාත්‍ය යොව් ග්ලාන්ට් මැයි මස 16දා ප්‍රකාශ කර තිබුණේ සිරියාවේ සිදුවන සමූල ඝාතන වලට අෂාඩ් වගකිවයුතු බවත් ඔහුව මුලිනුපුටා දැමීමට කාලය පැමිණ ඇති බවත්ය.

"සිරියාව තුල මනුෂ්‍ය ඝාතනවල යථාර්තය වන්නේ,රසායනික අවි යොදාගෙන මරාදමන මිනිසුන්ගේ දේහයන් පුලුස්සා දැමීමයි.පසුගිය වසර 70 කාලය තුල මෙවැනි දෙයක් අපි දැක නැහැ.අපේ රතු ඉර පැනලා තියෙන්නේ දැන්.ඇත්ත වශයෙන්ම අෂාඩ් මුලිනුපුටා දමන්න මේක තමයි වෙලාව" යනුවෙන් අමාත්‍ය යොව් ග්ලාන්ට් කිය සිටියේය.ඔහු ඊශ්‍රායල හමුදාවේ හිටපු මේජර් ජෙනරල්වරයෙක් මෙන්ම ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙක්ද වේ.

අමාත්‍ය යොව් ග්ලාන්ට්
ඊට පෙර අමාත්‍යවරයා සමග පැවැත්වූ ගුවන් විදුලි සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ දෙවන ලෝක යුද්ධ සමයේ ඇඩොල්ෆ් හිට්ලර්ගෙන් පසුව දුටු නරකම පාලනය අෂාඩ් විසින් ගෙන යන බවයි.

"සිරියාවේ සිදුවෙමින් තිබෙන්නේ සමූල ඝාතනයකි.ඒවා බොහෝ රහසිගතව සිදුවේ.ඊශ්‍රායලයට අවශ්‍ය අෂාඩ් සහ අලාවිට් පාලනතන්ත්‍රය බලයෙන් පහකර මධ්‍යස්ථ මතධාරී සුන්නි පාලකයෙක් බලයේ පිහිටුවීමයි"-අමාත්‍ය යොව් ගලාන්ට්.

මරාදමන සිරකරුවන් පුලුස්සා දැමීමට කුප්‍රකට සෙඩ්න්‍යා හමුදා බන්ධනාගාර භූමියේ ආදාහනාගාරයක් අෂාඩ් රජය විසින් ඉදිකර තිබෙන බවට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව මැයි මාසයේ 15දා චෝදනා කරන ලදි."2013 වර්ෂය ආරම්භයේදී සෙඩ්න්‍යා බන්ධනාගාර සංකීර්ණය නවීකරණය කර ඊට ආදාහනාගාරයක් එකතු කරන්නට සිරියානු රජය පියවර ගත්තා.බන්ධනාගාරය තුල මහා පරිමාණයෙන් සිදුකෙරෙන සිරකරුවන් ඝාතනය කිරීම් සඟවන්නට ඔවුන් මෙම ආදාහනාගාරය යොදාගන්න බවට අපි විශ්වාස කරනවා.මෙම කෲරකම් සිදුවන්නේ ඉරානය සහ රුසියාවේ කොන්දේසි විරහිත සහායෙන් බවට පෙනී ගොස් තිබේ"- රාජ්‍ය ලේකම් සහකාර,ස්ටුවට් ජෝන්ස්.

සෙඩ්න්‍යා බන්ධනාගාර සංකීර්ණය

"සුන්නි මුස්ලිම් රටවලට සහාය දීමෙන් ඈත්ව ෂියා මුස්ලිම් රටවලට කිට්ටුවීමට උත්සාහ කිරීම ඔබාමා පරිපාලනය සිදුකල උපායමාර්ගික අත්වැරැද්දකි.නමුත් ට්‍රම්ප් පරිපාලනය ඊට වෙනස්ය.මීට වසර එක හමාරකට පෙර සිරියාව සුන්නි පාලනයක් දෙසට ගමන් කරන බව පෙනෙන්නට තිබුණත් ඉන් පසුව සිදුවන රුසියානු මැදිහත්වීමත් ඔවුන් චෙච්නියාවේදී පළමුවරට යොදාගත් නගර අවහිර කිරීමත් ඒ අතරතුර දිගින් දිගටම ගුවනින් බෝම්බ හෙලීමත් යන උපායමාර්ගයෙන් සටන් කිරීමට කැරලිකරුවන්ට තිබූ කැමැත්ත බිදී ගොස් තත්ත්වය වහා වෙනස් විය.රුසියානුවන් අෂාඩ් හට සහාය ලබාදුන්නද ඔවුන් කලාපයේ වැදගත්කම සහ තමන් එකතුව සිටින්නේ කා සමගදැයි ඔවුන් දනියි" -අමාත්‍ය යොව් ගලාන්ට්.

සිරියාවට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු අහස දිස්වූ අයුරු.2014 දෙසැම්බර් 7.
 "යුද්ධය අවසන් වූ පසු ඔවුන්ගේ මරණවලට පළිගැනීමේ චේතනාවෙන් සිරියාවේ සුන්නි මුස්ලිම් ජනයා මිලියන 20ක් තවමත් සිටින බව රුසියානුවන් දන්නවා සේම තමන් එහි ඉලක්කයක් බවට පත්වන බවත් ඔවුන් දනියි.එසේම සුන්නි මුස්ලිම් බහුතරය සමග වඩා හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට අෂාඩ් කැපකර හෝ ප්‍රවේශ මාර්ගයක් සාදා ගැනීමට රුසියානුවන් උත්සාහ කරාවි" -අමාත්‍ය යොව් ගලාන්ට්.

සිරියාවේ ක්නීට්‍රා හි හමුදා කඳවුරකට ඊශ්‍රායල හමුදාව එල්ල කර ප්‍රහාරයකින් පසුව එම ප්‍රදේශය දිස්වූ අයුරු.2017 අප්‍රේල් 23.

