ඊශ්‍රායලයේ සෝවියට් යුද්ධෝපකරණ

November 14, 2017

සතුරන්ගෙන් අත්පත් කරගත් යුද්ධෝපකරණ සිය අවශ්‍යතා සඳහා භාවිතා කරන්නට ඊශ්‍රායල ආරක්ෂක හමුදා දෙවරක් සිතුවේ නැත.මෙම යුද්ධෝපකරණ ත්‍රස්තවාදීන් සමග සටන් කිරීමට මෙන්ම සිය රටේ යුද ශක්තිය නැංවීමටද ප්‍රයෝජනවත් විය.20 වන සියවසේ දෙවන භාගයේදී ඊශ්‍රායලය අරාබි රටවල් කිහිපයක් සමග මුහුණට මුහුණ ගැටුණි.එම යුද්ධවලදී ටොන් ගණනක සතුරු යුද ටැංකි,සන්නාහ සන්නද්ධ රථ,ගුවන් යානා සහ මිසයිල අත්පත් කරගන්නට ඊශ්‍රායල හමුදා සමත් වූ අතර පසුව ඒවා විවිධ හමුදා මෙහෙයුම්වලදී ඔවුන් භාවිතා කර තිබේ.

Tiran-6 යුද ටැංකියක්-ඊශ්‍රායලය සතුවූ T-62 යුද ටැංකි Tiran-6 නමින් හඳුන්වන ලදි.

සෝවියට් දේශයේ නිෂ්පාදිත ටී-54,ටී-55,ටී-62 යුද ටැංකි ද බීටීආර්-50,බීටීආර්-60 සහ බීඑම්පී-1 සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ ඔවුන් විසින් සතුරන්ගෙන් අත්පත් කරගත් වටිනාම යුද්ධෝපකරණ ලෙස හැදින්විය හැකිය.මේවා සියල්ල 1967,1973 වසරවලදී ඊජිප්තුව සමග ඇති වූ යුද්ධවල ප්‍රතිඵලයන් ලෙස ඊශ්‍රායලයට ලැබිණි.ඊජිප්තු හමුදා අතහැර දමා ගිය සෝවියට් යුද ටැංකි බොහොමයක් යළි පාවිච්චි කල හැකි තත්ත්වයේ පසුවිය.ඒවා ඊශ්‍රායල හමුදා විසින් අවශ්‍ය පරිදි වෙනස් කිරීමෙන් පසුව 1990 අගභාගය තෙක් සේවයේ යොදවා තිබේ.ඊශ්‍රායලයේ අතට පත් වු සෝවියට් යුද ටැංකි "ටයිරන්" යන නමින් හඳුන්වන ලදි.

ඊශ්‍රායලය සතු 'අච්සාරෙට්' සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථය ටී-55 යුද ටැංකිය නවීකරණය කිරීමෙන් බිහිවූවකි.

T-55 යුද ටැංකිය වෙනස් කිරීමෙන් නිපදවන ලද Achzarit නම් පුද්ගල ප්‍රවාහන රථය
ඊට අමතරව කලෂ්නිකොව් රයිෆල,ඩ්‍රැගනොව් ස්නයිපර් රයිපල,කලෂ්නිකොව් මැෂින් තුවක්කු සහ සෝවියට් දේශයේ නිෂ්පාදිත බෝම්බ විදිනද දහ දහස්ගණනින් සංග්‍රාම භූමියෙන් සොයා ගන්නට ඊශ්‍රායල හමුදා සමත්විය.

ටී-55 යුද ටැංකියක් අසල හිඳගෙන සිටින යුදෙව් තරුණියන් දෙදෙනෙක්,සිනායි කාන්තාරය,1973 ඔක්තෝම්බර් 8.
ඊශ්‍රායල හමුදා ඔවුන්ගේ ප්‍රාථමික අවි යුද්ධවලදී අත්පත් කරගත් මෙම සුළු අවි වලින් ප්‍රතිස්ථාපනය නොකලද කලෂ්නිකොව් රයිපල් එරට අතිදක්ෂ හමුදා ඒකක සමහරක් විසින් භාවිතා කරන ලදි.


ආර්පීජී-7 බෝම්බ විදිනය අවසානයේදී ඊශ්‍රායල ආරක්ෂක හමුදාවල පාබල සේනාංකයන්ගේ මූලික අවියක් බවට පත් විය.අල්ලාගත් ආර්පීඩී මැෂින් තුවක්කු සමග කලෂ්නිකොව් මැෂින් තුවක්කු 1990 දශකය තුල පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සහ අනෙකුත් සතුරන් සමග සටන් කිරීමට භාවිතා කරන ලදි.

RPD මැෂින් තුවක්කුවක්,බෙයිටි හා-ඔසෆ් කෞතුකාගාරය,ටෙල් අවිව්,ඊශ්‍රායලය.
සෝවියට් නිෂ්පාදනයක් වන කටුෂා මල්ටි බැරල් රොකට් විදින සහ මිග්-17,මිග්-21 සහ මිග්-23 යන ෆයිටර් ජෙට් යානාද 1960 දශකයේ අග භාගයේදී සතුරු හමුදාවලින් අල්ලා ගැනීමට ඊශ්‍රායලය සමත් විය.

මිකොයාන් මිග්-23 බහුකාර්යය ෆයිටර් ජෙට් යානයක්
සතුරු යුද්ධෝපකරණ සිය රටේ ආරක්ෂක අංශවලට මෙන්ම දකුණු ලෙබනන් හමුදාව සහ කුර්දි සටන්කාමීන්ට ලබාදෙන්නටද ක්‍රියා කරන ලදි.ඊට අමතරව බොහොමයක් යුද්ධෝපකරණ වෙනත් රටවලට විකිණීමෙන් ඩොලර් මිලියන සිය ගණනක් උපයා ගන්නට ඊශ්‍රායලය සමත් විය.

මිග්-21 සුපර්සොනික් ජෙට් ප්‍රහාරක යානයක්

Source:sputniknews.com

ඊශ්‍රායලයේ සෝවියට් යුද්ධෝපකරණ ඊශ්‍රායලයේ සෝවියට් යුද්ධෝපකරණ Reviewed by HarshaLulzSec on November 14, 2017 Rating: 5

ලෝකය බේරාගත් මිනිසා

November 07, 2017


බොහෝ පුද්ගලයෝ වීරයන් බවට පත් වන්නේ යම් දෙයක් කිරීමෙන්ය.ස්ටැනිස්ලව් පෙට්‍රොව් විරයෙක් බවට පත් වූයේ කිසිවක් නොකර සිටීමට ගත් නිර්භීත තීරණයක් නිසාය.ලෝකය බේරාගත් මිනිසා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ස්ටැනිස්ලව් පෙට්‍රොව් වයස අවුරුදු 77දී මිය ගිය මුත් ඔහුගේ මරණය එළිදරව් වන්නේ සැප්තැම්බර් මාසයේ 18දාය.මොහු සෝවියට් දේශයේ මොස්කව් නගරයෙන් පිටත පිහිටා ඇති පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානයේ ප්‍රධානිය ලෙස කටයුතු කල නිලධාරියෙකි.ඔහු 2017 මැයි මස 19දා දිවියෙන් සමුගෙන ගියේය.

ස්ටැනිස්ලව් පෙට්‍රොව් මෙතරම් විශේෂිත පුද්ගලයෙක් වූයේ ඇයි?අනෙක් නිලධාරීන් නියමයන්ට අනුව ක්‍රියා කරද්දී 1983 සැප්තැම්බර් මස 26 දා ඇති වීමට ගිය න්‍යෂ්ඨික යුද්ධය වළක්වාලීමට ඔහු ස්වයං තීරණයක් ගැනීම 'ලෝකය බේරා ගත් මිනිසා' යන නමින් හඳුන්වන්නට හේතු විය.

ස්ටැනිස්ලව් පෙට්‍රොව්

 

සීතල යුද්ධයේ අවිනිශ්චිතභාවය

සීතල යුද්ධය එහි උච්චතමය ස්ථානයට ලගා වූයේ සෝවියට් දේශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය න්‍යෂ්ඨික අවි යොදාගෙන එකිනෙකා වනසා ගැනීමට තත්පර කිහිපයක් පිටුපසින් සිටිමින්ය.සති කිහිපයකට පෙර සෝවියට් දේශයේ ඈත පෙරදිග ප්‍රදේශයේදී දකුණු කොරියානු මගී ගුවන් යානයක් බිම හෙළුයේ එය සෝවියට් ගුවන් සීමා උල්ලංඝනය කිරීම නිසාය.එසේම එවකට ඇමෙරිකාවේ ජනපති වූ රොනල්ඩ් රේගන් යුද්ධය ප්‍රිය කරන අයෙක්ද විය.

Don-2N radar(නේටෝ නාමය: Pill Box)මොස්කව් නගරයෙන් පිටත පිහිටා තිබෙන දැවැන්ත මිසයිල ආරක්ෂණ සහ පූර්ව අනතුරු ඇඟවීම් රේඩාර් මධ්‍යස්ථානයකි.
එදින මධ්‍යම රාත්‍රියෙන් පසුව පාලක පුවරුව වාර්තා කලේ එක් බැලස්ටික් මිසයිලයක් සෝවියට් දේශය දෙසට එමින් සිටින බවයි.පසුව එක්සත් ජනපදය දෙසින් තවත් මිසයිල 4ක් තම රට දෙසට දියත් කර තිබෙන බව පුර්ව අනතුරු ඇඟවීම් පද්ධතිය විසින් වාර්තා කරන ලදි.පෙට්‍රොව්ගේ රාජකාරිය වූයේ සෝවියට් දේශය ඉලක්ක කරගෙන දියත් කරන මිසයිල සම්බන්ධව ඉහළ පෙළේ බලධාරී දැනුවත් කිරීමයි.ඉන්පසු ඔවුන් ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර දියත් කරයි.එහි ප්‍රතිඵලය වන්නේ මානව වර්ගයාගේ අවසානය ළගාවන න්‍යෂ්ඨික යුද්ධයකි.

එවකට 44 වන වියේ පසුවූ පෙට්‍රොව් මෙම සිදුවීම ඔහුගේ ඉහළ නිලධාරීන්ට වාර්තා නොකලේය.පරිගණක,චන්ද්‍රිකා ඇතුලු පූර්ව අනතුරු ඇගවීමේ පද්ධතියේ දෝෂයක් නිසා වැරදි සහගත තොරතුරක් ලබා දී ඇතැ‍යි යන උපකල්පනය මත පිහිටා ඔහු තීරණයක් නොගෙන සිටියේය.පෙට්‍රොව්ගේ තීරණය නිවැරදි බව පසුව හෙළිවිය.ඇමෙරිකානුවන් එවැනි මිසයිල ප්‍රහාරයක් දියත් කර නොතිබිණි.ඉහල අහසේ වලාකුලු වලට හිරු එළිය පරාවර්තනය වීම හේතුවෙන් ඔත්තු බැලීමේ චන්ද්‍රිකා දෝෂ සහගත තොරතුරු සැපයීම එවැනි ව්‍යාජ අනතුරු ඇගවීමක් වාර්තා වීමට හේතු වී තිබිණි.

ලුතිනන් කර්නල් ස්ටැනිස්ලව් පෙට්‍රොව් සිය නිල ඇඳුමෙන්
පෙට්‍රොව් ලුතිනන් කර්නල් තනතුරේ සිට විශ්‍රාම යන තෙක් මෙම සිද්ධිය පිළිබදව ලෝකය දැන සිටියේ නැත.1998 වර්ෂයේදී පළමුවරට ඔහු මේ සිද්ධිය අනාවරණය කරන ලදි.එම ක්‍රියාව වෙනුවෙන් පෙට්‍රොව් සෝවියට් හමුදාවේ කිසිදු උසස්වීමකට සුදුසුකම් නොලැබීය.නමුත් සිද්ධිය සම්බන්ධව ලෝකය දැනුවත් වීමෙන් පසුව පෙට්‍රොව්ගේ තීරණය ප්‍රශංසාවට ලක්විය."ලෝකය බේරා ගත් මිනිසා" යන අන්වර්ථ නාමයෙන් ඔහුව හඳුන්වන්නට පටන් ගන්නේ එතැන් පටන්ය.ඩ්‍රෙස්ඩන් සම්මානය ඇතුලුව ජාත්‍යන්තර සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබූ පෙට්‍රොව් 2013 වර්ෂයේදී ඩ්‍රෙස්ඩන් සම්මානය දිනා ගන්නා විට මෙසේ ප්‍රකාශ කරන ලදි.

"මම කිසිම වීරකමක් කලේ නැහැ.මට මාව වීරයෙක් ලෙස දැනෙන්නේ නැහැ.මම කලේ මගේ කාර්යය සහ මම් ඒක කල විදියට කැමතියි"



ඔහුගේ තීරණයට හේතුව


තමන් ගත් බරපතල තීරණයට හේතු පෙට්‍රොව් මහතා මෙසේ විස්තර කරන ලදි.