අමාත්‍ය යොව් ගලාන්ට් අනුව ඊශ්‍රායලයට එරෙහිව ඉතිරිව තිබෙන ප්‍රධානතම තර්ජනය වන්නේ ඉරානයයි.ඉරානය ඊශ්‍රායලයට සමීප වීමට ටෙහෙරානයේ සිට ඉරාකය හරහා ඩැමැස්කස් දක්වා ගොඩබිම් පාලමක් විවෘත කරගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.සිරියාව පිටුපස සිටින්නේ ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානයයි.ඉරානය ලෝකයේ ආරක්ෂාවට තර්ජනයකි.ඉරානය යනු ප්‍රශ්නයක් මිස පිළිතුරක් නොවේ.අපි සර්පයාගේ වලිගය(අෂාඩ්) අල්ලා ගත් විට උගේ හිස ටෙහෙරානයෙන් සොයාගත හැකිය.

සෙඩ්න්‍යා බන්ධනාගාර සංකීර්ණය-චන්ද්‍රිකා ඡායාරූපයක්
ඇමෙරිකාව විසින් නගන ලද සිරකරුවන් මරා පිළිස්සීමේ චෝදනාව මැයි 16දා සිරියානු රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.සිරියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ එම චෝදනාව යතාර්ථයෙන් දුරස්ථ වූ හොලිවුඩයේ තවත් එක් අලුත් කතාවක් බවයි.ඉහත කී බන්ධනාගරයේදී සතියකට සිරකරුවන් 20-50 ඇතුලු පිරිසක් එල්ලා මරා දමන බවත් 2011-2015 කාල සමය තුල පුද්ගලයින් 5000-13000 අතර පිරිසක් එහිදී ඝාතනය කරන්නට ඇතිබවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ වාර්තාවක සඳහන් වේ.

සිරියානු හමුදාවට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ගෝලාන් උස්බිම්වල ජබාතා අල්-කෂාබ් නම් සිරියානු ගම්මානයෙන් දුම් රොටු ඉහලට නගින අයුරු.2016 සැප්තැම්බර් 10.
ඊශ්‍රායලය කලක පටන් ගෝලාන් උස්බිම් ආසන්නයේ සිටින ඩැමැස්කස් රජයට පක්ෂපාතී හමුදාවන්ගේ ස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කරයි.ඔවුන් කියන්නේ එම ප්‍රහාර සිරියානු හමුදාව සිදුකරන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස එල්ල කරන ඒවා බවයි.නමුත් යතාර්ථය අමාත්‍ය ගේ ප්‍රකාශවලින් මනාව පැහැදිලිවේ.ඊශ්‍රායල-සිරියා දේශසීමාවේ බලය අල්ලාගෙන සිටින්නේ සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන් සහ කැරලිකරුවන්ය.ඊශ්‍රායලයට අවශ්‍යව තිබෙන්නේ සිරියාව සුන්නි පාලනයක් යටතට ගෙන ඒමයි.සිරියානු රජයේ හමුදාව මේවන විට දියත් කර තිබෙන මෙහෙයුම් හමුවේ සුන්නි මුස්ලිම් කැරලිකරුවන්ට ඊශ්‍රායල-සිරියා දේශසීමාවේ බලය ක්‍රමයෙන් අහිමි වෙමින් යයි.රජයේ හමුදාවන්ට එරෙහිව සටන් වැදී සිටින ත්‍රස්තවාදීන් සතුව තිබී ඊශ්‍රායලයේ නිපදවූ අවි සහ යුද්ධෝපකරණ අවස්ථා කිහිපයකදී සොයාගන්නට හැකිව තිබේ.තවද සටන්වලින් තුවාල ලබන ත්‍රස්තවාදීන්ට ඊශ්‍රායලය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවට පැහැදිලි සාක්ෂි හමුවී ඇත.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග ඊශ්‍රායලය උපායමාර්ගික මිත්‍රත්වයක් පවත්වාගෙන යන බවත් වරක් ත්‍රස්තවාදීන් ඊශ්‍රායල හමුදාවට එල්ල කර ප්‍රහාරයක් සම්බන්ධව ඔවුන් සමාව ඉල්ලා සිටි බවත් ඊශ්‍රායලයේ හමුදා සබදතා පිළිබද හිටපු අමාත්‍ය මොෂේ යාලන් විසින් අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කර සිටියේය.ගෝලාන් උස්බිම්වල සටන්වලදී ජබාත් ෆාටා අල්-ෂාම් සංවිධානයට(කලින් අල්-නුස්රා පෙරමුණ)ටෙල් අවිව් රජය සෘජුවම සහාය ලබාදෙන බව 2016 සැප්තැම්බර් මාසයේදී ඊශ්‍රායල නීතිසම්පාදකයෙක් වන අක්‍රම් හසන් චෝදනාවක් එල්ල කරන ලදි.



Source:jpost.com

යුදෙව් දේශයේ සිහිනය යුදෙව් දේශයේ සිහිනය Reviewed by HarshaLulzSec on December 13, 2017 Rating: 5

නූතන සීතල යුද්ධයේ අවි

December 06, 2017

වසර හැත්තෑ එකකට පෙර පළමු සීතල යුද්ධය ඇරඹුණු අතර වසර විසිපහකට පෙර එය අවසන් විය.නමුත් රුසියාවේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තියට එරෙහිව යැයි කියමින් එක්සත් ජනපදය නේටෝ හමුදා සහ යුද ටැංකි නැගෙනහිර යුරෝපය තුල විශේෂයෙන්ම බෝල්ටික් රටවල ස්ථානගත කිරීමට කටයුතු කරමින් සිටියි.බර්ලීන් තාප්පය බිද දමා වසර 27කට පසුව යුරෝපය තුල මේ සිදුවෙමින් පවතින හමුදාමය සන්නද්ධ වීම තවත් සීතල යුද්ධයක ආරම්භයද?