"පාලක පුවරුව පෙන්වූයේ මිසයිල 5ක් පමණක් දියත් කර තිබෙන බවයි.නමුත් එක්සත් ජනපදයට අත්‍යාවශයෙන්ම සෝවියට් දේශයට පහරදීමට උවමනාවක් තිබේ නම් ඔවුන් මිසයිල 5ක් නොව මිසයිල සියගණනක් දියත් කර යුතුව තිබුණා.මිනිත්තු 23කට පසුව කිසිවක් සිදුනොවූ බව මට තේරුම් ගියා."

ස්ටැනිස්ලව් පෙට්‍රොව් සම්මානයක් ලබාගත් අවස්ථාවක්
පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හමුවකදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්,ස්ටැනිස්ලව් පෙට්‍රොව් සම්බන්ධව මතකය අවදි කලේය.

"සීතල යුද ඉතිහාසයේ වැදගත් තැනැත්තෙක් වූ නමුත් වැඩිදෙනෙක් නොදන්නා චරිතයක් මියගිය බව මේ සතියේදී වාර්තා වුනා.ඔහුගේ නම ස්ටැනිස්ලව් පෙට්‍රොව්.ඔහුව ලෝකය බේරා ගත් මිනිසා යන නමින්ද හඳුන්වයි.මෙම සිද්ධිය න්‍යෂ්ඨික අවිවල අවදානම් සහගතබව කොතරම් ඉහළද යන්න පෙන්නුම් කරයි."


The Man Who Saved the World(2014)වාර්තා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය




Source:sputniknews.com,RT.com

ලෝකය බේරාගත් මිනිසා ලෝකය බේරාගත් මිනිසා Reviewed by HarshaLulzSec on November 07, 2017 Rating: 5

සීතල යුද සමයෙන් ඇසෙන කතා

November 07, 2017


ඇමෙරිකානු නියමු ෆ්‍රැන්සිස් ගැරි පවර්ස් විසින් පියාසර කරවන ලද යූ-2 නම් ඔත්තු බැලීමේ යානය 1960 වර්ෂයේදී සෝවියට් ගුවන් අවකාශයේදී බිම හෙළීම සීතල යුද සමයේ සිදුවූ බොහෝදෙනා හොඳින් දන්නා සිදුවීමකි.සීතල යුද්ධයේ ප්‍රධාන ප්‍රති පක්ෂයන් වූ එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර ලෝකයට සොරා සිදුවූ ගුවන් සටන් තිබෙන බව වැඩි දෙනෙක් දන්නේ නැත.අද මෙන් එදත් එක්සත් ජනපදය සිය ප්‍රමුඛතම සතුරා වූ සෝවියට් දේශයේ රහස් සෙවීමේ පිපාසයෙන් පසුවිය.ඔත්තු බැලීමේ චන්ද්‍රිකා එතරම් දියුණු තත්ත්වයක නොතිබූ එසමයේ මේ සඳහා ඇමෙරිකානුවන් භාවිතා කලේ ගුවන් යානා නාශක තුවක්කු සහ මිසයිලවල සීමාවට ඉහලින් පියාසර කල හැකි ගුවන් යානාය.මෙම ලිපියෙන් විස්තර කරන්නේ එක්සත් ජනපද ගුවන් යානා සෝවියට් ගුවන් සීමා ඉක්මවා යෑම නිසා දෙපාර්ශ්වය අතර ඇතිවූ ගැටුම් කිහිපයකි.

පසුගිය සතියේදී විදේශීය ගුවන් යානා සහ අනෙකුත් පියාසර යානා 18ක් රුසියානු දේශසීමා ආසන්නයේ නිරීක්ෂණ සිදු කරමින් සිටියදී හසුවූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කලේය. රුසියානු ගුවන් හමුදාවේ ෆයිටර් ජෙට් යානා 8 වාරයක් පමණ මෙම විදෙස් යානා වලට බාධා කර තිබේ.නමුත් එම යානා රුසියානු ගුවන් සීමා උල්ලංඝනය කලේ යැයි වාර්තා නොවේ.

සීතල යුද්ධයේ මුල් සමයේ,විලැඩ්වොස්ටොක් නගරයෙන් පිටත අසුරි බොක්කට උඩින් හඳුනා නොගත් ගුවන් යානයක් පියාසර කරන බවට ලැබුණු අනතුරු ඇඟවීමකට ප්‍රතිචාර ලෙස සෝවියට් පැසිෆික් ඇණියට අයත් මිග්-17 ෆයිටර් ජෙට් යානා යුගලක් 1953 ජූලි 29දා එම ප්‍රදේශයට පිටත් කර හරින ලදි.ආසන්නයට ගමන් කරද්දී මිග් යානාවල නියමුවන් දුටුවේ එන්ජින් 4කින් සමන්විත දැවැන්ත ඇමෙරිකානු බෝම්බ හෙළන යානයක් මුහුදු මට්ටමට මීට 10,000ක් ඉහලින් ආස්කොල්ඩ් දූපත දෙසට ඇදෙන බවයි.එම දූපත සෝවියට් පැසිෆික් ඇණියේ මවු කදවුර පිටතින් පිහිටා තිබේ.

මිග්-17 ෆයිටර් ජෙට් යානයක් ගුවන් ගත වන අයුරු
එක්සත් ජනපද ගුවන් හමුදාවේ බෝයින් ආර්බී-50ජී සුපර්ෆෝට්‍රස් යානය,මිග් යානා සමග කිසිදු ආචාරශීලී කතාබහකින් තොරව විවෘත වෙඩි තැබීමක් කලේ යානය සතු මැෂින් තුවක්කු ආධාරයෙන්ය.පළමු ලුතිනන් ඇලෙක්සැන්ඩර් රයිබැකොව් පැදවූ මිග් යානය ප්‍රහාරයට ගොදුරු විය.වෙඩි ප්‍රහාර හමුවේ ඇති හානි නොසලකා හරිමින් මිග් යානයට තවදුරටත් ගුවනේ රැදී සිටිමට හැකියාව ලැබුණේ වාසනාව නිසාය.

ඇමෙරිකානු Boeing Boeing KB-50J යානයක්
සංවාදයකට ඉඩක් නොමැති බව වැටහී ගියෙන් මිග් යානාද ප්‍රති ප්‍රහාර එල්ල කරන ලදි.මිනිත්තු කිහිපයකදී බොයින් යානය විනාශ වී මුහුදට කඩා වැටුණි.එම සිද්ධියේදී ඇමෙරිකානු යානයේ කාර්ය මණ්ඩලයේ 18 දෙනාගෙන් එක් අයෙක් වූ සහායක නියමු ජෝන් අර්න්ස්ට් රොච් පමණක් දිවි ගලවා ගන්නට සමත් විය.

වසර දෙකකට පසුව, 1955 අප්‍රේල් මාසයේදී තවත් ගුවන් සටනක් සිදුවිය.මෙවර සටන ඇතිවූයේ ඈත පෙරදිග,කැම්චැට්කා අර්ධද්වීපය ආසන්නයේදීය.එක්සත් ජනපද ආර්බී-47ඊ Stratojet යානයක් වූ එය මිග්-15 ෆයිටර් ජෙට් යානා යුගලයක් සමග කෙටි සටනකින් අනතුරුව විනාශ වූයේ එහි ගමන් කල ඇමෙරිකානුවන් තිදෙනාට මරු කැදවමින්ය.

ඇමෙරිකානු Boeing B-47E-50-LM Stratojet යානයක්
1960 මැයි මාසයේදී ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ ගුවන් නියමුවෙක් වූ ෆ්‍රැන්සිස් ගැරි පවර්ස් ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේ ඔහු පැදවූ යූ-2සී ඔත්තු බැලීමේ ගුවන් යානය සෝවියට් ගුවන් අවකාශයේදී බිම හෙළීමෙන් පසුවයි.ඒවන විට යානය සෝවියට් ගුවන් සීමා පසුකර කිලෝ මීටර් 2000ක් රට තුලට පිවිස තිබිණි.මුහුදු මට්ටමේ සිට කි.මී.21 උසින් ගමන් කරමින් තිබූ එම යානය ගුවන් යානා නාශක මිසයිලයක් යොදාගෙන බිම හෙළන ලදි.මෙම මෙහෙයුමට මාසයකට අඩු කාලයකදී ඔහු කසක්ස්ථානයේ සෙමිපලටින්ස්ක් ආසන්නයේ රහසිගත න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම් භූමියක තිබූ රහස් වස්තූන්ගේ ඉහල ගුණාත්මයක් සහිත ඡායාරූප ගැනීමට සමත් විය.කසක්ස්ථානයේ ෆයිටර් ජෙට් යානා බලගණ සහ ගුවන් ආරක්ෂක පද්ධතීන්,මෙම ඇමෙරිකානු ගුවන් යානයට අභියෝගයක් දීමටත් තරම් සුදුසු තත්ත්වයේ නොතිබුණි.නමුත් ස්වැඩ්ලොව්ස්ක් ආසන්නයේදී එල්ල වූ නවතම මිසයිල හමුවේ දෙවන වර බේරී යාමට ඔහු හැකියාවක් නොලැබුණි.

ඇමෙරිකානු Lockheed U-2C යානයක්,1975
1960 මැයි 1දා උදෑසන 9 පමණ ගුවනට නැගුණු පළමු එස්-75 Dvina මිසයිලය යූ-2 ඔත්තු බලන යානයේ වල්ගය සිප ගත්තේය.ඉතා පරිස්සමින් සැලසුම් කල ඔපරේෂන් ඔවර්ලයිට් නම් රහසිගත මධ්‍යම බුද්ධි කාර්යාංශ මෙහෙයුම අපකීර්තියක් ගෙන දෙමින් අවසන් විය.තම ගුවන් යානය ක්‍රමයෙන් බිදී යන අයුරු දුටු පවර්ස්,එය ආරක්ෂා සහිත උසකට පැමිණෙන තෙක් සිට ඉන් ඉවත් විය.

ඇමෙරිකානු යානය ලුහුබැද ගිය මිග්-19 ෆයිටර් ජෙට් යානා යුගලයෙන් එකක නියමුවෙක් වූ සර්ගෙයි සෆ්‍රොනොව් සෝවියට් ගුවන් ආරක්ෂක මිසයිල ප්‍රහාරයකට ගොදුරු වී මිය නොයන්නට මෙම මෙහෙයුම අතිසාර්ථක එකක් ලෙස ඉතිහාස ගත වන්නට තිබිණි.දෙවන මිග් යානය මිත්‍ර පාර්ශ්වයේ ප්‍රහාරයට මැදි වුවද අවසන් මොහොතේ ඉන් බේරී යන්නට සමත් විය.

මිග්-19 ෆයිටර් ජෙට් යානයක්
තම හමුදා ගුවන් යානයක් සෝවියට් ගුවන් සීමාව උල්ලංඝනය කලේය යන චෝදනාව ප්‍රතික්ෂේප කරන්නට මෙම සිද්ධියේ මුල පටන් ඇමෙරිකා එක්සත් ජනපදය උත්සාහ කලද,මිසයිල ප්‍රහාරය නිසා කඩා වැටුණු යූ-2 යානයේ කොටස් සොයාගෙන ඒවා අතර තිබූ ඔත්තු බැලීම් උපාංග සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත යන ලේබලය ලෝකය හමුවේ නිරාවරණය කිරීමට සෝවියට් දේශය සමත් වීමත් සමග ඇමෙරිකානුවන්ට සත්‍යය හෙලි කරන්නට සිදුවිය.

ෆ්‍රැන්සිස් ගැරි පවර්ස් මොස්කව් හිදී සිය නඩු විභාගයට මුහුණ දෙමින්
මෙම සිද්ධිය ලෝක බලවතුන් දෙදෙනා අතර විරසකය තවත් වැඩි කරන්නටත් බරපතල දේශපාලනික ප්‍රතිවිපාක ගෙන දෙන්නටත් සමත් විය.එම වසරේ මැයි මාසය මැද දී යොදාගෙන තිබූ නැගෙනහිර-බටහිර පැරිස් සමුලුව අවලංගු කිරීමටත්,ඇමෙරිකානු ජනපති අයිසන්හවර්ගේ මොස්කව් සංචාරය නවතා දමන්නටත් සිද්ධිය හේතුවක් බවට පත් විය.සෝවියට් ශ්‍රේෂ්ඨාධිකරණය යූ-2 යානයේ නියමුවා වූ ෆ්‍රැන්සිස් ගැරි පවර්ස් හට වසර 10ක සිර දඬුවම් නියම කලේ ඔත්තු බැලීමේ චෝදනාව යටතේය.නමුත් 1962 පෙබරවාරි මාසයේදී ඔහු සෝවියට් ඔත්තු කරුවෙක් වූ රැඩොල්ෆ් ඇබෙල් වෙනුවට හුවමාරු කරගන්නා ලදි.

යූ-2 යානයේ සිද්ධියෙන් මාස දෙකකට පසුව 1960 ජූලි 1දා නෝර්වේ-සෝවියට් දේශ සීමාව උල්ලංඝනය කල ඇමෙරිකානු බොයින් බී-47එච් Stratojet යානයක් ලුතිනන් වැසිලි පොලිකොව් විසින් පැදවූ මිග්-19 යානයක ප්‍රහාරයකින් විනාශ විය. ඇමෙරිකානු යානයේ සිටි හයදෙනෙක්ගෙන් යුතු කාර්ය මණ්ඩලයෙන් දෙදෙනෙක් පමණ දිවි ගලවා ගැනීමට සමත් විය.ඔවුන් දෙදෙනා සෝවියට් දේශයේ සිරකරුවන් බවට පත්විය.මාස කිහිපයක් සෝවියට් දේශයේ ගත කල ඔවුන් 1961 ජනවාරි මාසයේදී නිදහස් කරන ලදි.සිද්ධියෙන් මාසයකට පසුව සෝදිසි මෙහෙයුමකදී තවත් ඇමෙරිකානුවෙක් හමුවිය.ඔහුද එක්සත් ජනපදයට පිටත් කර හරින ලදි.