නේටෝ සංවිධානයේ සාමාජිකයෝ(නිල් පැහැයෙන්)

සීතල යුද්ධයේදී ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ,රුසියාව ප්‍රමුඛ වෝර්සෝ ගිවිසුමේ රටවලට එහිව පෙරමුණ ගත්හ.මේ නිසා වසර 45ක කාලයක් යුරෝපය කඳවුරු දෙකකට බෙදී පැවතිණි.මෙම බෙදී යාම ඔස්සේ ලෝකය න්‍යෂ්ඨික යුද්ධයක ගොදුරක් බවට පත්වීමේ අවදානම අවස්ථා කිහිපයකදීම මතුවිය.

සීතල යුද්ධයේ අවසානය ලෝක ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවකි.එහි ප්‍රතිඵලය ඇමෙරිකා එක්සත් ජනපදය තනි ලෝක බලවතා බවට පත්වීමයි.ඉන්පසු නේටෝ සංවිධානය ප්‍රසාරණය වන්නට පටන් ගන්නේ කලින් වෝර්සෝ සංවිධානයට අයත් වූ රටවල් පමණක් නොව සෝවියට් දේශයේ කොටස් ලෙස පැවතුණු රටවල්ද ඊට එකතු කරගනිමින්ය.රුසියාවද ක්‍රමයෙන් ධනවාදී ආර්ථික ක්‍රමයට හුරුවන්නට විය.

බර්ලින් තාප්පය බිඳ දැමීම
සීතල යුද්ධය අවසන් වුවද එක්සත් ජනපදයේ ප්‍රතිවාදියා නැසී ගියේ නැත.රුසියාව තවමත් ලෝක බලවතෙක් බව පෙන්වා දුන්නේ විලැඩ්මීර් පුටීන් එරට ජනපතිවරයා බවට පත්වීමෙන් පසුවයි.වසර 2000 සිට 2008 දක්වා ධූර කාල දෙකක් ජනපති වූ ඔහු 2009-2012 කාලයේ අගමැති ලෙස කටයුතු කර තුන්වන වරත් ජනපති බවට පත්විය.ඔහුගේ මග පෙන්වීම යටතේ රුසියාව යළිත් වරක් යුදමය වශයෙන් සන්නද්ධ වීම ඇරඹිණි.1990 දශකයේ අවසන් භාගයේදී බටහිර බලවේග සමග එක්වූ ඉස්ලාමීය බෙදුම්වාදීන් චෙච්නියාව රුසියාවෙන් උදුරාගැනීමට උත්සාහ කලද පුටීන්ගේ පාලන කාලයේදී එම උත්සාහය පරාජය කරන ලදි.2008 වර්ෂයේදී රුසියානු හමුදා ජෝර්ජියාව ආක්‍රමණය කරන ලදි.2014දී ක්‍රිමියාව ඈදාගත් ඔවුන් යුක්‍රේනයේ බටහිර ප්‍රදේශයේ රුසියානු හිතවාදී බෙදුම්වාදීන්ට සහාය ලබාදීම ඇරඹීය.

නේටෝ හමුදා රථ පෙළක් ලැට්වියාවේ
ඇමෙරිකානු සෙබලුන් පෝලන්තයේ

මේවාට ප්‍රතිචාර ලෙස නේටෝව රුසියාව ආසන්න රටවල සිය හමුදා ශක්තිය තරකරන්නට පියවර ගනිමින් සිටියි.මෙය අලුත් සීතල යුද්ධය නම්, වසර 25කට පෙර අවසන් වූ සීතල යුද්ධයෙන් එය වෙනස් වන්නේ කෙසේද?පහත දැක්වෙන්නේ යුද තාක්ෂණය ගොඩබිම,මුහුද,ගුවන සහ අභ්‍යාවකාශයේ සටන් කිරීම සඳහා වෙනස්ව තිබෙන අයුරුය.



එක්සත් ජනපදය - එදා: එම්1 ඒබ්‍රම්ස් යුද ටැංකිය


පළමු ලෝක යුද්ධයට අමුත්තෙක් වූ යුද ටැංකිය දෙවන ලෝක යුද්ධයේදී මාරාන්තික සටන්කරුවෙක් බවට පත්විය.සීතල යුද්ධයේ හමුදා සංවිධානය සහ ස්ථානගත කිරීම Fulda Gap නම් කපොල්ල ඔස්සේ එන සෝවියට් යුද ටැංකිවලට මුහුණදීමට හැකිවන සේ සැලසුම් කර තිබිණි.කපොල්ල පසුකල විට සෝවියට යුද ටැංකිවලට මුණ ගැසීමට තිබුණේ නේටෝ පාර්ශ්වයේ එම්1 ඒබ්‍රම්ස් යුද ටැංකි වලටය.එම්1 ඒබ්‍රම්ස් 1980දී හඳුන්වා දුන් එකකි.එහි වැඩි දියුණු කල සංස්කරණ තවමත් භාවිතා කරයි.