F-4 Phantom II යානයක්
1973 නොවැම්බර් මාසයේදී ඉරානයට අයත් ආර් එෆ්-4සී පැන්ටම් 2 යානයක් කෝකේසස් ප්‍රදේශයේදී සෝවියට් ගුවන් සීමාව උල්ලංඝනය කරන ලදි.ෆයිටර් ජෙට් යානය ඇමෙරිකානු ගුවන් හමුදාවේ එකක් නොවීය.එහි ඉරාන ගුවන් නියමුවෙක් සමග ඇමෙරිකානුවෙක්ද ගමන් කලහ.

මිග්-21 යානා පෙළක්
ගුවන් සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධව අනතුරු ඇගවීමත් සමග මිග්-21එස් එම් ෆයිටර් ජෙට් යානයක් ගුවන් ගත වූයේ අනවසරයෙන් ඇතුලු වූ යානය බිම හෙලීමටයි.මිග් යානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාර ඉලක්කය එල්ල නොවීය.ඉන්පසු මිග් යානයේ නියමු ගෙනෙඩි යෙලසෙයෙව් සුපර්සොනික් වේගයෙන් ගමන් කර තම යානය සතුරු යානයේ ගැටීමට සලස්වන ලද්දේ ජෙට් යානා ඉතිහාසයේ පෙර සිදුනොවූ දෙයක් කරමින්ය.නමුත් ඔහුට යානයෙන් පිටතට පැන ගැනීමට අවස්ථාවක් නොලැබුණි.පැන්ටම් යානයේ කාර්යමණ්ඩලය දිවි ගලවා ගත් නමුත් ඔවුන් සෝවියට් අත් අඩංගුවට පත් විය.කෙටි කාලයක් තුල ඔවුන් මුද හරින ලදි.


Source:sputniknews.com

සීතල යුද සමයෙන් ඇසෙන කතා සීතල යුද සමයෙන් ඇසෙන කතා Reviewed by HarshaLulzSec on November 07, 2017 Rating: 5

මොස්කව් ඇල්ෆා ගෲප්

November 07, 2017


රුසියාව සහ ලෙබනනයේ ඉස්ලාමීය සටන්කාමීන් කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සිරියානු සිවිල් යුද්ධයේදී සමීපතම මිත්‍රයන් බවට පත්ව තිබේ.දෙපාර්ශ්වයම සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ් හට සහාය ලබාදෙයි.නමුත් මොවුන්ගේ සම්බන්ධතාවය සෑම විටම මිත්‍රශීලී නොවූ බවට ඉතිහාසය සාක්ෂි දරයි.1985 වර්ෂයේදී හිස්බුල්ලා සංවිධානය විසින් රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් සිව්දෙනෙක් පැහැරගෙන ගොස් එක් අයක් මරාදමන අතර ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කිරීමට සෝවියට් දේශය කේජීබී සංවිධානයේ "ඇල්පා" විශේෂ බලකා කණ්ඩායම පිටත් කර හරියි.

ඇල්පා ගෲප් යනු බුද්ධි තොරතුරු ජාලයක්,ත්‍රස්ත මර්ධන කණ්ඩායමක් සහ විශේෂ බලකා ඒකකයක් ලෙස ක්‍රියා කරන සහ ඇමෙරිකානු සීල් ටීම් විශේෂ බලකායට සමාන විශේෂ හමුදා ඒකකයකි.

මෙම කණ්ඩායම ප්‍රථම වරට සිය මාරාන්තික හැකියාව ප්‍රදර්ශනය කරන්නේ 1979 වර්ෂයේ සිදුවූ ඇෆ්ගන් ආක්‍රමණයේ ආරම්භක අවදියේදී කාබුල් හි ජනාධිපති මන්දිරයට එල්ල කල ප්‍රහාරයෙනි.1980 සහ 1990 දශක මුලුල්ලේ මොවුන් ඉහළ පෙළේ ත්‍රස්ත මර්ධන සහ පැහැරගෙන යන්නන් දඬයම් කිරීමේ මෙහෙයුම් වලට සහභාගී වී තිබේ.කේජීබී සංවිධානය සහ සෝවියට් හමුදාවෙන් කොටසක් 1990 වර්ෂයේ කුමන්ත්‍රණයක් සඳහා ප්‍රයත්න දරද්දී ඇල්පා ගෲප් එකට පැවරුනේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමයි.සෝවියට් දේශය බිද වැටීමෙන් ඇල්පා ගෲප් ඒකකය අවසන් නොවූ අතර දැනට ෆෙඩරල් ආරක්ෂක සේවය හෙවත් කේජීබී සංවිධානයේ අනුප්‍රාප්තිකයා යටතේ පාලනය වේ.ලෙබනනයේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සිද්ධියේදී ඔවුන් හිස්බුල්ලා සංවිධානය සමග ගැටීම ඉතා පුළුල්ව සාකච්ඡා වූ සහ මෙම කණ්ඩායමේ කෲරතම මෙහෙයුමකි.

කේජිබී සංවිධානයේ ස්පෙට්නාස් හි ඇල්පා කණ්ඩායමේ මුල්ම සාමාජිකයන්ගේ යැයි සැලකෙන ඡායාරූපයක්
කේජීබී සංවිධානය, ඇල්පා ගෲප්( Alpha Group)හෙවත් 'ස්පෙට්ස්ගෲපා ඒ' නම් විශේෂිත ඒකකය පිහිටුවන්නේ 1974 වර්ෂයේදීය.ඒ ඊට වසර දෙකකට පෙර සිදුවූ මියුනිච් ඔලිම්පික් උළෙලේ කළු සැප්තැම්බරය ප්‍රහාරයට ප්‍රතිචාර ලෙසයි.පලස්තීන විමුක්ති පෙරමුණට සම්බන්ධ ත්‍රස්තවාදීන් අටදෙනෙක් ඔලිම්පික් ගම්මානයට රහසේ ඇතුලුවී ඊශ්‍රායල ක්‍රීඩකයන් දෙදෙනෙක් මරා දමා තවත් කිහිපදෙනෙක් ප්‍රාණ ඇපයට ගන්නා ලදි.බටහිර ජර්මනියේ පොලිසිය ඉන් පැය කිහිපයකට පසුව නේටෝ ගුවන් තොටුපොලකදී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට දරන ලද අසාර්ථක උත්සාහයේදී තවත් ඊශ්‍රායල ජාතිකයෝ නමදෙනෙක් සමග ත්‍රස්තවාදීන් පස්දෙනෙක්,එක් පොලිස් නිලධාරියෙක් මරණයට පත්විය.