එක්සත් ජනපදය - අද:බ්‍රැඩ්ලි ප්‍රහාරක රථය


බ්‍රැඩ්ලි ප්‍රහාරක රථය සීතල යුද්ධයේ තවත් සාමාජිකයෙකි.මෙම සීතල යුද්ධ සාමාජිකයා සේවයට එක්වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද වෙනස් කිරීමවලින් පසුවයි.වසර 17ක් තිස්සේ තිස්සේ ඇ.ඩො.බිලියන 14ක් වියදම් කරමින් නිර්මාණය කල මෙම රථයේ පරිණාමය ගැන හාස්‍යජනකව විස්තර කෙරෙන අවස්ථාවක් Pentagon Wars නම් චිත්‍රපටයට ඇතුලත් කර තිබේ.සෙබලුන් ප්‍රවාහනය සඳහා මුලදී සැලසුම් කල මෙය පසුව වේගවත් ඔත්තු බැලීමක් සහ සැහැල්ලු ප්‍රහාරක රථයක් ලෙස යොදාගැනීමට වෙනස් කරන ලදි.සෝවියට් ආක්‍රමණයක් සිදුවූයේ නම් මෙම රථ ඒබ්‍රම්ස් යුද ටැංකි සමග කපොල්ල ඔස්සේ ඉදිරියට ගමන් කරන්නට ඉඩ තිබිණි.නමුත් ඉරාකය සහ ඇෆ්ගනිස්ථානයේදී භාවිතා කල රථ හෙවත් බිම්බෝම්බ ප්‍රතිරෝධී,රැකසිට කරන ප්‍රහාරවලට ඔරොත්තු දෙන MRAP රථ නිසා බ්‍රැඩ්ලි ප්‍රහාරක රථයේ හැකියාවන් ආවරණය විය.වෙඩි බලය අවම වුවද බ්‍රෑඩ්ලි රථවලට පැති බෝම්බ ඇතුලුව තර්ජනවලට මුහුණදී සෙබලුන්ගේ ජීවිත රැකදීමට පුලුවනි.




රුසියාව - එදා:සෝවියට් ටී-80


සීතල යුද්ධයේ අවසන් භාගයේදී හඳුන්වා දුන් ටී-80 යුද ටැංකිය ලේසර් තාක්ෂණයෙන් පරාසය සොයාගැනීමේ උපාංග සහ බැලිස්ටික්ස් පරිගණක ආදියෙන් සමන්විත විය.එහි තිබෙන ගෑස් ටර්බයින් එන්ජිම නිසා පැයට සැතපුම් 45ක ඉහල වේගයක් ලබාගත හැකිය.එහි ඉදිරිපස සන්නාහය නේටෝ සංවිධානය සතු යුද ටැංකි නාශක අවිවලට මුහුණ දියහැකි අයුරින් නිපදවා තිබිණි.




රුසියාව - අද:අමාටා යුද ටැංකිය


ටී-14 අමාටා යුද ටැංකිය යනු රුසියාව සතු නවතම සහ මාරාන්තිකම, සන්නාහ සන්නද්ධ සටන්කරුවාය.2015 විජයග්‍රාහී පෙළපාලියේ අසාර්ථක ආරම්භයක් ගත් නමුත් දිගු දුර ප්‍රහාරක ප්‍රධාන අවිය සහ ශක්තිමත් ආරක්ෂක විධිවිධාන නිසා එය ජනප්‍රියත්වයක් දිනාගෙන තිබේ.රුසියානුවන් සඳහන් කරන පරිද්දෙන්ම එය ක්‍රියා කරයි නම් ටී-80 යුද ටැංකියට වඩා පැයට සැතපුම් 10ක වේගයක් අමාටා යුද ටැංකියට තිබේ.




එක්සත් ජනපදය - එදා: යූ එස් එස් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව


ඇමෙරිකානු නිමිට්ස් පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකා හඳුන්වා දුන්නේ 1975 වර්ෂයේදීය.සීතල යුද්ධය දුටු එම පන්තියේ අවසන් නෞකාව වන්නේ ඒබ්‍රහම් ලින්කන් නෞකාවයි.අබ්‍රාම්ස් යුද ටැංකිය සහ බ්‍රැඩ්ලි ප්‍රහාරක රථය මෙන්ම නිමිට්ස් නෞකාවත් සීතල යුද්ධය වෙනුවෙන් නිර්මාණය කරන ලද ඒවාය.ඊට ගුවන් යානා 60ක් ගෙන යා හැකිය.නිමිට්ස් පන්තියේ නෞකා තවමත් එක්සත් ජනපද නාවික හමුදාව භාවිතා කරයි.දෙවන ගල්ෆ් යුද්ධයේදී ඉරාක ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කිරීමට භාවිතා කල ගුවන් යානා දියත් කල එක් නෞකාවක් වූයේ ඒබ්‍රහම් ලින්කන් ය.මෙම නෞකාවේ සුපර් හෝර්නට් ප්‍රහාරක යානා ,ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ප්‍රවුලර් යානා,ප්‍රති-සබ්මැරීන සී කිං හෙලිකොප්ටර් සහ තවත් ගුවන් යානා රැගෙන යයි.




එක්සත් ජනපදය - අද: සුම්වෝල්ට් ප්‍රහාරක නෞකාව


නිමිට්ස් පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකා තවමත් සේවයේ යොදවා තිබෙන අතර ගුවන් යානා දියත් කිරීමට විද්‍යුත්චුම්භක පද්ධතියක්ද සහිත නිර්මාණය කල නවතම ෆෝර්ඩ් පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ඉදිරියේදී සේවයට එක්වීමට නියමිතය.සුම්වෝල්ට් යනු අධි තාක්ෂණික ප්‍රහාරක නෞකාවකි.අධිකාරියට පත් කිරීමට නියමිතව තිබෙන්නේ 2016 වර්ෂයේදීය.මෙය ස්ටෙල්ත් වර්ගයේ නෞකාවකි.පිටුපස කොටසේ හෙලිකොප්ටරයක් ගොඩබෑමට හැකි සේ සදා තිබේ.ගොඩබිම් ප්‍රහාරක,ගුවන් යානානාශක සංග්‍රාමික සහ නාවුක ප්‍රහාරක යන කාර්යයන් වෙනුවෙන් නිමවා තිබේ.