ඊශ්‍රායල ඔලිම්පික් ක්‍රිඩා කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයේ බැල්කනියේ සිටින පලස්තීන කළු සැප්තැම්බර් කල්ලියේ සාමාජිකයෙක්
ඇල්පා ගෲප් ඒකකය පිහිටුවන්නේ සෝවියට් දේශය තුල ක්‍රියාත්මක වීමට වුවද වැඩිකල් නොගොස් ඔවුන්ට සිය කාර්යයභාර්යය රටෙන් පිටත්දී ඉටුකරන්නට සිදුවේ.1979 වර්ෂයේදී සෝවියට් දේශය විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරයි.එහිදී ඇල්පා ගෲප් සහ කේජීබී සංවිධානයේ 'සෙනිත් ගෲප්' යන විශේෂ බලකා ඒකකවල 700ක පමණ පිරිසක් කාබුල් හි ටැජ්බෙග් මාළිගය අල්ලාගැනීමට යවනු ලැබේ.ඔවුන් සෝවියට් තානාපති කාර්යාලයේ ආරක්ෂාව මත රටට ඇතුල්වේ.ටැජ්බෙග් මාළිගය අල්ලා ගැනීම 1979 දෙසැම්බර් 27 දා ඇරඹෙන අතර එය සෝවියට් ආක්‍රමණයේ පළමු පියවරයි.ඇෆ්ගන් ජනපති හාෆිසුල්ලාහ් අමින් එදින සවස් කාලයේ මාළිගය තුල සිවිල් ආරාධිතයින් රැසකට සහ මාළිගයේ පදිංචිකරුවන් වෙනුවෙන් සාදයක් පත්වන අතර ඒ අතරතුර සෝවියට් ප්‍රහාරකයෝ කඩාවදියි.ප්‍රහාර සිදුවන විට ඒ තුල කාන්තාවන් සහ ළමුන්ද සිට තිබේ.

ටැජ්බෙග් මාළිගය වර්තමානයේ දිස්වන අයුරු
මෙම මෙහෙයුමට සහභාගී වූ විශේෂ බලකා නිලධාරියෙක් 2009 වර්ෂයේදී බීබීසී පුවත් සේවයට පවසා තිබුණේ ගොඩනැගිල්ල තුල වූ සියලුදෙනා මරාදමන්නට සෙබලුන්ට ඉහළින් නියෝග ලබා දී තිබූ බවයි.

"මම සෝවියට් සෙබලෙක්ව සිටියා.අපව පුහුණු කර තිබුණේ ප්‍රශ්න කිරීමකින් තොරව නියෝග පිළිපදින්නයි.මම සේවය කලේ විශේෂ බලකාවල.ඒක ඉතා නරක රැකියාවක් වුනා" -රස්ටම් ටුර්සන්කුලොව්

ඇෆ්ගන් ජනපති හාෆිසුල්ලාහ් අමින්
සෝවියට් සෙබලුන් මාලිගයට කඩා වදින අවස්ථාවේ ඒ තුල එකලොස් හැවිරිදි නජීබා නම් දැරියද සිටියාය."මම දුටු දෑ,අහෝ දෙවියනේ.මිනිසුන් බිම වැටී සිටියා.මම දැක්කා මනුෂ්‍යයෙක් ,හරියට චිත්‍රපටයක එන භයජනක අත්දැකීමක් වගේ.මළ සිරුරු ගණනාවක් තිබුණා." නජීබා සිය අත්දැකීම් බිබීසී නාලිකාවට එලෙස විස්තර කර තිබිණි.

"කරුණාකරලා තේරුම් ගන්න එහි සටන් සිදුවෙමින් තිබුණේ.එහි ළමුන් සිටියාදැයි සෙවීම අමාරු කාර්යයක්.ඕනෑම හමුදාවක එවැනි කුරිරු දෙයක් කිරීමට හැකි අයෙක් සිටියා.අතිශය දරුණු කාර්යයන්.අවාසනාවට,ඒ සෙබලුන් නොවේ,දේශපාලනඥයින් යුද්ධ නිර්මාණය කරන්නේ." - රස්ටම් ටුර්සන්කුලොව්

ජනපති අමින්ගේ 11 හැවිරිදි පුත්‍රයා ද මාලිගාවට එල්ල වූ ප්‍රහාරයෙන් මරණයට පත් විය.බොහෝවිට ඔහු සටනේදී මිය යන්නට හෝ ඉන්පසුව ඝාතනයට කරන්නට ඇති.අනුව මාලිගයේදී මරා දමන ලද සියලු දෙනා බුමුතුරුණුවල ඔතා කිසිදු අවමංගල පූජා විධියකින් තොරව ආසන්න තැනක වලළා දමන ලදි.

රස්ටම් ටුර්සන්කුලොව් සහ නජීබා
ඇල්ෆා කණ්ඩායම කේජීබී සංවිධානයේ නායකත්වය යටතේ 1980 දශකය පුරාවට සෝවියට් දේශය තුල ප්‍රති-ත්‍රස්තවාදී සහ ප්‍රති-බුද්ධි තොරතුරු මෙහෙයුම් දියත් කරන ලදි.එම ඒකකය ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශයේ නියෝජිතයන් දඩයම් කිරීමටද සහභාගී විය.1983 වර්ෂයේදී ජෝර්ජියාවේ ටබිලිසි හිදී ඇරෝෆ්ලොට් ෆලයිට් 6833 පැහැරගැනීමේ සිද්ධියේදී ඇල්ෆා කණ්ඩායමේ මැදිහත්වීමෙන් සැකරුවන් තිදෙනෙක් මරා දමා ඉතිරි සිව්දෙනා අත් අඩංගුවට ගන්නා ලදි.නමුත් ප්‍රාණ ඇපකරුවෝ පස්දෙනෙකුට දිවි අහිමි විය.

ඇරෝෆ්ලොට් ෆලයිට් 6833 සිද්ධියේදී පැහැර ගැනීමට ලක්වූයේ මෙවැනි Tupolev Tu-134 ගුවන් යානයකි
1985 වර්ෂයේදී ලෙබනන ප්‍රාණ ඇපකරු අර්බුදය ඇල්ෆා කණ්ඩායම,කුරිරු-නමුත් ඵලදායි ප්‍රති ත්‍රස්තවාදී ඒකකයක් ලෙස ජාත්‍යන්තර කීර්තිය හිමි කරගත් අවස්ථාවයි.

1985 සැප්තැම්බර් මස 20දා හිස්බුල්ලා සංවිධානයේ කොටසක් වන ඉස්ලාමීය විමුක්ති සංවිධානය විසින් ලෙබනනයේ බේරූට් නගරයේදී සෝවියට් රාජ්‍යතාන්ත්‍රිකයෝ සිව්දෙනෙක් පැහැර ගන්නා ලදි.පිලඩෙල්පියාහි ඩේලි නිවුස් පුවත්පතේ ජැක් මැකිනෙයිගේ වාර්තාවකට අනුව ත්‍රස්තවාදීන්ගේ පණිවුඩය මෙසේය."ලෙබනනයේ උතුරුදිග වරාය නගරයක් වන ට්‍රිපොලි හි සිටින ඉරානයට පක්ෂපාතී මූලධර්මවාදී සටන්කාමීන්ගේ ස්ථානවලට සිරියාවට පක්ෂපාතී සටන්කාමීන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමට මොස්කව් රජය බලපෑම් නොකල හොත් අත් අඩංගුවේ පසුවන සෝවියට් රාජ්‍යතාන්ත්‍රිකයන් සිව්දෙනා එකා බැගින් ඝාතනය කරනවා"


මොස්කව් රජය මුලදී සන්නිවේදන චැනලයක් විවෘත කර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා කිරීමට උත්සාහ කලේය.නමුත් එක් රුසියානුවෙක් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමත් සමග මොස්කව් රජය ඇල්ෆා කණ්ඩායම ලෙබනනයට යැවීය.

ඉතිරිව සිටි ප්‍රාණඇපකරුවන් සති කිහිපයක් තුලදී මුදා හැරුණේ මාධ්‍යවේදීන් පුදුමයට පත් කරමින්ය.මන්ද ඔවුන් සිතා සිටියේ ප්‍රාණ ඇපකරුවන් ලෙබනනය තුල මාස ගණනක් හෝ සමහර විට වසර ගණනක් තබා ගනිවී කියාය.

එවකට ලෙබනනයේ සිරියානු හමුදා වෙනුවෙන් ඔත්තු සේවා ප්‍රධානියා ලෙස සේවය කල බ්‍රිගේඩියර් ජෙනරල් ගාසි කනාන්,සෝවියට් ප්‍රාණඇපකරුවන් මුදා ගැනීම සඳහා ප්‍රශංසාවට පාත්‍ර විය.මෙම පුවතම අනෙක් රටවල මාධ්‍යවේදීන් වෙතටද වහා ලගා විය.

"සිරියාවට පක්ෂපාතී සටන්කාමීන් නිවසෙන් නිවස සෝදිසි කරමින් ත්‍රස්තවාදීන් ප්‍රාණඇපකරුවන් රදවාගෙන සිටින ප්‍රදේශයට ක්‍රමයෙන් ලගා වීම නිසා,ත්‍රස්තවාදීන්ට ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සිදුවූයේ යැයි බටහිර මාධ්‍යවේදීන් වාර්තා කර තිබිණි." - ජැක් මැකිනෙයි

කෙසේවෙතත් ඊශ්‍රායල මූලාශ්‍ර උපුටා දක්වමින් ඩේලි නිවුස් පුවත්පත අවධාරණය කරන්නේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට සැබෑ හේතුව වූයේ කේජීබී සංවිධානය බවයි. Hezbollah: The Global Footprint of Lebanon’s Party of God ග්‍රන්ථයේ කතෘ මැතිව් ලෙවිට්ට අනුව ඒ කේජීබී සංවිධානයේ මෙහෙයුම්කරුවන් නොව ඇල්පා නම් ත්‍රස්ත මර්ධන විශේෂ මෙහෙයුම් ඒකකයයි.

මැතිව් ලෙවිට්ට අනුව "ප්‍රාණ ඇපකරුවන් රදවාගෙන සිටි සංවිධානයේ ප්‍රධානියාගේ ඥාතියෙක්ව කේජීබී සංවිධානයෙන් පැහැර ගෙන ඥාතියාගේ කණක් කපා එය ඔහුගේ පවුලේ අයට යවා තිබේ.මෙම කතාවේ තවත් සංස්කරණයක සඳහන් වන්නේ ඇල්ෆා කණ්ඩායම ත්‍රස්තවාදීයෙකුගේ සහෝදරයෙක් අල්ලාගෙන ඔහුගේ ඇගිලි දෙකක් වෙන වෙනම ලියුම් කවරවල බහා ඔහුගේ පවුලේ අයට යවා ඇත"

ඇල්පා කණ්ඩායම් සාමාජිකයෝ පුහුණුවක යෙදෙන අවස්ථාවක්
තවත් සංස්කරණයකට අනුව සෝවියට් මෙහෙයුම්කරුවෝ,හිස්බුල්ලා නායකයෙකුට ඥාති වන ෂියා මුස්ලිම් පුද්ගලයින් දුසිමක් පැහැරගනියි.ඉන් එක් අයෙගේ වෘෂණ කෝෂය ඉවත් කර හිසට වෙඩි තබා වෘෂණ කෝෂය මුඛයේ බහා මළ සිරුර හිස්බුල්ලා නායකයා වෙත යවන්නේ ,ඉතිරි සෝවියට් ප්‍රාණඇපකරුවන් මුදානොහැරිය හොත් ජීවතුන් අතර සිටින ඥාතීන් 11 දෙනාටද මීට සමාන ඉරණමක් අත් වන බව සඳහන් ලියුමක්ද සහිතවයි.

සිද්ධිය සම්බන්ධව එකිනෙකට වෙනස් කතන්දර තිබුණද එම කාර්යය නිසා සිදුවූ බලපෑම එක හා සමානය.මෙම කරුණු අනුව ඇල්ෆා කණ්ඩායම බේරූට්වලට එවීම නිසා ප්‍රාණඇපකරුවන් මුදා හැරීම ඉක්මන් වූයේ යැයි පිළිගැනීමට සිදුවේ.නමුත් 1982-1992 ලෙබනන් ප්‍රාණ ඇපකරු අර්බුද සමයේ පැහැර ගත් අනෙකුත් රටවල පුද්ගලයින් සමහරෙක් මරා දැමුණු අතර බොහෝදෙනා දිගු කාලයක් ප්‍රාණ ඇපයේ පසුවී මුදා හරින ලදි(තවත් පිරිසක් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මිදී පලා යෑමට සමත් විය).