රුසියාව - එදා: සවරොඩ්වින්ස්ක් සබ්මැරීනය


යේසන් පන්තියේ කේ-329 සවරොඩ්වින්ස්ක් සබ්මැරීනය රුසියාව සතු නූතන සබ්මැරීනයකි.න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන මෙය අනෙක් සබ්මැරීන,නෞකා සහ ගොඩබිම් ඉලක්ක දඩයම් කිරීම සඳහා සැලසුම් කල එකකි.1993 වර්ෂයේදී නිර්මාණ කටයුතු ආරම්භ කල මෙම සබ්මැරීනයේ පළමු මුහුදු ගමන 2011 වර්ෂයේදී සිදුකර තිබේ.න්‍යෂ්ඨික මිසයිල මෙන්ම නෞකා නාශක මිසයිල රැගෙන යන සවරොඩ්වින්ස්ක් සබ්මැරීනය රුසියානුවන් සතු භයානක අවියක් ලෙස හඳුන්වාදිය හැකිය.




රුසියාව - අද: මිස්ට්‍රල් නෞකාව


මෙම නෞකා රුසියාව සතුව නොමැති වුවද ඔවුන් ඒවා ලබාගැනීමට ප්‍රංශයට මුදල් ගෙවා තිබිණි.නමුත් රුසියාව වෙනුවෙන් නිපදවූ නෞකා දෙක ඊජිප්තුවට විකුණා දමන ලදි.මෙය උභයචර ප්‍රහාරක නෞකාවකි.යුද ටැංකි,සන්නාහ සන්නද්ධ රථ සහ ප්‍රහාරක හෙලිකොප්ටර් මිස්ට්‍රල් පන්තියේ නෞකාවල රැගෙන යා හැකිය.රුසියාව විසින් ක්‍රිමියාව ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශයේ නිපදවූ මිස්ට්‍රල් නෞකා දෙක රුසියානුවන්ට සැපයීම කල්දමන ලදුව පසුව ඊජිප්තුවට විකුණන ලදි.




එක්සත් ජනපදය - එදා: ඒ-10 ප්‍රහාරක ගුවන් යානය


ඒ-10 තන්ඩර් බෝල්ට් 2 යානය එක්සත් ජනපද ගුවන් හමුදා ඉතිහාසයේ ගුවන් නියමුවන් වඩාත් ප්‍රියකල ප්‍රහාරක යානය කිව හොත් නිවැරදිය.1975 වර්ෂයේදී හඳුන්වා දුන් මෙම යානය යුද ටැංකි වනසන්නෙක් ලෙස හඳුන්වයි.තන්ඩර් බෝල්ට් යානයේ කැපී පෙනෙන අංගයක් වන්නේ නාසයේ සවිකර තිබෙන මැෂින් තුවක්කුවයි.සෝවියට් යුද ටැංකි වැනසීමට නිර්මාණය කල ඒ-10 තන්ඩර් බෝල්ට් 2 යානය ගල්ෆ් යුද්ධ සහ ඇෆ්ගන් ආක්‍රමණයේදී කැපී පෙනෙන සේවයක් එක්සත් ජනපදය වෙනුවෙන් ඉටුකරන ලදි.මේවන විට ඒ-10 යානය විශ්‍රාම යා යුතුබවට මතයක් ඇතිව තිබෙන මුත් කොංග්‍රසයේ සහාය නිසා එය තවමත් සේවයේ පවතියි.




එක්සත් ජනපදය - එදා: එෆ්-35 ප්‍රහාරක යානය


සීතල යුද සමයේ පටන් මේ දක්වා එක්සත් ජනපදය ස්ටෙල්ත් හැකියාව සහිත යුද ගුවන් යානා කිහිපයක්ම සේවයේ යොදවා තිබේ.එෆ්-117 නයිට් හොක් යානය විශ්‍රාම යවා අවසානය.එෆ්-22 රැප්ටර් යානය තවමත් ගුවනේ ආධිපත්‍ය උසුලන්නේ වෙනත් රටක් සතුව ඊට අභියෝග කල හැකි ස්ටෙල්ත් ෆයිටර් යානා නොමැති නිසාය.දැනට එෆ්-22 යානා 187ක් ඇමෙරිකානු ගුවන් හමුදාව සතුව තිබේ.අනෙක් යානය වන්නේ වෙනස් මොඩල තුනක් සහිත එෆ්-35 යානයයි.සමහරුන්ට අනුව එෆ්-35 යනු බිලියන ගණනක් මුදල් කා දැමූ අසාර්ථක ව්‍යාපෘතියකි.එෆ්-35 යානා මොඩල තුනක් පිළිවෙලින් ගුවන් හමුදාව,මැරීන් හමුදාව සහ නාවික හමුදාව සඳහා නිපදවා තිබේ.විවිධ දුර්වලතා තිබුණද එෆ්-35 යානාවලින් ඒ-10 තන්ඩර් බෝල්ට් වැනි යානා විශ්‍රාම යැවීමට පාර කැපීමට පෙන්ටගනය සැලසුම් කර තිබේ.




රුසියාව - එදා: සුකොයි-25 ෆ්‍රොග්ෆූට්


සෝවියට් යුද ටැංකිවල විනාශකරුවා වූ ඇමෙරිකානු ඒ-10 යානයට පිළිතුරක් ලෙස නිර්මාණය කල සුකොයි-25 ෆ්‍රොග්ෆූට් යානය පාබල හමුදාවලට ආසන්න ප්‍රහාරක සහාය ලබාදීම,සතුරු යුද රථ දඩයම් කිරීම සහ සතුරු හමුදා වැනසීම සඳහා භාවිතා කලේය.පළමුවරට මේවා භාවිතා කලේ සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේදීය.මෙහි සංස්කරණය කල මොඩල තවමත් විවිධ රටවල් විසින් භාවිතා කරයි.




රුසියාව - අද: සුකොයි-35

ස්ටෙල්ත් හැකියාවක් නොමැතිවුවද සුකොයි-35 යානය රුසියාව සතු මාරාන්තිකම ෆයිටර් වර්ගයේ ගුවන් යානයයි.එය සුකොයි-27 පරම්පරාවෙන් පැවතගෙන එයි.ගුවන් සටන් සඳහා විශේෂයෙන් නිර්මාණය කල මෙම යානය වේගවත් මෙන්ම බලසම්පන්න සංවේදක උපාංගවලින් සමන්විතය.





උපායමාර්ගික ආරක්ෂක මුල පිරීම හෙවත් තාරකා යුද්ධය



ජාත්‍යන්තර නීතියට අනුව අභ්‍යාවකාශයේ අවි රැදවීම තහනම්ය.එක්සත් ජනපදය සහ රුසියාව බාහිර අභ්‍යාවකාශ ගිවිසුම(1967) අත්සන් කිරීම ඔස්සේ ඊට පාර කැපුණි.මෙම ගිවිසුමට අනුව අභ්‍යාවකාශයේ න්‍යෂ්ඨික අවි හෝ වෙනත් මහත් විනාශකාරී අවි රැදවීම සහ සඳේ හෝ වෙනත් වස්තුවක බලකොටු ඉදිකිරීම,ඒවාහි හමුදාමය කටයුතු සිදුකිරීම තහනම්ය.නමුත් එවැනි දේ සිතීම හෝ රහසේ එවැන්නක් සඳහා උත්සාහ කිරීම නැවැත්වීම කල නොහැක්කක් විය.1983 වර්ෂයේදී ඇමෙරිකානු ජනපති රොනල්ඩ් රේගන්ගේ අවශ්‍යතාවය මත එක්සත් ජනපදයට එල්ල විය හැකි න්‍යෂ්ඨික ප්‍රහාරයකින් ආරක්ෂා වීම සඳහා අභ්‍යාවකාශයේ අවි රැදවීම ගැන සොයා බැලීමට වැඩසටහනක් ඇරඹිණි.එය තාරකා යුද්ධය(Star war) නමින් ප්‍රසිද්ධියට පත්විය.නමුත් එය සාර්ථක නොවීය.




එක්සත් ජනපදය - අද: එක්ස්-37බී ෂටලය


එක්සත් ජනපද ගුවන් හමුදාව ගුවන ආරක්ෂා කරන්නාක් මෙන්ම ඔවුන් අභ්‍යාවකාශයටද අයිතිවාසිකම් කියයි.ගුවන් හමුදා චන්ද්‍රිකා ලෝකය වටා භ්‍රමණය වෙමින් රජයට බුද්ධි තොරතුරු සේම සාමාන්‍ය ජනතාවට කාළගුණික සහ ගෝලීය පිහිටුම සම්බන්ධ තොරතුර් සපයයි.ඇමෙරිකානු ගුවන් හමුදාවේ එක්ස්-37බී යනු රහසිගත අභ්‍යාවකාශ රොබෝවකි.මෙම මිනිසුන් රහිත ෂටලය අභ්‍යාවකාශ ගත කල සැබෑ හේතුව රහසිගතය.එහි මෙහෙයුම් රැසක් අප්‍රකටව පවතියි.එය අභ්‍යාවකාශ අවියක් ගෙන ගියේද යන්න පිළිබදව තොරතුරු අප්‍රකටය.




රුසියාව - එදා:සැලියුට් 3 අභ්‍යාවකාශ මධ්‍යස්ථානය


1974 ජූනි 25 වෙනිදා සෝවියට් දේශය විසින් සැලියුට් නම් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ගුවන් ගත කරන ලදි.එහි තිබූ විශේෂත්වය වූයේ Rikhter R-23 නම් මැෂින් තුවක්කුවක් රඳවා තිබීමයි.එම මධ්‍යස්ථානයේ අවියක් ගෙන ගිය බවට කටකතා පැතිර ගිය අතර රුසියානු මූලාශ්‍රවලින් එය සත්‍යයක් බව හෙළිවිය.සැලියුට් 3 ඔත්තු බැලීමේ හමුදා මධ්‍යස්ථානය සතුව මි.මී.30 අවියක් තිබෙන බවත් එය අභ්‍යාවකාශයේදී ඇමෙරිකානු අභ්‍යාවකාශ අවියකින් එල්ලවන තර්ජනයට අභියෝගයක් ලෙස භාවිතා කරන බවත් සඳහන් විය.




රුසියාව - අද: ඔබ්ජෙක්ට් 2014-28ඊ,සෝවියට් ප්‍රති-චන්ද්‍රිකා අවිය


මෙය 2014 මැයි 23දා රුසියාව විසින් දියත් කලා යැ‍යි සැලකෙන අප්‍රකාශිත හමුදාමය චන්ද්‍රිකාවක් යැ‍යි සලකනු ලැබේ.එය හමුවූ මුල් කාලයේදී සිතා සිටියේ අභ්‍යාවකාශ සුන්බුන් කැබැල්ලක් කියා නමුදු පසුකාලීනව ඕනෑකමින් විමසා බලද්දී හෙළිව තිබෙන්නේ රුසියානුවන්ගේ අත්හදා බැලීමේ යානයක් බවයි.සමහරුන්ට අනුව එය චන්ද්‍රිකා නාශක අවියකි.රුසියාව යම් දෙයකට සූදානම් වෙමින් සිටින බව ඔවුන්ගේ මතයයි.නමුත් රුසියානු මූලාශ්‍රයකට අනුව එය ප්ලාස්මා ප්‍රචාලන එන්ජිමක් අත්හදා බැලීමට යැවූ යානයකි.එය අභ්‍යාවකාශ අවියක් නම් සීතල යුද්ධය නැවත එන බවට සංඥාවකි.