ඇෆ්ගනිස්ථානයේ සංග්‍රාමික පුහුණු සඳහා යැවූ සෝවියට් ඇල්පා කණ්ඩායමක්,1980
ත්‍රස්තවාදීන්ගේ පවුල්වල සාමාජිකයින් ඉලක්ක කිරීමේ ප්‍රතිපත්තිය රුසියාව බොහෝ කාලයක පටන් ත්‍රස්තවිරෝධී මෙහෙයුම්වලදී භාවිතා කරන ප්‍රතිඵලදායි උපක්‍රමයකි.කෙසේවෙතත් මෙම ප්‍රතිපත්තිය මානව හිමිකම් සංවිධානවල විවේචනයට බදුන්වේ.බේරූට් හි ඇල්පා කණ්ඩායම ක්‍රියාත්මක කලේත් මෙම උපක්‍රමයයි.

බේරූට් වෘත්තාන්තය ,ඇල්පා කණ්ඩායමේ වඩාත් ප්‍රතිඵලදායි මෙහෙයුම්වලින් එකක් බවට කිසිදු විවාදයක් නැත.නමුත් ඉන්පසුවද මෙම ඒකකය සෝවියට් සහ රුසියානු හමුදාවේ,ඔත්තු සේවා සහ ප්‍රති ත්‍රස්තවාදී මෙහෙයුවලදී ප්‍රමුඛ කාර්යයභාර්යයක් ඉටුකරන ලදි.

1991 වර්ෂයේ මාර්තු 11දා ලිතුවේනියාව සෝවියට් දේශයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශ කරන ලදි.ලිතුවේනියාවේ ස්වාධීනත්වය පිලිනොගත් සෝවියට් දේශය 1991 වර්ෂයේ ජනවාරි මාසයේදී ලිතුවේනියාවට සෝවියට් හමුදා යැවීය.එම හමුදා ඒකක අතර ඇල්පා කණ්ඩායමත් සිටියේය.ඔවුන් එරට අගනුවර වූ විල්නියස් හි වැදගත් ස්ථාන,ගොඩනැගිලි වල බලය අත්පත් කරගත්හ.ජනවාරි 13දා නගරයේ රූපවාහිනී කුලුණ අල්ලා ගැනීමේ සටනේදී සිවිල් වැසියන් 14 දෙනෙක් මිය ගොස්,සියගණනක් තුවාල ලැබීය.

විල්නියස් නගරයේ රූපවාහිනී කුලුණ
එම වසරේම සෝවියට් ජනපති මිකයිල් ගෝර්බචොව්ට එරෙහිව සෝවියට් දේශයේ ඇතිවූ කුමන්ත්‍රණයේදී විරුද්ධ පාක්ෂිකයින්ගේ කේන්ද්‍රස්ථානය වූ රුසියානු පාර්ලිමේන්තුවට කඩා වදින්නට ඇල්පා කණ්ඩායමට නියෝගයක් ලැබිණි.එහිදී කුමන්ත්‍රණකරුවන්ගේ නායක රුසියානු සමූහාණ්ඩුවේ ජනපති බොරිස් යෙල්ට්සින් අත් අඩංගුවට ගැනීමට හෝ පැන යාමට තැත්කල හොත් මරා දමන්නට කියා සඳහන් විය.

යෙල්ට්සින් ඇතුලු පිරිස කුමන්ත්‍රණය අතරතුර
නමුත් ඇල්පා කණ්ඩායමේ නිලධාරීන් 20 දෙනෙක් එම නියෝගය ප්‍රතික්ෂේප කල අතර කුමන්ත්‍රණය අසාර්ථක වන තෙක් මෙහෙයුම ප්‍රමාද කරන්නට තීරණය කෙරිණි.

පසුකාලීනව මෙම ප්‍රති-ත්‍රස්තවාදී ඒකකය උතුරු ඔෂේටියාඒ බෙස්ලන් පාසලේ ප්‍රාණ ඇපකරු සිද්ධියට(2004) මැදිහත් විය.එම සටනේදී ත්‍රස්තවාදීන් සහ ඇල්පා කණ්ඩායමේ සාමාජිකයෝ දුසිම් ගණනක් මරණයට පත් වූ අතර ළමුන් 186 ඇතුලුව පුද්ගලයින් 330ක් මිය ගියහ.


ඇල්පා කණ්ඩායමේ සෙබලුන් දැඩි විවේචනවලට භාජනය වූයේ බෙස්ලන් ප්‍රාණඇපකරු සිද්ධියේදීය.එහිදී ඔවුන් මෙහෙයුම සඳහා බර අවි සහ දැඩි ප්‍රහාරක ශක්තියක් යෙදවීමෙන් සිදුවූ මරණ ගණන ඉහළ ගියේ යැයි චෝදනා එල්ල වේ.නමුත් රුසියානු ජනපති සිය සෙබලුන් වෙනුවෙන් කතා කරමින් කියා සිටියේ ඔවුන් පාසල තුලට කඩාවදින්න කිසිදු පුර්ව සැලසුමකින් නොසිටි බවත්,ත්‍රස්තවාදීන් පාසල තුල ළමුන් ඝාතනය කරන බව වාර්තා වීමත් සමග පාසල තුලට කඩා වදින්නට සිදුවූ බවයි.

ජනපති පුටීන් ඇල්පා කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් හමුවූ අවස්ථාවක්
ඇල්පා කණ්ඩායම යුක්‍රේන සිවිල් යුද්ධයේදීද රුසියානු හිතවාදී පාර්ශ්වය වෙනුවෙන් සටන් වදින බවටද වාර්තා පළවේ.2014 වර්ෂයේදී රුසියානු හිතවාදී යුක්‍රේන ජනපති වික්ටර් යැනුකොවිච් බලයෙන් පහ කිරීමට සිදුකරන ලදි උද්ඝෝෂණවලදී යැනුකොවිච් හිතවාදී ආරක්ෂක අංශ සහ උද්ඝෝෂකයන් අතර බරපතල ගැටුම් ඇති විය.එම ගැටුම් අතරතුර සියයක් පමණ මිය ගියහ.මිය ගිය වුන් අතර ස්නයිපර්කරුවන්ගේ වෙඩි ප්‍රහාර වලට ලක්වූ අයත් සිටි බව මාධ්‍ය වාර්තා කලහ.

හිටපු යුක්‍රේන ජනපති වික්ටර් යැනුකොවිච් හට පක්ෂපාතී යුක්‍රේන ඇල්පා කණ්ඩායමක සාමාජිකයන් යැ‍යි සැක කෙරෙන පිරිසක්,2014

Source:warisboring.com
මොස්කව් ඇල්ෆා ගෲප් මොස්කව් ඇල්ෆා ගෲප් Reviewed by HarshaLulzSec on November 07, 2017 Rating: 5
Powered by Blogger.