Source:popsci.com


නූතන සීතල යුද්ධයේ අවි නූතන සීතල යුද්ධයේ අවි Reviewed by HarshaLulzSec on December 06, 2017 Rating: 5

කොන්කොර්ඩ් යානයේ ඉතිහාසය

December 05, 2017

1976 ජනවාරි මස 21 දා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ ගුවන් සේවා විසින් එකවිට කොන්කෝර්ඩ් යානා දෙකක් ගුවනට නැඟුනේ ලොව පළමු අතිධ්වනි වාණිජ ගුවන් ගමන එය බවට පත් කරමින්ය.බ්‍රිතාන්‍යයේ හීතෲ ගුවන් තොටුපොලෙන් ගුවනට නැඟුණු ජෙට් යානය බ්‍රසීලය වෙත පියාසර කලේ සෙනගාලයේ කෙටි වේලාවක් රැඳී සිටීමෙන් පසුවයි.ප්‍රංශයෙන් පිටත්වූ ජෙට් යානය බහරේන් වෙත පියාසර කලේය.ඉන්පසු බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ගුවන් සේවා විසින් කොන්කෝර්ඩ් යානා යොදාගෙන මඟී ප්‍රවාහනය කිරීම ඇරඹීය.ඒ යුරෝපයේ සිට එක්සත් ජනපදය වෙතයි.කොන්කෝර්ඩ් යානා ඉන් වසර 30කට පමණ පසු විශ්‍රාම යැවීය.කොන්කෝර්ඩ් යානයේ පළමු වාණිජ ගුවන් ගමන සිදුකරන මෙම වසරේ ජනවාරි මස 21 දාට වසර 41 සම්පුර්ණ විය.නමුත් කොන්කෝර්ඩ් යානය දැන් අහසේ දකින්නට නොලැබෙන කෞතුක භාණ්ඩයක් වී අවසන්ය.මේ ලිපියෙන් විමසා බලන්නේ කොන්කෝර්ඩ් යානයේ සංක්ෂිප්ත ඉතිහාසයයි.



1947 දී ශබ්දයේ වේගය ඉක්මවා යමින් චක් යේගර් විසින් වාර්තා පිහිටුවීමත් සමග ,වාණිජ ගුවන් සේවාද තම මඟීන් තරම් වේගයෙන් ප්‍රවාහනය කිරීමට සැලසුම් සකස් කරන්නට විය.





 වාණිජමය සුපර්සොනික් ජෙට් යානයක් නිර්මාණය කරන්නට බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ගිවිසුම් අත්සන් කරන ලදි.එම යානයට ලබාදුන් නම කොන්කෝර්ඩ්ය.





 Aérospatiale සහ British Aircraft Corporation එක්ව එන්ජින් තුනේ,ඩෙල්ටා හැඩය ගත් අතිධ්වනි ජෙට් යානයක් නිර්මාණය කිරීමට එකඟවිය.





 එම කාලයේම එක්සත් ජනපද සහ සෝවියට් දේශයේ ඉන්ජිනේරුවන් තමන්ගේම වාණිජමය සුපර්සොනික් ජෙට් යානයක් නිපදවන්නට සැලසුම් සකස් කලෝය.ඇමෙරිකානු බොයින් 2707 සුපර්සොනික් යානය කඩදාසිවල සැලසුම්වලට පමණක් සීමා වූ අතර සෝවියට් දේශයේ Tupolev TU144 සුපර්සොනික් යානය සේවය යෙදවුවද එහි ආරක්ෂාව සහ ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්න හේතුවෙන් විශ්‍රාම යවන ලදි.





 ගිවිසුමට අනුව කොන්කෝර්ඩ් යානය ,බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය විසින් නිර්මාණය කරන ලදි.





 Bristol Siddeley,Snecma.සමාගම විසින් නිර්මාණය කල ඔලිම්පස් 593 ටර්බෝජෙට් එන්ජින් මගින් කොන්කෝර්ඩ් යානයට බලය සැපයුණි.





 මෙම එන්ජින් මගින් කොන්කෝර්ඩ් යානයට සුවිශේෂී ගුවන්ගත වීමක් ලබාදුන්නේය.එක් එන්ජිමක් මගින් රාත්තල් 38,000ක තෙරපුමක් ලබාදුන්නේය.

 




 බටහිර වෙනත් වාණිජ ගුවන් යානාවල නැති අංග සමහරක් කොන්කෝර්ඩ් යානයේ අන්තර්ගත විය.ඩෙල්ටා හැඩති පියාපත් දෙක ඉන් කැපීපෙනෙන අංගය විය.

 




සීරුමාරු කල හැකි යානයේ එල්ලා වැටෙන ඉදිරිපස කොටස(නාසය) ,යානය ගුවන්ගත කිරීම සහ ගොඩබැස්සවීම යන අවස්ථාවලදී වඩා හොඳ පෙනීමක් නියමුවන්ට ලබාදෙන්නට සමත්විය.





 සාමාන්‍යය ගුවන් ගමනකදි මෙම ඉදිරිපස නාසය වැනි කොටස ඉහළට එසවේ.





 නියමු කුටියේ තිදෙනෙක් ගමන් කලෝය.නියමුවන් දෙදෙනෙක් සහ පියාසර ඉන්ජිනේරුවෙක් ඊට අඩංගුවිය.





 1967දී ප්‍රංශයේ Toulouse නගරයේදී කොන්කෝර්ඩ් යානය ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන ලදි.





 කොන්කෝර්ඩ් යානයේ මුලාකෘතියේ පළමු ගුවන් ගමන 1969 සිදුව තිබේ.





 මෙම සුපර්සොනික් යානය ඉතා ඉක්මණින් ලෝක අවධානය දිනාගන්නා ලදි.





 ලොව පුරා ගුවන් සේවා සමාගම් දුසිම් ගණනක් කොන්කෝර්ඩ් යානා ඉල්ලා සිටින්නට විය.





 නමුත් සියල්ල සිදුවූයේ කොන්කෝර්ඩ් යානයේ අවාසනාව කැඳවමින්ය.





 සුපර්සොනික් යානා ගමන් ගනිද්දී ඇතිකරන ඉමහත් ශබ්දය නිසා අවට සිටින පිරිස් දැඩි පීඩාවට පත් විය.මේ නිසා කොන්කෝර්ඩ් යානයේ ගුවන් ගමන් ගොඩබිම් ප්‍රදේශ ආවරණය වීම ඉතා අවම වන ලෙස සිදු කරන්නට සිදුවිය.





 කොන්කෝර්ඩ් යානාවල දැවැන්ත ටර්බෝජෙට් එන්ජින් මගින් උපදවන ශබ්දය ,ගුවන් තොටුපොල ආශ්‍රිත ජනයාගේ බලවත් විරෝධයට හේතුවිය.





 මේ නිසා කොන්කෝර්ඩ් යානාවල ගුවන් ගමන් සීමා කරන්නට සිදුවිය.





 1973 ඇතිවූ ඛනිජ තෙල් අර්බුදය සහ පාරිසරික,ආර්ථික අවාසි සහගත තත්ත්වයන් හේතුවෙන් කොන්කෝර්ඩ් යානා මිලදී ගැනීමට සූදානම් වූ බොහෝ ගුවන් සේවා විසින් එම අදහස අත්හැර දමන ලදි





 අවසානයේදී British Airways සහ Air France යන ගුවන් සේවා දෙක පමණක් කොන්කෝර්ඩ් යානා යොදාගෙන ගුවන් ගමන් සිදු කරන ලදි.





 කොන්කෝර්ඩ් යානා 20ක් නිපද වූ අතර ඉන් 6ක් අත්හදා බැලීමේ මොඩලයන් වේ.

 




 කොන්කෝර්ඩ් යානා හත බැගින් යානා 14ක් British Airways,Air France යන ගුවන් සේවා විසින් මිලදීගන්නා ලදි.





 එම යානයේ පළමු වාණිජ ගුවන් ගමන 1976 ජනවාරි 21 දින සිදුවිය.





 Air Franceහි ජෙට් යානය බහරේන් වෙතද ,British Airwaysහි ජෙට් යානය සෙනගාලය ඔස්සේ රියෝ දි ජැනැයිරෝ වෙතටද සිදු කෙරිණි.





 එම වසරෙන් පසුව British Airways විසින් ලන්ඩනයේ සිට නිව්යෝර්ක් වෙත ගුවන් ගමන් ඇරඹීය.





 Air France එරට පැරිස් හි සිට නිව්යෝර්ක් වෙත ගුවන් ගමන් ඇරඹීය.





 කොන්කෝර්ඩ් යානා ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් අත්ලාන්තික් සාගරය ඔස්සේ පියාසර කලේ පැය තුනක කාලයකිනි.





 සාම්ප්‍රදායික ජම්බෝ ජෙට් යානයක් අත්ලාන්තික් සාගරය තරණය කිරීමට ගත කරන පැය 7ක කාලයක් ගත වේ.





 ගමන් ආරම්භයේදී ඇතුලත සරල සහ චාම් පෙනුමක් සහිත විය.





 පසුව එය අලංකාර විය.





 ඉතා ඉක්මණින් කොන්කෝර්ඩ් යානා ධනවත් සහ ප්‍රසිද්ධ පිරිස්වල තේරීම බවට පත්විය.





 දිනපතාම කොන්කෝර්ඩ් යානා ඉන්ධන පුරවා වේගවත් ගමනකට සූදානම් කරවන ලදි.





 අවසානයේදී එය සේවාදායකයෙන් අපේක්ෂා කල ගුවන් යානය බවට පත්විය.





 1990 දශකයේදී කොන්කෝර්ඩ් යානා Cindy Crawford,Claudia Schiffer,Andre Agassi වැනි ජනප්‍රිය පුද්ගලයන්ගේ අවධානය දිනාගන්නා ලදි.





 Gordon Matthew සහ Piers Morgan කොන්කෝර්ඩ් යානයක





 බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් කොන්කෝර්ඩ් යානයක





 කොන්කෝර්ඩ් යානය සතුව ආරක්ෂාකාරී ගුවන් ගමන් සම්බන්ධ හොඳ වාර්තාවක් තිබිණි.





 නමුත් 2000 ජූලි මස 25 දා සියල්ල වෙනස් විය.ගුවන් සේවයේ කොන්කෝර්ඩ් යානයක ඉන්ධන ටැංකියේ ඇතිවූ ගින්නකින් යානය විනාශ වී ජීවිත 113ක් අහිමිවිය.





 සේවයේ යොදවා තිබූ ඉතිරි යානා 13 වහාම ගොඩ බස්සවා ඉන්ධන ටැංකි පරීක්ෂාවට ලක් කරන ලදි.





2001 වසරේදී කොන්කෝර්ඩ් යානා ඇණිය යළි සේවයේ පිහිටුවන ලද මුත් ප්‍රමාණවත් මගීන් ප්‍රමාණයක් එහි සේවය ලබාගන්නට පැමිණියේ නැත.





 2003 වසරේදී සමාගම් විසින් කොන්කෝර්ඩ් යානා ස්ථිරවම විශ්‍රාම ගන්වන ලදි.





 වසර 27ක සේවා කාලය තුල British Airways ගුවන් සේවය විසින් කොන්කෝර්ඩ් යානාවලින් ගුවන් ගමන් 50,000ක් සිදුකර මගීන් මිලියන 2.5කට ගුවන් සේවා සපයා තිබේ.





 දැන් කොන්කෝර්ඩ් යානා කෞතුක භාණ්ඩ ලෙස සෝවියට් දේශයේ Tupolev TU144 සමග ඉතිහාසයට එක්ව තිබේ.




 Source:Businessinsider.com
කොන්කොර්ඩ් යානයේ ඉතිහාසය කොන්කොර්ඩ් යානයේ ඉතිහාසය Reviewed by HarshaLulzSec on December 05, 2017 Rating: 5
Powered by Blogger.